LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

අරගලයේ රාමු බිඳින පොටෝ ගන්න තාත්තයි දුවයි

අපේ කාලෙ මෙහෙමයි ඔයාලට මොන සැපද ඒ අතින්
සමහර අම්මල තාත්තල දරුවන්ට එහෙම කතා කියන්නෙ පොළවෙ යථාර්තය දරුවන්ට නොතේරෙන නොහැඟෙන බව කියන්නටය.
හැබැයි යථාර්තයෙන් ඈත් කර ඔවුන් සඟවා තබා ඇත්තේම ඒ අම්මලා තාත්තලාමය.

මේ තත්ත‍්වය අරගලකාරී වාතාවරණයක දී තවත් වෙනස් ය.ඒහි අනතුරෙන් සහ සත්‍යයෙන් දරුවන් සඟවා තබා අරගල කරන්නට මව්පියන් කැමතිය.එහෙත් ඒසේ නොවන සිය දියණියද අරගලයේම හුස්මක් බවට පෙරළාගෙන තමන්ද ඊට සහභාගිවන ආදරණීය පියෙක් ගෝල්ෆේස් ගෝඨාගෝගම දී නිතර හමුවෙයි.ඔහු මෙන්ම දියණියද අරගලයට ආදරය කරන්නෝය.ආදරය ජයග්‍රහණය කරනු පිණිස හදවතින්ම කැපවන්නෝය.


බොහෝ වාම දේශපාලන නායකයන්ගේ දූ පුතුන් දේශාපලනයට පිවිසෙන්නට පෙර ධනේෂ්වර රටවල ඉහළ දැණුමක් උපයාගෙන අවසන්ය.ඒ නායකයෝද,දරුවෝද පීඩිතයාගේ නායකයා වන්නේ ඇසිල්ලකටය.ඉනික්බිති ඔව්හූ පීඩිතයා පීඩාවට පත් කරන සියලු අණපනත්වලට දෑතම ඔසවති.ඒවා සාධාරණය කරන්නට පෙළැඹෙති.ඊට ඒරෙහිව නැඟෙන විරෝධයන් සුනු විසුණු කරන්නට සැළසුම් සකසති.
එහෙත් ඊට වඩා මානවීය ගුණයෙන් සැබෑ මිනිසුන්ගේ පීඩනයට ශක්තිය දෙන්නට සිය දුවට මඟ පෙන්වන්නා රුවන් ගුණරත්නය.ඒ මඟ එන්නී දියණිය මනීශා ගුණරත්නය.


ඔවුන්ගේ කැමරා කාච අස්සේ රැඳෙන්නේ අනාගතයට කියවන්න ඇවැසිම රූප සාහිත්‍යයක්ය.එසේත් නැතිනම් දෘශ්‍යමය කලාවක්ය.ඒවා කවි වැනිය.තවත් විටෙක ඒවා නාටක බඳුය.පෙණුමට රසවත් වුවත් ඒවා විස සහිත බිම් අස්සේ ඇස්වලින් කඳුළු පෙරමින් ඒකතු කර ගන්නට ගුණරත්න පියා සහ දුව සමත් වී ඇත.හදව; වැලපෙද්දී ඒ කඳුළුවල බර ලෝකයට දැනෙන්නට දරාගෙන ඔවුන්ගේ කැමරාවෙන් පිටවෙන ක්ලික් හඩ මහා ඉතිහාසයක්ය.

ඒ හඬවල් සටන් පාඨයකටත් වඩා බර වෙන අනාගතයක් අපට හමු විය හැකිය.බොහෝ ජීවිත ගණනක හුස්ම ගන්න ශබ්ද විතරක් නොවේ,හුස්ම රැකගන්න ප්‍රාන වායුවත්,මහා දැවන්ත චෝදනාගාරයක මානව හිතෛශීත්වය නිවැරදි විමේ සාක්ෂියක් වීමත් මතු දවසකට අතිශයින් වැදගත්ය.ඒ ක්ලික් හඩේ ඇති ආදරයේ වර්ගපලය මැනිය නොහැකි එකක් වන්නේ එබැවින්ය.
අරගලබිමට පාත් වන කඳුළු ගෑස් ඔවුන්ට රසය.ඇස්වලට කොච්චර විෂ වුණත් ඔව්හූ ආපසු නොහැරෙති.කඳුළු පිරුණු ඇස් දියෙන් සෝදා ගනිමින් සියඇස කැමරා ඇසට තැබීම නොනවත්වති.අරගලයට එරෙහි අමානුෂික පහරදීම් මෙන්ම ආදරණීය මානව සබැඳීයාවන්,පරිත්‍යාගශීලී මැදිහත්වීම් කැමරා කාචයේ ඇලවෙන්නේ ඒ අයුරින්ය.


රළු පොළව මත ඒ රළුකමම ජීවන අධ්‍යයනය කරගත් දියණියක සහ ඊට මඟ පාන පියෙක් යන්න අපූර්ව එකකි.ඉහළ අධ්‍යාපනයක්,ඉහළ වෘත්තියක් දක්වා යන්නට සිය දුවට මඟ පෙන්වීමෙන් නොනැවතී පොළවේ කර්කශ සත්‍යය විඳ එය වෙනස් කිරීමේ අරගලයට කොන්දේසි විරහිතව බැඳෙන්නට දුවගේ කැමරා ඇසට ඉඩ හරින මේ අපූරු තාත්තා මෙන්ම සිය කාර්යාලීය වටපිටාව තුළ විඳින්නට හැකි පහසු ජීවිතය වෙනුවට සමස්ත සමාජීය පීඩනය දිය කර හරින්න වෙර දරන මිනිස්සුන රොත්තකගේ ආදරය විඳින්නට ඒ දුවට ඇති උවමනාවද අපූරුය.


අතිශයින් පෞද්ගලික පරාජයන්ගෙන් සමාජයට එරෙහි මතය පන ගන්වන මිනිසුන් අරගල භුමියේ කොතෙකුත් සිටිය හැකිය.එහෙත් පෞද්ගලිකව ජයග්‍රහණවලින් තෘප්තිමත් නොවී සමාජ ජයග්‍රහණයන්ගේ අපේක්ෂාවම ප්‍රමුඛ කර ගත් අරගලකරුවන්ගේ කතා අතරට රුවන් – මනීෂා පීතෘ – දියණි සබඳතාවය අපූරු නිදසුනක්ය.කැමරාව ඉසිඹුලන මොහොතක වුව රුවන් හෝ මනීෂා ඉසිඹුලන්නේ නැත.අරගලකරුවන්ගේ පොදු අවශ්‍යයතාවයන් කවරේද ඊට දායක විය හැකි ප්‍රයෝගික ක්‍රියාකාරකම් කවරේද යන්න නිරන්තරයෙන් ඔවුන්ගේ අවධානයට හසු වන්නේය.

නුදුරු දිනෙක මේ අරගල භූමියේ චිත්‍රාගාරය පදනම්ව තැනෙන සුවිශේෂි ප්‍රදර්ශන කුටියක අරගලය හසු වූ කැමරා සිත්තම් ප්‍රදර්ශනයේ රුවන්ගේ සහ මනීෂාගේ ඡායාරූප ද ඔබට නිතැතින් හමුවෙනු ඇත.නමුත් ඔබ ඒ ප්‍රදර්ශන කුටියෙන් මෙපිටට විත් මේ අපූරු තාත්තාගෙත් දුවගේත් කැපවීම,ආකල්ප සහ ජිවිතය දැකිය යුතුව ඇත.අරගල කරන්නේ කා වෙනුවෙන් ද ජය ගත යුත්තේ කාගේ පාටද යන්න නොව වෙනස් විය යුත්තේ කුමක්ද යන්න පමණක් ඔවුන්ගේ අදහසය.බෙදෙන තැන් හී පටු බව වෙනුවට බැඳිමේ අවශ්‍යයතාවයන්ගේ පුළුල් තැන් ආදරයෙන් ස්පර්ශ කරන්නට පාර පෙන්නන මේ කැමරා පිටුපස ඇති හෘද ස්පන්දනයේ ආදරය මෙන්ම නොසැලෙන සටන්කාමිත්වය අරගලය තුළින් විද්‍යාමාන කරන ක්ලික් හඩ මිල කළ නොහැකි සමාජ වටිනාකමක් බව දිනෙක සියල්ලෝම කියවා ගනු ඇත.


අරගලය රුදුරු හෝ දේශපාලන කඳවුරක අතකොළුවක් නොවන බව ලෝකයට කියන්නට,එහි සොඳුරු බව මිතුරුකම දැනෙන්නට රුවන්ගේ සහ මනීශාගේ ඇස් නැවතුණු තැන් බොහෝ දුර ගමන් කරනවා ඇත.ඒවා භාහිර සමාජයට අරගලය හුදකලා කරනු පිණිස විවිධ දේශපාලන පක්ෂ විසින් කරන රාමු ගත නිර්වචන බිඳින පොටෝ ය.
රුවන් – මනීෂා තාත්තාටත් දුවටත් ජය!