“මනල්” (වැලි) චිත්‍රපටයේ අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම් සමඟ හෝරාවක්

නන්දන නන්නෙත්ති විසිනි.

ලොව ප්‍රමුඛතම සිනමා උලෙල ත්‍රිත්වයෙන් එකක් ලෙස සැලකෙන නෙදර්ලන්තයේ 52වන රොටඩෑම් අන්තර් ජාතික සිනමා උලෙලේ “ටයිගර් තරගකාරී අංශය” නියෝජනය කරමින්, මෙතෙක් මේ උලෙල සදහා ඉදිරිපත් කල කිසිදු ශ්‍රී ලාංකික චිත්‍රපටයකට ලබා ගැනීමට නො හැකි වූ එහි වැදගත්ම සම්මානයක් වන ටයිගර් ජූරි සම්මානයට හිමිකම් කී සහ, 2023 වසරේ තවත් අන්තර් ජතික සිනමා උලෙල 10කට ඉදිරිපත් කර සම්මාන තුනක් ද, දෙරන ලක්ස් සිනමා උලෙලේ “හෙට දිනයේ සිනමා කෘතිය” සම්මානය ද හිමි කර ගත් “මනල්” (වැලි) නොවැම්බර් 3දා සිට ශ්‍රී ලංකාවේ තෝරාගත් සිනමාහල් කිහිපයක පමනක් සීමා සහිත වාර ගනනක් ප්‍රදර්ශනය කෙරුනි. සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ  විසාකේස චන්ද්‍රසේකරම් මෙම සිනමා කෘතිය අධ්‍යක්ෂනය කර තිබේ.

Visakesa
අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්

මනල්, වසර 27ක උතුරු-නැගෙනහිර යුද්ධයේ වධ වේදනාවලින් පසු ජයග්‍රාහී වර්ගවාදී රාජ්‍ය හමුදාවලට කොටු වී, රුදුරු වැලි කතරේ ජීවිතය සඳහා පොර බදන මිනිසුන්ගේ කතාවයි.

සිය මවගේ හුදකලා, එහෙත් අප්‍රතිහත ධෛර්යයෙන්, කල අරගලය නිසා නිදහස ලබන දෙමල සටන්කරුවෙකු වන රුද්‍රන්, සිරගෙයින් පිටතට පා තබන්නේමත්, අතුරුදන් වූ සිය පෙම්වතියගේ ඡායාරූපයක් පැලඳ ගෙන ය. එහි “දුටුවාද?” යන ප්‍රශ්නය සටහන් ව ඇත. ඔහු සිරගතව කරනු ලැබ තිබුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ආන්ඩුවේ ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් ලබා ගන්නා ලද කටඋත්තර සාක්ෂි ලෙස යොදාගෙන ය.

Mun
“මනල්” (වැලි)

නිදහස් වූ දින සිට රුද්‍රන් සිය මන බැඳි අවිහිංසක යුවතිය, වානි සොයා ගැනීමට සියලු වෙහෙස දරයි. ශාස්ත්‍රකාරියක් වන ඔහුගේ මව, සෙල්ලම්මා, සෙසු ගම් වැසියන්ගේ අතුරුදන් වූ ඥාතීන් ගැන ශාස්ත්‍ර කීමෙන් ජීවත් වන නමුත්, සිය පුතුගේ ආදරවන්තිය ගැන කීමට ඇය අපොහොසත් ය. මිනිස්සු සිය ඥාතීන් ඉල්ලා කෝවිල් හා දේවාල තුල පිරෙති. රුද්‍රන් දෙවියන් විශ්වාස නො කරයි. එහෙත් සියලු උත්සාහයක් අසාර්ථක ව අසරන වූ ඔහුට දෙවියන් යදින්නට අවසානයේ සිදු වේ. එල්ටීටීඊ සැකකාරියක් ලෙස සිරගතව සිට නිදහස ලැබූ වානි සිය පවුල සමග ගමට එන්නේ මේ අතරතුර ය. ඒ රුද්‍රන්ගේ ප්‍රේමවන්තියයි. ඇය නිහඩ ය. දුක්බර ය. සිත රුද්‍රන්ට ය. එහෙත් අනාරක්ෂිත ය. නිදහස අහිමි ය. රුද්‍රන් බලා සිටිය දී ඇගේ දෙමාපියෝ වානි ඔස්ට්‍රේලියාවට පටවති.

ද සෝෂලිස්ට් වෙබ් අඩවිය චන්ද්‍රසේකරම් සමග මනල් ඇතුලු ඔහුගේ නිර්මාන කාර්යය සම්බන්ධව සංවාදයක යෙදුනේය. 

විසාකේස චන්ද්‍රසේකරම් (විසා):          

මනල් චිත්‍රපටයෙ මතු පිටින් තියෙන්නෙ පුද්ගලික, මානුෂික ප්‍රශ්නයක්. එක පැත්තකින් යුද්ධයෙන් ජය ගත් ලංකාවේ හමුදාවේ සහ රාජ්‍ය යන්ත්‍රනයෙන් පීඩාවට පත් වීමත්, අනික් අතට එම සමාජය තුලම මිනිසුන් මුහුන දෙන පීඩනයත් යන මේ  දෙක තුල තමයි මිනිසුන් ජීවත් වෙන්නේ.

නන්දන නන්නෙත්ති (නන):   

ඔබ වෘත්තියෙන් නීතිඥවරයෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මේ අතර කලාවට ඔබේ ප්‍රවිශ්ඨය සිදු වුනේ ඇයි? කෙසේ ද? එයින් ඔබ බලාපොරොත්තු වුනේ කුමක් ද? සමාජ දේශපාලන ප්‍රවනතා නියෝජනය කරන ප්‍රවනතාත්මක කලා නිරිමාන සඳහා ඔබේ යොමු වීමට විශේෂිත හේතුවක් තිබේ ද?

විසා::         

සාමාන්‍ය පෙල කලාට පසු මට චිත්‍රපට කිහිපයක ම සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා. මට චිත්‍රපට කලාවට පැවති උනන්දුව යටපත් කරන්න සිදු වුනා, අධ්‍යාපන අවශ්‍යතා හා රැකියාවක් කිරීමට ඇති වුවමනාව නිසා. නමුත් විශ්ව විද්‍යාලය තුල කෙටි නාට්‍ය කලා. ශුද්ධ කලා එනම් භරත නාට්‍ය වගේ දේ පවා මම කර තිබෙනවා. පසුව විශ්ව විද්‍යාලයෙන් පිටවෙන්න ඔන්න මෙන්න වගේ ප්‍රථම දිගු නාට්‍යය “තහනම් අඩවිය” ලියනවා. ඒක එල්ටීටීඊ සංවිධානයේ සිය දිවි නසා ගන්නා බෝම්බකරුවෙකු පිලිබඳ කතාවක්. එහි ඉංග්‍රීසි පිටපතට ග්‍රේෂියන් සම්මානය හිමි වෙනවා. ඉන් වසර 4කට පමන පසු මගේ දෙවන නාට්‍යය “දේවදාසි” නමින් එලි දක්වනවා. ඒක කඳුකරයට ගෙන අවුත් පදිංචි කරවන ලද වතු කම්කරුවන් සම්බන්ධ කතාවක්. මෙය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන් ම නිර්මානය කරනවා. “කටු යහන”  2004 අග දී නිෂ්පාදනය වෙනවා. එය LGBTIQ, එනම් සමකාමී ආදරය, පිලිබඳ කතාවක්. පසුව Tigers Don’t Confess නමින් නවකතාවක් ලියා පල කරනවා. “සයපෙති කුසුම” සිංහල චිත්‍රපටය, “රජ සහ ඝාතකයා” නව කතාව, ඊට පසු පාංශු චිත්‍රපටය. අවසානයට කල මනල් අවුරුදු 14ට පෙර ලියු කතාවකින් කල චිත්‍රපටයක්.

නන:

ඔබේ අවසන් චිත්‍රපට දෙක නම්වලට යොදා ගත්තේ “පාංශු” (පස්) සහ “මනල්” (වැලි) යන සංකල්ප රූපයි. මේ නාමකරනයන් ඒ චිත්‍රපටවල ආකෘතියෙන් හා අන්තර්තයෙන් ගලා අවුත් ඇති බව අපට හොදටම දැනෙනවා.   

Paangshu
“පාංශු” (පස්)

විසා:

“පාංශු” සමූහ මිනී වලක පස්වලට යට කරපු සිද්ධියක්. ඒ සැඟවූ දේ එලියට ගැනීමට සමාජයේ පවතින පසුබෑම, ඒ පිටුපස තියෙන අධ්‍යාත්මික සංකල්ප – පාංශුකූලය වගේ පුරුදුවලින් එන – මේ හැම දේම බල පෑවා. “මනල්” වලදීත් පයට පෑගෙන වැලි දූවිලි කියන අදහස, ඒ තරමටම පුද්ගලයන් සමාජයේ පහත් කොට සලකනවා කියන එක. ඒ වගේම මූදෙ වැලි කනවා කියන එක බඩගින්නට. එලෙස ඉතාම දුෂ්කර ලෙස ජීවිතය නැවත ලබා ගත් ජන කොටසක් ගැන කියවෙන කතාවක්. ඒ වාගෙම මිනිස්සු මේ වැල්ලේ පෙරලෙනවා, වැල්ලෙ චිත්‍ර අදිනවා, නේකාකාර දේවල් සිද්ධ කරනවා. පඨවිමය ද්‍රව්‍ය මේ චිත්‍රපටයේ රූපවලට ගෙන ඒම දේශපාලන අදහසක් ඉස්මතු කිරීම සඳහා හිතා මතා කල දෙයක්. එමෙන්ම, එය අමු දේශපාලනය නො වේ, සෞන්දර්යාත්මක ව්‍යායාමයක්. ඒ එක්කම, යම් කිසි ආකාරයකට පුද්ගලයන්ගේ අධ්‍යාත්මික විශ්වාස – spirituality – ගැන පිටතින් සිට බලන කෙනෙක් ලෙස මම දකින දේ ප්‍රතිනිර්මානය කිරීමක් සඳහා මේ සංකල්ප යොදා ගෙන තියෙනවා.

නන:

මනල් චිත්‍රපටයේ දී, ප්‍රේම වෘත්තාන්තයක් තුලින් යුද්ධයේ සිදු වීම්, විශේෂයෙන් එල්ටීටීඊ අභිලාෂයන් හා සාමාන්‍ය ජනතාවගේ අභිලාෂයන් අතර යම් පරස්පර විරෝධතාවක් සමහර තැන්වලින් ඉස්මතු වෙනවා. පෙම්වතිය සම්බන්ධ පෙම්වතාගේ සිත් කා වදින මතකයන්, විනෝද චාරිකා, ඉතා හුරතල් විදියට හැසිරුනු සෙසු අය මවිතයට පත් කල ඇගේ විශේෂී ගායනා හැකියාව; ඒ වගේ ම හොඳටම දැනෙන දෙයක්, යුද්ධය තුල ඔවුන් ඇද වැටෙන තත්වය. ඇය එල්ටීටීඊ පුහුනු වලදී දී එක ඇහැක් වපර බව පෙන්වා ඒකෙන් ගැලවෙන්න වැඩ කරපු හැටි. මේවා, යුද්ධය තුල ම පැවති පරස්පර විරෝධයන් අපට මුන ගස්වනවා. මේ අත්දැකීම කලාත්මකව ප්‍රතිනිර්මානය කර ගැනීම සිදුකලේ කෙසේ ද?

Munnel
මනල්

විසා:

මගේ වැඩ බොහොමයක් පුද්ගලික අත්දැකීම්වලින් පටන්ගන්න වැඩ. මේ අත්දැකීම් හරිම විස්තරාත්මකයි. හේතුව මට උතුරු නැගෙනහිර සම්බන්ධකම් තිබීම සහ නීති වෘත්තියේ දී ඒ පැතිවල වැඩ කරපු එක. එල්ටීටීඊ සංවිධානය හා ඒ පිරිස් සම්බන්ධයෙන් මට පැවති යම් කිසි ආකාරයේ දැනුම බලපානවා විශ්වාසනීයත්වය ඇති කර ගන්න. ඒ එක්කම මෙය වරද්දා නො ගැනීම සඳහා ඒවා සම්බන්ධයෙන් කරන ශාස්ත්‍රීය මට්ටමේ පර්යේෂනත් වැදගත් වෙනවා. මගේ පීඑච්ඩී තීසිස් එක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බලහත්කාරයෙන් ගන්නා පාපෝච්ඡාරන යොදා ගැනීම. අත්දැකීම සහ පර්යේෂනය කියන දෙකම වඩාත් වැදගත් වෙනවා කතාවක් විශ්වාසනීය විදියට කියන්න. තුන්වෙනුව, චිත්‍රපටකරනයේ දී තවත් කරුනක්, එම සිද්ධීන්ට මුහුන දුන් අය ලංකර ගැනීම. මම හැම වෙලාවෙම උතුරු නැගෙනහිර දැනට ජීවත් වන හෝ කලින් ජීවත් වෙලා අත්දැකීම් ඇති අය සම්බන්ධ කර ගත්තා. කාර්මික ශිල්පීන් පවා එහෙමයි ගත්තේ. විශ්වාශනීය විදියට මේ කතාව කියන්න ඒවා ප්‍රයෝජනවත් වුනා.

මම ප්‍රවනතාත්මක කලාවට යොමු වීමට හේතු කීපයක් තියෙනවා. එකක් මම ජීවත් වන අවධිය. නීති වෘත්තියෙන් ලැබෙන අවස්ථාව, සමාජයේ පවතින යටි පැත්ත වටහා ගන්න. කරපු හැම නිර්මානයක් පිටිපස්සෙම තියෙන්නෙ යටත් විජිතවාදී නීතිමය සම්බන්ධතා පිලිබඳ යම් කිසි ප්‍රශ්න කිරීමක්. මේ හැම නිර්මානයකම සෘජුව හෝ වක්‍රව ඒක තිබුන කියා මට හිතෙනවා.

නන:

පැහැදිලියි. නීතිය සම්බන්ධ ඔබේ අභියෝගය කුමක් ද?

විසා:

අවුරුදු 70ක් වෙනවා යටත් විජිතවාදයෙන් නිදහස ලැබිලා. කාර්මීකරනයත් සමඟ අපට ලැබුනු ධනවාදී ආයතන ව්‍යුහය ඉතා වැදගත්. දෙවනුව එය පවත්වා ගැනීමට අපට දීපු නීති ව්‍යුහය. ඒ නීති අපට ලබා දෙන්නේ අපේ පැවැත්මට නො වේ. ඔවුන්ගේ පැවැත්මටයි. කුමන තත්වයක් යටතේ වුවත් සුජාතභාවයක් නැති ආන්ඩුවක් පවත්වාගෙන යන්න සුජාතභාවයක් නැති නරුම නීති  අපට හඳුන්වා දී තිබෙනවා. නමට ප්‍රජාතන්ත්‍රවාදය තිබිය දී වැඩවසම්වාදයත් මෙහි ඉතිරි කර ගත්තා. වෙනස් ස්වරුපයකින් වැඩවසම් ක්‍රමයත් පවත්වාගෙන යනවා. යටත් විජිත කාලයේ රදල සමාජ ක්‍රමය මුලිනුපුටා දමන්නෙ නැහැ.

නන:

මෙම වෙහෙස කර කලාත්මක නිර්මානාත්මක ශ්‍රමය සමග ගත් කල, ප්‍රේක්ෂකාගාරය ඉතා සීමිතයි. චිත්‍රපටය කර්මාන්තයක් ලෙසයි සලකන්නේ. ඒක ලාභය මත දුවන්නේ. උගත් විනිශ්චය මන්ඩලවල ඉහල ඇගයීම නො තකා මෙම සීමිත භාවය ඇති වුනේ මාර්කටින් දුර්වල වූ නිසා ද?

විසා:

මනල් චිත්‍රපටයට මාකටින් තිබුනෙ නැහැ ම කියන්න බෑ. දෙරන සම්මානය නිසා අපට හම්බවුනා  ලක්ෂ 50ක ටෙලිවිෂන් ප්‍රචාරයක් සුමාන දෙකක්. අපි සෑහෙන තරම් මුදලක් සමාජ මාධ්‍යවලට වියදම් කලා. ඊට අමතරව නොමිලේ හිතවත් මාධ්‍යවේදීන් හරහා ප්‍රචාරයක් ලැබුනා. රුපවාහිනී හා යූ ටියුබ් වැඩ සටහන් 10කට වඩා මම සහභාගි වුනා. මාර්කටින් වැඩ කලේ නෑ. මගේ අදහසක් තියෙනවා, විකුනන්න බැරි බඩු කොච්චර ඇඩ්වටයිස් කරත් වැඩක් නෑ.

ඇත්තටම බැලුවොත් මේක විකුනන්න ඉතාම අපහසු භාන්ඩයක්. ඊට හේතු ගනනාවක් තියෙනවා. ප්‍රධානම එක එය දෙමල චිත්‍රපටයක් වීම. ලංකාවේ හැදෙන දෙමල චිත්‍රපට දෙමල ප්‍රේක්ෂකයෝ බලන්නෙ නැති වීම. ඒ අය ඉන්දියානු මසාල චිත්‍රපට කර්මාන්තය විසින් ග්‍රහනයට ලක් කරගෙන තියෙනවා. ඉතාම සාර්ථක විදියට ඉන්දියාව විසින් කරන සංස්කෘතික අපනයනයක් හැටියට ඒක පවතිනවා. ඒකත් එක්ක හැප්පෙනවා තියා හිතන්නවත් බැහැ. ඒවාට කරන වියදම, ඒවයේ රඟන තරුවලට ඇති වටිනාකම වගේ ඒවත් එක්ක බැලුවම අපට හිතන්නවත් බෑ.

මගේ හොඳට ප්‍රදර්ශන වූ චිත්‍රපටයක් වුනේ සයපෙති කුසුම. එය මිල දී ගත් අයට ලොකු ලාභයක් ලැබුනා, සුලු ගානකට මගෙන් මිල දී ගත්ත නිසා. මූල්‍යමය වසයෙන් මට උදව් කරන්න අය හිටියෙ නැහැ. මගේ රැකියාව සහ පිටරට හිටපු නිසා ගොඩක් කල්, මට පුලුවන් වුනා චිත්‍රපට තුනක් බොහොම ප්‍රවේසමෙන් මුදල් ආයෝජනය කරල නිර්මානය කරන්න.

නන:

මෙය කලාකරුවා මුහුන දෙන බරපතල අර්බුදයක්. ඔබ මෙය දකින්නේ කෙසේ ද?

විසා:

මම මේක  පැති තුනකින් දකිනවා. එකක් නිරන්තරයෙන් හොඳ නිර්මාන බිහි නො වීම. ඉඳහිට එන අතරමැදි නිර්මානයකට මිනිස්සු ගෙන්වන්න බැහැ. එකක් බලල ආයෙ ඊ ලඟට බලන්න චිත්‍රපටයක් නැහැ. පොදුවේ කලාත්මක හා වානිජ කියන ප්‍රශ්නයක් නැහැ. වානිජ චිත්‍රපට කියන ඒවත් මම රස විඳිනවා. ඒවා අදේශපාලනික වුනාම මට ප්‍රශ්නයක් තියෙනවා. වට්ටෝරු චිත්‍රපටත් දේශපාලනිකව කරන්න පුලුවන්. සමහර විට සිනමා උලෙලවලට යන ඒවාට වඩා වැදගත් විදියට දේශපාලන කතාවක් වට්ටෝරු චිත්‍රපට හරහා ගේන්න පුලුවන්.

මට තියන ප්‍රශ්නය, ඒවා පවා වටහා ගැනීමට තරම් රස වින්දනයක් තියනවද කියන එක. ඒකට පාර්ෂව ගනනාවක් වග කිව යුතුයි. නිරන්තරයෙන් හොඳ නිර්මාන නො කරන සිනමාකරුවන් වන අප; රස වින්දනය ගැන හික්මීමක් දැනුමක් ලබා නො දෙන අධ්‍යාපනය; එවන් ජාත්‍යන්තර මට්ටමේ නිර්මාන ධෛර්යමත් කිරීමට කිසියම් රාජ්‍ය යාන්ත්‍රනයක් නො මැති වීම. අඩු තරමින් කිසිම බදු සහනයක්වත් නැහැ. ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව වගේ රටවල කලාත්මක නිර්මාන බිහි වෙන්නෙ ඒවාට යම් සහන ලැබෙන නිසා. ඒවා ලාබ ලබන ව්‍යාපාර නො වේ. ඒ වගේම චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් තීරන ගනු ලබන ආයතන. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ලාබ ලබන්න ඕනෙ. හොඳ කලාත්මක නිර්මාන ද නැද්ද කියන එක ඒවාට ප්‍රශ්නයක් නොවෙයි. ඒ සීමාව ජය ගන්න රජය උදව් කරන්නේ නෑ.

ලංකාවේ දෙමල නිර්මාන පිලිබඳ කතිකාව තුල අධිපතිවාදී එල්ටීටීඊ හිතවාදී හෙජමනියක බලපෑම තියෙනවා. ඒ නිසා දෙමල දේශපාලන සිනමාවේ දී අපට විවෘත මනසකින් කතා කරන්න අමාරුයි. ප්‍රතික්ෂේප වෙනවා. මට පමනක් නොවේ, තවත් දෙමල නිර්මානකරුවන් කිහිප දෙනෙකු මේ තත්වයට මුහුන දුන්නා. ප්‍රජාව පුරුදු වෙලා තියෙන්නේ ප්‍රොපගැන්ඩා ආර්ට්ස්වලට. මේ විදියට පලවෙනි වතාවට ලංකාවේ දෙමල චිත්‍රපටයක් ජාත්‍යන්තර පිලිගැනීමකට ලක් වුනේ. අර බලපෑම නිසා ඩයසපෝරා එක සූදානම් නෑ ඒක මොකක්ද කියලවත් හොයල බලන්න. වෙන එකක් වුනා නම් ඒ ගොල්ලො කැනඩාවෙ, යුරෝපීය නගරවල පෙන්නනවා.

බුද්ධිමය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන්නේ එල්ටීටීඊ මතවාදය කියා මට හිතෙනවා. එල්ටීටීඊය විවේචනය කරන්නා පිටස්තර කිරීම සමාජය තුල දක්නට ලැබෙනවා.

නන:

උතුරු නැගෙනහිර ජනතාවට එල්ටීටීඊයෙන් මෙන් ම එල්ටීටීඊ නො වන දේශපාලඥයන්ගෙන් හරි මේ ආන්ඩුවෙන් හරි වෙච්ච සෙතේ නෑ නේ. මට හිතෙන විදියට කිසියම් කන්ඩායමක් මතු වෙනවා මේ උතුරු නැගෙනහිර ජනතාව මුහුන දෙන දැරිය නො හැකි පීඩනයට පිලිතුරු නැති සංවිධානවලට විරුද්ධව. ඒ තත්වය ඇතුලෙ පැරනි එල්ටීටීඊ වගේ ඒවා ගැන ඔවුනගෙන් යම් කොටසක් යොමු වෙලා ඇති.

විසා:

ඔව්, සැබෑ ප්‍රගතිශීලී දේශපාලනයක් ඇති කර ගන්න එහි වැසියන් අසමත් වී තියෙනවා. එතන රික්තකයක් තියෙන නිසා එය පුරවනු ලබන්නේ එල්ටීටීඊ සමයේ නාමික සාධාරනත්වයෙන්.

නන:

සම්මාන උලෙලවලින් ජය ගනු ලැබූ විට මෙවැනි ප්‍රතිරෝධයන් ලිහිල් වීමක් සිදු වනු ඇතැයි නිර්මානකරුවන් විශ්වාස කරනවා. නමුත් විසාකේසගේ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ සම්මානයක් දිනාගත් විට ඒවායින් ලැබෙන යම් මූල්‍යමය සහනයට සීමා වන තරමට ම තත්වය නරක් වී තිබෙන බවයි. පවතින සංස්කෘතිය සමස්ථ ධනේශ්වරයේ ම ග්‍රහනයෙන් මුදා ගැනීමෙන් තොරව සමාජ සංස්කෘතික ජයග්‍රහනවල සුව පහස විඳින්නට නො හැකි බව මෙම සාකච්ඡාව අපට පෙන්වා දෙනවා.

මනල් චිත්‍රපටයේ තිර රචක, අධ්‍යක්ෂක හා නිශ්පාදක විසාකේස චන්ද්‍රසේකරන් නිර්මානකරුවාට ‘ද සෝෂලිසට්’ කතෘ මන්ඩලය හා එහි පාඨකයන් වෙනුවෙන් ස්තුතියි.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed