කොළඹ ක්‍රියාකාරී කම්ටුව හමුවේ නන්නත්තාර වු බෞද්ධ අන්තවාදියෝ

අපේ වාර්තාකරු

හිටිවන ප්‍රහසන (Stand-up comedy) රංගන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කැඳවූ ජුනි 7 දින කොටුව උසාවිය අසල කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ඇය ආරක්ෂා කරමින් උද්ඝෝෂණයක නිරත විය.  

උසාවිය අසල ඇයට එරෙහිව විරෝධතාවයක නිරතවෙමින් ‘නව ජනතා පෙරමුණ’ නමින් පෙනී සිටි, පනහක් පමන භික්ෂූන් ඇතුලත් සියයකට මදක් වැඩි කණ්ඩායමක් පහත දැක්වෙන සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටියහ: “රට වනසන ආගමික කුමන්ත්‍රණවලට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු!” “ආගමික සංහිදියාවට බාධා කරන්නන් වහා අත්අඩංගුවට ගනු!”  “ආගමික සංහිඳියාවට බාධා පමුනුවන stand-up comedy වලට සල්ලි එන්නේ කොහෙන් ද?” “stand-up comedy බලල් අත කාගේ ද?” “මහ මොලකරු කවුද?” “නතාෂා- බෲනෝ එන්ජීඕ කාක්කෝ!”

නතාෂා මැයි 28 දින අත්අඩංගුවට ගනු ලබන්නේ බුද්ධාගමට අපහාස කළේ ය යන චෝදනාව මත වන අතර ඉහත සදහන් උද්ඝෝෂණ කණ්ඩායම හුදෙක් “ආගමික සංහිඳියාව” මිස බුද්ධාගමට විරුද්ධ වීමක් ගැන වචනයක්වත් සිය පුවරුවල ලියාගෙන තුබුණේ නැත. වරප්‍රසාධිත සිංහල බෞද්ධ, ධනේශ්වර දේශපාලන ව්‍යාපාරය භාවිත කරන ‘ආගමික සංහිදියාව’ යන පදයට නිශ්චිත පන්ති අර්ථයක් ඇත. එනම්, එය, පන්ති පාලනය අර්බුදයකට මුහුණ දෙන සැම අවධියකම තමන් විසින් සංවිධානාත්මකව ඉස්මත්තට ගනු ලබන ආගමික පසමිතුරුකම් අවශ්‍ය මොහොත දක්වා සමහන් කර තබනු වස්, කලින් කළට ඔප දමා ඉදිරියට වඩම්මන අධිපතිවාදී ව්‍යාජයකි. බුද්ධාගමට ‘මූලිකස්ථානය’ දිය යුතු යැයි ද රාජ්‍යය එයට අනුග්‍රහයය දිය යුතු යැයි ද වරප්‍රසාද පවරමින් අන්‍ය ආගමිකයන්ට  හුදෙක් ආගමක් ඇදහීම හා සංවිධානය කිරීම  යන අයිතිය ඇතැයි නීති ගත කරන වර්ගවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මෙම පල්ල ගිය ‘සංහිඳියාවේ’ දිග පළල තීරණය වී තිබේ. පීඩිත, සුලු වාර්ගික, ආගමික කණ්ඩායම් සම්බන්ධයෙන් ගත් කළ ඉන් අදහස් වන්නේ මෙකී ආධිපත්‍යය ප්‍රශ්ණ කිරීමෙන් තොරව පිළිගැනීමයි.

නව ජනතා පෙරමු

කම්කරු මහජනතාව ඕනෑම පුද්ගලයෙකු තමන්ට කැමති ආගමක් ඇදහීමට හෝ නිරාගමිකව සිටීමට ඇති අයිතිය ආරක්ෂා කළ යුතු අතර, කම්කරු පන්තියේ භේදකරනයන් උත්සන්න කිරීම පරාජය කළ යුතු වීමේ අර්ථයෙන්  ඒවා අතර ගැටුම් ප්‍රතික්ෂෙප කළ යුතු ය. එම අයිතිය පිළිගන්නා, ඒ ගැන සෑබෑ ලෙස උනන්දු වන අය, ගලගොඩ අත්තේ ඥානසාරගේ සිට ඩෑන් ප්‍රියසාද් දක්වා වූ වඳ කොත්තු, වඳ යට ඇඳුම් මෙන් ම පැලෝපීය නාලවලින් වඳ කරන සැත්කම් පිළිබද විසකුරු ආගම්වාදී හා වර්ගභේදවාදී කථා නිර්මාණය කලවුන් ගැන සලකා බැලිය යුත්තෝ ය. පෙර කී ව්‍යාපාරයෙන් හා තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් උරුම වූ දායාද අතරින් බළල් අත්, මහ මොලකරුවන් සහ එන්ජීඕ කාක්කන් යන කොටස් පමණක් ඉතා අමාරුවෙන් ඉතිරි කරගෙන ඇතත්, ඒවායේ ද වටිනාකම අඩු වී, වෙළඳාමෙන් අලාභ විදින්නට ඊනියා නව ජනතා පෙරමුණට සිදු වී තිබූ බව පෙනී ගියේ ය. පිරිවෙනකින් වැනි තැනකින් පුරුදු කර මහ උන්නාසේලාගේ ආධිපත්‍ය මත කැදවාගත් සාමනේර පිරිස කල් ඇතිව පිටත් කිරීමට සිදු වූ විට උද්ඝෝෂණ කණ්ඩායම අඩකින් කැපී ගියේ ය.

නව ජනතා පෙරමුණේ කොටසක් වන, නව ජනතා භික්ෂූ පෙරමුණේ මහ ලේඛම් හා ජනතා අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් පදනංගල සමිත නැමැති භික්ෂුව ඇතුලු නායකයන්, උද්ඝොෂණය අතරතුර මාධ්‍යයට කළ ප්‍රකාශය ඉල්ලා සිටියේ ධනපති පාලනයට විරුද්ධව කම්කරු පන්තියේ ඒකාබද්ධතාව බිද දමන ඉහත කී සිංහල බෞද්ධ ‘සංහිදියාව’ ය. ඔහු සිය කතාව ආරම්භයේම ඇද බෑවේ මුසාවාදයකි: “මේ නතාෂා කියන ස්ත්‍රිය, මගේ උතුම් බුදු රජානන් වහන්සේගේ දේශනාව සහ සිද්දාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය අළලා නො යෙක් විදිහේ නින්දා වන ආකරයේ කටයුතු කරන්නට යෙදුනා” යි කී ඔහු තමන් සියලු ආගම් වෙනුවෙන් පෙනී සිටින බව ද කී ය. “නතාෂාට සල්ලි පොම්ප කරන ඩයස්පෝරාවක්” නැමැති ගෝනි බිල්ලෙක් ද මේ භික්ෂුව විසින් මවා පෑවේ ය. “ශ්‍රී ලංකා රාජ්‍ය දෙකඩ කරනවා”  “නතාෂා නමැති කාන්තාව එලියට ගන්න නිරාගමිකයො වෙර මහන්සිය දරනවා”, “මේ නිරාගමිකයෝ මේ රටේ පාලන බලය ඉල්ලනවා.” ඔහු විලාප නැගී ය. 

අනතුරුව ප්‍රකාශයක් කළ එම කණ්ඩායමේ ගයත්‍රී සොයිසා අත්අඩංගුවට ගත යුතු ලයිස්තුවක් ප්‍රකාශයට පත් කළේ ය. “ජෙරම්, නතාෂා විතරක් නො වෙයි, සමනලී පොන්සේකා (රංගන ශිල්පිනී), බුදුන්ගේ රස්තියාදුව නම් පොතක් ලියූ උපුල ශාන්ත සන්නස්ගල, ජය ශ්‍රී මහ බෝධී හාමුදුරුවො ලග අඩියක් ගහන්න පුලුවන් නම් හොදයි කියපු (ප්‍රවීන රංගන ශිල්පී, ගීත රචක, හා ලේඛක) ජයසිරිලා වගේ අතීතයේ ඉදන් එන මේ නාඩගමේ කොටස්කරුවො සියලු දෙනාම” දඩු ගැසීමට යොජනා කළේ ය.

නව ජනතා පෙරමුණ වෙනුවෙන් නතාෂාට එරෙහි පොලිසයට පැමිණිලි කළ පුද්ගලයෙකු වන විමුක්ති ජයසුන්දර ආගම මිනිසාගේ අබිං ය යන මාක්ස්ගේ ප්‍රකාශය හෙළා දකිමින් “හැබැයි මේ අවසාන ලෙස කියන්නේ අපි මෙතනින් එහාට නිහඩව, නිස්ශබ්දව ඉවසිලි වන්තව ඉන්නේ නෑ” යි තර්ජනය කළේ ය. 

සමස්ත ආගම් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි මවා පෑ මෙම කථිකයෝ භාෂණයේ නිදහසට මුවා වීම ගැන අවධාරණය කළහ. එදින ම සවස් වන විට එහි අර්ථය මොනවට පැහැදිලි කරමින් සියලු රූපවාහිනී නාලිකා මෙම ප්‍රතිවප්ලවවාදී උද්ඝෝෂණය උත්කර්ෂයට නැංවූ වාර්තා විකාශනය කළ අතර නතාෂාගේ හා කලාවේ, ප්‍රකාශනයේ හා භාෂණයේ නිදහස වෙනුවෙන් කොළඹ ක්‍රියාකාරී කමිටුව ඔවුන් අභිමුවේ සිට කළ උද්ඝෝෂණය මහජනයාගෙන් වසන් කළේ ය. ඒවයේ ඇතැම් මාධ්‍යවේදීන් කොක්‍රික ප්‍රකාශන වාර්ථා ලබාගත් නමුත් මාධ්‍ය ආයතන ඒවා ප්‍රචාරය කිරීම ප්‍රතික්ශේප කර තිබිණි.   

මුල දී, කොලඹ ක්‍රියාකාරී කමිටුව නව ජනතා පෙරමුණට අභිමුඛව සිය සටන් පාඨ එසවූ විට, එකිනෙකාට එරෙහි පාර්ශව දෙකක් අභිමුඛව සිට උද්ඝෝෂණය කිරිම ප්‍රශ්නයක් වන බවත් ඒ නිසා කොක්‍රික පිරිස ඈතට යා යුතු බවත් පොලිසියේ නිගමනය විය. කොක්‍රික කියා සිටියේ “ඔවුන්ට තමන්ගේ අදහස වෙනුවෙන් පෙනී සිටීමට නීතියට අනුව හැකි බව අප පිලිගන්නා අතර අපටද එම අයිතිය ම ඇති” නිසා මෙතැන ප්‍රශ්නයක් මතු විමට හේතුවක්  නැති බව ය. එවිට පොලිසිය කැරලි මර්දන හමුදාව ද කැඳවා සීරුවෙන් තබන ලදී.

කොක්‍රික “නතාෂා සහ බෲනෝ නිදහස් කරනු, ඔවුන්ට එරෙහි බොරු නඩු ඉවත් කර ගනු” යන සටන්පාඨ එසවූ අතර ඒ සඳහා කම්කරු පන්තිය ප්‍රමුඛ ගොවි, ශිෂ්‍ය හා බුද්ධිමය ක්ෂේත්‍රවල නිදහස පතන සියල්ලන් මේ අරගලය වටා එක්රැස් වන ලෙස ඉල්ලා සිටියේ ය. 

පිකට් කිරීම අතරතුර මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් කළ කොක්‍රික ලේකම්, ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මෙසේ ප්‍රකාශ කලේ ය:

ශාන්ත විජේසූරිය

“මාධ්‍යවේදීන් හැටියට අපටත් ප්‍රශ්නයක් තියෙනවා අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පිලිබඳව.. නතාෂට බල පෑවේ කලාවේ නිදහස ගැන ප්‍රශ්නයයි. මේ අරගලය මතුවන්නේ කලාවේ නිදහසට අණ පැනවීමට විරුද්ධවයි. කලාවට අණ පැනවීම භයානක තත්වයක්. මම මාධ්‍යවේදියෙක් හා කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් හැටියටත් කියන්නේ නතාෂාගේ කතාව හරියට සිහිබුද්ධියෙන් ඇහුවා නම් ඇගේ ඉදිරිපත් කිරීමේ දී ඇය මතු කරන්නේ …. ආගමික කතාවක් නො වේ.

“එය වෙන කතාවකි. කාන්තාවක් හැටියට, මේ සමාජය ඇතුළේ තමන්ගේ පීඩනය නතාෂා මුදා හැර ඇත. එය විප්ලවකාරි වැඩකි. එහි ඇත්තේ විප්ලවීය අංකුරයකි. ආගමික ප්‍රශ්න උඩ මින් පෙර අත් අඩංගුවට ගත් අයගේ කතාවට වඩා වෙනස් කතාවක් මෙහි ඇත. සිහල ස්වෝත්තමවාදී, බෙෘද්ධ අන්තවාදී නැගීටීමක් ඇතුලෙන් මෙය පාවිච්චි කරන්න හදන්නේ ආණ්ඩුව විශාල වසයෙන් මෙයට ඇති බය නිසයි. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමෙන් සමාජය නැගිටිනවා. කාන්තාවෝ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා, ඇත්ත නේ මේ නතාෂා කියන්නේ කියා. ඒක දැනටමත් සිදු වී තිබෙනවා.

“බෞද්ධ බාලිකාව සම්බන්ධයෙන් වෙනස් යථාර්ථයක් ඇය පෙන්නුම් කරයි. ඒ වැනි අදහස් ප්‍රකාශ කරන්න අයිතිය ඇත. බුදුන්වහන්සේ හෝ ක්‍රිස්තුන්වහන්සේ හෝ ආගමීක කරුණු ගැන සාමාන්‍ය සමාජයේත් මේ වාද විවාද කෙ‌රෙනවා. මේ අපි ඉස්සරහ ඉන්න අය කියන කතාව නෙවේ අණ්ඩුවට තියෙන්නෙ. “ආණ්ඩුව බය මේ අදහස් නිසා සමාජය නැවත නැගිටල ජූලි නවය වගේ තත්වයක් ඇති වෙයි කියා. එනිසා මේ කාන්තාව මට අනුව නම් විප්ලවකාරී කාන්තාවකි. අපි ආරක්ෂා කරන්නේ හුදෙක් නතාෂා වෙනුවෙන් පමනක් නො වේ. මේ රටේ කම්කරු පීඩිත ජනතාවගේ ප්‍රකාශනයේ භාෂණයේ හා කලාවට පනවන මේ බරපතල තර්ජනයට විරුද්ධව යි අපි උද්ඝෝෂණය කරන්නේ. අරගලයේදී එතනට විශාල පිරිසක් ආවා. එතන ලොකු තරග තිබුණා . පහල මධ්‍යම පාන්තිකයෝ, ඉහල මධ්‍යම පාන්තිකයෝ, කම්කරුවෝ, පීඩිතයෝ මේ ඔක්කොම ආවා. අද නිදහසට විලංගු දාන වෙලාවේ මෙතන ඉන්න පිරිස [කොක්‍රික] විතරයි ඉන්නෙ. ජුලි 9 පාවාදුන් අය රනිල් ගේන්න වැඩ කල අය ඒ කියන්නේ ව්‍යාජ වම්මු ඇතුලු ජාතිකවාදී බලවේග හෙලිදරව් වෙලා. නමුත් මෙතන ඉන්න පිරිස [කොක්‍රික ]සමස්ථ කම්කරු පීඩිත මහජනතාවගේ අවශ්‍යතාව නියෝජනය කරනවා.”

කොක්‍රික විධායක සභාවේ නන්දන නන්නෙත්ති මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශ කලේය: 

නන්දන නන්නෙත්ති

“භාෂණයේ, ප්‍රකාශනයේ සහ කලාකෘති නිර්මාණය කිරිමේ අයිතිය සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දුනහොත් සත්‍ය දැනගැනීමට මහජනතාවට සහ සත්‍ය ප්‍රකාශ කිරීමට අවශ්‍ය අයට සත්‍ය හෙළිදරව් කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙන බව ඔබ දනී. එනිසා කොතැනදී කාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැති කරන්න කවුරු උත්සාහ කළත් එය සිඳ බිඳ දැමීම සදහා කොලඹ ක්‍රියාකාරී කමිටුව මැදිහත් වෙයි. ඒ නිසයි අපි කියන්නේ කලාවේ හා භාෂණයේ නිදහසට තබන අත සිඳිනු කියා. ඒක සිඳින්න ඔනෙ. නැතිනම් මාධ්‍යවේදීන් වන ඔබටත් මටත් සමාජයේ කිසිවෙකුටත් එම අයිතිය ඉතිරි වන්නේ නැහැ. 

“නතාෂා තනි ගැහැණියකි. ඇය කලාකාරිනියකි. ඇය ස්ටෑන්ඩ්අප් කමඩි කියන විරෝධතා ප්‍රකාශන නාට්‍ය වර්ගයක් භාවිතා කර ඇත. එය ප්‍රවනතාත්මක කලා විධියක්. ප්‍රවනතාත්මක කලාව සාකච්ඡා කරන්නෙ සමාජයේ තමන්ට එරෙහි වන බලවේගවලට විරුද්ධව. නතාෂා මෙහි පවතින වැඩවසම්, ගැහැනුන්ගේ කන්‍යාභාවය විමසන මහා කාලකන්නි සමාජ ක්‍රමයට විරුද්ධව ඉදිරිපත් වුණා. කාන්තාව ස්වභාවිකව තමන්ට ලැබුනු අඟපසඟ නිසා මේ ආකාරයට පීඩනයට පත් කරන සමාජ ක්‍රමයට විරුද්ධව ඇය කතා කර ඇත.

“ඇයි ආණ්ඩුවටත්, වර්ගවාදීන්ටත්, ආගම්වාදී අන්තවාදීන්ටත් මේක යුද්ධ ප්‍රකාශ කිරීමක් වුණේ? තනි ගැහැනියකගේ පොඩි කලා කෘතියක් යුද්ධ ප්‍රකාශ කිරීමක් වුනේ කෙහොමද? එය යුද්ධ ප්‍රකාශ කිරීමක් වුනේ අන් කිසි දෙයක් නිසා නො වේ, පසු ගිය කාළේ මහජනතාව මහ පාරට බැහැල පාර්ලිමේන්තුවෙ 225ම එපා කියා සටන් කලා. ඒක පාවා දුන්නා. ඒ පාවා දීම කලවුන්ටවත් පාලනය කරන්න බැරි නිදහස පිළිබද සංකල්ප සමාජය තුළ වර්ධනය වෙන්න පටන් අරන් ඇත. කාන්තාව තමන්ගෙ නිදහස ගැන යොමු වීමේ අර්ථය, ඉතාම රුදුරු ආකාරයට මෙම ධනේශ්වර සමාජ ක්‍රමය තුළ පවත්වාගෙන යන පීඩනය ගැන සාකච්චා කිරීමයි. ඒ නිසයි එය යුද්ධ ප්‍රකාශයක් ලෙස බාර ගෙන සියලු වර්ගවාදී උන්මත්තකයෝ, ධනපති ක්‍රමයෙන් ම ජීවත් වෙන්න බලාගෙන ඉන්න ව්‍යාජ වම්මු මේ සියලු දෙනා මේක වටේ පෙල ගැසී සිටින්නෙ. 

“මම පෙරේදා කතා කලා අනුලා ද සිල්වා කියන ප්‍රසිද්ධ ලේඛිකාවට. ඇය පොත් විශාල ගණනක් ලියපු ලේඛිකාවක්. කලාකාරයෙකුට නිදහස නැතිව කිසිදු නිර්මාණයක් කරන්න බැහැ. අනුලා ද සිල්වා කියනවා ‘මහ පිස්සු ගෑනියෙක්. ඒ ගෑනි කුමන්ත්‍රණකාරියක්. තේරෙන් නැද්ද? එයා රටවල් ගණනාවකම ඉදල තියෙනවා.’ අනුලට අනුව රටවල් ගනනාවක හිටපු නිසා නතාෂා ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරියක් වෙනවා! බුද්ධිමය ක්ෂේත්‍රය කෙතරම් බොලඳ තත්වයට වැටී තිබේ ද? අපි සටන් වදින්නේ මෙම බුද්ධිමය ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමටයි. මෙම ක්ෂේත්‍රයේ මෙබදු අතිශය නිර්මාණාත්මක කලා කෘති බිහි කරන කලාකරුවන් මේ ආකාරයට තමන් ගැනවත් පෙනී සිටින්නට බැරි තරම් නිවටයන් බවට පරිවර්තනය කල සමාජයක ඔබ, මම ජිවත් වෙන්නෙ. අපි සටන් වදින්නේ කලාකරුවන්ට හිස ඔසවාගෙන වැඩ කරන්න, ඔලුව උස්සගෙන කම්කරුවන්ට හිටගන්න, ඔලුව උස්සගෙන මාධ්‍යවේදීන්ට තමන්ගේ වැඩ කළ හැකි සමාජයක් ගොඩ නැගීමටයි. කොළඹ ක්‍රියාකාරී කමිටුව අත් නො හැර මේ සටන ඉදිරියට ගෙන යන අතර අපි ඉල්ලා සිටින්නේ සමස්ත කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මේවාට විරුද්ධව ගොනුකරන ලෙසයි. ගමේ ගොවියගේ, පීඩිතයගේ ඒ සමගම ජනමාධ්‍යවේදියගේ බුද්ධිමතුන්ගෙ, තරුණයන්ගේ බලය මේ වටා ඒකාබද්ධ කළ යුතු යි.

“මේ පරඩැල් ආණ්ඩුවලට, මේ යන එන මං නැති ධනපති පන්තියට, තමන් හිතන විදියට ඉදිරියට යන්න දෙන්න බැහැ. ඒ නිසා, කලාවට හා භාෂනයේ නිදහසට තබන අත සිඳ දමනු!.

දහසකුත් සංවිධාන අතරින් කම්කරු පීඩිත මහජනතාවගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න පන්ති අරගලය තුළම පරීක්ෂණයට භාජනය වේ. කප්පාදුවට එරෙහිව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂාව උදෙසා වැඩකරන මහජනතාවගේ ව්‍යාපාරයක් බවට  කොළඹ ක්‍රියාකාරී කමිටුවට ගොඩනැගීමට එයට බැඳෙන්න..

thesocialist.lk වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *