ආණ්ඩුව මෙන්ම විපක්ෂයට IMF හැර වෙනත් විකල්පයක් නැහැ -පුබුදු ජයගොඩ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියාට මේ රටේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න අයිතියක් නැති බවත් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධ තීන්දු ගන්න බලය ඇත්තේ මේ රටේ ජනතාවට බවත් ආණ්ඩුව මැතිවරණ නොපවත්තා ජනතාවගේ අනුමැතියකින් තොරව බලය පවත්වා යැම ,ජාත්‍යන්තර මුල්‍ය අරමුලේ ප්‍රතිස්ංකරණ දැයි දැන ගන්නට අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රශ්ණ ක‌ළේය .

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබෙන ණය අනුමතවීම සම්බන්ධ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමටත් නියමිත
බවත් ලංකා විදේශ විනිමය අර්බුදයට සහ සමාජයක් ලෙස මූණ දෙන අර්බුදයට එකම උත්තරේ IMF එකට යාම කියන අදහස පහුගිය කාලෙ දිගින් දිගටම, ආණ්ඩුව පමනක් නොව විපක්ෂයත් කියමින් සිටින බව කී අධ්‍යාපන ලේකම් ජයගොඩ වෙනත් විකල්ප ක්‍රියාමාර්ග හරහා තවදුරටත් ණය නොවී මේ අර්බුදයෙන් මිදීමේ හැකියාව ආණ්ඩුව තිබියදී ණය ගොඩ ගසන විසඳුම ක්‍රියා මාර්ගයකට යමින් සිටින බව පෙන්වා දුන්නේය

ජයගොඩ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය

උදාහරණයක් හැටියට මේ රටට පැමිණිය යුතු විදේශ විනිමය ප්‍රමාණය ගෙන්වා ගැනීමේ විකල්පයක් ආණ්ඩුවට නැත . ආනයන හා අපනයන වෙළඳාමේදී ඉන්වොයිසින් වංචා හරහා විදේශ විනිමය වශයෙන් රටෙන් පිට කළ ධනය සම්බන්ධ එක්සත් ජනපදය පදනම් කරගත් Global Financial Integrity ආයතනය විසින් ගණනය කිරීමක් කර තිබෙනවා. 2009 සිට 2019 දක්වා විදේශ වෙළඳාම තුළ මෙරටින් පිට කළ ඩොලර් ප්‍රමාණය බිලියන 38ක් බවට වාර්තා වුණා. ඉන්පසුව 2021 දක්වා මෙම වංචාවේ ප්‍රමාණය ඩොලර් බිලිය 60කට ආසන්න මුදලක් බව අනාවරණය වුණා. මේ සියල්ල කරනු ලැබුවේ ධනකුවේරයන්, ව්‍යාපාරිකයන් අතලොස්සක් විසින් බව ප්‍රසිද්ධ කාරණයක්. මේ ආකාරයට රටට අහිමි කළ ධනය නීතිමය පියවර හරහා නැවත ගෙන්වා ගැනීමේ හැකියාව තිබුණත් ආණ්ඩුව ඊට අවශ්‍ය පියවර ගත්තෙ නෑ. එවැනි පියවරක් හරහා කෙටි කාලයක් තුළ මේ වංචාවට අදාළ ධනයෙන් 10%ක් ගෙන්වා ගත්තත් ඩොලර් බිලියන 6ක් පමණ වෙනවා.

IMF එක හරහා වසර 4ක් තුළ ලැබෙන ණය මුදල කියන්නෙත් මේ වංචා කළ මුදලෙන් 5%ක පමණ ප්‍රමාණයක්. ඒ නිසා ඒ විසඳුම වෙනුවෙන් කිසිවක් නොකර IMF තමයි එකම විසඳුම කියමින් හිටි ආණ්ඩුවත් විපක්ෂයත් මේ IMF ණය සහ ඒ හා බැඳුණු ජනතාවට පීඩාකාරී ලෙස ගෙන යමින් තිබෙන ක්‍රියාදාමයට වගකිව යුතුයි.
ඒ වගේම ලෝකයේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයන්, සමාජ ක්‍රියාකාරින් හා බුද්ධිමතුන් පිරිසක් මේ අරබුදය හමුවේ ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ජනතාව පීඩාවෙන් මුදවා ගැනීමටත් යෝජනා ලෙස ලංකාවේ විදේශ ණය අහෝසි කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ ඉල්ලීමක් සංවිධානාත්මකව ඉදිරියට ගෙනාවා. නමුත් ආණ්ඩුව ඒ සඳහා ප්‍රමාණත් අවධානයක්, වගකීම් සහගත ඉදිරිපත් වීමක් කළේ නෑ. ඒ නිසා එම අවස්ථාවත් ආණ්ඩුව විසින් අත්හැර දමා තිබෙනවා.
මේ වනවිට IMF ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ණය අනුමත වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා.
IMF ප්‍රධානියා කියන්නෙ මෙම ණය ක්‍රියාත්මක කිරීමට නම්, රාජ්‍ය පාලනයේ හා ආයතනික වශයෙන් ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවයි. මේ ප්‍රතිසංස්කරණ කියන්නෙ, මොනවද? මේ වනවිට පාර්ලිමේන්තුවට වගකිව යුතු මහබැංකුවේ පාලනයේ ස්වාධීනත්වය ඇති කරනවා කියලා ඇමතිවරයාට පාලනය කළ හැකි පනතක් මගින් මහබැංකුව විනාශ කරන්න ආණ්ඩුව සැලසුම් හදලා තියෙනවා. ඒකද මේ කියන ගැඹුරු ප්‍රතිසංස්කරණ කියලා අපි අහනවා.
ඒ වගේම IMF ප්‍රධානියාට කොහොමද බලයක් තිබෙන්නෙ මේ රටේ ආණ්ඩුකරණයේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධ තීන්දු ගන්න බලය තියෙන්නෙ මේ රටේ ජනතාවට. දැනට නම් ආණ්ඩු ක්‍රමය තුළ ඇති වෙමින් තියෙන්නෙ මැතිවරණ නොතියා ජනතාවගෙ අනුමැතියෙන් තොරව බලය පවත්වා ගෙන යන දිශානතියක්. ඒකද මේ IMF කියන ප්‍රත්ිසංස්කරණ කියලා අපිට දැනගන්න ඕන.
IMF එක ප්‍රජාතන්ත්‍රවාදය ගැන සලකනවා කිව්වට දැන් මේ වනවිට මැතිවරණ නොපැවැත්වීමත් ඒ සැලකීමේ කොටසක්ද? ඒකට කියයි මැතිවරණ නවත්වන්න අපි කිව්වෙ නෑ කියලා.  නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අවම මට්ටම පවා උල්ලංඝණය කරන පාලනයකට තමයි මේ IMF එකෙන් ණය දෙන්නෙ. අපි ඉල්ලන්නෙ මීට වඩා ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. නමුත් මේ අවම දේ පවා මේ පාලකයන් අකුලා දමමින් තිබෙන බව නොසළකා හරින තත්වයක් තිබෙන්නෙ.

අනෙක් පැත්තෙන් මේ වනවිට ක්‍රියාත්මක වන බදු ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන් පවත්වා ගෙන යායුතු බව IMF ප්‍රකාශයේ තිබෙනවා. ඔවුන් කියන්නෙ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නෙ කළ යුතු ආකාරයේ බදු ප්‍රතිසංස්කරණයක් බවයි. ඉහළම ධනකුවෙරයන්, සමාගම් හරහා එකතු කරණ බදු ප්‍රමාණය සමස්ත බදු ආදායමෙන් 15% වෙද්දි පහළම ආදායම් සහිත බහුතර ජනතාවගෙන් 85%ක බදු ප්‍රමාණයක් උදුරාගන්නා ආණ්ඩුවේ ප්‍රතිපත්තියට ඔවුන් එකඟයි, ඒක කළ යුතු බව IMF එක කියන්නේනේමේ තරම් සමාජ විරෝධයක් ඇති කර තිබෙන බදු ප්‍රතිසංස්කරණ IMF ඉල්ලීමට අනුව සිදු කළ බව මෙයින් පැහැදිලියි. ආණ්ඩුවේ බදු ප්‍රතිසංස්කරණ හරහා අලුතින් බදු ගැහුවෙ ඉහළ ව්‍යාපාර සමාගම්වලට හෝ ධනකුවේරයන්ට නෙවෙයි. මේ රටේ වැටුපකින් ජීවත්වන වෘත්තිකයන්ගෙන් තමයි ආණ්ඩුව බදු ආදායම් උපදවන්න බලන්නෙ. දැන් මේ රටේ සමාගම්වල ලාභය මත පනවා තියෙන ඍජු බද්ද 30%ක ඉහළම අගයක් වුණාට මේ ආණ්ඩුවෙන් පැනවූ උපයන විට බදුවල උපරිම සීමාව 36% දක්වා අගයක් වෙනවා.
අනෙක් කාරණය මේ සමාගම් බදු පවා මේ රටේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළුව දේශීය ව්‍යාපාරවලට 30%ක් වෙද්දි අපනයනයෙන් විදේශ විනිමය ආදායම් උපදවන විදේශ සමාගම්වලට ගෙවිය යුතු වෙන්නෙ 17%ක් පමණයි. ඒ නිසා මේ බදු ප්‍රතිපත්තිය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ගෙන යන එකක් හෝ ජනතාවට හිතකර එකක් නොවන බව පැහැදිලියි.
ජනතාවගෙන් සීනි කිලෝවට, පෙට්‍රල් ලීටරයට, භුමිතෙල්වලට පවා අධික බදු අයකරන ආණ්ඩුව, ධනකුවේරයන් හා සමාගම් සිදුකරන බදු  වංචා සම්බන්ධ ආණ්ඩුව කිසිවක් කරන්නෙත් නෑ. පසුගිය අවුරුද්දෙ ජූලි මාසෙ වනවිට රුපියල් බිලියන 773ක බදු ප්‍රමාණයක් මේ රටේ සමාගම්, ධනකුවේරයන් විසින් පැහැර හැර තිබෙනවා. ජනතාවගෙන් අයකරගත් බදු ආදායම පවා රුපියල් බිලියන 116ක් ආදායම් ගෙවීම මේ සමාගම් විසින් පැහැර හැර තිබෙනවා. වැදගත්ම කාරණයක් වෙන්නෙ ධනකුවෙරයන් විසින් නොගෙවා පැහැර හැර තිබෙන රුපියල් බිලියන 772ක් සහ ඊට අදාළ දඩ මුදල් අයකර ගැනීම අත්හැර දමන්න ආණ්ඩුව තීරණයක් අරගෙන. ඉතින් ඒ විදියෙ බදු ප්‍රතිපත්තියක් තමයි IMF එකෙන් අනුමත කරලා පවත්වා ගෙන යන්න කියන්නෙ.

ඒ නිසා අපි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වාස කරනවා මෙම IMF ණය වැඩපිළිවෙළ හරහා අපේ සමාජයේ පීඩාවට පත්ව සිටින සාතිශය බහුතරයක් ජනතාව, විවිධ ආකාරයේ සමාජ කණ්ඩායම් තවදුරටත් පීඩාවට, ජීවන අර්බුදයකට ඇද දැමීමට නියමිතයි. අර්බුදයෙන් ගොඩයාන්න කළයුතු පියවර සම්බන්ධ අපි දිගින් දිගටම ආණ්ඩුවට බලකරනු ලැබුවා. ඒ සම්බන්ධ විවිධ දේශීය විදේශීය කණ්ඩායම් ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සියල්ල නොසළකා හරිමින් මේ යන ගමන සමාජයක් ලෙස අපි වඩාත් ගැඹුරු අර්බුදයක් වෙත ඇදී යාමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා වඩාත් ජනතා කේන්ද්‍රීය පාලනයක්, ප්‍රගතිශීලී ආර්ථික පිළිවෙතක් වෙනුවෙන් ජනතාව වෙතබලයක් දිනාගත යුතුව තිබෙනවා. ජනතා බලයකින් මිස මේ යන විනාශකාරී ගමන්මාර්ගයෙන් මිදෙන්න අපට හැකියාවක් ලැබෙන්නෙ නෑ.

මේ විනාශකාරී පිළිවෙත ඉදිරියට ගනිමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන්නෙ තිත්ත බෙහෙත් බොන්න සූදානම් වෙන්න කියලා. අපි කියනවා මේ රටේ වැඩකරන ජනතාව පීඩිත පන්තිය ඔය කියන තිත්ත බෙහෙත් බොන්න සූදානම් නෑ. අපි, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාවට මේ ගැන නැවත නැවත කියනාව, ඔවුන් දැනුවත් කරනවා, සංවිධානය කරනවා. මේ රටේ ආර්ථිකය වගේම ජන ජීවිතය විනාශයට පත් කරන, ජනතාවගේ අයිතිවාසිකම් හා සමාජ ජයග්‍රහණ පාවා දෙන පාලක අලි කපුටු කල්ලියත්, චෞර ව්‍යාපාරික වළල්ලත්, දූෂිත නිලධාරි කල්ලි කණ්ඩායම් පරාජය කිරීමේ පියවර ඉදිරියට ගත යුතු බව අපි අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *