ලෙනින් මිය යාමෙන් පසු එළඹෙන ශතකය

ලෙනින් මිය යාමෙන් පසු එළඹෙන ශතකය

ප්‍රියන්ත සිල්වා විසිනි.

‘නිර්ධන පංතියට දිනා ගැනීමට ලෝකයක් ඇත’යන කාල් මාක්ස්ගේ  සඳහන යථාර්ථයක් බවට පත් කළ විප්ලවීය නායක වී.අයි.ලෙනින් අභාවප්‍රාප්ත වී ශත වර්ෂයක් ගත වී ඇත.පීඩාවට ගොදුරු වන ජනතාවගේ දේශපාලනය ජයග්‍රාහී ඉලක්කයක් හැටියට රුසියානු භූමිය මත සාක්ෂාත් කිරීම පමණක් ඔහුගේ දේශපාලනයේ උත්තම අර්ථය නොවේ.එහි ප්‍රශංසනීයත්වය වන්නේ එම කර්තව්‍යය වෙත පිවිසුණු දේශපාලනය නිර්ධන පංතියේ ජාත්‍යන්තර පිබිදීමක් ලෙස හඳුන්වා දීමයි.

සමාජවාදී ප්‍රවේශයක් වෙත රුසියාව ගමන් කරයිද යන ගැඹුරු තර්කය 1800 ගණන් අවසානයේ සිටම රුසියාවේ මෙන්ම විදෙස් දේශපාලනඥයින්ගේ ද අවධානයට යොමු වූවකි.මේ සම්බන්ධයෙන් විවිධ මතවාද රාශියක් ඔවුහු මතු කළහ.නමුත් රුසියාව විප්ලවීය ක්‍රියා දාමයක් වෙත ළඟා වෙමින් තිබෙන බව ලෙනින්ගේ දැඩි අදහස විය.මෙහිදී මෙම ක්‍රියාකාරිත්වය විවිධ මතවාද ගණනාවක් මධ්‍යයේ නිර්ධන පංතියේ දේශපාලන ජයග්‍රහණයක් වෙත ගෙන යාම වෙනුවෙන් ලෙනින් කළ මැදිහත්වීම එම ඓතිහාසික කාර්යයේ සම්පූර්ණත්වයයි.”ලෙනින් පීටර්ස්බර්ගයේ නොසිටියේ නම් මෙම  කාර්යය මේ අන්දමින් සිදුවනු ඇතැයි සිතිය නොහැකිය”යනුවෙන් ට්‍රොට්ස්කි සහෝදරයා කළ ප්‍රකාශය තුලින්ම මෙහි ඇති ගැඹුර මැනවින් ප්‍රකට වේ.

           පසුගාමී ජීවන පසුබිමක සිටි ජනතාවකගේ ශක්තිමත් ගොනුවීම් හරහා ගොඩනැගුණු සෝවියට් සභාවල ක්‍රියාකාරිත්වය ලෙනින් සහෝදරයා මැනවින් ග්‍රහණය කර ගත්තේය.අරගලයේ පෙරමුණු බලවේගය මෙම සභා නියෝජනය කරන බව ඔහු අවධාරණය කළේය.”තාවකාලික ආණ්ඩුව එපා.බලය සෝවියට් සභාවලට” 1917 අප්‍රේල් මස ඔහු ප්‍රකාශ කරන්නේ රුසියානු  පාලනයේ බල හුවමාරුව තියුණු සන්ධිස්ථානයකට පත්ව තිබූ මොහොතකය.

             පරාජිත සිදුවීම් රැසක් කපා දමමින්,ඒ හරහා නිර්ධන පංතියේ බලය ඉදිරියට ගෙන යාමට තරම් ඉවසීමක්,ධෛර්යමත් බවක් ලෙනින් සහෝදරයා සතු විය.මේ වන විට පීටර්ස්බර්ග් නගරයේ කම්කරු හා පීඩිත ජන කොටස් බලය සඳහා පෙරමුණ ගැනීමට සූදානමින් සිටියහ.ලෙනින් විසින් ගෙන ආ ඇතැම් මතවාදයන් දෘෂ්ටිමය සිතුවිලි පමණක් වනු ඇතැයි ලිබරල් හා අරාජිකවාදියෝ සිතූහ.දේශපාලන ක්ෂේත්‍රයේ බලවත් විවේචන මතු විය.නමුත් මතවාදී අරගලයේ කැපී පෙනෙන සාධනීය තත්වයන් ගොඩනැගීමට ලෙනින් සහෝදරයා සමත් විය.මේ අනුව රුසියාවේ සමාජ පරිවර්තනය කිසිසේත්ම ස්වයංසිද්ධ පැන නැගීමක්  නොවන බව අතිශයින්ම පැහැදිලිය.

          ඔහු මතවාද ඉවසා සිටියේය.ඔහු නායකයෙකු වූයේ වෙනත් මතවාද එකහෙළා ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ බලහත්කාරී ලෙස යටපත් කිරීමෙන් නොවේ.ඊට නිසි ප්‍රතිචාර දැක්වීමෙනි.සිය ජීවිතයේ අවසාන භාගයේදී රුසියාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිව තිබූ ගැටුම් දෙස අවධානය යොමු කළ ලෙනින් සහෝදරයා,වඩා සුදුසු අයෙකු බෝල්ෂෙවික් පක්ෂයේ ප්‍රධානත්වයට පත්කර ගන්නා මෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දන්වා සිටියේය.පසු කාලීනව ඇතිවීමට නියමිත බියකරු වාතාවරණයේ සළකුණු මේ වන විටද රටේ දේශපාලන චිත්‍රයේ ඇඳෙමින් තිබුණි.

            මෙම කාල වකවානුවේදී එරට ආර්ථිකයේ පැන නැගුණු අර්බුදකාරිත්වය උඩු දුවමින් එය සමස්ථ සෝවියට් ක්‍රමය හා දේශපාලනය පුරා විහිදෙමින් තිබුණි. එය මෙතෙක් රුසියාවේ නොපැවති නිලධාරිවාදී තන්ත්‍රයක් කරා ඇදගෙන යාමේ අනතුරුදායක තත්ත්වයට හේතු විය.ලෙනින්ගේ මතවාද ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක්ද නොපැවතුණි.බලවත් ලෙස රෝගීව සිටියද මතුවූ මෙම ස්භාවය වැළැක්වීමට අවශ්‍ය උපදෙස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඔහු අවධාරණය කළේය.

           පසු කාලීනව රුසියාව තුලත් සමස්ථ ලෝකයේත් සමාජවාදී දේශපාලනය පිළිබඳ බරපතල විවේචනාත්මක තත්ත්වයන් ගණනාවක් මතු වීමට හේතු වූ කරුණු කාරණා දිග හැරුණි.නමුත් සමාජවාදය යනු පීඩාවට පත් වූ ජනතාවගේ දේශපාලන ජයග්‍රහණයක් මිස විකෘතිමය ස්වරූපයක නිලධාරිවාදී ප්‍රවිෂ්ටයක් නොවන බව පැහැදිලිය.ලෙනින් සහෝදරයාගේ මරණයෙන් තවත් වසර තුනකදී පමණ මෙම ස්වරූපය ක්‍රමයෙන් වර්ධනය වී 1940 ගණන්වලදී තියුණු මුහුණුවරක් ගත්තේය.එම දෘඪතර භූමිකාව ජෝසප් ස්ටාලින් නිර්මාණය කළේය.1989 දී සිදු වූයේ එහි පුපුරා යාමයි. 

            එවක රුසියානු නායක ‘යෙල්ට්සින්’සෝවියට් සමූහාණ්ඩුවෙන් ස්වාධීන වීමෙන්ද, ගොර්බචොෆ් ගේ ‘පෙරෙස්ත්රොයිකා හා ග්ලාස්නොට්’ව්යාප්රුතිවලින්ද මෙය තීව්‍ර ස්වරූපයෙන් මතු කරන ලදි.නව ලිබරල්වාදය සහ නිදහස් වෙළඳ රටාව ලෝකයේ ජයග්‍රාහී ක්‍රම භාවිතය ලෙස ප්‍රචලිත කිරීමට අවශ්‍ය ඉඩ කඩ විවෘත කෙරුණි.රුසියාවේ හා සමාජවාදී රාෂ්ට්‍ර පද්ධතිය ලෙස මෙතෙක් හඳුන්වන ලද රාජ්‍යවල ප්‍රසිද්ධ ස්ථානවලින් ලෙනින් ප්‍රතිමා ඉවත් කරන ලදි.ලෙනින් සහෝදරයා මහත් බලාපොරොත්තු සහගතව ගොඩ නැගූ සෝවියට් සමූහාණ්ඩුව කැබලි වී විසිර ගියේය.

          මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම ජයග්‍රාහී විභවයක් ලෙස ලිබරල්වාදීන් විසින් උද්දාමයෙන් ප්‍රකාශයට පත් කළද ,නැවතත් ඉදිරියට පැමිණ ඇත්තේ පරාජිත ආර්ථික සමාජීය පරිවර්තනයකි යන්න ලෝක දේශපාලනය පුරා දැකගත හැක.ලෙනින් සහෝදරයා සිය ජීවිත කාලයේදී එක හෙලා විරෝධය පාමින් සටන් වැදුනු අධිරාජ්‍යවාදයේ ක්රියාන්විතයන් වර්ථමානයේදී ක්‍රියාවට නැගෙමින් තිබේ.එය විවිධ මුහුණුවරින් ක්‍රියාවට නැගේ.මෙහි ආර්ථිකමය දිගහැරීම දියුණු වෙමින් පවතින රටවල් ලෙස හැඳින්වෙන කලාපයට කඩා වැදී ඇත.එහි බලගතුම කර්තව්‍යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හස්තය යටතේ ඉදිරිපත් වේ.මෙම විහිදීම් පසුගිය දසක දෙකක කාලයේදී ලතින් අමෙරිකාවේ හා මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයන්හි තියුණු මුහුණුවරකින් ක්‍රියාත්මක විය.අද එම රටවල දැකගත හැකි වන්නේ පරාජිත හා අවුල් වියවුල් සහගත ප්‍රකාශනයකි.

          ඉන් නොනැවතුනු මෙම මැදිහත්වීම් ග්‍රීසියේ සිරිසා පාලනය යටතේ බල ගැන්වුණි.ඇති වූ ස්භාවය වන්නේ පසු කාලීනව ඇති වූ ආර්ථික සමාජීය බිඳ වැටීම් ගණනාවකි.ලෝකය 

බෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී ක්‍රියාකාරිත්වයන් සහාසික ස්වරූපයෙන් ක්‍රියාවට නැගෙමින් තිබේ.දියුණුව කරා ළඟා වෙමින් සිටින රාජ්‍යයෝ ජාතික සීමාවන්ට කොටු වෙමින් බෙදී සිටිති.ආසන්න දුබල රාජ්‍යයන් සිය ආධිපත්‍යයට ගැනීමට ප්‍රයත්න කරති.අමෙරිකාව,චීනය,රුසියාව මෙහි ප්‍රමුඛ කාර්ය කොටසක් ඉටු කරයි.ඉන්දියාව සිය බල ආධිපත්‍යය දකුණු ආසියාතික කලාපයේ මුදා හැරීමට උත්සාහ දරමින් සිටී.විවිධ මානයන්ගෙන් ශ්‍රී ලංකාව දෙසට එල්ල වන්නේ එම බලපෑම්ය.

            මේ අතර ලෝක ධනයෙන් විශාල ප්‍රතිශතයක් 3% ක පමණ පිරිසක් අත ගැවසෙමින් තිබේ.මෙම හැසිරීම් රටාව දැවැන්ත ප්‍රාග්ධනයක් සීමිත පුද්ගලයින් පිරිසක් අත කේන්ද්‍රගත වෙමින් සමස්ථ ලෝක දේශපාලනයට බලපෑම් එල්ල කරයි.මේ බිහිසුණු ක්‍රියාකාරිත්වය මත පරිධියේ රටවල් තියුණු සූරා කෑමකට හසුවී සිටිති.  

          මෙම බල ආධිපත්‍යයේ මෙහෙයවීම් යුධමය භාවිතයන් දක්වා වර්ධනය වී තිබේ.මැද පෙරදිග ගාසා තීරයේ ඇති වෙමින් තිබෙන්නේ එහි ඛේදනීය ස්වරූපයයි.ඒ හැරුණු විට ඌන සංවර්ධිත රටවල ජනතාව පීඩකාරිත්වයේ ගොදුරු බවට පත් වී සිටිද්දී ,දියුණු ධනපති රටවල් ලෝක සම්පත්වලින් විශාල ප්‍රමාණයක් විනාශ මුඛයට ඇද දමමින් සිය සංවර්ධන  ඉලක්කයන් කරා ගමන් කරමින් සිටී.අඩු දියුණු යැයි සැලකෙන ලෝකයේ රාජ්‍ය පද්ධතිය බලවත් රටවල සූරාකෑමට හසුවන කොළනියක් බවට පත්ව තිබේ.

            ලෙනින් සහෝදරයාගේ මරණයෙන් ශතකයක් සම්පූර්ණ වන වර්ථමානයේ ඔහු ජීවත්ව සිටි අවදියට වඩා වෙනස්කම් රාශියක් ජගත් ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇත.එසේ වුවද මේ මොහොතේ ලෝක ජනතාවගේ පීඩාකාරිත්වය,අයිතීන් අහෝසි වී යාම හා අනාගත අපේක්ෂා බිඳ වැටීම උච්චස්ථානයකට පත් වී තිබේ.මේ අනුව ලෙනින්ගේ මතවාදයන්,

ක්‍රියාකාරිත්වයන් දෙස වැඩි අවධානයකින් හැරී බැලීමේ අවශ්‍යතාව නැවතත් ඉස්මතු වී තිබෙන අන්දම අතිශයින්ම පැහැදිලිය.අප මේ ගතකරමින් සිටින්නේ එම තීරණාත්මක කාල පරිච්ඡේදයයි.

           

Leave a Reply

Your email address will not be published. Required fields are marked *