ආන්ඩුවේ තර්ජන සහ ව්‍යාජ පොරොන්දු වලින් පසු ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිතිය රියදුරන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි

ඩබ්ලිව්. ඒ්. සුනිල්

[මෙය Sri Lankan railway union calls off drivers strike, after government threats and bogus promises යන මැයෙන් 2023 සැප්තැම්බර් 14 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ දුම්රිය එන්ජින් ක්‍රියා කරවන ඉන්ජිනේරුවන්ගේ වෘත්තීය සමිතියේ (එල්ඕඊයූ) නායකත්වය, වැඩ නැවැත්වීම ආරම්භ වී පැය 48 කටත් අඩු කාලයක් තුල දී, ඊයේ (13) රාත්‍රියේ දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය අත්හිටුවීය. එල්ඕඊයූ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක, දුම්රිය බලධාරීන්ගේ සහ පොදු ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හෙලිදරව් නොකල “සහතික කිරීම්” මත වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට වෘත්තීය සමිතිය තීරනය කල බව මාධ්‍යට පැවසීය.

දුම්රිය රියදුරන් 282 දෙනාගෙන් 84 දෙනෙකු සම්බන්ධ වූ වැඩවර්ජනය සඳුදා (11) මධ්‍යම රාත්‍රියේ ආරම්භ වූයේ, රියදුරන්ගේ වැටුප් වැඩිවීම් අවහිර කරමින් වසර 10 ක පමන කාලයක් තිස්සේ පැවති උසස්වීම් පිලිබඳ ගැටලු මුල්කරගෙනය. උසස්වීම් ප්‍රමාදවීම හේතුවෙන් ඔව්හු බරපතල ලෙස පීඩාවටපත්ව සිටිති.

වික්‍රමසිංහ විසින් පනවන ලද වැඩ වර්ජන විරෝධී අත්‍යාවශ්‍ය සේවා නියෝගය නොතකා අඛන්ඩව වැඩ වර්ජනයේ යෙදී සිටි සාමාජිකයින් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව එල්ඕඊයූ නායකත්වය, අඟහරුවාදා රාත්‍රියේ වර්ජනය නවතා දැමීය. වර්ජනයට ප්‍රතිචාර දක්වමින් දුම්රිය බලධාරීන් දුම්රිය සේවා 120 කට වැඩි ප්‍රමානයක් අවලංගු කලේය. දුම්රිය ස්ථාන සහ මගී ආරක්ෂාව සහතික කිරීමේ කඩතුරාව යටතේ හමුදාව යොදවා තිබුනි.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්, වර්ජනයේ නිරත සියලුම රියදුරන් සේවයට වාර්තා නොකලහොත් ඔවුන් සේවය හැර ගියා සේ සලකන බව ප්‍රකාශ කලේ ය.

කොලඹ මරදාන දුම්රිය ස්ථානයේ ශ්‍රී ලංකා හමුදාව යොදවා තිබූ අයුරු

මර්දනකාරී පියවරයන්ට සමගාමීව, වික්‍රමසිංහ ආන්ඩුව රියදුරන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් ද දියත් කලේය. වැඩ නැවැත්වීම “දුම්රිය ත්‍රස්තවාදයේ” ක්‍රියාවක් ලෙස විස්තර කරමින්, පොදු ප්‍රවාහන අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධන මෙසේ ප්‍රකාශ කලේය: ‘ආන්ඩුවක් ලෙස අපි මේ ආකාරයේ භීෂනයකට යටත් නොවෙමු.’

අඟහරුවාදා මගීන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මියයාම සහ දුම්රියෙන් වැටී තවත් අයෙකුට බරපතල තුවාල සිදුවීම ආන්ඩුව හා මාධ්‍ය ඩැහැගත්තේ වැඩවර්ජනය සාපරාධීකරනය කිරීමටත් වර්ජකයින්ට එරෙහිව දක්ෂිනාංශික ස්ථර බලමුලු ගැන්වීමටත් ය.

මෙම අවාසනාවන්ත මරනවලට වර්ජකයන් වගකිව යුතු බවට දේශපාලන සංස්ථාපිතය ප්‍රකෝපකාරී ලෙස චෝදනා කරන මුත් වරද පැටවෙන්නේ ආන්ඩුවටම ය.

වත්මන් පාලන තන්ත‍්‍රය ද ඇතුලුව අනුප‍්‍රාප්තික ශ‍්‍රී ලංකා ආන්ඩු දුම්රිය සේවා සඳහා වන අරමුදල් කපා හැර ඇති අතර දුම්රිය සේවකයන්ගේ ආරක්ෂක අනතුරු ඇඟවීම් හිතාමතාම නොසලකා හැර ඇත. රියදුරන්, නියාමකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය සමඟ මෙම සේවාව බරපතල ලෙස අඩාල වී ඇත. වසර ගනනාවකින් දුම්රිය මාර්ග පිලිසකර කර නැත.

මියගිය අයගෙන් එක් අයෙක් වන මොරටුව විශ්වවිද්‍යාල සිසුවෙක් මියගියේ කොලඹ බලා ධාවනය වූ මහනුවර දුම්රියකින් වැටීමෙනි. මගීන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත කියා සිටියේ මෙම මරන සම්බන්ධයෙන් ආන්ඩුව වගවිය යුතු බවයි. එක් ශිෂ්‍යයෙක් පැවසුවේ “ඒක හරිම කනගාටුදායකයි. වටිනා ජීවිතයක් නැති වුනා. ඒකට මේ රටේ පාලකයෝ වගකියන්න ඕන.” කාන්තාවක් කෝපයෙන් දේශපාලන ප්‍රභූන්ට ශාප කරමින් මෙසේ ප්‍රකාශ කලාය: “ඕකුන්ට හෙන ගහන්ට ඕනෑ”

සෙනඟ පිරුනු දුම්රියක ගමන් කරන කම්කරුවන්

සෙනඟ පිරුනු දුම්රියක ගමන් කරන කම්කරුවන්

දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය හෝ වෙනත් කවර හෝ කාර්මික ක්‍රියාවකින් පසුගිය වසරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව නෙරපා හරින ලද ආකාරයේ මහජන නැගිටීමක් ඉක්මනින් ම නිර්මානය කරනු ඇතැයි වික්‍රමසිංහ ආන්ඩුව බියෙන් සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි වලට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට වැඩකරන ජනතාව අතර පුලුල් විරෝධයක් පවතී.

වික්‍රමසිංහ කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමට නිතර නිතර අත්‍යවශ්‍ය සේවා නියෝග භාවිතා කර ඇත. ආන්ඩුවේ සමාජ කප්පාදු පියවරයන්ට එරෙහිව ජාතික කාර්මික ක්‍රියාමාර්ග වලට එලැඹි රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම කම්කරුවන් මිලියන භාගයකට එරෙහිව මෙම වසරේ මාර්තු මාසයේදී මෙම නීති භාවිතා කරන ලදී. කෙසේ වෙතත්, වෘත්තීය සමිති මෙම මර්දනකාරී පියවරයන්ට එරෙහිව සටන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එල්ඕඊයූ නායකත්වය, ආන්ඩුවේ අත්‍යාවශ්‍ය සේවා නියෝගය හෙලා දැක හෝ වර්ජකයින් ආරක්ෂා කිරීම සඳහා අනෙකුත් දුම්රිය සේවකයින්ට කිසිදු කැඳවීමක් කර හෝ නැත.

එමෙන් ම, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන සමස්ත ලංකා දුම්රිය සේවක සංගමය හෝ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (එස්එල්ආර්එස්එම්යූ) ඇතුලු වෙනත් කිසිදු දුම්රිය වෘත්තීය සමිතියක් වර්ජනයේ යෙදුන රියදුරන් ආරක්ෂා කිරීමට හෝ ආන්ඩුවේ මර්දනය හෙලා දැකීමට කිසිදු පියවරක් ගෙන නොමැත.

තම සංගමය එල්ඕඊයූ වැඩවර්ජනයට සහය නොදැක්වූ බව පවසමින් එස්එල්ආර්එස්එම්යූ හි සභාපති සුමේද සෝමරත්න මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, කැපී පෙනෙන උසස්වීම් ගැටලු පැවතියද, මෙම ඉල්ලීම් මතු කිරීමට “දැන් කාලය” නොවන බව යි.

ආන්ඩුව මෙන් ම වෘත්තීය සමිති ද තම වැටුප් හා කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් දුම්රිය කම්කරුවන් තුල නැගෙන කෝපයට බිය වන අතර, ඒකාබද්ධ කම්කරු පන්තික ක්‍රියාමාර්ග වැලැක්වීමට දැනුවත්ව වැඩ කරමින් සිටිති

දුම්රිය සේවක වර්ජනය ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ නැගී එන ව්‍යාපාරයක කොටසකි. අගෝස්තු 28 දා, විශ්‍රාම වැටුප් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව කම්කරුවන් 1,000 කට වැඩි පිරිසක් විරෝධතා දැක්වූ අතර, එදිනම වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය සංවර්ධන නිලධාරීන් දහස් ගනනක් දිවයින පුරා නගර කිහිපයක පිකට් උද්ඝෝෂනවල යෙදුනහ.

වික්‍රමසිංහගේ ජාමූඅ වියදම් කැපීමේ සහ රැකියා විනාශ කිරීමේ ප්‍රතිපත්තිවලට අනුකූලව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලුව, රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉලක්ක කර තිබේ.

ජූලි 24 දා, වික්‍රමසිංහගේ කැබිනට් මන්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරනය කිරීම සඳහා වන පලමු පියවර ලෙස, සංස්ථාපිත අධිකාරියක් බවට පරිවර්තනය කිරීමට අනුමැතිය දුන්නේය. ‘වඩා කාර්යක්ෂම රාමුවක් යටතේ දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමට’ කැබිනට් මන්ඩලය විසින් කමිටුවක් ද පත් කරන ලදී.

මෙම යෝජනා, දුම්රිය සේවකයන් 18,000 කගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට සහ ඔවුන්ගේ පවුල්වල ට දැඩි ලෙස බලපානු ඇති අතර ම මගීන්ගේ ගාස්තු වැඩි කිරීමට ද හේතු වනු ඇත.

ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම වෘත්තීය සමිති මෙන්ම, දුම්රිය වෘත්තීය සමිති ද ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට සහ පුද්ගලීකරනයට විරුද්ධ නැත. ඒ වෙනුවට, වෘත්තීය සමිති 18,000 ක් වන දුම්රිය සේවක බලකාය ශ්‍රේනි අනුව බෙදීම් හිතාමතාම පෝෂනය කරන අතර අර්ධ හා සීමිත විරෝධතා හරහා ඔවුන්ගේ විරුද්ධත්වය අපසරනය කරති. මෙම වෘත්තීය සමිති, එල්ඕඊයූ නිලධරය කලාක් මෙන් “ගැටලු ගැන සොයා බලන” බවට බලධාරීන්ගේ ව්‍යාජ පොරොන්දු උපුටා දක්වමින් විරෝධතා හෝ වැඩ වර්ජන නතර කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ය.

කාර්ය මන්ඩලය වැඩි කිරීම පිලිබඳව දුම්රිය බලධාරීන්ගේ ව්‍යාජ පොරොන්දු පිලිගෙන එල්ඕඊයූ විසින් දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනයක් ජුලි 23 දා, අත්තනෝමතික ලෙස නවතා දැමුවේ ය. මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ, දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් වැඩිපුර බඳවා නොගෙන නව දුම්රිය ගමන් වාර 6 ක් හඳුන්වාදීම සම්බන්ධයෙනි.

සඳුදා, කොලඹ මරදාන දුම්රිය අංගනයේ කම්කරුවන් මාස ගනනාවක් දිරි දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ක්ෂනික වැඩ වර්ජනයක නිරත විය. “ප්‍රශ්න විසඳන” බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පොරොන්දුව පිලිගැනීමෙන් අනතුරුව වෘත්තීය සමිතිය පැය හතරකට පසු වර්ජනය අත්හලේය.

ආන්ඩුවේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ කාර්මික පොලිසිය ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති හරහා දුම්රිය කම්කරුවන්ට සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වලට තම රැකියා, වැටුප් සහ කොන්දේසි ආරක්ෂා කර ගත නොහැක. ඔවුන්ගේ සේවා ස්ථානයේ ක්ෂනික ගැටලු මත හෝ ආන්ඩුවේ ජාමූඅ වැඩපිලිවෙලට එරෙහිව හෝ වන මෙම අරගල තුල දී කම්කරු පන්තිය වික්‍රමසිංහ ආන්ඩුව, රාජ්‍යය සහ වෘත්තීය සමිති යාන්ත්‍රනය සමග සෘජු ගැටුමකට ගෙන එයි.

ඔවුන්ගේ සියලු අයිතීන් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාම සඳහා කම්කරුවන් වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම හරහා එය සංවිධානය කිරීමේ සහ මෙහෙයවීමේ වගකීම තමන් අතට ගත යුතුය. ඔවුන් වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව සහ සමාජවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන හා කාර්මික අරගලයක දී කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වෙත හැරිය යුතුය.

ලෝක සමාජවාදි වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *