ඊලම්-ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් කරා – යාපනයේ දෙමල සිසුන්ගේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ටයක්

නන්දන නන්නෙත්ති විසිනි.

මෑතදී යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙන් (සසප) මෙසේ විමසනු ලැබූ බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශය වාර්තා කර ඇත.“පලස්තීනුවන්ට සහාය දෙන පුලුල් ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් තියෙනවා; නමුත් ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ ආන්ඩුව විසින් දෙමල ජනතාව සමූල ඝාතනය කරන විට අපට සහාය දීමට එවැනි ගෝලීය ව්‍යාපාරයක් තිබුනේ නැහැ. ඇයි ඒ?” 

ඔවුන් මේ ප්‍රශ්න කරන්නේ අද ගාසා තීරයේ දී මෙන් ම 2009 මුල්ලිවයික්කාල්හි වර්ග කිලෝ මීටර් 14ක ප්‍රදේශයකට 150,000 දෙමල ජනයා කොටු කර, කොලඹ ආන්ඩුව එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය ගැන ය. ලෝකය, කෘර වද හිංසාවන්ට ගොදුරුව, අසරන වූ තමන්ගේ ජීවිත නො තකා සිටියේ ය යන සත්‍යය තුලින් මානුෂික හැගීමෙන් දෙදරා ගිය මේ ජනතාවගේ හදවත්වල රිදුම් ඉබේ ම පහව යන්නට හේතුවක් නැත. 

Genocide
සිවිල් යුද්ධයේ අවසන් සංහාරයේ දසුනක් [Photo:opiniojuris.org]

එහෙත්, මෙම යථාර්ථයට මුහුන දෙනු වෙනුවට, සසප “ගාසා යුද්ධය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් අතර දෙමල ජාතිකවාදීන් විසින් ප්‍රවර්ධනය කරන ලද දේශපාලන ප්‍රශ්නවලට පිලිතුරක්” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජනවාරී 24, නවීන් දේවගේගේ කතෘත්වයෙන් පල කරන ලද  ලිපියකින් උත්සාහ දරන්නේ, දෙමල ජන සංහාරයට එරෙහි ව ගෝලීය විරෝධතා ව්‍යාපාරයක් පැවතුනු බව මවා පෙන්වා දෙමල ජනතාවගේ අර්බුදය හුදෙක් දෙමල ජාතිකවාදීන්ගේ නිෂ්පාදනයක් බවට ලගු කිරීමට ය. 

ඒ අනුව “ශ්‍රී ලංකාවේ යුද්ධයේදී දෙමල ජනයාට එරෙහි ජන සංහාරයට එරෙහි ගෝලීය විරෝධයක් නොතිබුනිය යන ප්‍රකාශය අසත්‍යයකි,”යි  ලියන සසප ඊට සාක්ෂි වශයෙන් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනෙන් පිටුවහල් කරන ලද දෙමල ඩයස්පෝරාවේ උද්ඝෝෂන ගෙන හැර පායි. ඒ “මධ්‍යම බර්ලිනයේ දෙමල ජාතිකයන් 8000 ක් සීඩීයූ මූලස්ථානයේ සිට ඉන්දීය තානාපති කාර්යාලය දක්වා පෙලපාලි ගියහ”, “තමිල්නාඩුවේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය”, “දෙමල ජනතාව 50,000 ක් පැරිසියේ දී උද්ඝෝෂනය කලහ,” යනාදී වශයෙනි. දැන් මතු වී ඇති ප්‍රශ්නය වන්නේ, ආන්ඩුවේ හමුදාවේ අවසන් සමූල ඝාතක ප්‍රහාරයේ දී ජීවිතාරක්ෂාව ඉල්ලා දෙමල පීඩිතයන්, රට තුල සිට හා විදේශයන්හි දි, නැගූ හඩට ලෝකයෙන් යහපත් ප්‍රතිචාරයක් නො ලැබුනේ ය යන සත්‍යයයි. 

තව දුරටත් සදහන් කරන්නේ නම්, ශ්‍රී ලංකාව තුල දී මෙන් ම වෙනත් රටවල දී ද සියලු රැඩිකල්ලු, වාම පක්ෂ හා වෘත්තීය සමිති ඒ වන විට ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදය විසින් මුදා හරිනු ලැබ පැවති “ත්‍රස්ත විරෝධී” ව්‍යාපාරයට ගාල් වී සිටියහ. ශ්‍රී ලංකාවේ වාම පක්ෂ ඒ වන විටත් සිය දෑත්වල දෙමල පීඩිතයන්ගේ ලේ තවරා ගෙන සිටියේ ය. පන්සල්, පල්ලි දෙමල ජන විලෝපනයට ආශීර්වාද කරන මධ්‍යස්ථාන බවට පත් ව තිබිනි. ප්‍රගතිශීලී කලාකරුවෝ යටපත් කරගෙන වර්ගවාදියෝ පෙරමුනට ආහ. වර්ගවාදී චිත්‍රපට හා වෙනත් නිර්මාන ජනප්‍රිය සංස්කෘතියක කොටසක් බවට පත් කර තිබිනි. වෘත්තීය සමිති තම සාමාජිකත්වය යුද අරමුදල් සදහා වැටුප් පරිත්‍යාග කිරීමට මෙහය විය. උතුරේ අමු සොහොනක් කිරීම කිරිබත් කමින් සමරනු ලැබිනි. මේ සියල්ල අතර මැද, 2009 හමුදා ප්‍රහාරයන් දැවැන්ත ලෙස තියුනු කිරීමත් සමග සිදුවන ජන ඝාතන වසන් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව සියලු මාධ්‍යවේදීන්ට හා රතුකුරුස සංවිධානයට පවා තම ජීවිත පිලිබඳ ආරක්ෂාවක් සැලසිය නොහැකි යැයි නිවේදනය කලේ යුද්ධයේ ජන ඝාතන පිලිබඳ සැබෑ තොරතුරු වසන් කරමිනි. සමාර්ට්ෆෝන්,  ෆේස්බුක් හා සමාජ මාධ්‍ය ආදිය ප්‍රචලිතව නොපැවති පීඩිත දමිල ජනයාට තමා අභියස සිදුවූ ⁣⁣ලේවැකි ඛේදවාචකය ගාසාවේ මෙන් සජීවීව බෙදා ගැනීමේ හැකියාවක් ද පැවතියේ නැත. මේ ආකාරයෙන්, අවසන් ප්‍රහාරය වන විට ශ්‍රී ලංකාවේ දකුනු පලාත්වල ප්‍රතිගාමී මහජන ව්‍යාපාරයක් දෙමල ජනයාට එරෙහිව මතු කරගනු ලැබ පැවතීම, ආන්ඩුවට පහසු යුද ජයග්‍රහනයක් ලබා දුන්නේ ය.

2008 ලෝක ආර්ථික හා මූල්‍ය අර්බුදය මගින් වෛශික පදනම් දැමූ ලොව පුරා පැන නැගි මහජන අරගලවල පොදු සටන් පාඨයක් බවට ලංකාවේ දෙමල ජන විලෝපනයට එරෙහි වීම අන්තර්ගත කෙරුනි යැයි ලිපිය ඇගවීමට උත්සාහ කිරීම ද ඒ ආකාරයෙන්ම ව්‍යාජයකි.

මෙම වෛෂයික යථාර්ථය කම්කරු පන්තියේ අව්‍යාජ ව්‍යාපාරයක් විසින් ජය ගනු ලැබිය යුතු ය. ඒ වෙනුවට එවැන්නක් සිදු නො වී යයි දෙමල ජනතාවගේ හිත සැනසීමට යත්න දැරීම හා එය හුදෙක් දෙමල ධනපතියන් විසින් ප්‍රවර්ධනය කරන ලදැයි පවසා දෙමල ජාතිකවාදයේ බල පෑමෙන් පීඩිත ජනයා නිදහස් කර ගත හැකි යයි සිතීම බොලඳ ය. මෙහි දී විශේෂයෙන් සටහන් කර ගත යුතු දෙයක් නම් ලිපිය මූලික වසයෙන් දෙමල පීඩිතයන් ප්‍රතිගාමී ජාතිකවාදයෙන් නිදහස් කර ගැනීමේ සත් චේතනාවෙන් ලියැ වී ඇති නමුත් එම අරමුනට එරෙහිව එය ඉටු කර ගැනීමේ මාර්ගය පිහිටා ඇති බව ය. නො එසේ නම් අරමුන විසින් ම එය ඉටු කර ගැනීමේ මාර්ගය අයුක්තිසහගත බව හෙලිදරව් කරනු ලැබ ඇති බව ය. 

උක්ත ලිපියේ මෙම විකෘති කිරීමට එරෙහිව, අප සටහන් කල යුතුව ඇත්තේ රටේ උතුරු-නැගෙනහිර දෙමල මහජනතාවට විර්ද්ධව වාර්ගික නොපනත්කම් කිරීමට එරෙහිව හා වාර්ගික යුද්ධයට එරෙහිව අනවරතව දශක තුනක් තිස්සේ ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කරමින් හා සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සප්‍රතිපත්තිකව සටන් වැදුනේ සසප, ලෝසවෙඅ හා ජාත්‍යන්තර කමිටුව පමනක්මය යන්න යි.

ලිපියට අනුව, “…දෙමල ජනතාවට සුවිශේෂ වූ ප්‍රශ්න සහ දෙමල විසඳුමක් පිලිබඳ සූත්‍රය තොරොම්බල් කරමින් ශිෂ්‍ය සංගමය ඇත්ත වශයෙන්ම කරමින් සිටින්නේ, ධනේශ්වර පාලක ප්‍රභූව විසින් දේශපාලන බලය අල්ලාගෙන සිටින යල් පැන ගිය සමාජ ක්‍රමයට එරෙහිව, එනම් සිය පොදු සතුරාට එරෙහිව, සියලු ජනවර්ගවල හා ආගම්වල පීඩිතයන්ගේ එවන් ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමයි.” 

සසප නායකත්වය කලක සිටි දෙමල ජනතාවට සුවිශේෂි ප්‍රශ්න නැතයි ගෙන යන පක්ෂ අභ්‍යන්තර අරගලය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එමින් සිටින අතර එහි වෛෂයික අර්ථය වන්නේ එම කුප්‍රකට ධනවාදී සටන් පාඨය අනුගමනය කිරීම මගින් සිංහල ස්වෝත්තමවාදයේ ප්‍රහාරය ද මග හරින ගමන්ම, දෙමල පීඩිතයන් ජාත්‍යන්තර කම්කරු පන්ති වැඩපිලිවෙලට අනුගත කර ගත හැකිය යන මිත්‍යාවකි.

සසප ලිපිය උපුටා දක්වන 2009 පෙබරවාරි 4 ලෝසවෙඅ කතෘ මන්ඩල ප්‍රකාශය තුලම සදහන් කරන පරිදි,  “ශ්‍රී ලංකාවේ සහ අධිරාජ්‍යවාදී රටවල ඩයස්පෝරාවේ දෙමල ජනතාවගේ මිතුරන් වන්නේ කම්කරු පන්තියයි. අධිරාජ්‍යවාදී ලෝක පර්යායට එරෙහි අරගලයේ කොටසක් ලෙස යුද්ධය අවසන් කිරීම, ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය පෙරලා දැමීම සහ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කිරීම සඳහා ශක්තියක් ඇති සහ ඒ සඳහා පන්ති අවශ්‍යතාවක් ඇති එකම සමාජ බලවේගය එයයි.”

මේ අනුව, “ජාතන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, ශ්‍රී ලංකා හා ඊලාම් සමාජවාදී එක්සත් සමූහ ආන්ඩුවක් පිහිටුවීම සදහා සිංහල හා දෙමල කම්කරු පන්තියේ හා ගොවීන්ගේ විප්ලවවාදී සන්ධානයක් ගොඩනැගීමට සටන් කරයි. ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනය යටතේ හෝ 1947-1948 ඉන්දියානු උප මහද්වීපයේ ගොඩ නැගුනු ජාතික රාජ්‍ය පද්දතියේ සීමාවන් තුල මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජ අභිලාශයන් සාක්ෂාත් කරගත් නො හැකි ය. යටත් විජිත අතීතයේ සහ අඛන්ඩ අධිරාජ්‍යවාදී ආධපත්‍යයේ ප්‍රතිඵලයක් වන ශ්‍රී ලංකාවේ හා ඊලාමයේ පසුගාමීත්වය ජය ගනු හැකි වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස කම්කරු ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීමෙන් පමනි.”  [The SEP and the fight for the Socialist United States of Sri Lanka and Eelam, ICFI on release of SEP members by LTTE, 1998 දෙසැම්බර් 1] 

සසප හා එහි පුරෝගාමියා වූ විකොස දශක ගනනක් තිසිසේ සටන් වැදුනේ ඊලාම් ශ්‍රී ලංකා සමාජවාදී සමුහ ආන්ඩු සංගමයක් යන මෙම ඉදිරි දර්ශනය සදහා ය. උක්ත ලිපිය මෙම “ඊලම් ශ්‍රී ලංකා” යන්න සදහන් කිරීමෙන් වැලකී සිටී. අහම්බයක් ලෙස පෙනී යා හැකි වුවත් සෑම අහම්බයක් පිටුපස ම “අනිවාර්යතාවක්” ඇති බව අපි දනිමු. පසු කලෙක සසප නායකත්වය විසින් වර්ධනය කෙරුනු පිලිවෙතට අනුව ‘දෙමල ජනතාවට විශේෂ ප්‍රශ්න නැත’; එසේ නම්, ස්වයං-නීර්න අයිතිය පිලිබද ප්‍රශ්නයක් නැත. එහි අර්ථය ජාතික ප්‍රශ්නය ඉබේ ම, දැනටමත්, කොලඹ ආන්ඩුව එල්ටීටීඊය පරාජය කිරීමත් සමග හෝ පසුව විසදී ඇති බව ය. එවිට මෙම ‘ඊලාම් ශ්‍රීලංකා’ සටන් පාඨය වලංගු විය නො හැකි ය. ලිපියෙන් එය ගිලිහෙන්නේනට හේතු වූ අනිවාර්යතාව එයයි.   

සසප මුල සිටම පෙන්වා දී ඇති පරිදි ම උතුරේ දෙමල ජන අරගලය මැඩ පවත්වා කොලඹ ආන්ඩුවේ ජයග්‍රහනයකින් යුද්ධය අවසානය වීම දකුනේ කම්කරු පන්තිය මර්දනය සදහා අවකාශය විවෘත කර ගැනීමක් විය. එමෙන් ම දක්ෂිනාංශය ශක්තිමත් වීමකට මෙම යුද්ධ අවසානය හේතු විය. එය සිදු වූයේ දකුනු ප්‍රදේශවල පැන නැගිය හැකි මහජන කැරැල්ලකට විරුද්ධව පූර්වභංග ප්‍රහාරයක් පාලක පන්තිය විසින් දියත් කල වාතාවරනය තුල ය. 2009 අවසානයේ ආරම්භ කල සෙසු ආගම්වලට එරෙහි බෞද්ධ අන්තවාදී ප්‍රහාර, විශේෂයෙන් පාතලය මර්ධනය කිරීමේ මුවාවෙන් නීතියට පිටින් මිනී මැරීමේ රාජ්‍ය ව්‍යාපාරය සියලු මාධ්‍යවල හා මධ්‍යම පන්තියේ බහුතරයකගේ අනුමැතියෙන් නිර්බාධිතව ඉදිරියට යමින් තිබිනි. පක්ෂය දැක් වූයේ කල් පසු වූ, ඇල් මැරුනු ප්‍රතිචාරයකි. 

මෙම පිලිවෙත කොවිඩ් වසංගතය තුල මුස්ලිම් මෘත දේහ බලහත්කාරයෙන් අදාහනය කිරීමට ආන්ඩුව ගත් පියවරට පක්ෂයේ නිහඩ අනුමැතිය හිමි කර දීම දක්වා ඉදිරියට ගියේ ය. තමන්ගේ ම ඉතිහාසය මත පදනම් වී මෙම ප්‍රහාරයන්ට මුහුන දී අරගලය ඉදිරීයට මෙහවීම වෙනුවට වෙහෙස නිවා ගැනීමට එය හැඩ ගැසුනේ ය. මේ අයුරින්, මේ යුද්ධයට එක සතයක්, එක මිනිහෙක්, එක ලේ බිදුවක් නො දෙනු, උතුරින් නැගෙනහිරින් හමුදා ඉවත් කරනු යන ආකාරයෙන් ආරම්භ කර, අප්‍රතිහතව දශක තුනක් තිස්සේ ගෙන ගිය අරගලයේ දී, සිංහල ප්‍රදේශවල තමන් හුදකලා කල සතුරු ආකල්ප මග හැරීම සදහා මදක් අනුගත වීමට පක්ෂය යොමු වූ බව මේ මග හැරීම්වලින් පිලිබිමු වී ඇත.  

නිෂ්පාදනයේ භූගෝලියකරනය විසින් කුපිත කෙරුනු කුඩා රාජ්‍ය කැබලිති වෙන් කර ගැනීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපාරයත්, ජාතික විමුක්ති ව්‍යාපාරත්, වෘත්තීය සමිති ඇතුලු සියලු ජාතික දේශපාලන ව්‍යාපාරත් දකුනට ගමන් කරවනු ලැබීමත් තුල  වෙන්වීමේ නිදහස දක්වා වූ අයිතියක් ලෙස ජාතියක ස්වයං-නීර්නය සදහා වන උද්ඝෝෂනය ප්‍රතිගාමී කාර්යභාරයක් ඉටුකරන්නේ ය යන ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික නිගමනය එම අනුගතවීම යුක්ති යුක්ත කිරීම සදහා පක්ෂ නායකත්වය විසින් යොදා ගන්නා ලදී. ඒ අනුව ස්වයං-නීර්නය කියා ප්‍රශ්නයක් නැත යි ඔවුහු තර්ක කලහ. ස්වයං-නීර්නය ගැන කතා කිරීම පවා හුදෙක් බෙදුම්වාදයක් නියෝජනය කරන්නේ යයි අර්ථකථනය කලහ. 

ජාත්‍යන්තර කමිටුවට අනුව නම්, පැහැදිලි සංක්‍රමනීය ඉල්ලීමක් වන ජාතික පරපීඩනයෙන් නිදහස් වීමට ඇති අයිතිය වශයෙන් ස්වයං-නීර්නය සදහා ඉල්ලීම ලෙනින්ගේ කාලයේ සිට ම වෙනම රාජ්‍ය හැදීම උනන්දු කරවීමක් පිනිස යොදා නො ගත්තේ ය. කම්කරු පන්තිය සමාජවාදී ඉදිරි දර්ශනය සදහා බලමුලු ගැන්වීමේ මූලෝපායට යටත් කල හැකි තාක් දුර අපි එය අත් නො හැර සටන් කර ඇත්තෙමු. වත්මන් අර්බුදය ජාතික කන්ඩායම් කෙරේ පීඩනය උග්‍ර කරන නිසා සවයං-නීර්නය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න වෙනදාටත් වඩා තියුනු ලෙස මතු වී ඇත. එහෙත් එය විසඳිම පදනම් කල යුතු ‘සත්‍යය නම්, “ස්වයං-නිර්නයේ” අත්‍යවශ්‍ය ප්‍රගතිශීලී අන්තර්ගතය – එනම්, ජාතික පරපීඩනය මුලිනුපුටා දැමීම– සාක්ෂාත් කරගත හැක්කේ, ශ්‍රී ලංකා හා ඊලම් සමාජවාදී එක්සත් ජනපදයක් සඳහා සසප වැඩපිළිවෙල හරහා පමනි’ යන්නයි. [The SEP and the fight for the Socialist United States of Sri Lanka and Eelam, ICFI on release of SEP members by LTTE, 1998 දෙසැම්බර් 1]

තව දුරටත් විස්තර කරන්නේ නම්, “ධනේශ්වර සමාජයේ දේශපාලන හා ආර්ථික සංවිධානයේ මූලික ඒකකයක් ලෙස ජාතික රාජ්‍යය පවතින තාක් කල්- ඉතිහාසයෙහි මේ මොහොතෙහි ‘ජාතික ප්‍රශ්නය’ ලෙස හැදින්වීමට ඉතා සුදුසු වන- ජාතික ගුටලුව පවතී. නමුත් මාක්ස්වාදී උපායන් ගලා එන්නේ, ජාතික රාජ‍්‍යයේ ‌ඓතිහාසික හා යල් පිනූ ස්වභාවය පිලිබද විද්‍යාත්මක වටහා ගැනීම කෙරෙනි.” (ඩේවිඩ් නෝත්, රුසියානු විපිලවය සහ නොනිමි විසිවෙනි සියවස, 171 පිටුව) එවන් ප්‍රශ්නයක් නැතැයි කම්කරු පන්ති පක්ෂය එය මග හරින තාක් දුරට අධිරාජ්‍ය ගැති ජාතික බෙදුම්වාදී අවස්ථාවාදය ස්වකීය රාජධානිය ඒ මත ගොඩ නගනවා ඇත.  

සසප ලිපිය එම වග කීමෙන් පලා යයි. එහි කැපී පෙනෙන ලක්ෂනය නම් එය ⁣ඓත්හාසික භෞතිකවාදී විදික්‍රමයට පිටුපෑම ය. ලියුම්කරු තමන්ට රිසි කරුනු පමනක් සමස්ථ සංතතියෙන් වෙන් කර ගනී. එයින් තමන් කැමති නිගමනවලට එලඹෙයි. ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය 1985 භේදයේ පාඩම් අවධාරනය කල බොහෝ අවස්ථාවල දී පෙන්වා දී ඇති පරිදි තත්කාරයවාදය ඉදිරිපස දොරෙන් එලියට දැමූ විට පිටුපස දොරෙන් රිංගා ගනී. විප්ලවවාදීයා මේ ගැන අවධානයෙන් සිටිය යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed