අස්වැසුම කපලා,දැන් ප්‍රශ්න වැඩියි ,රැට නින්ද යන්නෙත් නැහැ

අපේ වාර්තාකරුවන්

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිවෘහගතකරණයට අදාළ නියෝග ක්‍රියාත්මක කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති සමාජ කප්පාදු වල කොටසක් ලෙස දුගී කම්කරු, ගොවි ඇතුලු පීඩිත මහජනතාව මතට හෙළන ලද දැවැන්ත කප්පාදු අතරින් සොච්චමක් වූ “සමෘද්ධි” සහනාධාරය ද කපා දැමීම මගින් එම ජනතාව අන්ත අසරණභාවයට ඇද දමා ඇත.

සමෘද්ධිය කපා දැමීමෙන් පසු ආණ්ඩුව “අස්වැසුම”  නමින් ඉදිරිිපත් කර ඇති නව සීමිත සහන සැලැස්මේ ප්‍රතිලාභ ලැබීම සඳහා නුසුදුුසු බවට ⁣යෝජනා කිරීම නිසා කර කියා ගත නොහැකි වූ දුප්පත් ජනයා හෙට දින ජීවිතය ගටගසා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පසුවන්නේ මහත් අවිනිශ්චිතතාවයකිනි. 

අස්වැසුම ⁣ප්‍රතිලාභ නොලැබීම සම්බන්ධ අභියාචනා ගොනුකිරීම ජුලි 6 දින අවසන් විය. ඒ වන වට අභියාචනා ⁣968,000ක් ද, විරෝධතා 17, 500ක් ද ලැබී තිබුනු බව  කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කළේය.

මෙම නව ප්‍රතිලාභ ලැබීම ද අහිමි කරනු ලැබූ පවුල්වල සාමාජිකයෝ “ද සෝෂලිස්ට්” වෙබ් අඩවියට තම දුක් ගැනවිලි ප්‍රකාශ කළෝය. ඒ කිහිප දෙනෙකු මුහුණ දී ඇති ජීවන අර්බුදය පිළිබඳ කෙටි වාර්තාවක් අපි පහත පල කරමු:

විමලජීව පවුල, බිංගිරිය ප්‍රාදේශීය  ලේකම් කොට්ටාශයේ, විලත්තව ප්‍රදේශයේ පදිංච්ව සිටිති. පියා, මව හා දුව සහිත පවුලේ සමාජිකයින් 3 කි. පියා වෘත්තියෙන් ත්‍රීවීල්  රියදුරෙක් වන අතර අපස්මාර රොගයෙන් පෙලේ. ත්‍රීවීලරය වෙනත් අයෙකුට  අයත් එකකි. ඒ සදහා  දිනකට රු 500ක් ඔහුට ගෙවිය යුතුය. මව කඩයක ඇදුම් මැසිම කරයි. දුව උසස් පෙල  හදාරන  ශිෂ්‍යාව කි. ප්‍රදේශයේ  දුගීම පවුලට නිවසක් ඉදිකිරීමට රජය විසින් ලබදෙන රුපියල් ලක්ෂ  6ක මුදල මේ පවුලට ලබා ගැනීමට හැකිව ඇත. මව මෙසේ පැවසීය:

“නිවස හැදීමට ලක්ෂ  10ක පමන මුදලක් වැය වෙන නිසා ඒ මුදල අපිට වෙනම හොයාන්න වුණා. ඒ නිසා, ඒ මුදල සමෘද්ධි බැංකුවෙන් ණයක් විදියට ගත්තා. සමෘද්ධි  සහනාධාර  වශයෙන්  රැපියල් 3000ක මුදලක් අපට ලැබුණා. බැංකුවේ ණය වාරිකය රුපියල්  6000ක්.  සහනාධාර  වශයෙන්  ලැබෙන රුපියල් 3000ට අමතරව තව රුපියල්  3000 ක මුදලක් අතින් පියවන්න ඕන. එම රුපියල් 3000 ත්‍රීවීල්  එකෙන්  උපයන මුදල් වලිනුයි මම ඇදුම්  මැසීමෙන් හොයන මුදලිනුයි තමයි ගෙවුවව්. දූව පුලියන්කර විදුහලේ උසස් පෙල  පංතියේ ජනමාධ්‍ය  විෂය ධාරවේ ඉගෙන ගන්නවා.  වසරක් යනතුරුත් මීඩියා  විෂයට ගුරුවරයකු නොලැබුනු නිසා මාදම්පේ  ජාතික  පාසලට දූව ඇතුල් කළා. ඒත්  නැවත වරක් එයාව ඇතුල් කළේ  12 වසරට. ඒ නිසා දූට වසරක කාලයක් අහිමිවී වුණා. උසස් පෙල  පංති සදහා මාසෙකට රුපියල්  12000ක් පමණ වැය කිරීමට සිදු වෙනවා. මුදල් සොයා ගැනීමට  නොහැකි නිසා දූ පංති යාම නතර කළා. මේච්චර අසරණ වෙලා ඉන්න අපේ සමෘද්ධි  සහනාධාර⁣යත් දැන් කපා දමලා. දැන් අපි ණය ගවාගන්නෙත් කෙහොම ද?,” මව හඬූ කදුලින් ප්‍රකාශ කර සිටියා ය.  

සමෘද්ධිය කපා අස්වැසුම  සහනාධාර  සැලැස්මට හිමිකම් ලැබී නැති  කුමාරසිංහ පවුලේ තත්ත්වය  මෙසේ ය.  කුමාරසිංහගේ පදිංචිය-බිංගිරිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ,  නිතලව ප්‍රදේශයේ ය. ඔහු තම කතාව මෙ⁣සේ ප්‍රකාශ කලේය: 

“මම ත්‍රීවීල් රියදුරෙක්. ත්‍රීවීල් එක හයර් කරල තමයි ජීවත්  වෙන්නෙ. ඊට අමතරව සහල් පිටි කරල කෑම සකස් කරන කඩ වලට දෙනව. මාගේ පවුලේ  සාමාජිකයින් 6යි. මගේ වැඩි මහල් දරුවා විශේෂ  අව්‍යශ්‍යතා  සහිත දරුවෙක්.  දැන් වයස අවුරුදු 22 ක්. එක ගැහැනු දරුවෙක් උසස් පෙල අධ්‍යාපනය හදාරනව.  අනික් දරු දෙන්න නිවුන්නු, ඉගෙනගන්නෙ  6 වසරෙ. මගේ බිරිද රැකියාවක් කරන්නෙ නැහැ. අපිට සමෘද්ධි  සහනාධාරය ,රුපියල්  3000ක් ලැබුණා.  දැන් ඒක කපල.  අපි සමෘද්ධි බැංකුවෙන් රුපියල්  ලක්ෂ  2ක ණයක් අරන් තියෙනවා. සමෘද්ධි  රැපියල් 3000 යොදා ගත්තෙත් ඒක ගෙවන්න. වාරිකයෙ ඉතිරි ටික හම්බ කරල තමයි ගෙව්වෙ.                      

දැන්  රටේ ආර්ථික  ප්‍රශ්න  නිසා හයර් ලැබෙනව අඩුයි. පිටි වෙලදාම 25%කින් විතර අඩු වෙලා. වියදම්  දරාගන්න බෑ. ළමුන්ගේ  පංති  ගාස්තු  වලට මාසෙකට රුපියල්  9000ක් විතර යනව. බස් ගාස්තු දවසකට රුපියල් 400ක්.  කෑමට යන වියදම්  කියල වැඩක් නැහැ.  නොකනව කිව්වොත් නිවැරදියි. මෙහෙම තියෙද්දි  තමයි සමෘද්ධි  සහනාධාර  කපල තියෙන්නෙ.  හේතුව  මම ත්‍රීවීල්  එකක් එලවන එක.  ත්‍රීවීල්  එකේ ටයර් දෙක දාගන්න රුපියල්  26000ක් ඕනෙ. ඉදිරියෙ මොනවද කරන්නෙ කියල හිතා ගන්න බැහැ. හුගක් දවස්වල  රෑට  නින්ද යන්නෙ නැහැ.”

අස්වැසුමට අභියාචනයක් ඉදිරිපත් කළ මුත් ඒ පිළිබඳ විශ්වාසයක් නැතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

ප්‍රියන්‍ත, බිංගිරිය ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයය්, නිතලව, දඹුවවත්ත ප්‍රදේශයේ වාසය කරයි. ඔහුගේ පවුලට සමෘද්ධිය ද, අස්වැසුම ද දෙකම අහිමි කරනු ලැබ ඇත.  ඔහු මෙසේ ප්‍රකාශ  කළේය:

priyantha
ප්‍රියන්‍තගේ නිවස

“මගේ රැකියාව වාහන අලුත් වැඩියා කරන එක. ගරාජ්  එක තියෙන්නෙ  ගෙදරමයි. තනියෙන් වැඩ කරන්නෙ. ගොලයො දාගෙන වැඩ කරන්න තරම් ආදායමක්  නැහැ. මට දරුවො තුන්  දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් 4  වසරේ. තවත් එක්කෙනෙක් පෙර පාසල් යනවා. බාලම දුවට අවුරුදු 2 යි. තුන් දෙනාම  ගැහැනු දරුවෝ. ඉන්න ඉඩම මට අයිති එකක් නෙවෙයි. මගේ ඥාතියෙකුගේ. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ.  මට සමෘද්ධි සහනාධාර ලැබුනා රුපියල් 3500ක්.  ඒකෙන්  රුපියල්  500 ක්  රක්ෂණ  සහ සුභසාධන වලට කැපෙනව. මම ගේ හදන්න රු 100, 000ක් සමෘද්ධි  බැංකුවෙන්  ණය අරගෙන තියෙනව. ඒ ණය වාරිකය ගෙව්වෙත්  සහනාධාර  3000න් තමයි. ගරාජ්  එකෙන් ලැබෙන ආදායම  හැර වෙනත් ආදායමක්  මට නැහැ. ගරාජ් එකෙනෙනුත් ලැබෙන ආදායම  හොදටම අඩුවෙලා. මේ සැරේ මට ලැබුනු සමෘද්ධි සහනාධාර  මුදලත් කපල. සමෘද්ධි බැංකුවෙන් ගත්තු ණයත් දැන් අතින් ගෙවන්න වෙලා. ගමේ ණය දෙන  සුභසාධන සමිතියෙනුත් ණය අරන් තියෙනව. ගේ හදල ඉවරත් නැහැ. ළමයගෙ ශිෂ්‍යත්ව පංතියට මාසෙකට රුපියල් 6000ක්  විතර යනව. මෙහෙම තියෙද්දි තමයි මගේ සමෘද්ධි  සහනාධාර  කැපුවෙ. ජීවිතේ  අන්තිම දුෂ්කර තත්ත්වෙකට පත්වෙලා ඉන්නෙ. මොකද කරන්නෙ කියල හිතා ගන්නවත් බැහැ. ගරාජ්  එකක් කරන නිසා තමයි මගේ සහනාධාර  කැපුවෙ. බලන්න ආපු මිනිස්සුන්ට [අස්වැසුම සමීක්ෂකයන්ට] මම පත්වෙලා  ඉන්න තත්ත්වය කිවුව. ඒත් වැඩක් වෙලා නැහැ. අම්ම, තාත්තා  වෙනම ඉන්නෙ. ඒ අයටත් රැකියාවක් නැහැ. ඒ අයගෙත් සහනාධාර  කපල. අභියාචනයක්  දැම්මා ඒත් විශ්වාසය ක් නැහැ.”

බලපිටිය ප්‍රාදේශීයට අයත් පරගහතොට ගමේ ජීවත්වන ජයසේකර සමෘද්ධි සහනාධාරය ලැබු දුගී පෙදරේරුවෙකි. මෙවර අස්වැසුම වැඩසටහන යටතේ ඔහු ලැබු සහනාධාරය අහිමි කොට ඇත. රැකියාව නිරතව සිටි කාලයේ සමෘද්ධිය ලැබු ඔහුට මෙවර සහනාධාරය අහිමි වී ඇත්තේ අසනීප තත්ත්වය නිසා වසර 3ක සිට රැකියාවක් නොකරන තත්ත්වයේදී ය. ඔහුගේ දුක් ගැනවිල්ල මෙසේය: 

“දරුවන් විවාහ වෙලා අපෙන්  ඈත් වෙලා ඉන්නෙ. ඒ අයගෙ දරුවන්  නඩත්තු කරන කොට එයාලට අපට උදව්වක් කරන්න අමාරුයි. මගේ බිරිඳ ගොඩාක් කාලයක ඉඳල ආතරයිටීස් රෝගය හැදිල ඉන්නෙ. ඒ නිසා එයාට කුලි වැඩකටවත් යන්න බෑ.”

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්  දිනපතා මිල වැඩිවීම ගැන ජයසේකර පැවසුවේ, “අතට හම්බෙන සොච්චම් මුදලින්  මිල වැඩි වෙන විදියට දේවල් ගන්න තියා හිතන්නවත් බැහැ. අපි නොකා නොබී තමයි ජීවත් වෙන්නෙ.”

පරගහතොට ප්‍රදේශයේ ම 75හැවිරිදි සෝමාවතී ද  තමන් මුහුණ දෙන දුෂ්කර ජීවන කොන්දේසි හෙළි කළාය: 

“මහත්තයා මගෙන් ඈත් වෙලා. මට දරුවෝ නැහැ. ගෙවල්වල කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නෙ. අපි දැන් වයස නිසා එහෙම වැඩක් හොයා ගන්න අමාරුයි.”

කලින් ඇයට සමෘද්ධිය ලැබුනු නිසා යම් සහනයක් ලැබුනු බව සදහන් කළ සෝමාවතී, එකී සහනය කපා හැරීයේ ඇයි ද කියා හිතාගන්න බැහැයි පැවසුවාය.

“අපි වගේ අයට සහනාධාර නැත්නම් කාටද දෙන්න ඕන ?”, ඇය ප්‍රශ්න කළාය.

thesocialist .lk වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *