ආදායම් පමණක් උපයන තවත් එක් වෘත්තියක් බවට රගපෑම පත් කර ගන්න මම කැමැති නැහැ

ඇන්තනී වෙරංග පුෂ්පික

කොඩි ගහ යට කියන්නේ සෑහෙන්න කාලයක් තිස්සේ කරන්න බලාගෙන හිටපු වැඩක්.

මම ටෙලි නාට්‍යයක් කරන වුවමනාවක නෙමෙයි හිටියේ. මම වැඩිපුරම කැමති සිනමාවට. චිත්‍රපටයක දී වගේ වේගයෙන් අපට වැඩ කරන්න පුළුවන් කාලය උපරිමයෙන් වැය කරගෙන. විශේෂයෙන් අපි වගේ ස්වාධීන සිනමාකරුවෝ චිත්‍රපටයක් හදද්දී වැඩ කරන්න එන කෲ එක, ඇක්ටර්ස්ල ඒකට හිත හදාගෙන එන්නේ. චිත්‍රපටයට යන මුදල් ප්‍රමාණය ගැන අදහසක් තියෙනවා, කාලය ගැන අදහසක් තියෙනවා. ඒ වැඩේ අමාරුයි කියලා ඔවුනුත් දන්නවා. හැබැයි ටෙලි ඩ්‍රාමා කියන එක ලංකාවේ ඉන්ඩ්‍රස්ට්‍රී එකක්. ඒකෙන් සමහර අය ලොකු මුදලක් හම්බකරනවා. ඒත් ප්‍රතිලාභ පහළට බෙදීගෙන යද්දී ගොඩක් අයට ලොකු අපහසුතවයන්ට ලක් වෙන්න සිද්ද වෙනවා. ඒ නිසා ටෙලි ඩ්‍රාමා ඉන්ඩ්‍රස්ට්‍රී එක ලංකාවේ තියෙන්නේ හොඳ මට්ටමක නෙමෙයි. ඒ නිසාම තමයි මටත් ටෙලි ඩ්‍රාමා එකක් කරන්න ලොකු ආසාවක් තිබ්බේ නැත්තේ.

අපි යහළුවොත් එක්ක කතා කරනවා ඇයි අපිට බැරි ලෝකයේ කෙරෙන ටෙලි සීරීස් ලෙවල් එකට යන වැඩක් කරන්න උත්සාහ කරන්නේ නැත්තේ කියලා. අපි දන්නවා අපිට එච්චර සල්ලි නැහැ කියලත්. ලෝකයේ ටෙලි සීරීස්වලට වියදම් කරන මුදල් එක්ක අපි වියදම් කරන්නේ ඉතාමත් සොච්චම් මුදලක්. එහෙම වුණත් අපිට තියෙන මානව සම්පත්’ අතින් ඇක්ටර්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා, ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා, තාක්ෂණික ශිල්පීන්, ශිල්පීය නිපුණතාවයෙන් ඉදිරියෙන් ඉන්නවා. අපිට නැත්තේ මුදල් විතරයි. එහෙමනම් ඇයි අපි අපට තියෙන සම්පත්වලින්වත් ප්‍රයෝජන ගන්නේ නැත්තේ කියන ප්‍රශ්නය තිබුණා.

කොඩි ගහ යට

ඒ කාලයේම තමයි ප්‍රඩුයුසර් කෙනෙක් මට කතා කරේ අපි වැඩක් කරමු කියලා. ඔහුට මේ වැඩේට මුදල් වියදම් කරන එක ගැන ගැටලු‍වක් තිබුණෙ නැහැ. හැබැයි ෂූට් එක පටන් ගෙන ටික දවසක් යද්දී ඒක වෙනස් වුණා. ඒ නිසා වැඩේට අදාළ ෂෙඩුල් එක ඒ විදියට කර ගන්න බැරි වුණා. හරියට ෂූට් එක කර ගන්නත් බැරි වුණා. එහෙම නැති වුණානම් මේ වැඩේ පටන් ගත්තේ අවුරුද්දකට කලින්. මගේ මීඩියම් එක සිනමාව. එකේ වැඩ කරද්දි මම හරිම සීරියස්. පුළුවන් තරම් වැඩේට බර දෙනවා මිසක් මූල්‍ය වියදම තකන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඒකේ ප්‍රතිපල නැවත අත්පත් වෙන්නේ. එහෙම තමයි කොඩි ගහ යට පටන් ගත්තේ.

අපි මේ ඉන්න සමාජයේම තමයි මහේෂ්ලා වගේ අපරාධකුරුවෝ, කුලී ඝාතකයෝ ඉන්නෙත්. ඔවුන්ගේ ජීවිතය ගැන කරන දෘශ්‍යමය කතිකාවත ඇතුළේ ප්‍රේක්ෂකයාව ගෙන යන්න උත්සාහ කරන්නේ මොනවගේ ලෝකයකට ද?

මේ ටෙලි නාට්‍ය කිරීමේ දී මගේ ප්‍රධානම අරමුණ වුණේ මිනිස්සුන්ට බලන්න පුළුවන් එන්ටෙර්ටෙයිනින් වැඩක් කරන එක. අපි නරඹලා තියෙන නාකෝස්වගේ, බ්‍රේකින් බෑඩ්වගේ, ප්‍රිසන් බ්‍රේක්වගේ සීරීස් ලොකු ආසාවකින් මිනිස්සු බාර ගන්නවානේ. මට ඕනෑ වුණෙත් මිනිස්සුන්ගේ ප්‍රේක්ෂාවන් කඩන්නේ නැතිව ආසාවෙන් බලන නාට්‍යයක් කරන්න. නැතිව මම කරන නාට්‍යයෙන් සමාජය යහමගට ගන්න එහෙම නැත්නම් හොඳ පුරුදු කියාල දෙන්න හරි මට වුවමනාවක් තිබුණේ නැහැ. මම හරි අකමැතියි ඒ සුචරිතවාදී භාවිතාවන්ට සහ සදාචාරාත්මකයැයි කියමින් කරන සමහර වැඩවලට.

මම මේ නාට්‍ය හරහා උත්සාහ කරපු තවත් දෙයක් තමයි කළුසුදු චරිත කියන තැනින් ගැලවෙන්න. ලෝකයේ චිත්‍රපටවල සහ අනෙකුත් කලා මාධ්‍යවලත් මේ ගැන සාකච්ඡාවක් තියෙනවා. කළුසුදු කියලා මිනිස්සුන්ව වෙන් කරන්න බැහැ. මිනිස්සු කරන කියන දේවල්වලින්, හැඟීම්වලින් සම්මිශ්‍රයි. මේ සියලු‍ දේවල්වල කලවමක් තමයි මිනිස්සු කියන්නේ. කළුසුදු චරිතවලින් ගැලවිලා ඔවුන්ගේ ජීවිතවල තියෙන ඇත්ත මොකද්ද කියලා හිතන්න මම උත්සාහ කළා. ලංකාවේ ටෙලි නාට්‍යවල අපි නොදැනුවත්වම ඒ ඇප්‍රෝච් එක ජාතිවාදී වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු ටෙලි නාට්‍යයක ඉන්නවා කියලා මුස්ලිම් ජාතිකයෙක් හරි දෙමළ ජාතිකයෙක් හරි. එතනදි ඔහු භාෂාව භාවිතා කරන විදිය නළුවෙක්’ ඒක පෝට්ට්‍රේ කරද්දී හුදු විහිළුවක් බවට පත් කරමින් තමයි ඒ චරිතය නිරූපනය කරන්න පෙළඹිලා තියෙන්නේ. ලංකා ඉතිහාසයේ ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ඒක. සාජන් නල්ලතම්බි විලාසයේ භාෂාවක් තමයි අන් ජාතිකයෙක්නම් කතා කළොත් කතා කරන්නේ. ඔහුගේ භාෂා විලාසය එහෙම එකක් විදියට තමයි දකින්නේ. ඒකෙන් මිනිස්සු හිනස්සන්න උත්සාහ කරනවා විනා, ඔහුගේ තිබෙන මනුෂ්‍යත්වය ගැන කතා කරන්න සහ ඔහුගේ තිබෙන හරයන් එළියට ගෙන එන්න උත්සාහ කරන්නේ නැහැ. මම මේ නාට්‍යයේ දී ඒ වගේ දේවල්වලින් මිඳිලා ඔහුන්ගේ තිබෙන ඇත්ත තත්වයන් එළියට ගේන්න උත්සාහ කළා. තවත් දෙයක් තමයි සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව නියෝජනය කරන කුමක් හෝ චරිතයක් පෝට්ට්‍රේ කළොත් ඒකත් ගේන්නේ විහිළුසහගත චරිතයක් විදියට. ඒත් ඒ මිනිස්සු එහෙම නෙමෙයිනේ. ඇත්ත ජීවිතයේ ඒ ප්‍රජාවේ මිනිස්සු අපිත් එක්ක වැඩ කරනවා, අපිත් එක්ක දේශපාලනය කරනවා. ඒ අයටත් සීරියස් ප්‍රශ්න ටිකක් තියෙනවා. සීරියස් ජීවිතයක් තියෙනවා. හැබැයි අපි ඒ චරිත විෂුවල් මීඩියම් එකක පෝට්ට්‍රේට් කරන්න ගියහම ඒ චරිත ජෝක් එකක් විදියට තමයි ගොඩනගන්නේ. ඒ චරිත නිරූපනය කරන ඇක්ටර්ස්ලට තේරෙන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. මගේ නාට්‍යයෙත් ඉන්නවා ඒ වගේ කැරැක්ටර් එකක් කළු කියලා. ඒ චරිතය ඉතාමත් පරිස්සමට තමයි නාට්‍යයට ගේන්නේ. මම ටිකක් බයකුත් තිබුණා ඒ වගේ කැරැක්ටර් එකක් නාට්‍යයට ගෙනෙද්දී ඒ ප්‍රජාවට අසාධාරණයක් නොවී මම කොහොමද ඒ කැරැක්ට එක පෝට්ට්‍රේ කරන්නේ කොහොමද කියන එක ගැන. නලීන් ලු‍සේනා තමයි ඒ කැරැක්ට එක කරන්නේ. ඔහු ඉතාමත් හොඳින් ඒ කැරැක්ට එක කළා. නිර්මාණ කාර්යයේ දී සමහර ජන කණ්ඩායම්, අන් සංස්කෘතීන් අවමානයට උපහාසයට ලක් කරන එකෙන් ගැලවිලා අපි කොහොමද අපි කොහොමද ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය එළියට ගේන්නේ, ඒක කොහොමද පෝට්ට්‍රේ කරන්නේ කියන එක කොඩිහහ යට නාට්‍යයෙන් කරන්න මම උත්සාහ කරලා තියෙනවා.

කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ ඔබ අධ්‍යක්ෂවරයා වගේම ප්‍රධාන චරිතයකුත් නිරූපණය කරනවා. භූමිකා දෙකක් එක තැනක කරන්න වෙන එක මොනවගේ දෙයක් ද?

තමන්ම අධ්‍යක්ෂණය කරලා තමන්ම රඟපාන වැඩක වාසි අවාසි ගොඩාක් තියෙනවා. මගේ චිත්‍රපටයේදීත් ටෙලි ඩ්‍රාමා එකේදීත් නළුවරණයේ දී ඔහුන්ගේ රඟපෑමේ හැකියාවන් ගැන සැලකිලිමත්වෙන කෙනෙක් සහ මම ඇක්ට කෙනෙක් විදියට ඔහුන් පිළිබඳව හොඳ අධ්‍යනයක් තියෙන කෙනෙක්. ඔවුන්ගේ කැපෑසිටිය සම්බන්ධයෙනුත් මට අවබෝධයක් තියෙනවා. මම නිතරම උත්සාහ කරනවා ඒ දේවල්වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඇක්ටර් කෙනෙක් විදියට මට ඒ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මම දන්නවා මම රඟපාන්න ආස නිදි, මම රඟපාන්න ආස කැරැක්ටස්. ඒ නිසා මම දන්නවා ඇක්ටර් කෙනෙකුට කැරැක්ට එකක් දුන්නම ඒ කැරැක්ට එක චැලේන්ජ් එකක් විදියට බාරගෙන කරයි කියලා පූර්ව නිගමනයකින් යුතුව සමහර නළුවන් මට තෝරන්න පුළුවන්. ඒක ඇක්ටර් කෙනෙක් විදියට මට තියෙන වාසියක් වැඩ කරන්න ගියාට පස්සේ. ඒ වගේම සිනමාවේ සහ ටෙලි නාට්‍යයේ අවුරුදු විස්සක් විතර මම ලබපු අත්දැකීම් සෑහෙන්න වැදගත් වෙනවා. ක්ෂේත්‍රයේ මට තියෙන හඳුනා ගැනීම් මට වැදගත් වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ඉඳන්ම මම දන්නවා. නිර්මාණ විතරක් බලලා නෙමෙයි මම ඉන්නේ. ඒ නිසා මට හරි පහසුයි ඔවුන් එක්ක වැඩ කරන විදිය හදා ගන්න. ඇක්ටර් කෙනෙක් විදියට ඩිරෙක්ට් කරලා රඟපානවා කියන එක දුෂ්කර කාර්යයක්. හැබැයි මම ඇක්ටර් කෙනෙක් විදියට රඟපාන්නත් ආසයි. මම කැමති කැරැක්ටර් එකක් හදාගෙන කරන්න ලැබෙනවා කියන එක හැමෝටම ලැබෙන අවස්ථාවකුත් නෙමෙයි. මම කරන්නේ මම ආස රෝල් එක. මට ඒ කැරැක්ට එක ගැන චිත්‍රය පිටපතේ ඉඳන්ම මගේ ඔලු‍වේ තියෙනවා. එක් පැත්තකින් ඒක වාසියක්. නමුත් ලංකාවේ තියෙන ආර්ථික දුෂ්කරතා, ෂෙඩුල්වලට වැඩ කරන්න වෙන එක, ඩිරෙක්ටර් කෙනෙක් විදියට සෙට් එක එක්ක ඉන්න වෙනවා කියන්නේ ලොකු මහන්සියක්. ඒ වෙහෙසත් දරාගෙන රඟපානවා කියන්නේ හරිම දුෂ්කර කාර්යයක්. මේක මම අත්දැකීමක් විදියට තමයි බාර ගන්නේ. මෙතනින් එහාට කරන වැඩවල දී මේ දේ මට ලොකු උදව්වක් වෙයි.

නළුවෙක් විදියට තවදුරටත් ගොඩනැගෙන්න, තමන් හොයන චරිතය හොයාගෙන යන්න තියෙන ආසාවත් හේතුවක් වෙන්න ඇති මම හිතන්නේ අධ්‍යක්ෂණයට එන්න.

ඔව්. මම නළුවෙක් වෙන්න ආසාවෙන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. හැබැයි මගේම ප්‍රකාශනයක් මම කොහොමද කරන්නේ. නිර්මාණකරුවෙක් විදියට මගේම කියලා ප්‍රකාශනයකුත් තියෙනවානේ. නළුවෙක් විදියට ඒක කරන්න බෑ කියලා මම කියන්නේ නැහැ. නළුවාට පුළුවන් තමන්ගේ අදහස තමන් පෝට්‍රේ කරන කැරැක්ටර් එකට එකතු කරන්න. තමන්ගේ අදහසකුත් ගෙනෙල්ලා ඒ කැරැක්ට එක හැඩ කරන්න අවස්ථාවකුත් නළුවාට තියෙනවා. හැබැයි තමන්ගේම ප්‍රකාශනයක් විතරක් විදියට කරන්න පූර්ණ අයිතිය ඔහුට නැහැ. ඒක නිසා වෙන්න ඇති මම අධ්‍යක්ෂවරයෙක් විදියට මගේ ප්‍රකාශන මාධ්‍ය විදියට සිනමාවෙන් සහ ටෙලි නාට්‍යයෙන් තෝරා ගන්න හේතුව වෙන්නෙත්. මට අවශ්‍යයි මම දරන අදහසකුත් නළුවාගෙන් එළියට අරගෙන යන්න. ඒක නිසා තමයි මම ඩිරෙක්ටර් කෙනෙක් බවට පත් වෙන්නේ. නමුත් මම මුලින් නළුවෙක්. නළුවෙක් වෙන්න ආසාවෙන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒක මැරිලා නැහැ තවම. නළුවා තවම ඇග ඇතුළේ ඉන්නවා. වෙන නිර්මාණයක හෝ හොඳ චරිතයක් ලැබුණොත් මම ඒ අවස්ථාව ගන්නවා. හැබැයි මම ගොඩක් තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තියෙනවා ලොකු තරගයක්. ඒ තුළ තියෙන්නේ විෂය හඹා යාමකට වඩා වෘත්තීයේ නියැලෙමින් තමන්ගේ ජීවිතයට අනෙකුත් භෞතික දේවල් එකතු කර ගැනීමේ උත්සාහයක්. ඒකේ වැරැද්දකුත් නැහැ. ගෙයක්දොරක්, වාහනයක්, දරුපවුලක් නඩත්තු කරන්න ඕනෑ තමයි. නමුත් මම විෂය හඹාගෙන යන කෙනෙක්. ඒක ඇතුළේ කරන්න පුළුවන් පර්යේෂණ කරන කෙනෙක්. ඒ නිසා මම කැමති නැහැ රේස් එකට වැටිලා විෂය හඹායන එක පැත්තක තියලා, ඒක වෘත්තීයක් බවට පත් කරගෙන ආදායම් පමණක් උපයමින් කරන තවත් එක් වෘත්තීයක් බවට මගේ රඟපෑම පත් කර ගන්න මම කැමති නැහැ.

කොඩ් ගහ යට

කොඩි ගහ යට ටෙලි නාට්‍ය මේ වෙනකන් පෙන්නලා තියෙන එපිසෝඩ් දෙක බැලු‍වාට පස්සෙ මට හිතුනේ සීන් එකකින් සීන් එකකට ඉතාමත් ඉක්මනින් මාරු වෙනවා. ඒ නිසාම කතාවේ කතාව යන විදියේ කලබලකාරී බවක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ.

ඒක මම හිතාමතාම කරපු දෙයක්. අපි හැමදාම දකින ටෙලි නාට්‍යවල තියෙන්නේ හරිම ස්ලෝ රිදම් එකක්. අපි පාරට බැස්සම අපේ ජීවිත හරිම වේගවත්. හැබැයි ටෙලිවිෂන් එකේ අපිට පෙන්වන ජීවිත හරිම සූසාදිත ජීවිත. ඒ ජීවිතවල කලබලයක් නැහැ. එළියේ පේන ඇත්ත කලබලය සහ ජීවිතවල තියෙන කාර්යබහුලත්වය පෙන්වන්න මට ඕනෑ වුණා වේගයෙන් කතාව ගලාගෙන යන විදියක් හදන්න. ඒකට මම පාවිච්චි කරපු එඩිටින් ස්ටයිල් එකත් බලපාලා තියෙනවා. සීන් එකකින් සීන් එකකට ගත වෙන කාලය ටෙලි නාට්‍යයක එපිසෝඩ් එකක ඩියුරේෂන් එක කියන්නේ මුදල්. ඩියුරේෂන් එක හදා ගන්න ඕනෑ වුණාට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ ඩයලොග් එකකින් ඩයලොග් එකකට මාරු වෙන්න ලොකු කාලයක් ගන්නවා. මම රඟපාපු ටෙලි නාට්‍යවල පවා සමහර අධ්‍යක්ෂවරු කියනවා දෙබස් කියන වේගය වැඩියි තව ටිකක් ටයිම් කරන්න කියලා. හැබැයි ටයිම් කරනවා කියලා එකක් අපේ ජීවිතවල නැහැ. අපි නිතරම උත්සාහ කරන්නේ අනිත් කෙනා කතා කරලා ඉවර වෙන්නත් කලින් කතා කරන්න. අපේ ජීවිත එච්චරටම කලබලයි. ඒත් ටෙලි නාට්‍යවල ටයිම් එකක් හදා ගන්න හදනවා. ඒක ගොඩක් වෙලාවට ටෙලි නාට්‍යවල ඩියුරේෂන් හදා ගන්න කරන වැඩක්. ඒක මට ඕනෑ වුණේ නැහැ. අනිත් එක නළු නිළියෝ කතා කරන වේගය පවා මගේ ටෙලි නාට්‍යයේ වෙනස්.

ගෙවුණු මෑත වකවානුවේ ටෙලි නාට්‍ය කලාවේ ජනප්‍රිය සංස්කෘතියත් එක්ක එන කතා රැල්ලෙන් මිදිලා යම්කිසි ආකාරයේ කලාත්මක කතා සම්ප්‍රදායක් ගොඩනැගෙමින් පවතිනවා. ඒ වගේම ප්‍රේක්ෂකයනුත් ඉතාමත් වේගයෙන් වැළඳගනිමින් සිටිනවා. මේ තත්වය කොහොමද දකින්නේ.

එය ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මෑතක දී ඔබ කිව් ආකාරයේ ටෙලි නාට්‍ය විදියට කූඹියෝ, සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, එයා දැන් බැඳලා මේ හතරම ඉතාමත් ඉහළ මට්ටමේ නිර්මාණනේ. මේ හැම එකක්ම මිනිස්සු බැලු‍වා. එහෙමනම් ලංකාවේ ජනප්‍රියයැයි කියන ටෙලි නාට්‍ය මොනවාද? ජනප්‍රියයි කියලා අපි විශ්වාස කරන්නේ හැමදාම පෙන්වන මෙගා ටෙලි නාට්‍ය තමයි ජනප්‍රියයි කියලා විශ්වාස කරන්නේ. ඒ ජන්ප්‍රියත්වය මිනිස්සු ඉල්ලපු එකක් නෙමෙයි. ඒ ජනප්‍රියත්වය කියන්නේ ලංකාවේ චැනල්වලින් කෘතීමව හදපු එකක්. ඒවා තමයි මිනිස්සුන්ට බලන්න තියෙන්නේ. ඒක නිසා ලංකාවේ ජන්ප්‍රිය සංස්කෘතිය කියලා වටහාගෙන තියෙන දේ වැරදියි. ජනප්‍රිය සංස්කෘතිය කියලා එකක් නැහැ. බලෙන් හදපු එකක් තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට නෙට්ෆ්ලික්ස් බලන්න පුළුවන්කමක් තියෙනවානම් නෙට්ෆිලික්ස් හැම මනුස්සයාම බලයි. ඒක තීරණය වෙන්නේ තමන්ගේ ආර්ථික හැකියාව මත. රනිල් වික්‍රමසිංහට ඒක කරන්න පුළුවන් වුණාට හැම මනුස්සයාටම නෙට්ෆ්ලික්ස් බලන්න බැහැ. අපි හැමදාම කතා කරන මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතයක් ගත කිරීමේ අයිතිය, කලාව, සාහිත්‍ය ඇසුරු කිරීමේ අයිතිය කොයි තරම් අපේ මිනිස්සුන්ට ලබා දීලා තිබෙනවාද කියන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *