මිලියන 22 ක් ජනතාවගේ කටත් වහන, අතපයත් බදින මර්දන නීති වලට ඉඩ දෙන්න එපා – පුබුදු ජයගොඩ
කටත් වහලා ,අතපයත් බැදලා ,මිලියනක 22 ක ජනතාවක් පාලනය කරන්න හදන බවත් මේවා කරන්නේ ජන බලයත් නැති රාජපක්ෂලා විසින් බව පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ලේකම් පුබුදු ජයගොඩ පවසයි .
ව්‍යවස්ථාවේ හිලක් පාවිච්චි කරලා තක්කඩිකමෙන් ජනාධිපති වුණු රනිල් වික්‍රමසිංහ මිනිස්සුන්ගේ අතපය බැදලා කට වහන්න අරඅදින ගමන් මැතිවරණ තියෙන්නේ නැතැයි කියන බව ජයගොඩ පැවසීය .
රනිල් රාජපක්ෂ පාලනයේ මර්දනකාරී නීති ප්‍රතිසංස්කරණවලට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලයේ අද (22) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදී අධ්‍යාපන ලේකම් ජයගොඩ අදහස් දක්වමින් ඒසේ පැවසීය .
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
මාර්ගගත ක්‍රම සුරක්ෂිත කිරීමේ පනතක් සැප්තැම්බර් 15 වැනිදා ආණ්ඩුවේ ගැසට් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ මගින් ගෙන එන නීතිය ඉතාම භයානකයි. මොකද මේ මගින් සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වන අය, දේශපාලන මත ප්‍රකාශ කරන,දේශපාලන හෝ වෙනත් විශ්වාසයක් වෙනුවෙන් ප්‍රචාරයක් කරන අය සහ පාලකයන්ගෙ කටයුතු විවේචනය කරන, විරෝධය පළකරන ඕනම කෙනෙක් දඬු කඳේ ගැසීමේ අරමුණ ප්‍රකාශයට පත් වෙනවා. අදහස් ප්‍රකාශ කරන අය මර්දනය විතරක් නෙවෙයි සෙසු සමාජය බියගැන්වීමේ අරමුණකුත් මෙහි තිබෙනවා.
මෙහි මුලින්ම 5 වැනි වගන්තියෙන් කියන්නෙ ජනාධිපති පත් කරන කොමිසමක් ගැන කියනවා. ජනාධිපතිට පුලුවන් කැමති වෙලාවක පත් කරන කොමිෂන් සාමාජිකයකු ඉවත් කරන්න. මේ පස් දෙනාගෙන් දෙන්නෙකුට සමාජ මාධ්‍ය සම්බන්ධ තීරණය කරන්නත් බලයක් තියෙන විධියට තමයි මේ පනත සකස් කරන්නෙ. වෙබ් අඩවි ගැන, සමාජ මාධ්‍ය ගැන, ඒවගෙ අදහස් පළ කිරීම ගැන තීන්දු ගන්න දෙන්නෙකුට පුලුවන් විධියට මේ නීති හදන්නෙ.
පනත අවසානයේ මේ කෙටුම්පත තුළ කියැවෙන යම් සිදුවීමක් කියන එක ගැන අර්ථකථනයක් දෙනවා. ඒකෙන් කියන්නෙ, අන්තර්ජාල පරිශීලකයනක් විසින් දකිනු ලබන, අසනු ලබන, හෝ අන්‍යාකාරයෙන් අවබෝධ කරගනු ලබන දෙයක් ලෙස අර්ථකථනය කරනවා. ඒ අර්ථකථන අනුව, අසත්‍ය ප්‍රකාශයක් කියලා හඳුන්වන්නෙ වැරදි බව හෝ අසත්‍ය බව හෝ දන්නා වූද නැතහොත් එ් බව විශ්වාස කරන්නා වූද රැවටීම හෝ නොමග යැවීම චේතනාවෙන් සිදුකරන ප්‍රකාශයක්. විවිධ පන්ති අතර එදිරිවාදිකම් ඇති කිරිමේ චේතනාවෙන් කරණ ප්‍රකාශ කියලත් මේකෙ සඳහන් වෙනවා. එහෙම ප්‍රකාශ කරද්දි ‘යම් දෙයක් අසත්‍ය බව දන්නවා’ කියලා කවුද තීරණය කරන්නෙ? දේවල් සත්‍ය බව හෝ අසත්‍ය බව තීරණය කරන්නෙ අර ජනාධිපති පත්කරන කොමිසම. හරි වැරැද්ද, ඇත්ත බොරුව තීරණය කරන්නෙ ජනාධිපතිගෙ කොමිසම. ලක්ෂ 22ක් ජනතාව හරි වැරදැද් තීරණය කරන්නයි, ඇත්ත බොරුව තීරණය කරන්නයි කොමිසමට ඉඩ දීලා, දෙන දේ කාලා, වෙන දෙයක් බලා ගෙන ඉන්නවද? මේ පනත ලියලා තියෙන්නෙ එහෙම.
ඊළඟට වෙනත් පනත්වලදි සීමාවන් තීරණය කරන්නෙ යම් දෙයක් නීති විරෝධී බව ප්‍රකාශ කිරීමෙන්. නමුත් මේ පනතෙ තියෙන්නෙ තහනම්, තහනම් කියලා. තහනම් දේ ගැන අර්ථකථනයක් තියෙනවා. ඒකෙ කියන්නෙ මේ පනත තුළම තහනම් කරන්න ලියලා තියෙන වගන්තිවල අඩංගු කාරණා. ඒ මොනවද?
12 වැනි වගන්තියෙ තියෙන්නෙ ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට තර්ජනයක් වන, වෛරය අවුලුවන ප්‍රකාශ ගැන. දැන් මේවට කොහොමද නෛතික අර්ථකථන සපයන්නෙ? මේව වීවෘතව තියලා සමාජ මාධ්‍ය තුළ පළ කරන අදහස් වාරණයට ලක් කරන අරමුණක් තියෙන්නෙ. මේ ජනාධිපති පත් කරන කොමිසමට අති විශාල බලයක් පවරලා තියෙනවා. සමාජ මාධ්‍ය ගිනුම් පාලනය කරන්න මේ කොමිසමට බලය දීලා. අන්තර්ජාල සේවා සමාගම්වලට බලපෑම් කරමින් අදහස් ප්‍රකාශයන් වාරණය කරන්න මේ කොමිසමේ දෙන්නෙකුට පුලුවන්.
උදාහරණයකට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට පත් වුණේ පාස්කු ප්‍රහාරය ගැන ෆේස්බුක් ලියපු නිසාද නැත්නම් පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැන දේශපාලන අරමුණු වෙනුවෙන් මිනීමරපු කට්ටියද? ඒ වෙනුවෙන් පියවර නොගත් අය නිසාද? දැන් මෑතකදි, ඔත්තු සේවා නිලධාරින්ගෙ ඉඳලා ජනාධිපති දක්වා ප්‍රහාරය ගැන දැනුවත්ව සිටි බව අනාවරණය වුණා. ඒ ගැන කොල්ලො කෙල්ලො සමාජ මාධ්‍ය තුළ ලිව්වම උන් අල්ලලා හිරේ දාලද ජාතික ආරක්ෂාව රකින්න හදන්නෙ?
පහුගිය කාලෙ රජයේ දත්ත පද්ධතියෙ තියෙන ඖෂධ සමාගම් පිළිබඳ දත්ත කුමන්ත්‍රණකාරි ලෙස මකා දැමුවා. ඉතින් දැන් මහජන ආරක්ෂාවට, මහජන සෞඛ්‍ය සේවයට හානි වෙන්නෙ දත්ත මැකුවමද ෆේස්බුක් එකේ ලිව්වමද? මේ වනවිට බාල ඖෂධ සම්බන්ධ තොරතුරු අනාවරණය වෙන්නෙ රෝගීන් අනතුරට පත් වුණාම, සමහර විට මිය ගියාම. ඉතින් බාල ඖෂධ ගෙන්වන එකෙන්ද ජනතාවගේ ආරක්ෂාව බිඳ වැටෙන්නෙ, එහෙම නැත්නම් බාල ඖෂධ ගෙන්වීම නිසා මිනිස්සු මැරෙන බව ෆේස්බුක්වල ප්‍රකාශ කළාමද?
අපි දවස් පතා කඹුර කඹුර බදු ගෙවනවා. නමුත් මහ පරිමාණ ව්‍යාපාරිකයන්, සමාගම්, බදු ගෙවලා නෑ. එතකොට මේකට අයත්ද කෝටි 90,400ක් නොගෙවු බදු තියෙනවා, ඒවා වහාම ගෙවපල්ලා, නැත්නම් ආණ්ඩුව ඒවා අයකර ගත යුතුයි, කිව්වම පන්ති අතර එදිරිවාදිකම් කියලා එහෙම කියන අයද අල්ල ගන්නෙ?
අනෙක් කාරණය මේකෙ වරදක් කියලා තීන්දු කළොත් අවුරුදු 5 සිරදඩුවමක් හා දඩයක් නියම වෙනවා. දෙවන වරට ඒක දෙගුණ වන දණ්ඩනයක් තියෙන්නෙ.
14 වැනි වගන්තිය කියලා තියෙන්නෙ ප්‍රකෝප කිරීමෙන් හෝ ඒ බව දැන දැනම සන්නිවේදනය කිරීම කියලා. දැන් ආණ්ඩුව කරන මොන දේ ගැන කතා කළත් මිනිස්සු කේන්ති ගන්න දේවල් කරන්නෙ. ඒ නිසා මොනවා ගැන විවේචනය කළත් අදහසක් පළ කළත් කැරලි ගැසීමට පොළඹවන දේවල් කියලා ගන්න පුළුවන්. අන්තිමේදි කාටවත් සමාජ මාධය තුළ අදහස් පළ කරන්න කිසි දෙයක් ලියන්න බෑ. අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්න කියන්න බෑ
දැන් රනිල්, රාපක්ෂ කල්ලිය මහබැංකුවෙ නන්දලාල් එක්ක එකතු වෙලා පෞද්ගලික සේවක අරමුදල්වලට හානි කළාට පස්සෙ, බැඳුම්කර මිලදී ගත්ත සමාගම්වලින් සතයක්වත් වැඩිපුර බදු ගහන්නෙ නැතිව සේවකයන් වැඩකරලා උපයපු දෙයින් විශ්‍රාම අරමුදලක් ලෙස තියෙන දේම කපන්න තීරණය කළා. දැන් සමාජ මාධ්‍ය තුළ ඒක කිව්වම කාට හරි කියන්න පුළුවන් පෞද්ගලික කම්කරුවන් කැරලි ගසන්න පෙළඹෙන දෙයක් මේක කියලා. ඉතින් එ්ක ගැන වග කියන්න ඕන ඒ ගැන හෙළි කරන අයද?
දැන් ඒ මදිවට ඒ ප්‍රකෝප කිරීමක් සිදු වුණොත්, ඒ කියන්නෙ මේකෙ ‘අ’ වගන්තිය යටතේ කියනවා, කැරලි ගැසීමක් සිදු වුහොත් අවුරුදු 5ක් සිරදඬුවම් නියම වෙනවා. ‘ආ’ වගන්තියට අනුව, කැරලි ගැසීමක් සිදු නොවුණොත් අවුරුදු 3ක් හිරේ දාන්න පුළුවන්. මොකක්ද මේ නීතිය? ප්‍රකාශයක් කළාම කැළඹීමක් ඇති වුනොත් අවුරුදු 5කට හිරේ දාන්නයි, කැලඹීමක් නැත්නම් අවුරුදු 3ක් හිරේ දාන්නයි, මොන නීථියක්ද මේක? මේවා විහිලු. විහිලු කිව්වට භයානක විහිලු.
16 වන වගන්තියේ තියෙන විධියට වෙනත් තැනැත්තන්ගෙ ආගමික හැඟීමකට රිදවීමේ චේතනාවෙන් යමකත් කීම ගැන කියනවා. මේ සිත් රිදවීම කොහොමද ගණනය කරන්නෙ? කොහොමද අර්ථ කථනය කරන්නෙ? ඕනම කෙනෙකුට කියන්න පුලුවන් මෙහෙම තිව්වම මගෙ හිත රිදුණා කියලා. කවුරු හරි කිව්වොත් දෙයියො කියලා කෙනෙක් නෑ කිව්වම දෙවියන් විශ්වාස කරන අයගෙ හිත රිදෙනවා. ඒක නිසා ප්‍රකාශය කළ පුද්ගලයා හිරේ දාන්න කවුද තීරණය කරන්නෙ? ගැලිලියෝලා කොපර්නිකස්ලා දැන් හිටිය නං හිරේ දාන්න වෙනවා. මේ පුනරුද යුගයටත් කලින් අඳුරු යුගයට අයිති නීතියක්.
17 වගන්තියේ තියෙනවා, ආගමකට හෝ ආගමික විශ්වාසයකට නින්දාවක් කිරීම ගැන. ආගමකට නින්දාවක් කොහොමද වෙන්නෙ? ආගමික විශ්වාස විචාරය කළොත් ඒක නීතියකට යටත් කරන්නෙ කොහොමද? ඊළඟට මේකෙ ආගමික කටයුත්තකට බාධා ඇතිවන ප්‍රකාශයක් කිරීම කිව්වම මොකක්ද? කේනේශ්වරම් කෝවිලේ බිලි පූජා කළාම ඒක ගැන සත්ව හිංසාවට විරුද්ධ කෙනෙක් ප්‍රකාශයක් කළාම, සමාජ මාධ්‍ය තුළ ලිව්වම ඒක මේ නීතියට යටත් වෙනවද? පෙරහැරේ ගෙන යන අලින් කෘර වධ හිංසාවට ලක්වන නිසා පරිසරවේදීන් ඒ ගැන කරුනු කිව්වම ඒ ප්‍රකාහය නිසා ඔවුන් වැරදිකරුවන් කරන්නද හදන්නෙ? මේ රටේ විවිධ කරුනුවලින් අදහස් දක්වන්න, මතවාද ගැන කතා කරන්න, එහෙම අදහස් දක්වන්න, හෘද සාක්ෂියට අනුව අදහස් දක්වන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අයිතියක් තියෙනවා. කවුරු හරි දෙවියන් කියලා කෙනෙක් නෑ. යක්ෂයන් කියලා කවුරුත් නෑ කියලා කියනවා නම්, දැන් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක වරදක් නෙවෙයි. ඒක කියන්න අයිතිවාසිකමක් තියෙනවා. නමුත් මේ නීතිය අනුව එහෙම කතා කරන්න බෑ.
ඒ වගේම 19 වැනි වගන්තියේ ෆේක් එකවුන්ට් පවත්වා ගෙන යාමට දඬුවම් කරන්න පුළුවන්. දැන් තමන්ගෙ නමින් පෙනී ඉන්න ඕන තමයි. නමුත් එහෙම තමන්ගෙ නමින් පෙනී ඉන්න අයට කරන හිරිහැර බලන්න. නීතියෙන් කරන බලහත්කාරය බලන්න. ඓහම කරන ගමන් කියනවා තමන්ගෙ නමින් ඉන්න කියලා.
20 වගන්තිය කියනවා යම් ප්‍රකාශයක් මගින් යම් තැනැත්තකු ප්‍රකෝප වන බව දැන දැන ඒ තැනැත්තා ප්‍රකෝප කරන කෙනෙකුත් අවුරුදු 5කට හිරගත කරන්න පුලුවන්. මේ මොකක්ද කියන්නෙ? මෙතන ඉන්න මාධ්‍යවේදින් ගොඩක් අය සේවක අරමුදල්වල සාමාජිකයන්. මම කියනවා, බැඳුම්කර මිලදී ගත්ත ව්‍යාපාරිකයන්ට, සමාගම්වලට 28%ක 30%ක පොලී ගෙවනවා. නමුත් සේවක අරමුදල්වලට අවුරුදුද 15ක් යනතුරුම 9%ක් පමණයි ගෙවන්නෙ කියලා කිව්වම, තමන්ගෙ අරමුදලට එහෙම කරන එක ගැන කේන්ති යන එක දැනදැනම ඒ ගැන ප්‍රකාශ කිරීම දැන් වරදක්. දැන් මේ ආණ්ඩුව කරන හැම දේම ජනතාවට කේන්ති යන දේවල්න. මොකුත් කියන්න බෑ. මේ කියන විධියට කිසි දෙයක් කියන්න බෑ.
21 වන වගන්තිය අනුව, හමුදාවෙ නාවිකයකු, සෙබලකු, ගුවන් නැවියකු කැරලි ගහන්න පොළඹවන දේ කියන්න බෑ කියලා. හමුදාවෙ අයට උදේට දුන්න තේ එක වෙනුවට දැන් කහට දෙන්නෙ. පොලිසියේ අයට දෙන කෑම එක බල්ලෙකුට දුන්නොත් ඒක කන්න බෑ. එහෙම කිව්වොත් හමුදාවෙ හා පොලිසියෙ අය කැරලි ගැසීමට පොළඹවන දේවල් හැටියට ගන්නෙ.
ඒ වගේම 22 වගන්තියේ, ඉලක්කගත තැනැත්තා ගැන හෝ ඔහුට අයත් පෞද්ගලික තොරතුරක් හිරිහැරයක් සිදුවන පරිදි හෙළි කිරීම වරදක්ලු. බැඳුම්කර වංචාව සිදු කළ ආසන්නයේ රවි කරුණානයකගෙ නිවසක් ගැන මාධ්‍යවේදින් තොරතුරු හෙළි කළා. ඔහුගෙ බිරිඳගෙ නමින් අලුත් ලිපිනයක නිවසක් තියෙන බවට ප්‍රසිද්ධ වුණා. දැන් රවි කරුණානායකට කියන්න පුලුවන් ඒක නිසා හිරිහැරයක් වුණා කියලා.
විමල් වීරවංශට අදාළව හැඳුනුම්පත් අංක ගැන ප්‍රසිද්ධ වුනේ හැඳුනුම්පත් අංකත් එක්ක. ඒවා කියන එක වළක්වන්න මේ නීතිය ගෙනත් තියෙන්නෙ. දැන් මේ තත්වය අනුව, ෆෙස්බුක් සටහන් නිසා ෆේස්බුක් එකේ ලියන කොල්ලො කෙල්ලන්ට හිරේ යන්නයි වෙන්නෙ. අදහස් දක්වන එක විතරක් නෙවෙයි ප්‍රවෘත්තියක් පළ කරන එකත් මේ අනුව වරදක් වෙනවා.
45 වැනි වගන්තියෙ ‘අ’ කොටසින් කියන විදියට මේ පනත යටතේ වරදක් සිදුකරන හෝ වරදක් කිරීමට තැත් කිරීම වරදක් ලෙස හඳුන්වනවා. වරදක් කළා කියලා තීන්දු කරන්න පුළුවන් වුණත් වරදක් කරන්න තැත් කළා කියලා තීරණය කරන්නෙ කොහොමද? මේකෙ ‘ආ’ කොටසට අනුව, එහෙම වෙන කෙනෙකුට වරදක් කරන්න අනුබල දෙන එක ගැන, ඒ ජාතියෙ දේකට තවත් කෙනෙකු කුමන්ත්‍රණ කිරීම වරදක් ලෙස හඳුන්වනවා. මේ කියන්නෙ ෆේස්බුක් එකේ ලියමු කිව්වොත් ඒක වරදක් කියලද? වට්ස්ඇප්වල තොරතුරක් කියන එක වරදක් කරනවද?
අවසානෙදි කියනවා ප්‍රකාශය යන්න ගැන ප්‍රකාශ කියන්නෙ ‘කෙටි යෙදුමක් හෝ මුල් අකුරක්, වචනයක්, චලනයවන හෝ අන්‍යාකාරවන රූපයක් ශබ්දයක්, සංකේතයක්, වෙනත් රූපයක් හෝ මේවායේ සංකලනයක් අදහස් වේ. අකුරක්, ඡායාරූපයක්, සජීව වීඩියෝ එකක්, හඬ පටයක්, කැමරාව ඉදිරියේ ගොලු භාෂාවෙන් හෝ අභිරූපනයක් කිරීම පවා හිරේ දාන්න යන්නෙ.
අනෙක් පැත්තෙන් මේ වැරදි ගැන තීරණ ගන්න, මේ කොමිසමේ අය කරන කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වා ගෙන යාම නොකළ යුත්තකි. දැන් ජනාධිපති පස්දෙනෙක් පත් කළාම, ඒ අය අපරාධයක් කළත් නඩු පවරන්න බෑ.
ඒ වගේම මේක අනුව, කොමිසම රීති හදනවා, ඇමති නියෝග හදනවා. මේ ඇමතිගෙ නියෝග මොනවද කියලා අපි තවම දන්නෙ නෑ. මේ කියන්නෙ සමාජ මාධ්‍ය හරහා මතයක් ප්‍රකාශ කිරීම, සමාජ මාධ්‍ය හරහා සංවිධානය වීම ගැන මේ අයට බය. ඒ සියල්ල නවත්වන්න හදන්නෙ, අරගලයට තියෙන බය. පහුගිය කාලෙ ජනතා අරගලයක් තිබුණා, මේ අය ඒකට කොච්චර බයද කිව්වොත්, මේ පනත් කෙටුම්පතේ තියෙන්නෙ, ඒ බය නිසාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා නැති විජේදාසයි, රනිල්ට ඕන විදියට වියරුවෙන් වැඩකරන උම්මත්තක ටිරානුයි ගහන ගේම්. ඒ අය බය වුණා කියලා මුලු රටක් බියගන්වන්න බෑ.