ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර ලංකාව සිව්වෙනි තැනට

ආහාර අහේනියේ බිහිසුණු බව පෙන්වන සංඛ්‍යා හෙළිවේ

රටවල් 53 ක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක බැංකුවේ යාවත්කාලීන කිරීමකට අනුව 2022 වසරේ ඉහළම ආහාර මිල උද්ධමනය ඇති රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වේ.

සඳුදා (15) දින ප්‍රකාශයට පත් කරන ලද යාවත්කාලීනය හෙළිදරව් කරන්නේ ශ්‍රී ලංකාව ඉහළම නාමික ආහාර උද්ධමනය ඇති රටවල් අතර වසරින් වසර පදනම මත 91% ක් සමඟින් සිව්වැනි ස්ථානයට පත්ව ඇති බවයි.

2021 සැප්තැම්බර් මාසයේදී 9.9% ක් වූ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය, 2022 අප්‍රේල් (45.1%) සිට 2022 ජූලි (90.9%) දක්වා මාස හතරක කාලසීමාවක් ඇතුළත අහස උසට නැඟී ඇත.

වසරින් වසර පදනම මත 353%ක ආහාර උද්ධමනය සමඟින් සිම්බාබ්වේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ලෙබනනය 240%කින් පසුවන අතර වෙනිසියුලාව 131%ක් සමඟ තෙවැනි ස්ථානයට පත්ව ඇත.

ආහාර අහේනියේ බිහිසුණු බව

මෙරට ආහාර අහේනිය බිහිසුණුම තත්වයකට ගමන් කරමින් තිබෙන බව ජාත්‍යන්තර වශයෙන් අනතුරු අඟවා තිබියදී මෙරට ජාතික නිෂ්පාදිතයට අදාළව නවතම සංඛ්‍යා ලේඛණ මගින් ද ඒ බව තහවුරු වී තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ඉදිරිපත්කර තිබෙන සංඛ්‍යා දත්ත අනුව දේශීය වශයෙන් අහාර නිෂ්පාදනය දරුණු ලෙස බිඳ වැටී ඇත.

පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව ධාන්‍ය නිෂ්පාදනය කඩා වැටීම 32.3%ක්, වී නිෂ්පාදනයේ වැටීම 15.6%ක් සහ එළවලු නිෂ්පාදනයේ වැටීම 13.2%ක් වශයෙන් පවතී.

ඊට අමතරව සත්ව නිෂ්පාදන කඩා වැටීම 13.6%ක් සහ ධීවර නිෂ්පාදන කඩා වැටීම 15.3%ක් වී තිබේ.

මේ අනුව මෙරට දේශීය ආහාර නිෂ්පාදනය බිඳ වැටීම මෙන්ම උද්දමනය බලපා තිබෙන අතර විදේශ විනිමය අර්බුදය නිසා විදේශ රටවලින් ආනයනය කරන ආහාරවල හිඟය ද යන මූලික කරුණු මත මෙරට ආහාර අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි බිහිසුණු තත්වයක පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *