අව්‍යාජ විප්ලවාදීයෙකු පිළිබද කෙටි සටහනක්

නන්දන නන්නෙත්ති විසිනි

ප්‍රතිපත්ති හා මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඉන්ද්‍රකීලයක් වන් කම්කරුවෙක්, මනස්කාන්ත මිනිසෙක්, අව්‍යාජ විප්ලවවාදියෙක්,ආදරවන්තයෙක්, ලෙන්ගතු මිත්‍රයෙක්, යන සෑම භූමිකාවකම තමන් දන්නා කියන හැමගේ හද දිනූ අමරතුංග සහෝදරයා නව පරම්පරාවන්ට ජිවිතය කියා දීම සදහා වටිනා මොඩලයකි යි අපට සිතේ.

අමරතුංග සහෝදරයාගේ ජීවිතය හා ආත්මය සමාජවදය පිළිබද ඔහුගේ අවබෝධය සහ වගකීමේ ස්වභාවය ගැන වැටහීමකින් තොර ව පරිපූර්න ලෙස දැගනු නො හැකි ය. 1990 අවුරුද්දේ සිට මේ දක්වාත් හෘද රෝගියකුව ප්‍රතිකාර ගන්නා ඔහු තම වෛද්‍යවරයාගේ ප්‍රශ්නයකට දුන් පිළිතුර ඊට එක් නිදසුනකි.

වි‌ශේෂඥ වෛද්‍ය මදුරාවේ වරක් ඔහුගෙන් අසයි. “ඔබ මෙහි පැමිණි කාලයේ ම ප්‍රතිකාර ගනීමට පැමිණි අය අතරින් කී දෙනෙක් දැන් මේ පෝලිමේ සිටී ද?”

“එක්කෙනෙක්වත් නැහැ” අමරතුංගේ පිලිතුරයි.

” ඒ ඇයි?” වෛද්‍යවරයා අසන්නේ ය.

“මම සමාජවාදියෙක්. මට ඉදිරි දර්ශනයක් තියෙනවා.” අමරතුංග පවසන්නේ සෙසු රෝගීන් මෙන් නොව තමන් අනාගතය වෙනුවෙන් දැනුවත්ව ජීවත් වන නිසා අසීරු තත්වයන් ජය ගැනීමේ අන් රෝගීන්ට නැති හැකියාවක් තමන්ට ඇති බව ය.

සැතපුම් ගනන් දුර ඇවිදිමින් අප සමග හරි හරියට දේශපාලන වැඩවල යෙදුන අමරතුංග පසු බැස්සවීමට තරම් රෝගය සමත් නො වීය. වැඩිම වුනොත් පොඩ්ඩක් ඉන්න සහෝදරයා කියා පෙත්ත දිව වයට තබාගෙන ටික වෙලාවක් මදවේගී වීමට හැර බාධාවක් ඔයුට නො වී ය.

මෙම ක්ෂ්මා විරහිත පන්ති සටන්කරුවා 1943 අප්‍රේල් 26දා හික්කඩුවේ දී උපත ලැබී ය. තොටගමුව විජයබා විද්‍යාලයේ 6 වන පන්තිය දක්වා පමනක් උගත් ඔහු 17 විය සම්පූර්න වීමටත් පෙර, එනම් 1959 දී බෝගලට ගොස් පතල් කම්කරුවෙකු ලෙස ජීවනෝපාය ද, ජීවිත අධ්‍යනය ද ආරම්භ කළේ ය. පසුව තමන් සරන පාවා ගත් ඉතා ආදරණීය බිරිද දයා සහෝදරිය සමග එක්ව පුතුන් 4 දෙනෙකු හදා වඩා ගත්තේ ය. ආර්. අමරතුංත සහෝදරයාගේ වයස අවුරුදු 80 යි .

කතෝනිස් බාස් නම් පුද්ගලයෙකු විසින් අත්පත් කර ගත් බෝගල මිනිරන් කැනීම 1887 න් පසු කැපී පෙනෙන ධනපති කර්මාන්තයක් ලෙස ඔසවන්නේ කතෝනිස්ගේ උගත් දරුවන්ගේ මෙහයවීම යටතේ ය. පීඩිත කම්කරුවන්ගේ ජීවිතය උරා බී වැඩුනු කර්මාන්තය සදහා මේ පතල මුහුදු මට්ටමට ද වඩා ගැඹුරට ඛනින ලදී. එහි සම්පූර්න ගැඹුර මීටර් 275කි. අමරතුංග ජීවිතයේ ගැඹුර ක්‍රමානුකූලව සොයා ගනිමින් සිටියේ ය.

1972 දී එවක පැවති ලසසප, කොප සහභාගී වූ සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආණ්ඩුව බෝගල පතල ද ධනපතියන්ට වන්දි ගෙවා ‘ජනසතු’ කළේ ය. ඉහත නම් සදහන් පක්ෂ දෙක ම මේ ‘ජනසතුව’ හැදින් වූයේ ධනපති විරෝධී හා සමාජවාදය කරා ප්‍රගතිශීලි ධනපතියන් ය යි ඔවුන් විසින් හැදින් වූ ධනපතියන් සමග එක්ව පියවර තැබීමක් ලෙස ය.

එවක අමරතුංග ඇතුලු බෝගල පතල් කම්කරුවෝ සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිතියේ සාමාජිකයෝ වූහ. ජනසතුවෙන් දෙවසරක් ගිය තැන 1974 වසරේ පරිපාලනය හා වෘත්තීය සමිති නායකත්වය අමරතුග සහෝදරයාගේ රැකියාව අහිමි කළහ. සමිති නායකයෝ හාම්පුතුන් සමග එක්ව සාද පැවැත්වීම ඔහු විසින් ප්‍රශ්න කරනු ලැබීම ඊට තුඩු දුන් හේතුවයි. එවකට අපගේ සහෝදරයා මුරකරුවෙකු ලෙස රැකියාව කරමින් සිටි අතර කුමන්ත්‍රණකරුවෝ ඔහුගේ ආරක්ෂාව යටතේ තිබූ උපකරණයක් අතුරදහන් කර ඒ අනුව ඔහු රැකියාවෙන් නෙරපූහ. වෘත්තීය සමිති නායකයෝ, තමන් මෙම කුමන්ත්‍රණ හවුල්කරුවන් නො වන සේ පෙනී සිටි නමුත්, පැමිණිල්ලක් දැමීමට නියමිත කාලයට එක් දිනක් පසුවන තෙක් බලා සිට කම්කරු උසාවියට පැමිණිලි කිරීම මගින් නීතිමය රැකවරණ සදහා උත්සාහ කිරීමට ඇති අවස්ථාවද ඔහුට අහිමි කළහ.

අමරතුංග සිය දරු පවුල සමග පෙරලා හික්කඩුවට පැමිණ කුලී වැඩ කරමින් ජීවිතයට මුහුන දුණි. 1976 රංගල්ල පාලම අසල කරදිය බාධක වේලි බැදීමට සහභාගී වූ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට මුණ ගැසෙන අතර සාකච්ඡා වට කිහිපයකින් පසු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ආරම්භ කළ ඔහුගේ අකලංක විප්ලවවාදී දේශපාලන ජීවිතය නො මැකෙන සටහන් තැබූ එකකි.

මෙම කම්කරුවා බදවා ගැනීමේ සාකචඡා කීපයක් සිදු කිරීමට එවක පක්ෂයේ නව යව්වන සාමාජිකයෙකුව සිටි මෙම ලිපිය සම්පාදනය කරන ලේඛකයාට ද අවස්ථාව ලැබුුුුණේ ය යන්න ඉමහත් සතුටකි. එතැන් සිට අමරතුංග, රත්නසිරි මලලගම විසින් කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කරනු ලැබීම සිදු කරන තෙක් කිසිදු බාධාවකින් නො සෙල්වී පක්ෂයත් එහි ඉදිරි දර්ශනයත් ආරක්ෂා කරමින් රැදී සිටියේ ය.

අමරතුංග පක්ෂයට බැදීම ජාත්‍යතර කම්කරු පන්තියට තලා දැමීම සදහා ක්‍රියාත්මක වූ දක්ෂිනංශික ව්‍යාපරයට එරෙහිව සිදු වූවකි. 1971 බ්‍රිටන්වුඩ් සම්මුතිය බිද දමමින් ප්‍රකාශයට පත් ලෝක ධනේශ්වර අර්බුදය පන්ති අරගලය උත්සන්න කළේ ය. වෘත්තිය සමිති හා කම්කරු පන්තියේ නමින් පෙනී සිටි පක්ෂවල පාවාදීම මත හිස එසවූ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි සම්ම්මුති විරහි ප්‍රහාරයක් දියත් කළේ ය. බ්‍රිතාන්‍යයේ මාගරට් තැචර්ගේ සිට මෙරට ජේ. ආර් ජයවර්ධන දක්වා අන්ත දක්ෂිනංශික ආණ්ඩු අම්පූර්න යටත් වීම කම්කරු පන්තයෙන් ලබා ගැනීමට වැඩ ආරම්භ කළේ ය. අමරතුංග කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය තෝරාගෙන ඒ වෙමුවෙන් ජීවිතයම කැප කිරීම තෝරා ගන්නේ මෙවන් පසුබිමක ය.

මෙම කම්කරුවා සමසමාජකාරයන්ගේ කුමන්ත්‍රණයට ගොදුරු වූවා සේම සමසමාජයේ මහා පාවා දීමට එරෙහිව ‌සටනක් කොට ගොඩ නැගූ සමාජවාදී සමානතා පක්ෂය තුළ වැඩී ඇති, මුලධර්මවලට පටහැනිව ක්‍රියා කරන අවස්ථාවාදී උමතු කල්ලියේ ගොදුරක් වීම නාටකාකාර දේශපාලන ප්‍රකාශනයකි.

මීට වසර කිහිපයකට පෙර හික්කඩුව කලුපෙ ගම්මානයේ ළදරු පාසැලක පැවැත් වූ උත්සවයක පොල් තෙල් පහන දැල්වීමට අමරතුංගට ආරාධනා කරන ලදී. ගම්වැසියන් ඒ තරමට ම මේ කම්කරුවාට ගරු කළේ ,,ආදරය කළේය. අවංක නායකයෙකු ලෙස පිළිගත්තේ ය.

එහෙත් අමරතුංග ඉතා ලෙංගතුව ආරාධනය ප්‍රතික්ෂේප කළේ ය. එම විවෘත කිරිමට පාලක පෂයේ අතුකොරාල නමැත්තා ද සහභාගී විම නිසා ය, අමරතුංග දෙවරක් නො සිතා එය ප්‍රතික්ෂේප කළේය. ධනපති නියෝජිතයන් සමග කම්කරු පන්තියට ගනුදෙනුවක් නැති බව ඔහු තම හිතවතුන්ට පෙන්වා දුන්නේ ය.

ප්‍රතිපත්ති සම්බන්ධ මේ දෘඩභාවය විප්ලවවිදියෙක් වුවත් කම්කරු පන්තිකයෙකු ලෙස තමන් හරියට ම ස්ථානගත කරගැනීමට අසමත් ඹධ්‍යම පන්තිකයෙකුට නැත. විකොස මධ්‍යම කාරක සභිකයෙකුව සිටින ගමන් මහාචාර්ය සුචරිත ගම්ලත්, එවක 60,000ක් ගම්බද තරුනයන් ඝාතනය කළ යුඑන්පී ආණ්ඩුවේ ඇමතියෙකු සමග 1990 දී වේදිකාරූඩ විම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි ය.

අමරතුංග ආරාධනය ප්‍රතික්ෂේප කළ දිනවලම මෙහි සදහන් රත්නසිරි මලලගම, පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස සිටින ගමන්, සිය බිරිදගේ ළදරු පාසැලේ විවිධ ප්‍රසංගයේ දී ආරධනා කර ගෙන්වා ගත් අතුකෝරල නමැති,අමරතුංග විසින් ප්‍රතික්ෂේප කරන ලද, පොදු පෙරමුණේ මන්ත්‍රී සමග එකට සිට පහන් දැල්වීම් යනාදිය සිදු කළෙ ය. අමරතුංග ඇතුලු සාමාජිකයන් ඊට විරුද්ධ වූ විට රත්නසිරි සොයා බැලුවේ කැමරා ශිල්පියා ‍”එඩිට්” නො කර වීඩියෝව පිට කිරීම ගැන මිස සිය දේශපාලන නිවටකම කුමකින් පැන නැංගේ ද යන්න නො වේ.

විප්ලවවාදී පක්ෂ තුළ මධ්‍යම පන්තික ප්‍රවනතා මතු වීම අරුමයක්වත් අසාමාන්‍ය දෙයක්වත් නො වේ. පක්ෂ ගොඩ නගන්නේ ප්‍රවනතා අතර දේශපාලන ගැටුම් තුලිණි. පක්ෂවල පවතින මෙබදු ප්‍රවනතා හදුනා ගැනීමේ දී අමරතුංග සහෝදරයාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි පාඩම් බොහෝ ය.

1988-89 විකොස සාමාජිකයින් තිදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ ඝාතකයින් විසින් බිලි ගනු ලැබුනහ. මේ අතර කිහිප වතාවක් ම ඝාතකයෝ මගේ නිවස ද වට කළ හ. පැරනි සාමාජිකයෙකු වූ සෝමරත්න කොඩිකාර සහෝදරයාට ද මරන තර්ජන එල්ල වී තිබිණි. පක්ෂය ජවිපෙ ක්‍රියාව හෙළිදරව් කරමින් කම්කරු පන්ති පිළිවෙත පැහැදිලි කළ ලිපියක් මහජනයා අතර බෙදා හැරීම සදහා අම්බලන්ගොඩට එවන ලදී. අම්බලන්ගොඩ ලෝකලෙයේ සාමාජික රත්නසිරි එදා අතුරුදන් වූ පසු නැවත දේශපාලනයට එන්නේ විජේවීර ඝාතනයෙන් පසුව ය. අමරතුංග මරණීය තර්ජනය මැද සිය පුතුන් පක්ෂයට බදවා ගැනීමට හා එසේ නො හැකි නම් පක්ෂයේ ආධාරකරුවන් බවට පත් කර ගැනීමට තමන් කළ කටයුතු ඉස්මත්තට ගත් අතර එක් පුතෙකු පක්ෂයට බදවා ගත්තේ ය. අනතුරුව තාරක අමරතුංග නම් එම තරුණයා මරණයට කැප ව සිටි මගේ ආරක්ෂාව ගැන ද දැනුවත් කර මා සමග දේශපාලන කටයුතුවල නිරත කළේ ය. ධනපති පන්තියට මෙන් ම කම්කරු පන්තියට ද බිය පත්ව සැග වී සිටිය නො හැකි ය.

මධ්‍යම පන්තියෙන් පක්ෂයට බැදෙන පුද්ගලයන් කම්කරු පන්තිය නැමති පාසැලේ වසර ගනනාවක් පුහුනු කිරීමෙන් පසු මිස මොන ම වගකිව යුතු කටයුත්තක්වත් නො පවරන ලෙස ට්‍රොට්ස්කි පවසා ඇති දෙය ගැන තව බොහෝ ආදර්ශයන් අමරතුංගගේ ජීවිතයෙන් උකහාගත හැකි ය.

එවක අපගේ කම්කරුවාගේ කුඩා නිවස සෑම ඉරිදාවක ම පක්ෂයේ කටයුතු වෙනුවෙන් ම වෙන් විය. මේ කම්කරුවා ඒ හැම සාකච්චා වාරයක දී ම 15කට 20කට ආහාර පාන සැපයී ය. ඔහුගේ ආදරණීය බිරිද හා දරුවන් සැළකුවේ එය තමන්ට ලැබුනු අගනා අවස්ථාවක් ලෙස ය.

අපගේ කම්කරුවා පක්ෂයට බැදෙන්නට පෙර තරමක් හිතුවක්කාරී හා දැඩි තීර ගෙන තමන් නො රුස්නා දෙයට මුණ දිමේ තත්වයක පසු විය. පක්ෂය තුළ අමරතුංග අත්පත් කර ගත් දේ කෙතෙක් ද යත් මොහු සන්සුන් පුද්ගලයෙක් කර දීම ගැන තමන් පක්ෂයට ණයගැති ය යි දයා සහෝදරිය නිරන්තරයෙන් හා දැඩි තෘප්තිකරභාවයෙන් පුකාශ කරන්නී ය.

අමරතුංග සියලු අසීරුතා තිබිය දී සිය පුතුන් සිව් දෙනාට හැකි ඉහලම අධ්‍යාපනය ලබා දීමට අධිෂ්ඨානවත් විය.

අමරතුංග තම එක් අතක පවතින දුර්වලතාව නො තකා වොලි බෝල් ක්‍රීඩාවට යොමු ව සිටියේ ය. නාට්‍යය, ගීතය, චිත්‍රය සහ මූර්තිය වෙත ඔහුගේ යොමු වීම දියුනු සංස්කෘතික කම්කරුවා පිළිබද ලකුණකි. 80 වියැති නමුත් තවමත් තරුණ සිතැති මේ කම්කරුවා පොල් කටු යොදාගෙන කරන කලාත්මක භාණ්ඩ නිර්මාණය කිරීමෙන් යම් ආදායමක් ද උපය යි.

මාක්ස්වාදී ව්‍යාපාරය හැම විට ම මෙබදු පෙරටුගාමී කම්කරුවන් දිනා ගැනීම ඉලක්ක කර ගනී. ඔවුන්ට මිලියන ගණන්වලට නායකත්වය දිය හැකි ය.

අවාසනාවට දැන් සිදුව ඇත්තේ වෙන දෙයකි. 2022 ජුලු 7 දින සිට සමාජවාදී සමානතා පක්ෂයෙන් ඔහු දොට්ට දමනු ලැබ ඇත. මට එය හොදටම දැනේ. සංජය සහෝදරයා සහ මා පක්ෂයෙන් දොට්ට දැමීමේ මුග්ධ තීරණය අමරතුංග මහත් සේ කම්පාවට පත් කළේ ය. දැන් මේ පක්ෂයේ සිට පලක් නැතැයි කියමින් වුවත් ඔහු උත්සාහ කළෙ පක්ෂය තුළ රැදී සිටිමින් එය නිවැරදි කර ගැනීමට ය. අමරතුංග දොට්ට දැම්මේ හරියටම මේ උත්සාහය නිසා ය. රත්නසිරගේ කුමන්ත්‍රණය ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඇතුලු දේශපාලන කමිටුව අනුමත කර ඇත.

එහෙත් අමරතුංග සහෝදරයා 4 ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සමාජවාදී සමානතා පක්ෂයේ ‌ ‌ෙඑතිහාසික හා දේශපාලන පදනම් මත පිහිටාගෙන සිය ජීවිත කාලයම සටන් වදින බව ගැන අපට සැක නැත. ඔහු එදා මෙන් ම අදත් සියල්ලට ම පෙර පක්ෂය යන අදහස අත් නො හැර වැළද ගෙන සිටී. සහෝදරයා, නුඹට දීර්ඝායු!

නන්දන නන්නෙත්ති සහෝදරයා විකොස හිටපු මධ්‍යම කාරක සභිකයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *