අර්බුදයෙන් ගොඩ එන්න ජනවරමක් සහිත ආණ්ඩුවක් අවශ්‍යයි- අනුර කුමාර දිසානායක

කැබිනට් මණ්ඩලය ප්‍රධාන කරගත් ආණ්ඩුක්‍රමයක් අපේ රටට අවශ්‍යය බවත් අමාත්‍ය ධුර සීමා කර, මන්ත්‍රී ධුර මුදලට එහෙට මෙහාට යන එක නවත්වන නව ආණ්ඩුක්‍රමයක් අවශ්‍යය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසියි .

ජ.වි.පෙ නායක දිසානායක එසේ පැවැසුවේ නුගේගොඩ පැවැති ජන රැලියේදීය .

ඔහු වැඩිදුරටත් ‌මෙසේ පැවසීය .

රටක වැදගත්ම සාධකය ආර්ථිකයයි. මේ ආර්ථිකය කියන ප්‍රශ්නය යට යන්න නොදී පවත්වාගෙන යන්න ඕනෑ. ආර්ථික ප්‍රශ්නවලදී බඩු මිල ඉහළ යාම, අලුත් රැකියා උත්පාදනය නොවීම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩා වැටීම, උද්ධමනය ඉහළ යාම වැනි ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබෙනවා. අපි මුහුණ දෙන පළමු ප්‍රශ්නය ආණ්ඩුවට වියදම් සඳහා රුපියල් නැතිවීම. ආණ්ඩුවක ප්‍රධානම ආදායම බදු. ආදායම් බදු ලැබෙන්න ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ප්‍රසාරණයක් සිදුවිය යුතුයි. නමුත් අපේ රටේ එය සිදුවෙන්නේ නැහැ. 2022 වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුළු බදු ආදායම බිලියන 960යි. මෙයින් 75%ක් ලැබෙන්නේ බදු ෆයිල් 530කින් තමයි. එවැනි බදු ලබාගැනීමට සමත්වෙන ආර්ථිකයන් අපේ රටේ වර්ධනය වෙලා නැහැ. අනික් බදු ෆයිල් 25%න් තමයි ඉතිරි බදු ඇදායම් ලැබෙන්නේ. මෙයින් පෙන්වන්නේ අපේ ආර්ථිකයේ වර්ධනයේ ප්‍රමාණය. ආර්ථිකය වර්ධනය නොමැති වීම.

අපි මුහුණ දි ඇති දෙවන ප්‍රශ්නය වන්නේ අපිට ඩොලර් නොමැතිකම. අපේ ආනනයන අපනයන අතර පරතරය බැලුවොත් 2021 වසරේ භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් 20.6ක්. භාණ්ඩ විකුණා අපනයනය කිරීමෙන් ලැබුණා ඩොලර් 12.5ක්. අපේ ආනයනය අපනයනය අතර පරතරය ඩොලර් බිලියන 08.1යි. වසරකට අපි ණය ගෙවන්න තිබෙනවා ඩොලර් බිලියන 6.7ක්. අපිට අපනයනය කිරීමෙන් ලැබෙන ආදායමට වඩා අපට ආනයනය කිරීමට ඩොලර් බිලියන 8.1ක් ඕනෙ. ඩොලර් බිලියන 14.8ක් ඒ කාර්යයන් දෙක සඳහා අවශ්‍යයි. අපි විදෙස්ගත වීම, විදෙස් අධ්‍යාපනයට, විදෙස් සෞඛ්‍ය සේවය ඇතුළු සේවාවන් ලබාගැනීමට, ඒවා අතහැරියත් අපට ඩොලර් බිලිය 15ක් පමණ අවශ්‍ය වෙනවා. 2018 සංචාරක ව්‍යාපාරයෙන් 3.8ක් ලැබුණා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7.3ක් ලැබුණා. අද සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 01ක් සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 03ක් දක්වා අඩුවෙලා තිබෙනවා. වසරකට ඩොලර් බිලියන 10ක පමණ හිඟයක් තිබෙනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරු නොසොයා ආර්ථිකයෙන් ගොඩඒමට නොහැකියි.

ගිය වසරේ මාර්තුවල තෙල්, ගෑස්, ඩීසල් නැතිව ගියා. නමුත් දැන් තිබෙනවා වගේ දැනෙනවා. පසුගිය අප්‍රේල් 12දා මහ බැංකු අධිපති නන්දලාල් මහතා තීරණයක් ගත්තා අපි අරගෙන තිබෙන විදේශීය නොගෙවීමට. මේ මාර්තු වෙන විට අපි විදේශීය ණය බිලියන 6.7ක් නොගෙවා තිබෙනවා. තෙල්, ගෑස්, කිරිපිටි ආනයනය සඳහා ඩොලර් බිලියන 04ක් වැය වෙන්නේ නැහැ. අපිට ණය ටික ගෙවාගන්න විතරක් හැකියාව තිබුණා නම්, ඩොලර් බිලියන 2.7ක් ඉතිරි විය යුතුයි. එහෙම ඉතිරියක් වෙලා නැහැ. ගිය වසරේ මාර්තුවල ණයත් ගෙවමින් තෙල් හිඟයක් පැවතියේ. මේ වෙලාවේ අපි ණය ගෙව්වේ නම් ණය ගෙවා ගන්නත් බැරිවෙනවා. තෙලුත් නැතිවෙනවා.
මේ පෙන්නුම් කරන්නේ මාර්තු මාසයට වඩා ආර්ථිකය ඉතා භයානක තත්වයක පවතින බවයි. මෙයින් ගොඩ ඒම සඳහා ජනවරමක් සහිත ආණ්ඩුවක් අවශ්‍යයි. අර්බුදයක් පවතින වෙලාවකදී අර්බුදය නිර්මාණය කළ මිනිසුන්ට රට ගොඩගන්න බැහැ. ලෝකයේ අර්බුදයට ගිය සෑම රටක්ම ගොඩ අරගෙන තිබෙන්නේ නව ව්‍යාපාරයක්. සමාජයට විශ්වාසය ගොඩනැගෙන්නේ අලුත් ව්‍යාපාරයකින්. ජනතාව අලුත් ව්‍යාපාරයට වසරක් දෙකක් ඉඩ දෙනවා, රට ගොඩනගන්න. පළාත් පාලන මැතිවරණය මගින් ඔවුන්ට පාලනය කිරීමට සුජාතභාවයක් නැති බව පෙන්නුම් කර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තමයි අපේ ඉලක්කය බවට පත්වෙන්නේ. ඒ නිසාම තමයි ඔවුන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට සෑම උත්සාහයක්ම ගනිමින් ඉන්නේ.
මේ තත්වයෙන් ගොඩඑන්නේ කොහොමද? බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවක් පළමුවෙන්ම මේ තත්වය සමනය කර ගැනීම සඳහා තීන්දු තීරණ කිහිපයක් ගත යුතු වෙනවා. මේ තත්වය යම් ප්‍රමාණයකට පාලනය කළ යුතුයි. අපි ගත්ත ණය ගෙවීමේ කාලය පස්සට දමා ගැනීම වැදගත්. ඊළඟට අලුතින් සහනශීලී ණයක් ලබාගැනීම. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මීට පෙර ආ බිලියන 7.3 නැවත ගෙන්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. විශ්වාසවන්ත පාලනයක් හැදුණොත් ඒ මුදල එවයි කියා අපි විශ්වාස කරනවා. 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් බිලියන 2.3ක් ලැබුණා. අපි අවශ්‍ය සාධක නිර්මාණය කරමින් එය නැවත ගොඩනගනවා. ඊළඟ කාර්යය අපි කැමති වුණත් අකමැති වුණත් අපේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කර ගන්න ඕනෑ. අපි රුපියල්වලින් උපයලා වැය කරන්නේ ඩොලර්වලින්. ග්‍රීසියේ ආණ්ඩුව කඩා වැටුණු වෙලාවේ ඒ ආණ්ඩුව තීරණයක් ගත්තා දවසකට ක්‍රෙඩිට් කාඩ් එකෙන් යුරෝ 20කට වඩා වියදම් කළ නොහැකි බවට. ඉතා කුඩා ආහාර වේලකට පමණයි. එතනට යා යුතුම නැහැ. දිගු ආර්ථික සැලසුම් තිබෙන බොහෝ අය මේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් ලෙස දකිනවා. නමුත් මෙය ආර්ථික ප්‍රතිපත්තියේ අර්බුදයක්ම නොවේ; අපේ දේශපාලන සංස්කෘතියේ අර්බුදයක්. ඒක තමයි වැඩිම දායකත්වයක් වෙලා තිබෙන්නේ.

අපි ආර්ථික සැලැස්මක් හදනවා නම් ප්‍රමුඛව තිබෙන්නේ ඕනෑ, තෙල් පිරිපහදුව නවීරණය කරන එකයි. 1969 තමයි අපේ පිරිපහදුව පටන් ගත්තේ. ඒකෙ ධාරිතාව වුණේ මෙට්්‍රක් ටොන් 5500යි. ඒ අවස්ථාවේ ලෝකයේ තිබූ හොඳම තාක්ෂණයෙන්. මේ වන විට අවුරුදු 54ක්. අපිට ඒකට නවීන තාක්ෂණය යොදාගන්න බැරි වුණා. අදත් අපේ නැප්තා හැදෙන ප්‍රමාණය වැඩියි. අපි ධාරිතාව වැඩිකර ගත්තේ නැහැ. අපේ රටේ වෙළඳපොළ අවශ්‍යතාවයෙන් 1/3ක් පමණයි පිරිපහදු කරන්නේ. අපිට පිරිපහදු තෙල් ගේනවාට වඩා බොරතෙල් ගෙනත් පිරිපහදු කිරීමට වැයවන ඩොලර් ප්‍රමාණය අඩුයි. පිරිපහදුව අපේ අංක එකේ සංවර්ධන සැලැස්මක් විය යුතුව තිබුණා. පිරිපහදුවේ දවසකට ගුවන් යානා ඉන්ධන ඩොලර් ලක්ෂ 14ක නිෂ්පාදනය කළ හැකියි. නැව්වලට බංකරින් කළොත් තවත් ඩොලර් උපයා ගැනීමට හැකියාව තිබෙනවා. මේකත් එක්ක අනුගත යුරියා, නයිලෝන් ඇතුළු තවත් කර්මාන්ත තිබුණා. ඒ නිසා අපේ ආර්ථිකයේ උඩින්ම තිබුණේ පිරිපහදුව නවීකරණය කර, ධාරිතාව වැඩි කිරීමයි. ඇස්තමේන්තුවේ තියෙන්නේ ඩොලර් බිලියනයයි. නමුත් අපි ඒ වෙනුවට කළේ ඩොලර් බිලියන 1.3ක් වැය කර හම්බන්තොට වරායක් සෑදීමයි. වරාය ඉදිවෙන්නේ චීන දේශපාලන වුවමනාවන්ට. අපේ ආර්ථික සැලසුම් යටපත් කොට චීන දේශපාලන වුවමනාවන් උඩට ගෙනත් තිබෙන්නේ කොමිස්. පගාව අරගෙන හම්බන්තොට වරාය හදනවා වෙනුවට ඩොලර් බිලියන 1.3 වැය කොට පිරිපහදුව නවීකරණය කළා නම් එය දිගු කාලීන වශයෙන් ආර්ථිකයට විශාල ලාභයක්. අපේ ආර්ථිකයට බලපාන මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි.
අනෙක අපට විධායක ජනාධිපති ක්‍රමය උචිත නොවෙන්නක්. අපේ රට අවුරුදු 45ක් පමණ විධායක ජනාධිපති ක්‍රමය තුළ ගමන් කරමින් ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය යටතේ ජනාධිපතිවරයාට අසීමිත බලයක් හිමිවෙනවා. මේ අසීමිත බලයක් සහිත පුටුවේ වාඩිවීමට තරම් අපේ රටේ නායකයා මනසින් දියුණු පුද්ගලයෙක් නොවේ. ජනාධිපතිවරයාට දඬුවම් හිමි වූ වන්ට සමාව දීමේ බලය හිමිවී තිබෙනවා. මමත් විශ්වාස කරනවා එවැනි බලයක් තිබිය යුතුයි කියා. වෝල්ටෙයාර් වරක් ප්‍රකාශ කළා, “වරදකරුවෙක් එළියේ ඉන්නවාට වඩා නිවැරදිකරුවෙක් ඇතුලේ ඉන්න එක අපරාධයක්” කියලා. අධිකරණයේ නඩුවක් විභාගයට ලක්කරන්නේ ඒ අවස්ථාවේ තිබෙන සාක්ෂි මත පදනම්ව. නමුත් පසුව අලුත් සාක්ෂි මතුවෙනවා. ඒ වෙනවිට එයාට අවස්ථාවක් නැතිව යනවා. අන්න එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට විනිසුරු මඬුල්ලෙන් වාර්තාවක් කැඳවලා, නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක් කැඳවලා කෙනෙක් නිදහස් කරන්න බලයක් තිබීම සුදුසුයි. නමුත් එය භාවිතා වෙන ආකාරයේ නුසුදුසුකමක් තිබෙනවා. මේ විධායකට ඇති බලය හොබවන්න මේ නායකයින් සුදුසු නැහැ. ශිෂ්ට ලෝකය යන්නේ තනි අධිකාරී බලයක් සහිතව නොවෙයි. ශිෂ්ට ලෝකය ගමන් කරන්නේ සාමූහිකව. ඒ නිසා මේ විධායක බලය අහෝසි වෙන නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි.

කැබිනට් මණ්ඩලය ප්‍රධාන කරගත් ආණ්ඩුක්‍රමයක් අපේ රටට අවශ්‍යයි. අමාත්‍ය ධුර සීමා කර, මන්ත්‍රී ධුර මුදලට එහෙට මෙහාට යන එක නවත්වන්න නව ආණ්ඩුක්‍රමයක් අවශ්‍යයි. වංචා, දූෂණ, නාස්තියෙන් තොර ආණ්ඩුකරණයක් අවශ්‍යයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍යයි. මේ කාර්යයන් සඳහා දරන වැය වැඩියි. රාජ්‍ය සේවයට අවශ්‍ය තාක්ෂණය අපි යොදාගෙන නැහැ. දේශපාලන පත්වීම්වලින් ආයතන පිරවීම නැවැත්විය යුතුයි. ඇතැම් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලයට වඩා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩිවී තිබෙනවා. අධ්‍යයන කාර්ය මණ්ඩල දේශපාලනයෙන් පිරවිය නොහැකියි. පිරවිය හැක්කේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයයි. ඒ නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දේශපාලන පත්වීම්වලින් පුරවා තිබෙනවා. රාජ්‍ය ආයතන මේ දේශපාලනකරණයෙන් නිදහස් කර ගත යුතුයි. තාක්ෂණයෙන් කාර්යක්ෂම කරන්න ඕනෑ.
ඒ වගේම ලෝකයේ පිළිගැනීමට භාජනය වෙන රාජ්‍යයක් අවශ්‍යයි. ලෝකයේ අපිව පිළි නොගන්නා තත්වයට පත්වෙලා. ලොක බැංකුව මෑතක පොහොර ගැනීම සඳහා බිලියන හැටක ණයක් දුන්නා. එසේ දී ප්‍රකාශ කළා අපි ඩොලර් මිලියන 60ක් දෙනවා, හැබැයි හොරකම් කරනවාද බලන්න කට්ටියක් එවන බවට. මේ තමයි අපේ රටට ලෝකය තුළ ඇති පිළිගැනීම.

නීතියේ විධානයේ ආධිපත්‍යය, කාන්තාවන්ගේ රැකවරණය, ළමුන්ගේ රැකවරණය, අනෙක් ජන කොට්ඨාසයන්ගේ අයිතිවාසිකම්, විනිවිදභාවයෙන් සිදුවෙන ගනුදෙනු යන සාධක මේවා ස්ථාපිත කිරීමෙන් තමයි අපේ රට ලෝකයේ පිළිගැනීමට ලක්වෙන රාජ්‍යයක් බවට පත් කළ හැක්කේ. අයි.එම්.එෆ්. එක කිව්වා ණය අරගෙන බංකොලොත් වුණු රටක් තිබෙනවා නම්, එය ශ්‍රී ලංකාව බව. අයි.එම්.එෆ්. එක දීලා තිබෙන කොන්දේසි හය අතර තිබෙන එක ප්‍රධාන කොන්දේසියක් තමයි වංචා, දූෂණ නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන එක. මානව හිමිකම් කොමිසම ආර්ථික අපරාධකරුවන් අල්ලන්න කියන කොන්දේසිය දැම්මා. ඇමෙරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදෙස් සභාව පිළිබඳ කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් ඉදිරිපත් කරමින් කිව්වා, ලංකාවට ණය දෙනවා නම් හොරකම් කිරීම වැළැක්වීම සඳහා යාන්ත්‍රණයක් හදන්න කියලා. මේ රට ගොඩනගන්න ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටේ ප්‍රතිරූපය ගොඩනගන්න ඕනෑ. අපි මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ පිළිගත් රටක් බවට පත් කරනවා. එය අපට කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed