සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයටත්, අධිරාජ්‍යවාදයටත් එරෙහි අරගලය – 01

ඩේවිඩ් නෝත් විසිනි.

පහත පලවන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඔක්තෝබර් 24 වන අඟහරුවාදා ඈන් ආබර් හි මිචිගන් සරසවියේ දී පවත්වන ලද දේශනයක සිංහල පරිවර්තනයේ මුල් කොටසයි. සෙසු කොටස් අනුපිලිවෙලින් theSocialist.lk වෙබ් අඩවියෙහි පල කෙරෙනු ඇත. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි.

මෙහි මුල් ඉංග්‍රීසි ලිපිය “Socialist internationalism and the struggle against Zionism and imperialism” යන මැයෙන් යුතුව ඔක්තෝබර් 25 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූයේය. 

අද දින සන්ධ්‍යාවේ පැවැත්වෙන දේශනයේ මාතෘකාව වන්නේ, “ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වන සියවස තුල සමාජවාදය සඳහා අරගලය” යන්නයි. එය පවත්වනු ලබන්නේ, 1923 ඔක්තෝබරයේ ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ සෝවියට් දේශයේ වාම විපාර්ශ්වය පිහිටුවා ගැනීමේ සියවන සංවත්සරය වෙනුවෙන් එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව පැවැත්වෙන අනුස්මරන වැඩ සටහන් මාලාවක කොටසක් ලෙස ය. මෙම සිදුවීම, 20 වන සියවසේ වඩාත්ම සංවිපාකී දේශපාලන අරගලයේ – එනම්, ස්ටැලින්වාදී තන්ත්‍රය යටතේ කොමියුනිස්ට් පක්ෂයේ හා සෝවියට් රාජ්‍යයේ සිදු වූ නිලධරවාදී පරිහානියට සහ 1917 ඔක්තෝබර් විප්ලවය පදනම් වූ ජාත්‍යන්තර වැඩ පිලිවෙල හා මූලධර්ම පාවාදීමට එරෙහිව ට්‍රොට්ස්කි නායකත්වය දුන් අරගලයේ – ආරම්භය සනිටුහන් කලේය. 

මෙය වඩාත්ම සංවිපාකී අරගලය ලෙස මා සඳහන් කරන විට, එය මේ අයුරින් දැක්වීමට මට අවසර දෙන්න. ඉදින් එකී සටනේ අවසානය වෙනස් එකක් වී නම් – එනම්, එය ට්‍රොට්ස්කිවාදී පාර්ශ්වයේ ජයග්‍රහනයෙන් හා ස්ටැලින්වාදයේ පරාජයෙන් කෙලවර වී නම් – විසිවන සියවස යනු ලෝක සමාජවාදී විප්ලවයේ විජයග්‍රහනය තහවුරු වූ සියවස බවට පත් වනු ඇත. 1990 ගනන්වල අග භාගයේ මා කල දේශනයක දී, ස්ටැලින්වාදයට විකල්පයක් නොවූ බවටත්, රුසියානු විප්ලවය එහි ආරම්භයේ සිට ම මරනයට කැප වී තිබූ බවටත් කියා සිටි අදහසකට මම පිලිතුරු දුන්නෙමි. මේ අදහස වූ කලී, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයේ අවුරුදු 60 ක් ගත කර තිබූ ප්‍රකට බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වන එරික් හොබ්ස්බෞම් විසින් සිදු කෙරුනු තක්සේරුවයි. ස්ටැලින්වාදයට විකල්පයක් පැවතීමේ ඉඩකඩ ප්‍රතික්ෂේප කිරීමට ඔහුට තමාගේ ම දේශපාලන හා බුද්ධිමය උත්සුකයන් පැවතින. එය, ඔහුගේම දේශපාලනය සාධාරනීකරනය කිරීමේ මාවතක් විය. 

එහෙත් ඒ සැබෑ තතු නොවේ. 1920 ගනන් හා 1930 ගනන්වල සිදු කෙරුනු සටන්වලට නිමිති වූ කරුනු පසුගිය සියවසේ ගමන් මඟ කෙරේ බලගතු බලපෑමක් ඇති කල අතර, එබැවින්, ඒවා අද දිනයේ අප ජීවත් වන තතු මත ප්‍රගාඪ බලපෑමක් ඇති කර තිබේ. සෝවියට් සංගමය තුල ට්‍රොට්ස්කි පරාජයට පත්වීම හා ස්ටැලින්වාදය ජය ගැනීම ජර්මනියේ පන්ති අරගලයේ ප්‍රතිඵලය කෙරේ අතිශය විනාශකාරී අයුරින් බල පෑවේය. ජර්මනියේ ස්ටැලින්වාදී පක්ෂය විසින් අනුයන ලද පිලිවෙත් පිලිබඳ ට්‍රොට්ස්කිගේ විවේචනය – ෆැසිස්ට්වාදයේ අනතුර පිලිබඳ ඔහුගේ අනතුරු හැඟවීම්, කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කල අන්ත-වාම පිලිවෙත් පිලිබඳ ඔහුගේ විවේචන – මේවා නිරවද්‍ය බව ඔප්පු වී ඇත. හිට්ලර් නැවැත්විය හැකි ව තිබිනි. ට්‍රොට්ස්කි පෙනී සිටියේ ජර්මානු කම්කරු පන්තියේ මහජන පක්ෂ දෙක වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොමියුනිස්ට් පක්ෂවල එක්සත් පෙරමුනක් වෙනුවෙනි. හිට්ලර් පරාජය කිරීම තරම් තීරනාත්මක අන් කිසිවක් නැතැයි ලියූ ඔහු, කම්කරු පන්තිය පරාජය වීම හා හිට්ලර් බලයට ඒම සිතා ගත නොහෙන මට්ටමේ පරිමානයක ලෝක ගෝලීය ව්‍යසනයක් වනු ඇතැයි අනතුරු හැඟවීය. ට්‍රොට්ස්කි අනතුරු හැඟවූ තවත් කරුනක් වුයේ, එකී ව්‍යසනයන්ගෙන් එකක් වනු ඇත්තේ යුරෝපයේ යුදෙව්වන් මූලෝත්පාටනය කිරීම බවයි. 

එකී අනතුරු හැඟවීම් නොතකා හරින ලදී. හිට්ලර් බලයට පැමිනි අතර, එය බිහිසුනු ප්‍රතිවිපාක දැනවීය. එයින් ලද තල්ලුවෙන්, අද දවසේ අප විසින් අත්දකිමින් සිටිනු ලබන දේශපාලන තතු තුල තවමත් ක්‍රියාත්මක ව පවතින සිදුවීම් දාමයක ගමන් ආරම්භය සිදු විය. හිට්ලර්ගේ ජයග්‍රහනය නොවන්නට, ෆැසිස්ට්වාදය ජය නොලබන්නට, සියොන්වාදී මහජන ව්‍යාපාරයක් කිසි දා ඇති නොවනු ඇත; යුදෙව්වන් පලස්තීනය කරා විශාල පරිමානයෙන් සංක්‍රමනය වීමක් කිසි දා සිදු නොවනු ඇත. එනම්, අප දැන් අත්දකින, උත්සන්න වෙමින් පවතින අර්බුදයේ එක් ප්‍රධාන සාධකයක් හුදෙක් ම නොපවතිනු ඇත.

ජර්මානු කම්කරු පන්තියේ ජයග්‍රහනය –ජර්මානු කම්කරු පන්තියේ වැඩි දියුනු ලෙස කාර්මීකරනය වූ දේශයේ කම්කරු පන්තිය බලයට පත්වීම – නිසැකව ම ලෝකය පුරා ම සමාජවාදය වර්ධනය වීමේ ඉදිරි මාවතේ ප්‍රමුඛ මං සලකුනක් විය යුතුව තිබින. 

මේ දේශනයේ මුල් සැලැස්ම වූයේ, වාම විපාර්ශ්වය පිහිටුවීමට මඟ පෑදූ ඓතිහාසික සිදුවීම් හා ප්‍රයුක්තීන් විමර්ශනය කිරීම සහ, වත්මන් ලෝකයේ තතු අවබෝධ කර ගැනීම සඳහාත්, වර්තමාන ලෝකය තුල විප්ලවවාදී සමාජවාදී මූලෝපායයක් වර්ධනය කර ගැනීම සඳහාත් එම ඉතිහාසයේ පාඩම් උකහා ගැනීම තීරනාත්මක වන්නේ මක්නිසාද යන්න පැහැදිලි කිරීමයි. 

එහෙත්, දිග හැරෙමින් පවත්නා සිදුවීම් විසින් අද සන්ධ්‍යාවේ මෙම ඉදිරිපත් කිරීමේ ව්‍යුහය කිසියම් ආකාරයකින් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මතු කෙරී ඇති බව ඔබ සියලු දෙනා වටහා ගනු ඇතැයි මම සිතමි. වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡාවකින් මම පටන් ගන්නෙමි. එතැන් සිට, ස්ටැලින්වාදයට එරෙහි වාම විපාර්ශ්වය විසින් දියත් කරන ලද අරගලයේ හදවත ලෙස පැවැති, මාක්ස්වාදී න්‍යායේ, දේශපාලන ඉදිරි දර්ශනයේ සහ සමාජවාදී ක්‍රියා මාර්ගයේ තීරනාත්මක කරුනු සමඟ එකී වත්මන් තත්ත්වයට පවතින සම්බන්ධය පෙන්නුම් කිරීමට කටයුතු කරමි.

North David
ඩේවිඩ් නෝර්ත් 2023 ඔක්තෝබර් 24 දින මිචිගන් සරසවියේ දේශනය පවත්වමින් (ඡායාරූපය – ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි)

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ පටන් අත්දකින ලද දැවැන්තතම ජාත්‍යන්තර අර්බුදය අපි දැන් අත්දකිමින් සිටින්නෙමු. යුද්ධ දෙකක් – යුක්‍රේනයේ හා ගාසාවේ – බුරා ඇවිලෙමින් පවතී. ඇත්තෙන් ම, ඒවා ශීඝ්‍රයෙන් උත්සන්න වෙමින් පවතින; ඉදින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ බහුජන යුද-විරෝධී ව්‍යාපාරයක් විසින් නවත්වනු නොලැබුවහොත් එහි පරිමානයෙන් හා රුදුරුබවින් 1914-1918 පලමුවැනි ලෝක යුද්ධය හා 1939-1945 දෙවැනි ලෝක යුද්ධය පරයා යනු ඇති; තුන්වැනි ලෝක යුද්ධයක යුද පෙරමුනු දෙකකැයි හඳුන්වා දීම වඩාත් නිවැරැදි ය. අප හමුවන මේ මොහොතේ පවා, එක්සත් ජනපදය මධ්‍යධරනී මුහුදේ ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් පෙරටු කොට ගත් දැවැන්ත මිලිටරි ප්‍රහාරක බලකායක් එකලස් කරමින් සිටී. ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර සටන තීව්‍ර වුවහොත් මැදිහත් වන බවට බයිඩන් පාලනය තර්ජනය කරයි. මෙය, එක්සත් ජනපදය හා ඉරානය අතර යුද්ධයකට පාර කපනු හැකිය.  

පසුගිය සතියේ ඊශ්‍රායලයේ සිට පෙරලා පැමිනීමෙන් පසු කල කතාවේ දී ජනාධිපති බයිඩන් යුක්‍රේනයේ හා ගාසා තීරයේ යුද්ධවල සම්බන්ධය සුවිශේෂී ලෙස ගෙන හැර දැක්වීය. 2023 වර්ෂය සඳහා දැනටමත් වෙන් කර ඇති ඩොලර් ට්‍රිලියනයක් වන මිලිටරි පිරිවැයට අමතරව තවත් ඩොලර් බිලියන 105 ක අමතර ප්‍රතිපාදන ඉල්ලා සිටිමින් ඔහු අවධාරනය කලේ, මෙම යුද්ධ දෙකම එක්සත් ජනපදයේ “ජාතික ආරක්ෂාවට” තීරනාත්මක බවයි. මෙම ‘ජාතික ආරක්ෂාව’ යන හැඳින්වීමෙන් ඔහු අදහස් කරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ දේශපාලන අවශ්‍යතා ය.

එක්සත් ජනපදය සහ එහි නැටෝ අනුචරයෝ යුක්‍රේන බලල් අත භාවිතා කරමින් රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් අවුලුවා පවත්වා ගෙන යති. එහි අරමුන වන්නේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කොට, රට වනසා දමා, එහි ඉතුරු කැබැලිති එක්සත් ජනපද අධීක්ෂනය යටතේ නැටෝ බලවතුන් අතර බෙදා ගැනීම සහ එහි ඉමහත් සම්පත් කොල්ල කෑමයි. 

ඉරානය සමඟ හිස ඔසොවමින් එන ඝට්ටනයෙන් පැහැදිලි වන පරිදි, ගාසාවේ සිර කර සිටින ජනයාට එරෙහිව ඊශ්‍රායලය ආරම්භ කර ඇති ආක්‍රමනය ලෝක ගෝලීය යුද්ධයේ ම දිගුවකි. ජනඝාතක මානයන් අත්පත් කර ගෙන ඇති ගාසාව මත ඊශ්‍රායල ප්‍රහාරයේ අරමුන වන්නේ සියොන්වාදී තන්ත්‍රයට පලස්තීන ජනයාගෙන් එල්ල වන ප්‍රතිරෝධය එහි මූලයෙන් ම උපුටා දැමීමයි. ඊශ්‍රායල ආන්ඩුව හා මිලිටරිය මූලෝත්පාඨනයේ භාෂාව හා විධික්‍රම භාවිතා කරන හෙයින්, මෙම යුද්ධය පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සියොන්වාදී තන්ත්‍රයේ “අවසාන විසඳුම” – (මෙම යෙදුම හිට්ලර් තන්ත්‍රය විසින් සිය යුදෙව් සමූලඝාතන හැඳින්වීමට භාවිතා කරන ලද්දකි – පරිවර්තක) – ලෙස විස්තර කිරීම අතිශයින් ම උචිත ය.

මෙම සමූලඝාතන යුද්ධයට සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී ආන්ඩුවල සහාය හිමි වේ. දැනට සිදු කෙරෙමින් පවතින ගාසා තීරයේ ජනයා අමුඅමුවේ මරා දැමීම මධ්‍යයේ ම අධිරාජ්‍යවාදී නායකයෝ ඊශ්‍රායලය සමඟ සිය සහයෝගීතාවය නිවේදනය කර ඇත්තාහ. ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනැක් සහ ජර්මානු චාන්සලර් ෂොල්ට්ස් අත්‍යවශ්‍ය දේශපාලන චාරිත්‍ර විධියක් බවට දැන් පත් ව ඇති ඊශ්‍රායල වන්දනාවක යෙදී ගත්හ. ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් අද දින (එනම්, මෙම දේශනය පැවැත්වූ ඔක්. 24 දින) එහි ගොඩ බැස ඇත.

මෙම නායකයෝ යුදෙව් ජනයා පිලිබඳ තම ප්‍රගාඪ සහකම්පනය පල කරමින්, ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම යුක්තියුක්ත කිරීම සඳහා නාසීන් විසින් සිදු කෙරුනු සමූලඝාතන සිහියට කැඳවති. ඔවුහු සියල්ලෝ, 1939 හා 1945 අතර කාලයේ යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීමට හා ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීමට සංවිධානය කල, සහයෝගය දුන් හෝ එය නොතකා නො ඇසූ කන් ව සිටි ආන්ඩුවල අනුප්‍රාප්තිකයෝ වෙති. ජර්මානු පාලක පන්තිය රාජ්‍ය බලයේ හා සිය ආර්ථික උත්සුකයන්හි ආරක්ෂාවේ වගකීම ඇඩොල්ෆ් හිට්ලර්ට පවරා තිබූ අවුරුදු ගනන ධනේශ්වර සමාජයේ කුනු වීමේ බිහිසුනු මං සලකුනක් – දශ ලක්ෂ ගනනක් මානවයන් රැස් කර ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා මරා දැමීමේ ක්‍රියාවලිය සඳහා නවීන තාක්ෂනය හා කාර්මික සංවිධානය භාවිතා කිරීම – සනිටුහන් කරයි. ප්‍රංශ පාලක පන්තිය මෙම ක්‍රියාවලිය තුල නාසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් යුදෙව් ජාතික ප්‍රංශ පුරවැසියන්ගෙන් සියයට විසි පහක පමන ප්‍රමානයක් සමූලඝාතනය සඳහා නාසීන්ට භාර දුන්නෝය.

Nazi
අවුෂ්විට්ස්හි සමූලඝාතක කඳවුරට පැමිනෙන හංගේරියානු යුදෙව්වන් [ඡායාරූපය: නිර්නාමික අවුෂ්විට්ස් ඡායාරූප ශිල්පියා]

මහා බ්‍රිතාන්‍යය නාසීන් විසින් අල්ලා ගැනුනේ නැත, ඒ අනුව එහි විසූ, සංඛ්‍යාවෙන් සාපේක්ෂව කුඩා, යුදෙව් ජනගහනයට මූලෝත්පාඨනයේ බියකරු අත්දැකීම්වලට ගොදුරු වීමට සිදු නො වීය. එහෙත් බ්‍රිතාන්‍ය පාලක පන්තියේ පුලුල්ව පැතිර පැවැති යුදෙව් විරෝධය නාසි ග්‍රහනයේ පැවැති යුරෝපයෙන් ගැලවී පලා ආ යුදෙව් සරනගතයන්ට ඔවුන් සැලකූ කෲර ආකාරයෙන් විද්‍යමාන විය.

බ්‍රිතාන්‍යය කරා පලා ආ 20,000 කට අධික ජර්මානු යුදෙව් ජනයා “සතුරු විදේශිකයන්” ලෙස වර්ගීකරනය කර, අයර්ලන්තයට අයත් මුහුදේ මාන් දූපතේ (Isle of Man) පිහිටි යුද සිර කඳවුරුවල රඳවා ගන්නා ලදී. හචින්සන් කඳවුර නම් වූ මෙවැනි එක් කඳවුරක සිරගත ව සිටි 1,200 ක සරනගතයන් අතර ප්‍රමුඛ කලාකරුවන්, සංගීතඥයන් හා බුද්ධිමතුන් ද වූ බැව් කියැවේ. නාසිවාදයෙන් ගැලවී පලා ආ යුදෙව් සරනගතයන් කෙරේ බ්‍රිතාන්‍යයන් අනුගමනය කල පිලිවෙත පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ජනමාධ්‍යවේදී සයිමන් පාකින්ගේ The Island of Extraordinary Captives (අසාමාන්‍ය සිරකරුවන්ගේ දිවයින) නම් කෘතියේ දැක්වේ. තමන් යුදෙව් සරනගතයන්ට සැලකූ සාවද්‍ය ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සමාව යැදීම තිබියේවා, බ්‍රිතාන්‍ය ආන්ඩුව කිසි දා ඒ බැව් පිලිගත්තේ හෝ නැත.

එක්සත් ජනපදය පිලිබඳ කිවහොත්, රූස්වෙල්ට් පාලනය යුදෙව්වන්ගේ ඉරනම පිලිබඳ දැක්වූ නොතැකීම ප්‍රතික්ෂේප කල නොහැකි ලෙස තහවුරු වූ ඓතිහාසික කරුනකි. ඇමරිකාවට ඇතුලුවීමට අවසර නොලැබීම හේතුවෙන්, ගලවා ගත හැකි ව තිබූ යුදෙව්වන් ලක්ෂ ගනනකට නාසි ගෑස් කාමරවල මිය යන්නට සිදු විය. MS St. Louis නෞකාවේ සිටි යුදෙව් සරනගතයන් 900 දෙනෙකුට ඉන් ගොඩ බැසීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට 1939 දී එක්සත් ජනපදය කටයුතු කල අතර ඔවුහු බලහත්කාරයෙන් යුරෝපය කරා හරවා යවන ලදී. ඔවුන්ගෙන් සිය ගනනක් පසුව නාසීන් විසින් මරා දමන ලදී. නාසි ජර්මනිය දිනපතා ම දහස් සංඛ්‍යාත යුදෙව්වන් විෂ ගෑස් යොදා මරා දමන බව ප්‍රසිද්ධ කරුනක් වූ පසුව පවා, යුදෙව්වන් සමූලඝාතන කඳවුරු කරා ප්‍රවාහනය කිරීම කඩාකප්පල් කිරීමට ගත හැකිව තිබූ, අවුෂ්විට්ස් කරා දිවෙන දුම්රිය මාර්ගවලට බෝම්බ දැමීම වැනි, යුදමය ක්‍රියා මාර්ග සලකා බැලීමකින් හෝ තොරව ප්‍රතික්ෂේප කරන ලදී.

ඊශ්‍රායලය නිර්මානය කිරීමෙහි ලා නායක කාර්යභාරයක් ඉටුකිරීමට එක්සත් ජනපදය පෙලඹුනේ හිට්ලර්වාදී ජනඝාතනයෙන් යුදෙව්වන් රැක ගැනීමට එය අසමත්වීම පිලිබඳව කල් පමා වී ඇති වූ පශ්චාත්තාපයක් නිසා ද? 1948 දී ඊශ්‍රායලය නිර්මානය කල අවස්ථාවේ ඊශ්‍රායල රාජ්‍යය පිලිගත් ප්‍රථම රට වූයේ ජනාධිපති හැරී ටෲමන්ගේ පාලනය යටතේ පැවැති එක්සත් ජනපදය බවට බයිඩන් ගිය සතියේ පුරසාරම් කීය. එහෙත් ටෲමන්ගේ තීරනය යුදෙව් ජනයා පිලිබඳ කිසියම් පෞද්ගලික සහානුභූතියකින් අභිප්‍රේරනය වූවක් නොවීය.  

පුලුල් ලෙස ලේඛනගතව ඇති ඔහුගේ යුදෙව්-විරෝධී අභිනිවේශනය තිබිය දී ම, ටෲමන්ගේ පිලිවෙත නිර්නය වූයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකයන්ට වඩාත්ම උචිත දෙය ලෙස ඔහු විසින් සලකා ගැනුනු දේ වලිනි: මුලින් ම, මැද පෙරදිග ප්‍රධාන අධිරාජ්‍යවාදී බලය ලෙස පැවැතුනු බ්‍රිතාන්‍යය එම තත්ත්වයෙන් පහ කර දැමීම සහ, ඉන්පසුව ඊශ්‍රායලය වොෂින්ටනයේ ප්‍රධාන කලාපීය දඩ බල්ලා ලෙස යොදා ගැනීම. සිය 75 වසරක ඉතිහාසයේ මුලුමනින්ම පාහේ එය ඉටු කර ඇත්තේ එකී කාර්ය භාරයයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුව අමතමින් බයිඩන් අසාමාන්‍ය නිර්ව්‍යාජ භාවයකින් යුතුව යලි පවසා ඇත්තේ එයයි: “මම දීර්ඝ කාලයක් මෙය කියා ඇත්තෙමි: ඉදින් ඊශ්‍රායලයක් නොපවතී නම්, අපට එය අලුතින් නිපදවීමට සිදු වනු ඇත.” ඉරානයට එරෙහි යුද මෙහෙයුම්වලට සූදානම් වෙමින් සිටින මෙම අවස්ථාවේ, ඇමරිකානු අධිරාජ්‍යයේ සේවාදායක රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ සේවාවන් එක්සත් ජනපද – නැටෝ අධිරාජ්‍යවාදයට අන් කවරදා හෝ නොවූ විරූ තරමින් වඩාත් තීරනාත්මක වී ඇත.      

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed