ඉරාක ජනපති මැදුරේ තටාකය අත්පත්කරගත් සදාර්ගේ සටන්කරුවන්

Sadr's fighters seized the pool of the Iraqi presidential palace

පාලනයට එරෙහි අරගලක නිරත ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයේ නාන තටාකය භුක්ති විඳින අයුරු දැක්වෙන දර්ශන සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි ගණනාවක බලය අල්ලාගෙන ඇති බවයි.

ඉරාක රජය ප්‍රතිචාර දැක්වූවේ ඊයේ රාත්‍රී සිට ඇඳිරි නීතිය පනවමිනි.

ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර් දේශපාලනයෙන් ඉවත්වන බව නිවේදනය කිරීමත් සමග කැළඹිලි තත්ත්වය උත්සන්න වී තිබේ.

පවතින තත්තවයත් සමග බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් ද හෙලිකොප්ටර් මගින් ඉවත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

අවම වශයෙන් 23ක් මිය යයි

දේශපාලනයෙන් සමුගැනීමට ඉරාකයේ නායකයෙකු ගත් තීරණය හේතුවෙන් එරට අගනුවර බැග්ඩෑඩයේ වසර ගණනාවක් තිස්සේ ඇති වූ දරුණුතම සටන් වලින් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු අගනුවර මිය ගොස් තිබේ.

ෂියා මුස්ලිම් පූජක මොක්ටාඩා අල්-සදර්ගේ ආධාරකරුවන් ආරක්ෂක හමුදා සහ ඉරානය සහය ලබන සටන්කාමි කණ්ඩායම් සමඟ ගැටුම් ඇති කර ගැනීමත් සමඟ වෙඩි සහ රොකට් ප්‍රහාර එල්ල විය.

ඉරාකයේ වඩාත්ම බලගතු චරිතයක් වන සදාර් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කරීමෙන් පසු මෙම ප්‍රචණ්ඩත්වය ඇති විය.

ඔක්තෝම්බර් මාසයේ පැවති එහෙත් අවසන් තිරණයකට නොපැමිණි මැතිවරණයෙන් පසුව ඉරාකය අස්ථාවර තත්ත්වයට පත්ව ඇත.

සදාර් ගේ කණ්ඩායම වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත් ප්‍රධාන වශයෙන් ඉරානයේ පිටුබලය ලබන පක්ෂ වලින් සමන්විත දෙවන විශාලතම කණ්ඩායම සමඟ නව රජයක් පිහිටුවීමට එකඟතත්වයකට එලැබීමට නොහැකි විය.

සාම බලකාය ලෙස හඳුන්වනුලබන සාදාර්ගේ සටන්කාමින්, ඉරානයේ සහය ලබන සටන්කාමින් සහ ඉරාක ආරක්ෂක හමුදා සාමාජිකයන් අතර සටන් සිදුවෙමින් පවතී.

රජයේ ගොඩනැගිලි සහ විදේශ තානාපති කාර්යාල පිහිටා ඇති දැඩි බලකොටු සහිත ප්‍රදේශයක් වූ නගරයේ හරිත කලාපය වටා මෙම ගැටුම් වලින් වැඩි කොටසක් සංකේන්ද්‍රණය වී ඇත. ගැටුම් හේතුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්ෂාව පැතීමට සිදු විය.

සටන් මධ්‍යයේ ඉරානය, ඉරාකයට පිවිසෙන දේශසීමා වසා දමා ඇති අතර කුවේටය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ වහාම රට හැර යන ලෙසයි.

ප්‍රංශ ප්‍රවෘත්ති සේවය (AFP) වාර්තා කරන්නේ, එසේ මරමුවට පත්වූ සියලුම දෙනා සදාර්ගේ ආධාරකරුවන් වන අතර තවත් විරෝධතාකරුවන් 350 ක් පමණ තුවාල ලබා ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බව යි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්ගේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම සිදුවීම් ඔහුගේ අවධානයට යොමුවී ඇති බවත්, “තත්ත්වය සමනය කිරීමට කඩිනම් පියවර ගත යුතු” බවත්ය.

තවත් නගර කිහිපයක නොසන්සුන්තාවයන් ඇති වීම නිසා ඉරාකයේ භාරකාර අගමැති සහ සදාර්ගේ සහායකයෙකු වන මුස්තෆා අල් කදීමි දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු කැබිනට් රැස්වීම් අත්හිටුවා ඇති අතර මෙම ගැටුම් පාලනයට මැදිහත් වී නතර කරන ලෙස සදාර් ගෙන් ඉල්ලා තිබේ.

සියලුම පාර්ශවයන් ප්‍රචණ්ඩත්වය සහ ආයුධ භාවිතය නතර කරන තුරු මේ වන විට සදාර් උපවාසයක් ආරම්භ කර තිබේ.

48 හැවිරිදි සදාර් පසුගිය දශක දෙක තුළ ඉරාක මහජන සහ දේශපාලන ජීවිතයේ ප්‍රමුඛ චරිතයක් විය.

හිටපු පාලක සදාම් හුසේන් බලයෙන් පහ කළ 2003 ආක්‍රමණයෙන් පසුව එක්සත් ජනපදයට සහ ඉරාක රජයේ මිත්‍ර හමුදාවන්ට එරෙහිව සටන් කළ බලවත්ම මහජන හමුදාවලින් එකක් වූයේ ඔහුගේ මෙහ්දි හමුදාව යි.

ඔහු පසුව එය සාම බලකාය ලෙස නැවත නම් කරන ලද අතර, එය පැරාමිලිටරි ජනප්‍රිය බලමුලු ගැන්වීමේ බලකායේ විශාලතම මිලිෂියාවන්ගෙන් එකක් ලෙස පවතී.

කළු පැහැති තලප්පාවක්, කළු පැහැති ඇස් සහ අයෝමය සිරුරකින් හෙබි ඔහු ඉරාකයේ වඩාත් ප්‍රසිද්ධ චරිතයකි. ඉහළ විරැකියාව, අඛණ්ඩ විදුලි කප්පාදුව සහ දූෂණයෙන් පීඩාවට පත් සාමාන්‍ය ඉරාක ජනතාව වෙනුවෙන් ඔහු පෙනී සිටියේය.

ඔහු ඉතා ඉක්මනින් සිය දහස් ගණනක ආධාරකරුවන් පිරිසක් බළමුළු ගන්වා වීදියට ගෙන ඒමටත්, නැවත විසුරුවා හැරීමටත් හැකි අයෙකි. ඔහු වෙනුවෙන් සිය ගණනක ආධාරකරුවන් පිරිසක් දෙවරක්ම ජුලි සහ අගෝස්තු මාසවලදී පාර්ලිමේන්තුවට කඩාවැදී, ඒ අවට කඳවුරු බැඳගෙන සිටියේය.

වරක් ඉරාන මිත්‍රයෙකු වූ සදාර් දැන් ඉරාකයේ ෂියාවරුන්ගෙන් ඈත් වී ඉරාකයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වූ එක්සත් ජනපද සහ ඉරාන බලපෑම අවසන් කිරීමට වෙර දරන ජාතිකවාදියෙකු බවට පත්ව තිබේ.

1 thought on “ඉරාක ජනපති මැදුරේ තටාකය අත්පත්කරගත් සදාර්ගේ සටන්කරුවන්

  1. ඉරාක ජනපති මැදුරේ තටාකය අත්පත්කරගත් සදාර්ගේ සටන්කරුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *