ආණ්ඩුවේ ප්‍රහාර හමුවේ සටන් වැදීම හැර කම්කරු, පිඩිතයන්ට වෙනත් මාවතක් ඇත්තේ නැත -කොක්‍රික

පෙබරවාරි 26 දින කොළඹ දී, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විරුද්ධව ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබ 28 දෙනකු පමණ රෝහල් ගත කළ බවත් ඉන් එක් අයෙකු මරණයට පත් වූ අතර තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නිවේදනය කර ඇත.

කොළඹ ක්‍රියාකාරී කමිටුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මිනීමරු මර්දනයට එරෙහිව කම්කරු පීඩිත ජනයා බලමුලු ගැන්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනු ඇත.

මරණයට ගොදුරු වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් වූ ජවිපෙ නායකත්වය දෙන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු වන නිමල් අමරසිරි ය.

සිල්වා, තමන් ඉතා සාමකාමි ලෙස උද්ඝෝෂණය කරමින් සිටියදී ආණ්ඩුව මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි විශේෂ ප්‍රකාශයක් කර ඇත. ඒ නිසා ආණ්ඩුව සිදු වූ දෙයට වගකිව යුතු යැයි ඔහු ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මෙහෙයවන ප්‍රහාරයට මුහුණ දී ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගන්නේ කෙසේ ද?ටිල්වින් සිල්වාගේ ජවිපෙට ඊට දිය හැකි නිසි පිළිතුරක් නැති බව පෙනේ. එකම පිළිතුර යයි ඔවුන් කියන්නේ වික්‍රමසින්හ ආණ්ඩුව පලවා හැර පිහිටුවන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකි. ලගම විසදුම් මානව හිමිකම් කොමිසම් හා උසාවි ය.

උසාවි සහ කොමිසම් මගින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන නො දන්නා කෙනෙක් නැත. ආණ්ඩුව පලවා හරින්නේ කෙසේ ද? ඡන්ද නො පැවැත්වේ නම්, ඊට විරුද්ධ උද්ඝෝෂණ වල යෙදෙන මිනිසුන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කර ඒවා මර්දනය කරන්නේ නම්, ආණ්ඩුව පලවා හරින්නේ කුමන ආකාරයකින් ද?

දෙවන ප්‍රශ්නය වන්නේ ප්‍රහාරය එල්ල වෙන බව දැන දැනම ජවිපෙ කොළඹට මහජනයා කැදවීමේ අරමුණු කුමක් ද හා එසේ අරමුණක් පැවතියේ නම් ඒ වෙනුවෙන් අරගලය විසින් යමක් ඉතිරි කර ගනු ලැබ ඇත්ද යන්නයි. ඒ ඉතිරි කර ගත් දේ මොනවා ද?

තෙවනුව, උද්ඝෝෂණය උදෙසා කොළඹට කැඳවූ මිනිසුන්ට හා ගැහැනුන්ට මුහුන දීමට සිදුවන රාජ්‍ය මර්දනය පිළිබඳ කුමන පැහැදිලි කමක් ලබා දුන්නා ද? මර්දනයට මුහුණ දෙන්නේ කෙසේ ද එයින් ලබාගන්නා ප්‍රතිඵල මොනවාද ඒවායේ වාසි අවාසි මොනවා ද හා ඊළඟට කුමක් ද යන වැදගත් ප්‍රශ්න සාකච්ඡා කර පැහැදිලි කමක් හා සූදානම් කර ගැනීමක් පැවතිනි ද?

උත්සන්න වී ඇති ලෝක ධනේශ්වර අර්බුදයේ කිඳී සිටින ශ්‍රී ලංකාවේ පාලක පන්තියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාවට දැමීම හැර අන් මාවතත් නැති බවත්, එම පිළිවෙත වැඩකරන මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් නො ඉවසන බවත්, ඊට මුහුණ දී ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට පහසු සහ හුරුපුරුදු මාවත් නැති බවත් වචනයෙන් සහ ක්‍රියාවෙන් ඇති තරම් පැහැදිලිව ඉස්මතු කර ඇත.

මෙම යථා ප්‍රශ්න මතු කල විට දී, නම් ආණ්ඩුව මෙන් ම ජවිපෙත් මෙම මර්දනයට මහජනයා ගොදුරු කිරීමේ වගකීම ගත යුතු යයි අපි කියා සිටිමු.

මහජනයා සිය වැඩපොළවල හා ගම්වල තමන්ගේම මැදිහත්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා කර තීන්දු ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනඟා ගෙන රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ මෘග ප්‍රහාරය පරාජය කර සිය ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් දිනා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම තවදුරටත් කල් දැමිය නො හැකිය යන්න මෙම කම්පනසහගත අත් දැකීමෙන් උකහා ගත යුතු පාඩමයි.

ජනතා විමුක්ති පෙරමුණ හා ඒ වටා පෙළ ගැසී සිටින ජාතික ජනබලවේගයේ බෙලහීන සුළු ධනේශ්වර කන්ඩායම්, එවැනි ස්වාධීන මහජන සටන් සංවිධාන ගොඩනැගීම කෙරේ මාරක බියකින් පසු වෙති. දැනටමත් තහවුරු වී ඇති පරිදි මෙම අධිරාජ්‍ය ගැති ධනපති පෙරමුණ විසින් ඒවා කඩාකප්පල් කරනු ලැබීමට නියමිත ය.

එළඹෙන 8 දාට කැඳවා ඇති මහා වැඩවර්ජනය සඳහා අද අද ම එවැනි කමිටු ගොඩ නගාගැනීමේ අවශ්‍යතාව වැඩ කරන ජනයා විසින් වටහා ගනු ලැබිය යුතු ය.

සියලු මහජන ප්‍රජතන්ත්‍රවාදී ඉල්ලීම් දිනන තෙක් සටන් වදින හා සෙසු පීඩිතයන්ගේ දනුවත් සංවිධානාත්මක සහාය ලබන මහා වැඩ වර්ජනයකින් මූලිකත්වය ගන්නා කම්කරු පන්තියට පමනක් මෙම ආන්ඩුව සුන් කර ජය ගත හැකි ය. කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මත පදනම් වන එවන් බලමුළුගැන්වීමක් රාජ්‍ය මර්ධන උපකරණවල සැබෑ සීමාවන් හෙලිදරව් කර, සමාජයේ ඉතා සුලුතරය වන පාලක පන්තිය හුදකලා කර ඊට උචිත ඉරනමට ඇද දමනු ඇත. වික්‍රමසිංහගේ වියරු තර්ජන ශක්තිය නිසා නොව දුර්වලකම ගැන ඇති දැනුවත්කමේ ප්‍රකාශනයකි.

ජවිපෙ උද්ඝෝෂණයට එල්ල කෙරුනු ප්‍රහාරය ට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සදහා සටන් කිරීම හැර වෙනත් මාවතක් ඇත්තේ ම නැත.

කොළඹ ක්‍රියාකාරී කමිටුව ‌- නන්දන නන්නෙත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *