අවුරුදු 20ක් කල් ඉකුත් වු කදුළු ගෑස් පොලිසීය අරගලයේදී භාවිිිතා කරලා

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ නිදහස් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සමාජය හා ආගමික මධ්‍යස්ථානයේ (CSR) විමර්ශන කණ්ඩායම විසින් නිකුත් කරන ලද සුවිශේෂී වාර්තාවකින් පොලිසිය විසින් භාවිතා කරන ලද කඳුළු ගෑස්වල තත්ත්වය පිළිබඳ විස්මිත කරුණු රැසක් අනාවරණය වී තිබේ.

ඊට අනුව ගාලුමුවදොර අරගලයේදී පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස්වල කල් ඉකුත්වන දිනයන් වසර 20කට අධික කාලයක් ගෙවී ගොස් තිබීම සුවිශේෂිතය. ඇතැම් නිෂ්පාදන දිනයන් 2000 දක්වා ඈතට දිවයයි. තවද අරගලයේ  එවැනි කැනිස්ටර් 6,000ක් පමණක් පළමු මාස ​​හතර තුළ භාවිත කර ඇත.  

2012 වසරේ සිට පසුගිය වසර දහය තුළදී පොලිසිය විසින් කඳුළු ගෑස් කැනිස්ටර් 40,000ක් පමණ මිල දී ගෙන ඇති අතර, එතැන් සිට විවිධ විරෝධතා සඳහා 8,000කට අධික ප්‍රමාණයක් භාවිත කර ඇත. ඉන් 6,000කට අධික ප්‍රමාණයක් 2022 මාර්තු සිට 2022 ජූලි දක්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි නිවසින් පිටත සිදුවීමේ සිට අරගලය උත්සන්නව තිබියදී පාවිච්චි කර ඇත.

වසර 10ක් 20ක් පමණ කල් ඉකුත්වීමට නියමිතව තිබූ කැනිස්ටර අවස්ථා ගණනාවකදී පොලිසිය ප්‍රහාර ලෙස එල්ල කර ඇති බවට අනාවරණය කරන ලද අතර  ‘කඳුළු ගෑස් – මිලියන විස්සක කඳුළු’ නමැති වාර්තාව ඊයේ CSR ශ්‍රවණාගාරයේදී මහජනතාවට නිකුත් කෙරිණි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කියා සිටියේ පසුගිය සැප්තැම්බරයේදී මෙම විරෝධතාවලට ගොදුරු වූවන් පිරිස විසුරුවා හැරීමට යොදාගත් කඳුළු ගෑස් හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත් වූ බවට පැමිණිලි කිරීමෙන් පසු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.

“මාධ්‍යවේදියෙකු ලෙස පසුගිය දශකය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා ව්‍යාපාර රැසක් ආවරණය කිරීමට ගොස් කඳුළු ගෑස් ප්‍රහාර රැසකට ලක්ව තිබෙනවා. නමුත් අරගලයේදී අප අත්විඳින ලද ඒවා අතීතයට වඩා බරපතල හා වේදනාකාරී ය. ඒ නිසා පොලිසිය කල් ඉකුත් වූ කැනිස්ටර් භාවිත කරන බවට බොහෝ දෙනා චෝදනා කරන නිසා ඒ කඳුළු ගෑස් ගැන පරීක්ෂණයක් පැවැත්වීමේ හදිසි අවශ්‍යතාවක් අපට දැනුණා.” ජයවර්ධන පැවසීය.

ඒ නිසා අපි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා අවස්ථා කිහිපයකදීම පොලිස් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා සිටියත් ඊට අදාළ සහ ප්‍රමාණවත් තොරතුරු ලබා දුන්නේ නැහැ. ඉන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිය කොමිසමේ අභියාචනා විභාග හතරකදී සම්පූර්ණ තොරතුරු ලබාදෙන ලෙස පොලිසියට නියෝග කළ නමුත් ඇතැම් අවදානම් තොරතුරු අද දක්වා ලබාදී නොමැත.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හරහා නීත්‍යානුකූලව කටයුතු කරන බව නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය  සභාව අමතමින් පැවසුවාය.

සාමාන්‍යයෙන් කැනිස්ටරයක කල් ඉකුත් වීමේ කාලය වසර පහක් වන නමුත් පොලිසිය 2000, 2005, 2011, 2012, 2014, 2017 සහ 2019 යන වසරවලදී මිලදී ගත් ගෑස් භාවිත කළ බවට සාක්ෂි අප සතුව ඇත.

මෙම වායූන් සෙනඟ විසුරුවා හැරීමට මිස ශ්වසන සහ වෙනත් සංකූලතා සමඟ ඔවුන් මරා දැමීමට නොවන බැවින් මෙය මහජන සෞඛ්‍යයේ පැහැදිලි උල්ලංඝනයකි. කඳුළු ගෑස් ප්‍රහාරවලින් මතු වූ සංකූලතා හේතුවෙන් අරගලයේදී මරණ දෙක තුනක් පමණ වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *