කිසිවක් නොකර සියල්ලන්ම ගන්නා වනජීවියේ රිවොඩ්ස්

Wildlife rewards for doing nothing and taking it all

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත්කළ රිවෝඩ් හෙවත් ත්‍යාග අරමුදල් ඇත්තේ කිහිපයකට පමණය. ඒ සම්බන්ධයෙන් අප දන්නා ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා රේගුවය. ශ්‍රී ලංකා පොලීසිය, සුරාබදු දෙපාර්තමේන්තුව ආදිය එසේ ත්‍යාග අරමුදල් ඇති රාජ්‍ය ආයතනයන්ය. එම ත්‍යාග අරමුදල්වලින් ඒවාහි සේවකයින්ට ප්‍රතිලාභ ලැබෙන්නේ ඔවුන්ගේ රාජකාරියේ සුවිශේෂී කාර්යයන් ඉටු කිරීම වෙනුවෙනි. බොහෝ විට එවැනි සුවිශේෂී කාර්යයක් රාජ්‍යයට ආදායම් අහිමි කරන හෝ වෙනත් ආකාරයේ අලාභයක් සිදුකරන වැටලීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් විය හැකිය. එම වැටලීම් වලින් හෝ අත්අඩංගුවට ගැනීම් මගින් බොහෝ විට රාජ්‍යයට ආදායම් උපදවීමක් සිදුවන අතර එසේ උපදවන ආදායමෙන් කොටසක් බැර කිරීම මගින් මෙම ත්‍යාග අරමුදල් නිර්මාණය කර ඇත.

එහෙත් ඉහත සඳහන් කළ ආකාරයට නොව රාජ්‍ය ආයතන සේවකයින්ගේ දෛනික රාජකාරියට ත්‍යාග ලෙස හෝ වෙනත් නාමකරණයකින් අතිරේක ගෙවීම් සිදුකරන සහ ඒ සඳහා අරමුදලක් ස්ථාපිතව පවතින රාජ්‍ය ආයතනයක් යනු සුවිශේෂි තත්වයකි. අප සඳහන් කරන්නට යන එම සුවිශේෂී තත්වය හිමිකරගෙන තිබෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවය.
එහි අරමුදලක් තිබේ. එය එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ආරම්භ වුවක් යැයි කියනු ලැබේ. සමහරවිට එම අරමුදල ආරම්භ වී ඇත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන සේවකයින් ඇගයීමට විය හැකිය. එහි වරදක් අප දකින්නේ නැත. එහෙත් එවැනි අරමුදලකින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට හා සියලු සේවකයින්ට දීමනා ලෙස හෝ වෙනත් නාමකරණයකින් වාර්ෂිකව යම් මුදලක් ගෙවීම සාකච්ඡාවට ලක්කළ යුතු කරුණකි. මන්ද සියලු සේවකයින්ට එසේ එම අරමුදලෙන් වාර්ෂිකව මුදලක් ලැබෙන්නේ සුවිශේෂී රාජකාරියක් ඉටුකිරීම නිසා නොවන හෙයිනි.

ජාතික වනෝද්‍යාන නරඹන්නන්ගෙන් අයකරනු ලබන උද්‍යාන පිවිසුම් ගාස්තු හා සේවා ගාස්තු, පනත යටතේ නිකුත් කෙරෙන ධීවර බලපත්‍ර නිකුත් කිරීමේදී අයකරනු ලබන ගාස්තු, දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරනු ලබන පොත්පත්, පෝස්ටර්, පත්‍රිකා හා සුභපැතුම් පත් ආදිය විකිණීමෙන් ලැබෙන මුදල්, ජාතික වනෝද්‍යානවලට ඇතුළුවන විවෘත වාහන සඳහා අය කරනු ලබන ගාස්තු, ජාතික වනෝද්‍යාන තුළ කරන රූගත කිරීම් සඳහා උපකරණ භාවිතය සඳහා අයකරනු ලබන ගාස්තු, සතුන් හෝ ශාක ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සඳහා අයකරනු ලබන ආනයන අපනයන ගාස්තු, ජාතික වනෝද්‍යාන තුළ ඇති කඳවුරු බිම්වලින් අයකරන ගාස්තු, ජාතික වනෝද්‍යාන සංචාරක බංගලාවල ප්‍රයෝජනය සඳහා දෙපාර්තමේන්තුවෙන් සපයනු ලබන රෙදිපිළි ආදිය වෙනුවෙන් අයකරනු ලබන ගාස්තු වශයෙන් ‘වනසත්ව සංරක්ෂණ අරමුදල’ ට බැරවෙන ආදායම් වශයෙන් නම්කර ඇත.

එම නම් කිරීම සිදුකර ඇත්තේ 2003 ජුනි 23 දින අංක 1294/1 වශයෙන් එවක පාරිසරික හා ස්වභාවික සම්පත් අමාත්‍ය රුක්මන් සේනානායක විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින්ය. එම නියෝග නිකුත් කර ඇත්තේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ නියෝගයක් වශයෙන්ය. මෙම නියෝගයට පෙර එම වනසත්ව සංරක්ෂණ අරමුදලට ජාතික වනෝද්‍යානවලට ඇතුල්වීමේදී මහජනයාට හා වාහනවලට අයකරන ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු හා ආදායම් බැරවී නැති බව ඒ අනුව පැහැදිලිය. එයින් කියවෙන්නේ එම අරමුදල පිහිටුවන සමයේ එකී ආදායම් එම අරමුදලට අයත් නැති බව සැළකූ බවයි. ඇත්තටම සිදුවිය යුත්තේද එයයි. ඇතුල්වීමේ ගාස්තු අය කිරීම ඇතුළු ඉහතින් සඳහන් කරන ලද සියලු අයකිරීම් වූකලී එම දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සාමාන්‍ය රාජකාරියට අයත් දේවල්ය. ඒ කිසිවක් වැටලීම් වැනි සුවිශේෂි රාජකාරි වන්නේ නැත. එමෙන්ම එම ආදායම් වැටලීමක් මගින් රජයට අමතර ආදායමක් උපයා දීමක් හෝ රජයට අහිමිවන යම් ආදායමක් වළක්වාලීමක් වන්නේද නැත.

මෙම අරමුදලට ආදායම් ලැබෙන ලෙස සඳහන් කර ඇති ප්‍රභවයන් වෙතින් කොතරම් ප්‍රතිශතයක් ලැබෙනවාදැයි යන්න පිළිබඳ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එක් එක් ප්‍රභවයන්ගෙන් ලැබෙන ආදායම් පිළිබඳ ඔහුට මතකයෙන් කිව නොහැකි බවයි. එමෙන්ම මෙම අරමුදල වෙනම ගිණුමක් වශයෙන් පවත්වාගෙන යනු ලබන්නක් නොවන බවද එම දෙපාර්තමේන්තුවේ පොදු ගිණුමේ ඒ පිළිබඳ සඳහන් වන බවද ඔහු කීහ.
එකඟවූ රාජකාරි වෙනුවෙන් සේවකයින්ට ගෙවන දිරි දීමනා හා භාණ්ඩාගාර ප්‍රතිපාදන ප්‍රමාද අවස්ථාවල ගමන් වියදම් ආදිය ඒ මගින් සලසා ගන්නා බවද ඔහු කීහ. පොදුවේ දෙපාර්තමේන්තුවේ සේවකයින්ට මෙම අරමුදල මගින් යම් මුදලක් ගෙවනවාදැයි ඇසූ විට ඔහු කීවේ සෑම සේවකයෙක්ටම වාර්ෂිකව ප්‍රසාද දීමනාවක් ඒ මගින් ගෙවන බවය. එහි ප්‍රතිශතය හෝ මුදල කොපමණදැයි විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ ඒ ගැන ඇති තොරතුරු නොබලා එය කිව නොහැකි බවත්, පැමිණීම රාජකාරිය ඉටුකිරීම ආදී කරුණු සලකා බලා එම දීමනාව ගෙවන බව හා සලකා බලන කරුණුවල අසාර්ථකත්වය මත ගෙවන දීමනාව අඩුවන බවයි.

රුක්මන් සේනානායක අමාත්‍යවරයා විසින් 2003 වර්ෂයේදී වනසත්ව සංරක්ෂණ අරමුදලට එම දෙපාර්තමේන්තුවේ සියලු ආදායම් ප්‍රභවවලින් මුදල් ලැබෙන ආකාරයට ප්‍රකාශයට පත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන නැහැ නේදැයි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ පිළිතුර වූයේ එම ආඥා පනතේ සෑම වගන්තියක් සම්බන්ධයෙන්ම නිකුත් කරන ගැසට් නිවේදන (නියෝග හෝ රෙගුලාසි) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු නැති බවයි. රක්ෂිත ප්‍රදේශ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍ර පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

එහෙත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම පිළිතුර අසත්‍යයක් වන බව අපකළ සොයා බැලීමේදී හෙළිදරව්වූ අතර ඒ සම්බන්ධයෙන් එම ආඥා පනතේ දැක්වෙන්නේ ‘ අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක්ම එය පල කරනු ලැබීමෙන් පසු හැකිතාක් ඉක්මනින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් අනුමත කරනු නොලැබූ දින සිට අවලංගු ලෙස සලකනු ලැබිය යුතු නමුත් එය යටතේ කලින් කරන ලද යම් දෙයකට එයින් හානි සිදු නොවිය යුතුය. නියෝගයක් අවලංගු ලෙස සලකනු ලබන දිනය ගැසට් පත්‍රයේ පල කරනු ලැබිය යුතුය.’ යනුවෙන්ය.

ඒ අනුව පැහැදිලි වන දෙය වන්නේ වනසත්ව සංරක්ෂණ අරමුදලට මුදල් ලැබෙන මාර්ග වශයෙන් රුක්මන් සේනානායක මහතා 2003 වර්ෂයේ නිකුත් කර ඇති නියෝග පාර්ලිමේන්තුවෙන් අනුමත කර නැති බැවින් එහි නීත්‍යානුකූල භාවයක් නැති බව හා ඒ යටතේ අරමුදලට රැස්කර ගන්නා මුදල්වලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු එහි සියලු සේවකයින් වාර්ෂිකව ලබා ගන්නා ප්‍රසාද දීමනාව නීත්‍යානුකූල එකක් නොවන බවය.

(ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පතෙන් උපුටා ගන්නා ලදි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed