රාජපක්ෂලාට, වික්‍රමසිංහලාට කරන්න බැරි වුණු ජනතාදෝහී වැඩපිළිවෙල ජනාධිපති දිසානායක ක්‍රියාත්මක කරනවා

මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි කියන විශ්වාසයෙන්. මොකද එදා රනිල්ලා රාජපක්ෂලා හොරකම් කරද්දි ඝාතන කරද්දී ජනතාවගේ කරපිට බදු බර අතහරිද්දි විවේචන කළේ, ඒවට එරෙහිව සටන් කලේ ජවිපෙ සහෝදරවරු. හැබැයි බලය ගත්තට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා. මේ පවතින සිස්ටම් එකම ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් යනවා. ආර්ථික අර්බුදයෙන් බැට කාපු මිනිස්සු අළුත් බලාපොරොත්තුවක් එක්ක තමයි පරණ හොරු එළවලා මේ ආණ්ඩුවට බලය දුන්නේ. අපිත් දන්නවා මේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවට කල් දෙන්න ඕන. මේකෙ ඉන්නේ අලුත් අය. ඒ ඉන්නේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු අතරින් ආව නියෝජිතයෝ. ජනාධිපති තඹුත්තේගම කොල්ලෙක්. මේගොල්ලනේ චරිත සහතිකය තවම හොඳයි හොරකම් වංචා ගැන චෝදනා නෑ. ඒ නිසා ආණ්ඩුවට කල් දෙන්න ඕන කියන මතයේ තවමත් පිරිසක් සිටි බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.
අද වෙද්දි කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීම සඳහා ගෙන එන තනි කම්කරු නීතිය , කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කරන සැළසුම් අද වෙද්දි වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුවක් අනුව. එදා මහින්ද රාජපක්ෂට රනිල් වික්‍රමසිංහට කරන්න බැරි වුණු මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ අද වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි කණගාටුවට කරුණ තමයි අද බලයේ ඉන්නේ එදා කම්කරු අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව සටන් කළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක්. හැබැයි ඒ ආණ්ඩුවම අද IMF එක එක්ක එකතුවෙලා. ඒ ආණ්ඩුවම අද මෝදිගේ කරේ අත දාගෙන. එදා ඉන්දියානු විජිතකරණයට එරෙහිව සටන් කළ පක්ෂයේ ජවිපෙ සහෝදරවරු අද මෝදි එක්ක රටේ ස්වාධීනත්වය බරපතළ විදිහට උල්ලංඝණය වෙන ජනතාද්‍රෝහී ගිවිසුම් අත්සන් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය
ඔහු එසේ පැවසුවේ 139 වන ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් කිරුළපන ලලිත් ඇතුළත්මුදලී ක්‍රීඩාංගණය පැවති රැලිය අමතමින්ය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
” මේ 139 වෙනි කම්කරු දිනය වෙලාවේ මට මතක් වෙන්නේ ලංකාවේ කම්කරු ව්‍යාපාරය වෙනුවෙන් සටන් කරලා මියගිය අතීත සහෝදරවරුන්ව. එදා 1987 දී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව මව්බිම සුරැකීමේ ව්‍යාපාරය සංවිධානය කළ මැයි රැළියට බරපතළ ප්‍රහාරයක් එල්ල වුණා. එදා තමයි කිත්සිරිමෙවන් රණවක සහෝදරයට පොලීසිය වෙඩි තිබ්බේ. වෙඩි තිබ්බා විතරක් නෙමෙයි ඔහුව රෝහලකට ගෙනියන්නවත් ඉඩ දුන්නෙ නෑ. එහෙම තමයි ජේ ආර් එදා කම්කරු දින තහනම් කරමින් නවලිබරල් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කලේ. එතනින් පටන් ගත්තම අද වෙනකලුත් කම්කරු සටන් මරදනය කිරීම නැවතිලා නෑ. අදටත් කම්කරු නායකයන් දඩයම් වෙනවා.
. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ මේ ආණ්ඩුව ගන්න තීන්දු තීරණ ජනතාවට පක්ෂපාතී නෑ. පහුගිය කාලේ අයවැය ගෙනාවා එක දශමයක් අපේ බදු අඩු වුණේ නෑ. අධ්‍යාපනයට සෞඛ්‍යයට ප්‍රතිපාදන වැඩි වුණේ නෑ. හැබැයි ධනකුවේරයන්ගේ නොගෙවූ බදුවල දඩපොලී කෝටි 40000ක් විතර කපාහරින්න ආණ්ඩුව අයවැයෙන් යෝජනා කලා. ධනකුවේරයන්ට කෝටි ගණං ලාභ හොයන්න පුලුවන් විදිහේ යෝජනා තමයි අයවැයේ තියෙන්නේ. රාජ්‍ය ආයතන ගණනාවක් වහලා දාන්න සහ පෞද්ගලිකකරණය කරන්න යෝජනා ආණ්ඩුව අරගෙන ඇවිත්. ලංකාවෙ බලශක්ති අයිතිය තෙල් ටැංකිටික වරායවල්, ත්‍රිකුණාමල නගරය ඉන්දියාවට ලියලා දෙන ගිවිසුම් අතසන් කරලා. ඉන්දියාවෙන් බාල බෙහෙත් ගෙන්න ලෙඩ්ඩුන්ට පොවන්න අනුමැතිය දෙන ගිවිසුම් අත්සන් කරලා. අද වෙද්දි මෝදිගේ කරේ අත දාගෙන ලංකාව ඉන්දියවේ 29 වෙනි ප්‍රාන්තය බවට පත් කරන ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
අනුරට උදව් කරන්නේ මෝදි , ජූලි චෙ, ඇමරිකාව, හුලංගමුව, ඩඩ්ලි ඇතුළු ධනකුවේර ණඩය. අනුරට විස්වාසය තියනවා මේ ආණ්ඩුව වැටෙන්න නොදී මේ ධනකුවේර නඩය ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා. ඒක නිසා තමයි ආණ්ඩුව කිසිම පැකිලීමක් නැතුව ජනතාද්‍රෝහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ. ජන්තාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් ධනකුවේරයන්ට ලාභ ලබන්න පුලුවන් ක්‍රමයක් තමයි ආණ්ඩු මේ හදමින් ඉන්නේ.
ඒ නිසා අද වෙද්දි ඉන්නේ පිල් දෙකයි එකක් මේ පාලකයෝ ඇතුළු ධනකුවේර පන්තිය අනිත් පන්තිය තමයි පීඩිත අපේ පන්තිය. දැන් තියෙන්නේ මේ පීඩිත පන්තියට සංවිධානය වීම විතරයි. කම්කරුවන් මර්දනය කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් කටයුතු කරන මේ අශුද්ධ සංධානය පරාජය කරන බලයක් පාර්ලිමේන්තුවෙන් එළියේ අපි ගොඩනගන්න ඕන. ඒ ශක්තිමත් මහජන ව්‍යාපරය සඨන් කරන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව , ඒ මහජන ව්‍යාපාරය සඨන් කරන්න ඕන ඉන්දියානු විජිතකරණයට එරෙහිව. දැන් පරණ හොරු බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව එළවලා නැවත බලයට එන්න.
නමුත් අපි කියනවා නැවත මේ රටේ ආණ්ඩු මාරු කරන්න වෙන්නෙ නෑ. පරණ හොරුන්ට නැවත අවස්ථාව නෑ. දැන් තියෙන්නේ ක්‍රම වෙනසක් සඳහා සටනක්. වැඩකරන ජනතාවගේ අතට බලය මාරු කරගන්න සටනක් තමයි තවදුරටත් තියෙන්නේ. එවැනි සටනකින් විතරයි තවදුරටත් ජනතාවට සැබෑ ජයග්‍රහණයක් ලබා ගන්න පුලුවන් වෙන්නේ.
Youth for Change සංවිධායක ලේකම් ළහිරු වීරසේකර

” එදා චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට රැස් වුණු කම්කරුවන් ඉල්ලුවේ පැය අටක වැඩ මුරයක් කියලා තමයි පොදුවෙ කියන්නෙ. නමුත් ඔවුන් ඇත්තටම ඉල්ලුවෙ තමන්ගෙ වැඩ කාලය පැය අටකට සීමා කරන්න, පැය අටක විවේකයක් සහ වෙනත් සමාජ කටයුතු සඳහා පැය අටක් වශයෙන්. ඒක තමයි ඔවුන්ගේ ඉල්ලීම වුණේ. ඒ වෙනුවෙන් ආරම්භ වුණු කම්කරු සටන් අද වෙද්දී මුළු ලෝකයම වෙලාගෙන ඉවරයි. එදා කාල් මාක්ස් ඒංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශය ලියමින් කියා සිටියා ‘සකල දේශ වාසී නිර්ධනයිනි එක්වව්’ කියලා
අදත් අපිට තියෙන්නේ එකතුවෙලා සටන් කරන උත්තරේ විතරයි.
අදටත් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරන පනත් එනවා. කම්කරු ජනතාව මර්දනය කරන්න පාලකයෝ ආයුධ මුවහත් කරනවා. කම්කරුවන්ව රැකියාවලින් දොට්ට දානවා. කම්කරුවන්ගේ වැටුප් කප්පාදු වෙනවා. මේවාට එරෙහිව කම්කරු ජනතාවගේ බලයක් අවශ්‍යයි. අපි දන්නවා මුළු ලෝකයේම පාලක පන්ති අද එක වේදිකාවකට ඇවිල්ලා සමස්ථ නිර්ධන පන්තියට එරෙහිව අවි අමෝරගෙන ඉන්නේ. ආර්ථික අර්බුදයේ බර ජනතාවගේ පිටින් දාලා උන් අදටත් බිලියන ගනනින් ලාභ හොයනවා.
එදා 71 දී 88 – 89 දී විතරක් නෙමෙයි දශක ගණනක් උතුරේ දකුණේ සඨන් කරන ජනතාව අමු අමුවේ ඝාතනය කරපු අය. දරුවන්ව පවා මන්දපෝෂණයට ඇද වැටෙද්දිත් බිලියන ගණං හොරා කාපු අය අද ඇවිල්ලා කම්කරු දිනය උජාරුවෙන් සමරනවා. කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන අණ පනත්වලට පාර්ලිමේන්තුවේ අත උස්සපු මේගොල්ලන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ කම්කරු දිනය සමරන්න. ධනකුවේරයන්ගේ කරට අත දාගෙන කම්කරු දිනේට විතරක් එනවා කම්කරු අයිතිවාසිකම් ගැන කතාකරන්න. මේ දෙබිඩි පිළිවෙත දැන් ජනතාව තේරුම් ගන්න ඕන.
මාලිමා ආණ්ඩුවත් අද උජාරුවෙන් කම්කරු දිනය සමරනවා. හැබැයි අදටත් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ වැඩපිළිවෙළ. ඒ කොන්දේසි එක්ක තමයි ජනතාවගේ වැටුප් කප්පාදු වෙන්නේ, IMF කොන්දේසි එක්ක තමයි කම්කරු අයිතිවාසිකම් කප්පාදු වෙන්නේ. අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලිකකරණය වෙන්නේ IMF කොන්දේසි එක්ක. ඒ IMF එකත් එක්ක හිට ගන්න ආණ්ඩුව කොහොමද කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ ? පහුගිය කාලේ මහා ලොකු කතන්දර කියලා අයවැයක් සම්මත කළා. මොනවද ඒකෙන් ජනතාවට ලැබුණේ. සාමාන්‍ය ජනතාව මත පටවපු බදු එක දශමයක් අඩු කලේ නෑ. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින්න එක වචනයක් ඇතුළත් වුණේ නෑ. පෞද්ගලික අංශයේ කම්කරුවගේ වතු කම්කරුවගේ වැටුප් වැඩි කරන්න කිසිඳු වගන්තියක් නෑ. හැබැයි අන්න කෝටි ගණනින් ධනපතියන්ට බදු සහන දෙනවා. දුමින්ද හුලංගමුවලා මහින්ද සිරිවර්ධනලා තමයි මේ අයවැය හැදුවේ. මේ අයවැය ජනතාවට පක්ෂපාතී නෑ. අයවැයේ හැම කරුණකම තියෙන්නේ ධනකුවේරයන්ට ලාභ හොයන්න අවශ්‍ය පසුබිම.
පහුගිය අප්‍රේල් 5 ඉන්දියානු අගමැති මෝදි ලංකාවට ආවා. මේගොල්ලෝ කිව්වේ ලෝකේ බලවත් රටක අගමැති ලංකාවට ආව එක ආඩම්බරයක් ලු. ඉන්දියාව කියන්නේ බංගලාදේශයේ විදුලිබල පද්ධතිය හැසිරවීමේ බලය තමන්ගේ අතේ තියාගෙන තර්ජනය කරන රටක්. ඉන්දියාව කියන්නේ පාකිස්තානයට වතුර ටික දෙන්නෙ නෑ කියලා තර්ජනය කරන රටක්. ලෝකේ පුරාම යුද්ධ ඇතිකරමින් බිලියන ගණං ලාභ හොයන රටක් ඉන්දියාව. ඒ රටේ අගමැති එක්ක අපිට තියෙන ගනුදෙනුව මොකක් ද ? වෙන කිසිම දෙයක් නෙමෙයි අපේ රටේ බලශක්ති අයිතිය, ත්‍රිකුණාමලේ නගරය, වරාය, ගුවන්තොටුපළවල් මේවා ඉන්දියානු බලහත්කාරය යොදවලා යටත් කරගන්න තමයි මෝදි ආවේ. ආණ්ඩුව ඒ මෝදි එක්ක ගිවිසුම් හතක් අත්සන් කළා. හැබැයි අදටත් රටේ ජනතාව දන්නෑ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා. හැබැයි ඇමතිවරු ඇවිල්ලා කටමැත දොඩවනවා මාර වාසියක් තියෙන ගිවිසුම් ටිකක් අත්සන් කලාලු. හැබැයි මාර වැඩේ කියන්නේ මේ වාසිදායාක ගිවිසුම් එළියට දාන්න නම් ඉන්දියාවෙ අවසර ඕනලු. ඇයි ලංකාව කියන්නේ ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තයද ?
අපි දන්නවා මේ ගිවිසුම්වල තිබුණා ලංකාව අසල්වැසි රටවල යුද්ධයකදී ඉලක්කයක් විය හැකි ආරක්ෂක ගිවිසුමක්, මේ ගිවිසුම්වල තියනවා ලංකාවට ගෙන්වන ඖෂධවල ගුණාත්මක භාවය පහත දලා ප්‍රමිතියෙන් බාල ඉන්දියානු ඖෂධ ගෙන්වන්න අනුමැතිය හිමිවන ගිවිසුමක්. රටේ බලශක්තිය හැසිරවීමේ බලය ඉන්දියාවට පැවරන යෝජනා මේ ගිවිසුම්වල තියනවා. අන්න ඉන්දියන් සිටි එකක් හදන්න ත්‍රිකුණාමලේ වරායම ඉන්දියාවට විකුණන්න සැලසුම් කරලාතියෙන්නේ. මෝදි එක්ක අත්සන් කලේ මේ ජනතාද්‍රෝහී ගිවිසුම්.
හැබැයි විපක්ෂය මේවා ගැන වචනයක් කියන්නෑ. මොකද අද පොහොට්ටු ටෙලිෆෝන් අලි ඔක්කොම ඉන්නේ නැතිවෙච්ච බලය ආයෙම ගන්නේ උපායක. පරණ පුරුදු හොරකම ආයෙ කරන්න තමයි මේ බලය අල්ලන්න එන්නේ. අද පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයට මේ ආණ්ඩුවේ වැරදි පෙන්නලා දෙන්නවත් කොන්දක් නෑ.
මෙහෙම තත්වයක් ඇතුළේ තමයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළියට IMF මර උගුලට – ඉන්දුයන් විජිතකරණයට එරෙහි එළියේ බලයක් කියන සඨන් පාඨය ගත්තේ. අද වෙද්දි නැවත වටයකින් ඔප්පු වෙලා පාර්ලිමේන්තු ඇතුළේ ජනතාවගේ යහපතට කිසිවක් වෙන්නෙ නෑ. තුනෙන් දෙකක බලයක් දීලා යවපු ආණ්ඩුවත් අද ඩඩ්ලිලා හුලංගමුවලා ඉසරහා දණ ගහලා. ඒගොල්ලො අද යන්නේ IMF – ඉන්දියානු කොන්දේසි එක්ක. ඒ නිසා දැන් තියෙන්නේ මේ ජනතාද්‍රෝහී සන්ධානය පරාජය කරන්න පුලුවන් බලයක් ජනතාව අතරින් හදන එක. එදා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැව්වේ එවැනි බලයකින්. අදත් අපිට උත්තරේ විදිහට තියෙන්නේ එළියේ බලය. අදත් අපේ උත්තරේ තමයි අරගලය. “
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න

” අද 139 වෙනි ජාත්‍යන්තර කම්කරු දිනය. මීට අවුරුදු 139කට කලිනුත් කම්කරුවෝ මහපාරේ සඨන් කලේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. අපි දන්නවා එදත් කම්කරු සටන්පාඨ අතර තිබුණා වැඩකරන කාන්තාවන්ට දිනයක් ඕන කියන ඉල්ලීම. අද වෙද්දි මිලියන 900කට වැඩි කාන්තා ශ්‍රමිකයෝ ලෝකේ ඉන්නවා. අඩු අයිතිවාසිකම් යටතේ අඩු වැටුපට මේගොල්ලෝ සේවය කරන්නේ. ලෝකේ බිලියන 16ක් කාන්තාවෝ නිවෙස්වල ගෘහණියන් විදිහට තමනගේ ශ්‍රමය හෙලනවා. ඒ ලෝක ආර්ථිකයෙන් 40%ක ප්‍රමාණයක්. හැබැයි ඔවුන් ඒ වැඩ කරන්නේ වැටුපට නෙවෙයි. සමහරවිට කාන්තාවෝ රාත්‍රී වැඩ මුර කරන. ඔවුන් බහුතරයක් කිරි දෙන අම්මලා. අද වෙද්දී ඒ දරුවන්ගෙත් ජීවිත අවදානමට වැටිලා.
අදටත් පාලකයන්ට සැලසුමක් නෑ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ගැන. වැටුප් ඉහළ දාන්න දරුවන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය අයිතිය ආරක්ශා කරන්න අදටත් පාලකයන්ට සැලසුමක් නෑ. අද වෙද්දි වැඩ කරන කාන්තාවට කිසිඳු ආරක්ෂවක් නෑ. වැඩ බිමේදී බස් එකේදි පාරෙදි නිවසෙදි හැම තැනම කාන්තාව ලිංගික හිංසනයට ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ කාන්තාවන්ට මනුෂ්‍යන් විදිහට නොසලකන මේ ධනවාදී සමාජය වෙනස් වෙන්න ඕන.
මේ ආණ්ඩුව බලයට එද්දි එක මිටට කාන්තාවෝ එකතුවුණා. නමුත් අදටත් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ආණ්ඩුව කිසිම පියවරක් අරගෙන නෑ. ඒ නිසා තවදුරටත් මේ සිස්ටම් එක විස්වාස කරන්න අපිට පුලුවන් කමක් නෑ. මේ රටේ වැඩ කරන කාන්තාවන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි ජනතා බලයක් වෙනුවෙන් සඨන් කිරීම තමයි අපිට තියෙන එකම විසඳුම. “
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

” අපි 2023 මැයි රැළියට පිවිසුණේ IMF මර උගුලට – ඇමරිකන් – ඉන්දියන් විජිතකරණයට එරෙහි වැඩකරන ජනතා බලයක් කියන සටන්පාඨය අරගෙන. ඒ වෙද්දි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක එකතුවෙලා රටත් ජනතාවත් අනතුරේ හෙළන බරපතළ නවලිබරල් ප්‍රතිසංස්කරණ ආරම්භ කරලා තිබුණේ. ඇමරිකානු ඉන්දියානු ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් තමයි ඒ වෙද්දි පාලකයෝ ක්‍රියාත්මක වෙමින් හිටියේ. එහෙම වෙලාවක අපි ගත්ත සටන් පාඨය අදටත් වලංගුයි. අද වෙද්දි IMF එක වේගයෙන් නවලිබර් වැඩපිළිවෙළ ලංකාවේ ක්‍රියාත්මක කරමින් ඉන්නවා. දැන් මෝදි ලංකාවට ඇවිත් පහුගිය 5 වෙනිදා ලංකාවට ඇවිත් ගිවිසුම් 7ක් අත්සන් කලා. ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද ? අපේ රටේ බලශක්ති අයිතිය ඉන්දියාවට පවරන යෝජනා. ඒ ගිවිසුම්වල තියෙන්නේ ජාත්‍යන්තර යුද්ධයක ලංකාව පැටලෙන යෝජනා. ඉන්දියාව අනුරගෙ බෙල්ලෙන් අල්ලගෙන බලහත්කාරයෙන් මේ ගිවිසුම් අත්සන් කරගත්තේ. මේ අනතුර කලින් දන්න නිසා තමයි අපි වේලාසනින් අවදිවෙලා ඒ වැඩපිළිවෙළ පරාජය කරන සටනක් වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්න පටන් ගත්තේ. අද ඒ ජනතාවගේ බලය අත්‍යාවශ්‍යම මොහොතක්.
මොකද පාර්ලිමේන්තුවේ විපක්ෂය මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ ගැන වචනයක් කතාකරන්නෑ. අද විපක්ෂය දියවෙලා ගිහිල්ලා. ජන බලයක් නෑ. අනුරගෙ බොත්තමයි නුවර වැව වටේ චූ ගඳයි ගැන තමයි විපක්ෂය කතාකරන්නේ. මේ වගේ මොන්ඩිසෝරි විවේචන හැරුණාම විපක්ෂයට ප්‍රතිපත්තියමය විවේචනයක් නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාවගේ බලයක් අවශ්‍යයි කියලා.
දැන් අනුර ඇවිත් තාම කියන්නේ අනේ මාව විස්වාස කරන්න කියලා. එහෙම කියලා තමයි රටට බාල බෙහෙත් ගෙන්නන ගිවිසුමක් ඉන්දියාව එක්ක අත්සන් කලේ. එහෙම කියලා තමයි ලංකාව යුද අවදානමක වැටෙන විදිහේ ගිවිසුමක් අත්සන් කලේ. දැන් ඒ ගිවිසුම් එලියට නොදා පුලුවන් නම් ගන්න කිය කිය ආණ්ඩුව ජනතාවට තර්ජනය කරන්නත් පටන් අරගෙන.
මේ මැයි දිනට සමරන මොහොතේ මේ රටේ ජනතාව ඉන්නේ බරපතළ අනතුරක. දැන් ඇමරිකාව ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුද ලංකාව ගිල ගැනීමේ දැල වියමින් ඉන්නේ. ඒ දැලේ පැටලුනොත් අපිට ගැලවීමක් නෑ. ඒ නිසා මේ නවලිබර් බලහත්කාරය පරාජය කරන කම්කරු ජනතාගේ බලයක් ගොඩනගන එක තමයි අපිට තියෙන එකම විසඳුම. “