ගල් අඟුරු ටෙන්ඩරයේ සෙල්ලම්

Play in coal tender

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු දීර්ඝකාලීනව සම්පාදනය කිරීම සඳහා ලබාදී තිබූ ප්‍රසම්පාදනය කැබිනට් මණ්ඩල තීරණයක් අනුව මේ වනවිට අවලංගු කර තිබේ. එම ප්‍රසම්පාදනය අවලංගු කරන ලෙස ඉල්ලා ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමද ඒ අනුව ප්‍රතිඵල රහිත වනු ඇත.

එසේ වුවද එම ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාළ කරුණු අපට මඟහැර යා නොහැකිය. මන්ද එම ගල් අඟුරු ප්‍රසම්පාදනය අවලංගු කිරීමට අදාළ කරුණු මතුවූයේ ඒ තුළ විශාල වංචාවක් සිදුවී ඇති බවට ඇති වූ සංවාදය නිසාය. මෙම ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඉල්ලීම පරිදි විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එම වාර්තාවේ ඇති කරුණු මගින් මෙම ප්‍රසම්පාදනයේදී ඇත්තටම සිදුවී ඇත්තේ කුමක්ද යන්න තේරුම් ගත හැකිය. අපගේ මෙම උත්සාහය වන්නේ එම කරුණු ඔබට ඉදිරිපත් කිරීමය.

කතා බහට ලක්වූ ප්‍රශ්නගත ගල් අඟුරු ප්‍රසම්පාදනය වූයේ 2022-2023 කාලපරිච්ඡේදයට අදාළ ගල් අඟුරු ප්‍රසම්පාදනය කර ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ප්‍රසම්පාදනයය. ඒ සඳහා වූ කැබිනට් මණ්ඩල සංදේශය 2022 ජුලි 01 දින ඉදිරිපත් කර ඇති අතර ඒ මගින් ඉල්ලා ඇත්තේ ලියාපදිංචි කර ඇති සැපයුම්කරුවන්ගෙන් ණය පහසුකම් සහිතව ගල් අඟුරු මෙටි්‍රක් ටොන් මිලියන 4.5ක් දීර්ඝ කාලීන ප්‍රසම්පාදනයන් යටතේ මිලදී ගැනීමටය. එම අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2022 ජුලි 15 දින අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ලංකා ගල් අඟුරු සමාගම 2022-2023, 2023-2024 හා 2024-2025 ලෙස වාර තුනකට අදාළ පිළිවෙළින් ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 1.125ක්, 2.25ක් හා 1.125ක් ප්‍රසම්පාදනය කිරීමට සැළසුම් කර තිබී ඇත.

ඒ අනුව ප්‍රසම්පාදන කාල සටහන වී ඇත්තේ 2021 ජුලි 21 ලංසු සඳහා ආරාධනා කිරීම, ජුලි 28 පූර්ව ප්‍රසම්පාදන රැස්වීම, අගෝස්තු 10 ලංසු කැඳවීම අවසන් කිරීම, අගෝස්තු 12 තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම, අගෝස්තු 12 දිනම ප්‍රසම්පාදන කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම, අගෝස්තු 19 මහජන අභියාචනා මණ්ඩල තීරණය, සැප්තැම්බර් 07 කැබිනට් තීරණය හා සැප්තැම්බර් 09 කොන්ත්‍රාත් ප්‍රදානය ලෙසය.

ඒ අනුව ලියාපදිංචි සැපයුම්කරුවන් 07 දෙනෙකු වෙත ජුලි 21 දින ඊමේල් මගින් ලංසු ලියවිලි යවා ඇති අතර ජුලි 28 දින පූර්ව ප්‍රසම්පාදන රැස්වීම පවත්වා ඇත. එම රැස්වීම සඳහා ලංසුකරුවන් 03 දෙනෙකු පමණක් සහභාගි වී ඇති අතර ඉන් දෙදෙනෙකු ඔන්ලයින් මාර්ගයෙන්ද එක් අයෙකු භෞතිකවද සහභාගි වී තිබේ. එම පූර්ව ප්‍රසම්පාදන රැස්වීමේ දී සාකච්ඡාවූ කරුණු මත ලංසු කැඳවීමේ කාලය දින 08කින් දීර්ඝ කිරීමට තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර ඇති අතර ඉන්පසු ලංසු ලේඛන සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවෙන් අවසර ඉල්ලා ඇත. විශේෂ ප්‍රසම්පාදන කමිටුව ඒ සඳහා අවසර ලබාදී ඇතත් ලංසු කාලය දීර්ඝ කිරීම සඳහා කළ ඉල්ලීමට විශේෂ ප්‍රසම්පාදන කමිටුව අවසර ලබාදී නැත.

ලංසු ලේඛනයට සිදුකරන ලද සංශෝධනයන් පිළිබඳ ඊමේල් මගින් ලංසුකරුවන් දැනුවත් කිරීම 2022 අගෝස්තු 05 දින සිදුකර ඇති අතර ලංසු විවෘත කිරීම අගෝස්තු 10 දින සිදුකර ඇත. ලංසු ඇගයීමට අදාළ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව විශේෂ ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කිරීම අගෝස්තු 10 දිනම සිදුකර ඇති අතර එදිනම විශේෂ ප්‍රසම්පාදන කමිටුව දීර්ඝ කාලීන ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය Black Sand Commodities FZ LLC UAE සමාගමට පිරිනැමීමට තීරණය කර ඇත. ඉන්පසු අභියාචනා සඳහා අවස්ථාව ලබාදී ඇති අතර කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අගෝස්තු 22 වැනිදා ඉදිරිපත් කර ඇත. එදිනම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීමද සිදුකර ඇති අතර කොන්ත්‍රාත්තුව පිරිනැමීම සම්බන්ධයෙන් Black Sand Commodities FZ LLC UAE දැනුවත් කිරීම අගෝස්තු 25 දින සිදුකර ඇත.

එහෙත් එම කොන්ත්‍රාත්තුව පිරිනැමීම සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කිරීම සැප්තැම්බර් 02 වැනිදා සිදුවී ඇත.

ගල් අඟුරු සැපයීමේ මෙම කොන්ත්‍රාත්තුව අභියෝගයට ලක්වන්නේ හා ඒ සම්බන්ධයෙන් කතාබහ ඇති වන්නේ කොන්ත්‍රාත්තුව ලැබුණු Black Sand Commodities FZ LLC UAE සමාගම ලියාපදිංචි සැපයුම්කරුවන් 07 දෙනාගෙන් කෙනෙකු නොවීම තුළය. එම ප්‍රසම්පාදනයේදී ලංසු ඉදිරිපත් කිරීම සඳහා ඊමේල් මගින් ලියවිලි ලැබී තිබුනේ SUEK AG නැමැති ලියාපදිංචි සැපයුම්කාර සමාගමකටය. විගණනයට ලැබී ඇති තොරතුරු අනුව ලංසු ලියවිලි ලැබීමෙන් SUEK AG නම් ලියාපදිංචි සමාගම ජුලි 27 දින ලිපියක් මගින් සිය ලියාපදිංචිය Black Sand Commodities FZ LLC UAE වෙනස් කිරීමට ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම ලැබුණු ජුලි 28 දින පූර්ව ප්‍රසම්පාදන රැස්වීමද පවත්වා ඇති අතර එහිදීද එම සමාගම ඒ සම්බන්ධයෙන් කිසිඳු ඉල්ලීමක් කර නැත. එමෙන්ම විගණනය සඳහන් කරන්නේ ඊට පෙර ජුලි 20 දින එවන ලද ඊමේල් පණිවිඩයක් මගින් අගෝස්තු මාසයෙන් පසු SUEK AG සමාගමට රුසියානු ගල් අඟුරු සැපයීමට නොහැකි බැවින් ඒ වෙනුවෙන් සංස්ථාපනය කර ඇති Black Sand Commodities FZ LLC UAE සමාගම වෙත ලංසු ඉදිරිපත් කිරීම සඳහා ආරාධනා කරන ලෙස ඉල්ලීමක් කර ඇතත් එයට ලංකා ගල් අඟුරු සමාගම කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි.

සමාගම් දෙකම එකම කළමනාකරණයක් යටතේ පවතින බැවින් සැපයුම් තොරතුරු Black Sand Commodities FZ LLC UAE ලෙස වෙනස් කරන ලෙස SUEK AG 2022 අගෝස්තු 03 දිනැති ලිපියක් මගින් නැවතත් ඉල්ලීමක් කර ඇති අතර ඉදිරි ප්‍රසම්පාදනයන් සඳහා එම සමාගම හරහා SUEK AG සමාගම ඉදිරිපත් වන බවද දන්වා තිබේ. මෙම ඉල්ලීම් ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී තාක්ෂණික ඇගයීම් කමිටුව එය ඇගයීමට ලක්කර ඇතත් නිරීක්ෂණය කර ඇත්තේ එම සමාගම් දෙක අතර අන්තර් සමාගම් සම්බන්ධතාව තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ලේඛන ප්‍රමාණවත් නොවන බවයි. එසේ වුවද තාක්ෂණික ඇගයීම් කමිටුව SUEK AG සමාගම වෙනුවට Black Sand Commodities FZ LLC UAE සමාගම ලංකා ගල් අඟුරු සමාගමේ ගල් අඟුරු සැපයුම්කරුවෙකු ලෙස 2024 නොවැම්බර් 28 දක්වා ලියාපදිංචි කිරීමට නිර්දේශ කර තිබේ.

එය එසේ සිදුවෙද්දී විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන හා ඉංජිනේරු) විසින් 2022 අගෝස්තු 03 දින ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කළ පරිදි ලංසු ලේඛනයන්ට ‘ ලියාපදිංචි සැපයුම්කරුවන්ට ඔවුන් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමට වෙනත් හවුල්කරුවෙකු හෝ වෙනත් සමාගමක් සමඟ සම්බන්ධ වීමට හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ වීමට ලංකා ගල් අඟුරු සමාගම අවසර දෙනු ලබයි. කෙසේ වෙතත් සපයනු ලබන ගල් අඟුරුවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය සහ ඒ සඳහා ගෙවීම් ලියාපදිංචි ගල් අඟුරු සැපයුම්කරු සහ හෝ ඔවුන්ගේ බද්ධ ව්‍යාපාරයේ හවුල්කරු සහ හෝ ඔවුන්ගේ පැවරුම්ලාභියා විසින් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කළ යුතුය’ යනුවෙන් සංශෝධනයට ලක්කර ඇත. මෙම සංශෝධනය ලංසු ඉදිරිපත් කිරීම අවසන් කිරීමට දින 06කට පෙර ලියාපදිංචි සැපයුම්කරුවන්ට ඊමේල් මගින් දන්වා තිබුනද එම සංශෝධන ලද බවට කිසිඳු සැපයුම්කරුවෙකු දන්වා නැත.

එහෙත් අගෝස්තු 10 දින ලංසු විවෘත කිරීමේදී ලංසු ඉදිරිපත් කර ඇත්තේ Yongtai Energy Pte Ltd හා Black Sand Commodities FZ LLC UAE පමණය. එහිදී කොන්ත්‍රාත්තුව ලැබූ Black Sand Commodities FZ LLC UAE සමාගම නමින් ලංසු සුරක්ෂණය සහ නියෝජිතයෙකු ලියාපදිංචි කිරීම සිදුකර තිබී නැති අතර ඒවා සිදුකර ඇත්තේ SUEK AG නම් ලියාපදිංචි සමාගම විසින්ය.

ලංසු දත්ත පත්‍රිකාව, ලංසු පත්‍රය, ඇටෝනි බලපත්‍රය, තාක්ෂණික සහ වාණිජමය යෝජනාව, මිල යෝජනාව, අතිරේක ලදුපත හා ගල් අඟුරු සැපයුම් ගිවිසුම Black Sand Commodities FZ LLC UAE සමාගම ඉදිරිපත් කර තිබේ.
මෙම කටයුතු මෙසේ සිදුවද්දී ලංසු විවෘත කිරීමෙන් පසු ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන යෝජනා දෙකක් තාක්ෂණික ඇගයීම් කමිටුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා සිය නිර්දේශ වශයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට දන්වා ඇත්තේ එම යෝජනා ඇගයීම සුදුසු හා සදාචාරාත්මක නොවන බවයි.

දීර්ඝකාලීන ප්‍රසම්පාදනයට ලංසු ඉදිරිපත් කර සුදුසුකම් නොලත් සමාගම මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර නැතත්, ලංසු විවෘත කිරීමෙන් පසු ස්ව කැමැත්තෙන් යෝජනා ඉදිරිපත් කළ චීන රජයේ Black Sand Commodities FZ LLC UAE යන දීර්ඝකාලීන ටෙන්ඩරයට ඉදිරිපත් නොවූ සමාගම් දෙක දීර්ඝකාලීන ටෙන්ඩරය ප්‍රදානකය කිරීමේ ප්‍රසම්පාදන කමිටුවේ තීරණයට එරෙහිව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපතිට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම අභියාචනා ඉදිරිපත් කළ සමාගම් දෙක ටෙන්ඩරය ප්‍රදානය කර තිබූ Black Sand Commodities FZ LLC UAE සමාගම, ලංකා ගල් අඟුරු සමාගම 2022 ජුලි 21 දින ප්‍රකාශයට පත්කළ සුදුසුකම් ලත් ලංසුකරුවන්ගේ ලැයිස්තුවේ නැති බවට විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පාර්ශව 06කට පිටපත් සහිතව ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ ලංසුවේ වලංගුතාව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

මතුවී තිබූ එම නීතිමය තත්වය නිරාකරණය වන තෙක් කාර්සාධන බැඳුම්කරය ඉදිරිපත් කිරීමට නොහැකි බව Black Sand Commodities FZ LLC UAE සමාගම දන්වා ඇති අතර එම බැඳුම්කරය ඉදිරිපත් කිරීම දින 07කින් කල්දමමින් ලිපි හුවමාරු වී ඇත. එහෙත් කාර්යසාධන බැඳුම්කරය ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ 2022 සැප්තැම්බර් 22 වනවිටත් එම බැඳුම්කරය අදාළ සමාගම ඉදිරිපත් කර නැත. එසේ වුවද SUEK AG සමාගමේ දේශීය නියෝජිතයා වන පීටීසී හොල්ඩිංග්ස් සැප්තැම්බර් 21 දින ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළ ඇපකරය ගෙවීම් සහතික වීමක් ලෙස පිළිගත නොහැකි බව හා පිළිගත හැකි ණයවර ලිපියක් මත කොන්ත්‍රාත්තුව සඳහා එළඹෙන්නේ නම් කාර්යසාධන බැඳුම්කරය ඉදිරිපත් කළ හැකි බවයි.

කෙසේ හෝ මේ සියලුම විරෝධතා, ප්‍රතිවිරෝධතා හා වාදවිවාද වල අවසන් ප්‍රතිඵලය වූයේ ඉහතින් සඳහන් කළ පරිදි එකී ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අහෝසි කිරීමය.

දීර්ඝ කාලීනව ගල් අඟුරු මිලදී ගැනීමේ මෙම ටෙන්ඩරයට අමතරව ක්ෂණිකව ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයක්ද ඊට සමගාමීව සිදුවී ඇති අතර මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම්ද, ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන යෝජනා බාර ගන්නා ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ නිරීක්ෂණද, ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණද ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සැඟවී තිබූ බොහෝ තොරතුරු සපයයි. ඒවා ඉදිරි සතියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *