කොළඹ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ප්‍රතිගාමී උද්ඝෝෂණය

තවත් ඉන්දු-පකිස්තාන යුද්ධයක් එපා! යුදකාමී ප්‍රයත්න පැරදවීමට කම්කරු පන්තියේ ඒකාබද්ධ කාර්මික ශක්තිය මෙහෙයවනු!!
නන්දන නන්නෙත්ති විසිනි
අප්‍රේල් 30 දා, 300කට අධික පිරිසක් කොලඹ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත කරවනු ලැබ සිටියහ. එය සිදු කෙරුනේ, සිදම්බරම් කරුනානිධි නමින් පෙනී සිටි පුද්ගලයෙකුගේ මෙහෙය වීමෙනි. තමන් ‘අපේ පරපුර පක්ෂය‘ නම් සංවිධානයක සභාපති යයි ඔහු කියා සිටියේ ය. පසුගිය අප්‍රේල් 22 දා කාශ්මීරයේ දී ත්‍රස්තවාදී කන්ඩායමක් විසින් සංචාරකයන් 26 දෙනෙක් ඝාතනය කරනු ලැබීම නිමිති කරගෙන උද්ඝෝෂනය දියත් කර තිබිනි.
පකිස්තානු ආන්ඩුව, කාශ්මීරයේ ඝාතනයට සමිබන්ධ ත්‍රස්තවාදීන්ට ආයුධ සම්පාදනය කරමින් සහයෝගය දෙන බවත්, එසේ ත්‍රස්තවාදීන්ට සහාය දෙන්නේ පකිස්තානය පමනක් බවත්, එහි දී කරුනානිධි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කලේ ය. “ඉන්දියාවේ ඇමරිකාවේ පමනක් නොව අපේ රටෙත් මේවැනි දේ සිදු විය හැකි“ යයි ඔහු කීවේ ය. ත්‍රස්තවාදයට දෙන සහයෝගය පකිස්තානය විසින් නතර කල යුතු බවත්, එසේ නො මැති නම් ඔවුන් මෙරටින් පන්නා දැමිය යුතු බවත්, ශ්‍රී ලංකා රජය එසේ නො කලහොත් තමන්ට එසේ කිරීමට සිදු වනු ඇති බවටත් ඔහු අනතුරු ඇගවූයේ ය. ඒ අවස්ථාවේ ඊට සහභාගී කර ගනු ලැබ සිටි පීඩිත මිනිස්සු කුමක් සිදු වන්නේදැයි නො දැන හුදෙක් වික්ෂිප්තව බලා සිටියහ.

“ඒ අහිංසක ජනතාව විරෝධතාවයේ කොටසක් වීමට පෙලඹ වූයේ සහ අනුග්‍රහය දැක්වූයේ කවුරුන්ද යන්න රහසක් නො වේ“ යයි පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෙකු මාධ්‍ය හමුවේ පවසා ඇත. එම ප්‍රකාශය නිවැරදිව සඳහන් කර ඇති පරිදි, “ඔවුන් බොහෝ දෙනෙකු තමන් සිටින්නේ කොතැනක ද, තමන් එතැන සිටියේ මන්දැයි පවා දැන සිටියේ නැත.“
කරුනානිධි කියා සිටින්නේ පැන නැගී ඇති ඉන්දු-පකිස්ථාන් අර්බුදයේ දී අප පකිස්ථානයට එරෙහිව ඇමරිකාව හා ඉන්දියාව සමග පෙල ගැසිය යුතු බව ය. මෑතක දී, පලස්තීනය තුල ඊශ්‍රායල් සමූලඝාතනයට විරෝධය පෑ ස්ටිකරයක් ඇලවූ තරුනයෙකු ජනාධිපති දිසානායකගේ අත්සනින් අත් අඩංගුවට ගෙන රඳවා ගත් අතර, එම තන්ත්‍රයට ම මෙම සිද්ධියේ දී අඳ ගොළු බිහිරි වී සිටීමට සිදු වී ඇත. එනම් කරුනානිධිගේ ඊනියා අපේ උරුමය පක්ෂය කිසියම් සුවිශේෂී දේශපාලන බලයක් නියෝජනය කරන්නේ ය. අදාල සිද්ධීන්ට සංවේදී වූ බවට කිසි ලෙසකිනුත් පෙනී නො යන මිනිසුන් සිය ගනනක් කැඳවා ගෙන ඒම සදහා මෙම ඕපපාතික පක්ෂයට සෑහෙන ආර්ථික පිටුබලයක් ද පවතින පැහැදිලි ය.
කරුනානිධි ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහ කලාපයේ පොලිස්කාරයා වන ඉන්දියානු ධනපති පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටී. එක්සත් ජනපදයට සිය පිරිහෙන ලෝක ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා මාරාන්තික සටනක නියැලීමට සිදු වී ඇත. ඒ සඳහා එය සාමයේ දූතයා ලෙස ද පෙනී සිටී. සැබැවින් ම නම් එක්සත් ජනපදය වනාහී යුද්ධයට අධිපති ඒරිස් දෙවියා ය. ඈ රටවල් අතර යුධ ගිනි දල්වන්නී ය; සිය ධනයෙන් තන් තන්හි ත්‍රස්තවාදී සංවිධාන නිර්මානය කරන්නී ය; තන්ත්‍ර මාරු සැලසුම් කොට ඒවා මෙහෙයවන්නී ය; ලෝක වෙලඳපොල තුල චීනයේ බලපෑම සම්බන්ධයෙන් වියරුවෙන් පසුවන්නී ය.
ඉන්දියාව කලාපීය වෙලඳපොල තුල චීන අභියෝගයට මුහුන ලා සිටී. එක්සත් ජනපදයේ හා ඉන්දියාවේ පාලක පන්තීන්ට දිනෙන් දින වැඩෙන පකිස්ථානය හා චීනය අතර ආර්ථික හා දේශපාලන සහයෝගීතා උත්සුකයන් ඉවසා දරා සිටීමේ හැකියාවක් නැත. අධිරාජ්‍යවාදයේ ලෝක ආධිපත්‍යය සඳහා දැරෙන ප්‍රයත්නය තුල කලාපයේ හයිකාරයා ලෙස තහවුරු වීමට වැඩ කරන ප්‍රතිගාමී හින්දු ධනපති පන්තිය නෛසර්ගිකව ම තමන්ගේ හිසට උඩින් සිදුවීම් සිදුවීම නො ඉවසයි. 1971 දී බංග්ලාදේශ විමුක්ති අරගලය උච්ඡස්ථානයකට එලඹෙන විට එය ඉන්දු පකිස්ථාන යුද්ධයකට යට කර දැමීමට ඉන්දීය හමුදා මෙහෙයවූ එය, දැන් බංග්ලාදේශය සමඟ නව වෙලඳ යුද්ධයකට අවතීර්න වී ඇත. බංග්ලාදේශයට ඉන්දීය වරාය හා ගුවන් තොටුපල හරහා ප්‍රති-නැව්ගත කිරීමට ලබා දුන් පහසුකම ඉන්දියාව විසින් අත් හිටවනු ලැබ ඇති අතර, බංග්ලාදේශය ද ඊට ප්‍රතිචාර දක්වමින් දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ පදනම මත ඉන්දියාවට කපු නූල් අපනයනය කිරීම නවතා දමා ඇත.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත, ඉන්දීය නිලධාරීහු ප්‍රහාරය දේශසීමා හරහා රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදී කන්ඩායමක ක්‍රියාවක් යයි පකිස්තානයට චෝදනා කලහ. එහෙත් මේ වන තුරුත්, පකිස්ථාන රාජ්‍ය තන්ත්‍රය සහ මෙම ප්‍රහාර අතර සෘජු සම්බන්ධයක් ඉන්දියාව හෝ කිසිදු ස්වාධීන ජාත්‍යන්තර බුද්ධි ආයතනයක් විසින් හවුරු කරනු ලැබ නැත. පකිස්ථානය කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් අනුමත නොකරන බව ප්‍රකාශ කල අතර කාශ්මීරයේ පැහැල්ගම්හි සිදු වූ දේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට තමන් සූදානම් බව ද එය සඳහන් කර ඇත. එසේ වුවත් ඉන්දියාව පකිස්ථානයට අත්‍යවශ්‍ය ජල මූලාශ්‍ර කපා හරින බවට තර්ජනය කරමින් ප්‍රකෝපකාරී වාතාවරනයක් සඳහා වැඩ කරමින් සිටී.
මැයි 2 දා ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාවකට අනුව, තමන් ඉන්දියාව සමඟ සහයෝගයෙන් සිටින බවත්, ස්ව-ආරක්ෂාව සඳහා ඊට ඇති අයිතියට සහාය දක්වන බවත් එක්සත් ජනපදය පැවසූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදී සංවිධානවලට සහාය දීම, පුහුනු කිරීම සහ අරමුදල් සැපයීම පිලිබඳ “ඉතිහාසයක්” පකිස්ථානයට ඇතැයි රාජ්නාත් සිං තව දුරටත් ප්‍රකාශ කර ඇත. එම පුවත්පත මැයි 3දා පල කල වාර්තාවට අනුව, “ත්‍රස්තවාදීන්ට සහාය දක්වන බවට ඔවුන් විසින් චෝදනා කෙරෙන පාකිස්ථානනයට එරෙහිව ගෝලීය ප්‍රහාරයක් දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වෙයි. පකිස්ථානයට ලබා දී ඇති අරමුදල් සහ නය පිලිබඳව නැවත සලකා බලන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු බහුපාර්ශ්වික ආයතනවලින් ඉල්ලා සිටීමට නවදිල්ලිය සූදානම් ය. “පකිස්ථානය බංකොලොත්භාවයෙන් මුදා ගැනීම සදහා මූල්‍ය අරමුදල අනුමත කල ඩොලර් බිලියන 20 හා පාරිසරික ගැටලු නිරාකරනය සදහා ලෝක බැංකුව අනුමත කල බිලියන 1.3 සහ තවත් මූල්‍ය සැපයුම් හිර කිරීම ඉන්දියාවේ ඉලක්කය වී ඇත.”
ශ්‍රී ලංකාවේ ජනාධිපති මාධ්‍ය අංශය ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය. මේ අතර ඉන්දියාව සිය පකිස්ථාන ප්‍රතිමල්ලවයාට එරෙහිව ශ්‍රී ලංකාවේ සහාය ඉල්ලා ඇත. එහෙත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ හා නොබැඳි භූමිකාවක් ඉටු කරනු ඇතැයි පකිස්ථානය අපේක්ෂා කරන බවට වාර්තා වී ඇත. ශ්‍රී ලංකා-පකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්ෂක සංවාදයේ පස්වන වාර්ෂික සාකච්ඡාව අප්‍රේල් 28දා, පකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී ආරම්භ වූයේ මෙම කලබැගෑනි මධ්‍යයේ ය. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල ප්‍රකාශයට අනුව දින තුනක සංවාදය ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ පුලුල් කලාපීය ආරක්ෂක අරමුනු සඳහා දායක වීමට අපේක්ෂිත ය.
නමුත් ශ්‍රී ලංකා ආන්ඩුව මෙවන් ප්‍රතිපදාවක් අනුගමනය කිරීම ඉන්දියානු පාලක පන්තියට ඉවසා සිටිය හැකිය යි සිතනු නො හැකි ය. එයට ශ්‍රී ලංකාව තුල විශේෂ අවශ්‍යතා ඇත. උතුරු නැගෙනහිර කොලඹ ආන්ඩුව සහ විමුක්ති කොටි සංවිධානය අතර යුද්ධයේ දී එය කීපාකාරයකින්ම ඊට සහභාගී වූයේ ය. කොටි සංවිධානයට අවි ආයුධ හා පුහුනුව ලබා දීම ඉන් එකකි. 1987 ජනවාරි 3 දා ඉන්දියාවේ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් කලාපයට බලහත්කාරයෙන් ඇතුලු වී යාපන අර්ධද්වීපයට ධාන්‍ය හා බෙහෙත් හෙලුවේ ය. පසුගිය අප්‍රේල් 5 දා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක ඉන්දීය අගමැති නරසිංහ මෝදි සමග ආරක්ෂක ගිවිසුමකට එලඹුනේ කාශ්මීර ත්‍රස්තවාදී ප්‍රහාරයට සති කිහිපයකට පෙරදී ය. ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන කිසිවකට ශ්‍රී ලංකා භූමිය හෝ ගුවන් කලාපය තුල ඉඩ නො දීම එහි කොන්දේසියකි.

චීනය හා ශ්‍රී ලංකාව අතර ගනුදෙනු සම්බන්ධයෙන් අවස්ථා ගනනක දී නොසතුට පල කර ඇති ඉන්දියාව, එම සම්බන්ධතා සිය ආරක්ෂාවට තර්ජනයක් බව ප්‍රකාශ කර ඇත. පකිස්ථානය චීනය සමග සමීප සහයෝගයෙන් පසුවෙයි. One road one belt න්‍යායට අනුකූලව, ඉන්දියානු දේශ සීමාව ඔස්සේ සිය භූමිය හරහා අරාබි මුහුද දක්වා ගොඩබිම් මාවත තනා ගැනීමට පකිස්ථානය චීනයට ඉඩ සලසා ඇත. කාශ්මීර ප්‍රශ්නය වටා මෙම සියලු සම්බන්ධතා කැලතෙයි. ඉන්දියාවට ආසන්නයේ ම සිටින පකිස්ථානය නැමැති ප්‍රතිමල්ලවයාට එරෙහිව ශ්‍රී ලංකාවේ භූමිය හා අහස යොදා ගැනීමට පසුබට වනු නො හැකි ය.
ඉන්දියාවේ ක්‍රියාත්මක වර්ගවාදී, මුස්ලිම් විරෝධී පක්ෂයක් වන, සිව සේනා නමින් එහි අනුග්‍රහය ලබන සංවිධානයක් දැනටමත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක ය. මෙවන් ව්‍යාපාර ඉන්දියාවේ හින්දු ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට අවකාශ සලසා ගැනීමේ උපකරන ලෙස පවතී. ශ්‍රී ලංකාවේ සිව සේනා සංවිධානය 2016 ඔක්තෝම්බර් 12 දින පිහිටුවන ලද අතර, මෙරටවාසී දෙමළ හා හින්දු අවශ්‍යතා ආරක්ෂා කිරීම එහි අරමුනයයි ප්‍රකාශිත ය. සංවිධානය නිර්මානය කලේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙකු වන මරාවන්පුලම් සච්චිනාදන් ය. මෙම සංවිධානය යාපනය ප්‍රදේශයේ විවෘතව වැඩ කරන අතර වතුකරයේ හුදෙක් ආගමික කටයුතු වැනි අවස්ථාවල දී නිර්නාමිකව ක්‍රියාත්මක වී ඇත. දැන් මෙම සංවිධානය එවන් උත්සවවල දී සිව සේනා ධජය ඔසවයි.
කොලඹ, පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඇමරිකාව, ඉන්දියාව හා ලංකාවට එරෙහි ත්‍රස්තවාදය පරාජය කිරීමේ නාමයෙන් පෙනී සිටි ව්‍යාපාරය මෙම සන්දර්භය තුල පිහිටුවා සලකා බැලීම අවශ්‍ය ය. එසේ සැලකූ කල එය මේ කියන සියලු රටවල කම්කරු පන්තියට එරෙහිව අධිරාජ්‍යවාදී ධනපති පාලකයන් අවුලුවන යුද්ධයේ ඒජන්ත සංවිධානයකට වෙනස් එකක් වීමට ඉඩ නැත. ඉන්දු පකිස්ථාන් යුද්ධය, 1947 දී මේ නිදහස ලබාදීමේ ආවරනය යටතේ, බෙදා පාලනය කිරීමේ මූලෝපාය ක්‍රියාවට නංවමින්, ජීවමාන ජාතීන් දෙපලු කර ලේ ගලන තුවාල නිර්මානය කල අධිරාජ්‍යවාදයේත්, ඔවුන් නිර්මානය කල කොල්ලකාරී ලෝක පර්යායයේත් ඍජු ප්‍රතිඵලයකි. කාශ්මීරය හා බෙංගාලය කපා වෙන් කරමින් ද, ඉන්දියාව හා පකිස්තානය ලෙස ආගම් මත පදනම් වූ ප්‍රතිගාමී රාජ්‍යයන් පිහිටුවමින් ද ඇති කල ඒ තුවාල ඔඩු දුවමින් මේ වනවිට ඉන්දු-පකිස්තාන යුද්ධ ගනනාවක් ද, හින්දු-මුස්ලිම් ගැටුම් අපමන සංඛ්‍යාවක් ද අවුලුවා විශාල ජීවිත විනාශයකට පාර කපා ඇත.
මේ තතු වෙනස් කිරීම සඳහා, මේ විනාශයේ සැලසුම්කරුවන් වන අධිරාජ්‍යවාදයෙන් ද, ඔවුන්ගේ දේශීය ඒජන්තයන් වන හින්දු – මුස්ලිම් ධනපතීන්ගෙන් ද ස්වාධීන වූ ප්‍රයත්නයක් අවශ්‍ය ය. එවැනි ප්‍රයත්නයක් සඳහා නායකත්වය දිය හැකි එකම පන්තිය වන කම්කරු පන්තිය දැන් මේ ජීවිත හා දේපල විනාශයට එරෙහිව, යුද තර්ජන පරාජය කිරීමටත්, කාශ්මීර හා බෙංගාල ජනයාගේ ජාතික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් නැඟී සිටිය යුතුය. එමඟින්, මේ රටවල කම්කරු පන්තිය, සිය නායකත්වය යටතේ සෙසු පීඩිතයන්ගේ එකතුවෙන් යුද වදින ධනපති පන්ති තන්ත්‍රයන් පෙරලා දමා, දේශසීමා ඉක්මවා යමින් එක්සත් සමාජවාදී සමූහාන්ඩු සංගමයකට මුල පිරීම, මේ විනාශය වැලැක්වීමේ එකම ශක්‍ය වැඩ පිලිවෙලයි. ඒ සඳහා, පිකට්, රැස්වීම්, පෙලපාලි හා මහා වැඩ වර්ජන මගින් බලමුලු ගැන්වෙමින් තමන් ජීවත්වන රටේ ධනපති පාලනය පෙරලා දැමීමට පියවර ගැනීමට කම්කරු පන්තිය පෙරමුන ගත යුතු ය. වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පක්ෂ සහ කන්ඩායම් මීට විරුද්ධව තම රටේ ධනපතියන්ට යුද්ධයේදී සහයෝගය දීමේ හුරු පුරුදු ක්‍රියාවට මහජනයා පෙලඹවීමට සියලු වැර යොදනු ඇති බව සහතික ය. මෙම ජාතිකවාදී තාප්පය බිඳ හෙලන්නේ නැතිව පීඩිත මහජනයාට නිදහස අත්පත් කර ගනු හැකි නො වේ. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සාමූහික තීන්දු මත පිහිටා අරගලය පෙරට ගෙන යාම සඳහා කම්කරු ගොවි ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලක් නිවහන් ප්‍රදේශයක් තුල ම ගොඩ නැගීමේ අවශ්‍යතාව වටහා ගැනීම අරගලයේ ප්‍රථම පියවර වනු ඇත. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය මූලිකත්වය ගත යුතු වන්නේ මෙම ක්‍රියා මාර්ගය උදෙසා ය. එය සමස්ත දකුනු ආසියාවේ ම කම්කරුවන්ට මෙම අභියෝගය සඳහා ආවේශයක් ද මඟ පෙන්වීමක් ද වනු ඇත.