කියුබානු සමාජවාදයේ මරලතෝනිය

යෞවනය විප්ලවීය උන්මාදයෙන් මන්මත් කළ රටක් ජාතියක් වෙනුවෙන් නොව මනුෂ්‍ය සංහතියේම නිදහස සෞභාග්‍යය වෙනුවෙන්ම කැප වූ උදාර නායකයකු වූ ආදරණීය චේ ගේ දේශය වෙත පසුගියදා මම ගියෙමි .

වර්ග සැතපුම් 42426 ක් වන මිලියන 11.4  (2014 ) ජනතාවක් වෙසෙන කියුබාව අත්ලන්තික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයකි. කුඩා දූපත් සමූහයකින් වටව මුහුදු බොකු සහ තුඩු රාශියකින් සමන්විත වීම කියුබාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ සංචාරක සේවා සංවර්ධනය ට මාහැගි පිටුවහලක් වී ඇත.

 1492 දී ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් මෙහි සිටි ආදී වාසීන් කෲර ලෙස යටත් කොට කියුබාව අල්ලා ගන්නා ලදී .යටත්වැසියන් වහල් කම්කරුවන් ලෙස ඉදිකිරීම් ව්‍යාපෘති වලට අමතරව කෝපි දුම්කල වගාවන් කිරීමටද යොදවන ලදී .විවිධ නගර තුළ අප නැරඹූ දැවැන්ත ඉදිකිරීම් ස්මාරකයන්හි යටිපෙළ ලියැවී ඇති දුක්ඛ සත්‍යය නම් මුල් පදිංචි කරුවන් ගේ ජීවිත දිය කරමින් මස් ලේ කැප කරමින් ඔවුන් කරන ලද දුෂ්කර මෙහෙවරයි .

මෙම සැහැසිකම් කොතරම් කෲර වූයේ ද යත් “ගෙල කපා මියැදෙන නගරය “නමින් වූ කලාපයක් අදටත් සංකේතවත්ව හවානා හි දක්නට ඇත. ලුහුබැඳ අල්ලා ගැනීමට පැමිණෙන ආක්‍රමණිකයාගේ ග්‍රහණයට ලක්ව තිරිසනුන් සේ යදමින් බැද දිවි ගෙවනවා ට වඩා මරණය යහපතැයි සිතා,  වහලුන් සියතින් ගෙල සිඳ ගත් බවකි ප්‍රකට වන්නේ.

 1868 –78 දස අවුරුදු ස්පාඤ්ඤ  — ඉංග්‍රීසි යුද සමයේ කියුබානුවන් ද  ස්පාඤ්ඤ පාලනයට විරුද්ධව නැගී සිටියද එය ජයග්‍රහනය නොලබා ම යටපත් වී ය.

දෙවන නිදහස් අරගලය ්‌ජෝ‌සේ මාටින් (jose marti ) ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණද  එය සාර්ථකත්වයෙන් කෙළවර නොවීය.

සන්නද්ධ කණ්ඩායමක් ලෙස  ආජන්ටිනාවේ සිට බෝට්ටුවකින් පැමිණි චේගුවේරා ප්‍රමුඛ විමුක්තිකාමීන් එතෙක් පැවති ඒකාධිපති කෲර බැටිස්ටා ගේ පාලනය පෙරළා දමා 1959 ජනවාරි පළවෙනි දින එකපාක්ෂික කොමියුනිස්ට් රාජ්‍යයක් පිහිටුවන ලදී .මෙම මාහැඟි ආදර්ශයට  කෘතගුණ සැලකීමක් ලෙස චේ ගුවේරා ප්‍රමුඛ නායකයන් ගේ පිළිරූ ස්මාරක කියුබාව පුරාම ප්‍රදර්ශනය වේ.

 විප්ලවයෙන් පසු රටේ පැවති සියලු ව්‍යාපාර ධන සම්පත් රජය සතු කරන ලද අතර, ව්‍යාපාරිකයන් සියල්ල රට හැර ඇමරිකාවට පලායන ලදී. මේ සමගම ඇමරිකාව සියලු රාජතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවා විශාල සම්බාධක තොගයක් ළදරු කියුබාවට එරෙහිව පනවන ලදී . මෙහි දී ජාත්‍යන්තර සහයෝගය ප්‍රකට කරමින් සෝවියට් දේශය කියුබාව සුරැකීමට කළ හැකි සියලු උපකාර ලබා දීමට තරම් නොමසුරු විය.

 ක්‍රමයෙන් මෝදු වූ කියුබන් ඇමරිකන් ගැටුම න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ප්‍රසාරණය වූ අතර 1962 රුසියා ඇමරිකා න්‍යෂ්ටික යුධ ගිවිසුම මගින් ගැටුම සමනය  විය.

ලෝපුරා ඇවිල ගිය යැංකි  විරෝධී සටන් ව්‍යාපාර වලට නොමසුරුව ජාත්‍යන්තර වාදී රුධිරය මතවාදීව පමණක් නොව ශාරීරිකව සැපයීමට  ද කියුබානුවන් කැප වූහ . 

අසල්වැසි නිකරගුවා, බොලීවියා ,එල් සැල්වඩෝර් වල පමණක් නොව ඈත කොංගෝ ඉතියෝපියා ,ඇන්ගොලා ,වියට්නාම් ආදී ලෙසින් සටන කොතැනද ,එතැන කියුබානුවන් වගකීම් සහගතව බර කරට ගනු ලැබිණ ‍.

 සමාජවාදී රාජ්‍ය පද්ධතිය තුළින් ම හටගත් වයිරසයන් ව්‍යාප්ත වීම හේතුවෙන් සෝවියට් දේශය ප්‍රමුඛ රාජ්‍ය පද්ධතියම 1990 වන විට කැඩී විසිරී යනු ලැබුවා. කියුබාවට කළක් තිස්සේ ලැබුණු ජාත්‍යන්තර ආධාර නොලැබීම එහි ආර්ථිකයට දරාගත නොහැකි මරු පහරක්  විය . දහස් ගණන් කම්මල් වැඩ බිම් පාළුවට ගිය අතර මූලික උවමනා සපුරා ගැනීමට නොහැකි වූ සියගණන් ජනතාව කුඩා බෝට්ටුවල නැගී පටු සමුද්‍රතීරය තරණයට ගොස් සිය ගණන් මිය ගිය අවස්ථාවන් ද අතීත සටහන් අතර වේ .

2002දී ජිමී කාටර් සහ ඔබාමා පාලන සමයේ යම් යම් සම්බාධක ඉවත් කළ අතර බයිඩන් සමයේ  ඇති කරගත් එකඟතා අනුව 2023 දි ඇමරිකානුවන්ට  කියුබා සංචාරයට වීසා ලබාදීමටද නියමිතය. දැනට මානුෂික ආධාර යටතේ  ඇමරිකාව ඖෂධ ආහාර  සහ වෛද්‍ය උපකරණ විටින් විට ප්‍රදානය කරන අවස්ථාවන්ද නැත්තේ නොවේ .

වෛද්‍ය සේවාවන්  සහ විධිමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේම ලැබීමට කියුබානුවන් පුරුදු වි ඇත.

  කියුබාව පුරාම දිනපතා  සුදු කබා හැදී වෛද්‍යවරුන් ගෙන් ගෙට යන ආකාරයන් ද අපි දුටුවෙමු.

 එහෙත් ව්‍යවස්ථාවෙන්ම ශපථ කළ භාෂණයේ  රැස්වීමේ සහ විරෝධය පෑමේ නිදහස  කියුබානුවන් ගෙන් අහිමි කොට ඇත.

 බහුතරයක් පවුල්  දිවිගෙවන්නේ වර්ග අඩි හාරසීයක් තරම් කුඩා නිවස තුළය.

නළ ජලය සහ සමහරවිට විදුලිය ද නැති (විසන්ධි කළ )නිවාස පද්ධතීන් ද අපි දුටුවෙමු. පවුලේ දරුවන් දෙදෙනෙකු සිටී නම් දැනට ජීවත් වන නිවස මත එවැනිම කොටසක් ගොඩනඟා පදිංචි වීම සුලභ දසුනකි .තැනක කුඩා තට්ටු නිවාස වුවද  ඉල්ලුම ඉතා විශාල වන අතර රජයේ සේවකයන්ට ප්‍රමුඛතාවය ලැබේ .

රටේ පවත්නා සියලු ලොකු කුඩා ව්‍යාපාර පාලනය කරනු ලබන්නේ රජය විසිනි. පුද්ගලික ව්‍යාපාර තහනම් බව ද මග පෙන්වන්නා පැවසීය. නිවාස මිලදී ගැනීමට බැංකු ණය පහසුකම් ද නැති අතර නිවාසයක් ලැබීමේ සිහිනය සැබෑ කර ගත හැක්කේ විදේශ රටක රැකියාව කරන පවුලකට පමනි .එවන් වර්ග අඩි හාරසීයක් තරම් කුඩා නිවසක් වුව ඇමරිකන් ඩොලර් 45000  ක් පමණ බැව් ප්‍රකාශ වුනි.

පොදු ප්‍රවාහනය අන්තයටම පිරිහී ගොස් ඇත .

රැකියාවට නගරයට යන පිරිස් වරු ගණන් මග දිගට යන යන රථවාහන වලට අත ඔසවමින් ගමන් කරති .

නගරයට පැමිණ නැවත යද්දි , හවානා නගරයට පිටතින් ඇතුළු වන සියලු වාහන ආසන ප්‍රමාණයට පිරිස ගෙනයා යුතුය. .එය පරීක්ෂාකොට එසේ නොකරන රියැදුරන්ගෙන් දඩ අය කරන ස්ථාන ද අප දුටුවෙමු. (මෙය සංචාරක බස් වලට අදාල වන්නේ නැත) ඉන්ධන හිඟය සහ වාහන අමතර කොටස් ගෙන්වීමට විදේශ විනිමය නැතිකම මෙම අර්බුදයට හේතු වී ඇත.

කන්ටේනර් වල ඉහල කුඩා කවුලු තනා ධාවනයට සකසාගත්  බස් රථ කීපයක් ද නගරයේ දී දක්නට ලැබුණි. බයිසිකල් , අශ්ව කරත්ත,ට්‍රයිසිකල් නගර තුළ  ප්‍රවාහන මාධ්‍ය වී ඇත. පාපැදි මිල ද ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතියි .මේ අතර පාසල් ප්‍රවාහනයට  බස් තොග වසරක් පාසා  පිරිනැමීමට  කැනඩාරජය කටයුතු කරයි.

  දිනක් උදේ 6:00 ට ආරම්භ වූ අපගේ නගර ත්‍රිත්වයක සංචාරය කිලෝමීටර් 720 මඟ ගෙවා රාත්‍රි 9:30 ට නැවත හෝටලයට පැමිණීමට තරම් ඉක්මන් වූයේ පාරේ කිසිදු වාහන තදබදයක් නොතිබිම නිසාය.

යාන්ත්‍රික උපාංගයක් සේ නිරතුරුවම ක්‍රියාත්මක වන ශරීර ඇති  ජපන් ජාතිකයන්ගේ හැසිරීම් රටා  ගැන ද වැටහීමක් ඇති මට ,පිල්කඩේ ,ගෙපිළේ  එකමුතුව කාඩ් සෙල්ලමේ සහ දාම් ඇදීමේ,  සල්ලාපයේ හෝ උයනක රිද්මයකට ගායනයේ හෝ නර්තනයේ යෙදෙමින් ජීවිතය විඳින කියුබානුවන්ගේ වෙනස් ජීවන රටාව ආනන්ද ජනකය.

මුඩුබිම් බැලූ බැලූ අත දිස්වුවද තැන් කිහිපයක පමණක් කෙසෙල් ,කෝපි ,වී සහ දුම්කොළ වගා බිම් ස්වල්පයක් දක්නට ලැබුණි .කෘෂි නිපැයුම් සියයට හැත්තෑවක් ම ආනයනය කරනු ලබන්නේ ,අවශ්‍ය යෙදවුම් සහ යන්ත්‍ර සූත්‍ර පොහොර ආනයනයට ඩොලර් නැති වීම නිසාවෙනි.

කියුබාව නව මිතුරන් සොයමින් සිටින අතර චීනය ,කැනඩාව, උතුරු කොරියාව, වැනිසියුලාව , බ්‍රසීලය, ස්පාඤ්ඤය ,ජර්මනිය සමඟ දැනටමත් යම් යම් හවුල් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබයි. ඩීසල් බලාගාර ,සූර්ය බලශක්ති ව්‍යාපෘති සහ දැවැන්ත හෝටල් පද්ධති මේ සබඳතා ඔස්සේ නිමවා තිබේ.  වර්ෂය පුරාම කැනේඩියානු වන් දහස් ගණනක් කියුබාවේ හෝටල්තුල හිරුරැස් සහ කරදිය ස්නානය කරමින්  දින ගණන් ගත කරන ආකාරය ද අත් දුටුවෙමු .බොහෝ වර්ග වල මත්පැන් 24  පැය පුරාම ඕනෑම ප්‍රමාණයක් නොමිලේම පානය කළ හැකි වීමද මෙම  හෝටල් වල ඇති විශේෂත්වයකි.

 පාළුවට ගිය විශාල ගොඩනැගිලි තුළ දිරාපත්වන යන්ත්‍රසූත්‍ර ඈත පළාත් සංචාර තුළදී දුටුවෙමු .මෙහි ඇති තෙල් ලිං කීපයකින්  නිපදවන petroleum වල සල්ෆර් සංයුතියේ ප්‍රශ්න නිසා වාහන ධාවනයට යොදාගත නොහැකි බවක් පළවුණි. වගා කරන දුම්කල යොදා නිපදවන හවානා සුරුට්ටු ඉතා ඉහල මිලකට (එකක් ඩොලර් 50 ක් 60 ක් ) අලෙවි වන නිෂ්පාදනයක බව මග පෙන්වන්නා පැවසීය.

trinidad නගර සංචාරයේදී  සංස්කෘතික ස්ථානයක් නැරඹීමට ගිය මම එහි පින්තූර කාඩ් අලෙවිසැලක වූ තරුණියකට මා  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්ව සිටි බැව් ප්‍රකාශ කළෙන් ,ඇය වහා ඊට හෘදයංගම ප්‍රතිචාර දක්වා, තම ලැමට සුරත තබා එම අත මට යොමු කොට සමාචාර පැවැත්වීමෙන් නොනැවතී ඈ විකිණීමට තබා තිබූ කාඩ් පතක l love you සහ හදවතක් ද  සටහන් කොට මාවෙත පිරිනැමීමට තරම් උණුසුම් සහෝදර බැඳීමක් ප්‍රකට කරන ලදී.

අපට සම්මුඛ වූ පුද්ගලයන් හා සිද්ධීන් විසින් ප්‍රකට කරනු ලැබූයේ කියුබාව කරවටක් ගිලී ඇති ආර්ථික ප්‍රපාතයේ ශෝකාලාපයයි .නැටුම් ගැයුම් වැයුම් මැද  සංචාරකයන් සතපවන ලෝකය සහ  සැබෑ කියුබාව අතර මහා දුරක් ඇති බව පැහැදිලි විය.

ඒ අතර කෝවිඩ් අර්බුදයත් සමගම   

ප්‍රජාතන්ත්‍රවාදය නිදහස හා ජීවිතය ඉල්ලා පසුගිය වසරේ කියුබාව පුරාම නගරවල ආණ්ඩු විරෝධී මහා ජනතා උද්ඝෝෂණ වූ බව ද සඳහන් වේ .පොදුවේ කියුබානුවන් හැම දෙනා තුළ ම පාහේ සැබෑ සහෝදරත්වය ,හර්දයාංගම බව සහ මුල් විමුක්තිකාමීන් කෙරෙහි වූ ගෞරවය ප්‍රකට කළ  අතර දැනට කියුබාවේ පවත්නා ක්‍රමය නොරුස්නා බැව්ද ප්‍රකාශමාන විය. මේ වෙනුවට vietnam කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රමය වන  නිදහස් වෙළෙඳපොළ ආර්ථික රටාවක් ආදේශ කලොත් යන්න මා යෝජනා කළ විට ඊට මිශ්‍ර ප්‍රතිචාර දැක් වූ බැව් ද සටහන් කළ යුතුය.

සටහන – හේමසිරි අබෙිවර්ධන

ReplyForward

Leave a Reply

Your email address will not be published. Required fields are marked *