ගල් අඟුරු ටෙන්ඩරය විවෘත කළ පසු ස්වෙච්ඡා යෝජනා ලබාගෙන

Play in coal tender

අදාළව ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති විශේෂ විගණන වාර්තාවේ දීර්ඝ කාලීන ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ කුමක්ද යන්න අප පසුගිය සතියේදී ඔබට කිවෙමු.
මෙවර අප අවධානය යොමු කරන්නේ එම වාර්තාවේ ඇති ක්ෂනික ගල් අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් ඇති කරුණු පිළිබඳව හා එම ක්ෂණික ගල් අඟුරු සැපයුම්කරුවන් දීර්ඝකාලීන ගල් අඟුරු ප්‍රසම්පාදන ටෙන්ඩරයට ඉදිරිපත් නොවී සිය ස්වෙච්ඡා යෝජනා මගින් කර ඇති බලපෑම පිළිබඳව කරුණු සඬහන් කරන්නටය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ආරම්භයේ සිට 2021-2022 ප්‍රසම්පාදන කාල පරිච්ඡේදය අවසාන වන තෙක්ම වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතාවයෙන් සියයට 50ක් දීර්ඝ කාලීන ප්‍රසම්පාදනය මගින් සහ ඉතිරි සියයට 50ක ප්‍රමාණය ක්ෂණික ප්‍රසම්පාදන මගින් සපුරා ගෙන තිබේ. ඒ අනුව ඉහත සඳහන් ප්‍රසම්පාදන වාරය අවසන් වන තෙක් ලංකා ගල් අඟුරු සමාගම විසින් නැව් තොග 335ක් පමණ ප්‍රසම්පාදනය කර ඇති අතර ඉන් නැව් තොග 117ක් ක්ෂණික ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් සපුරාගෙන තිබේ.
මෙසේ සපයා ගැනීමේදී ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 480,000ක් මිලදී ගැනීම සඳහා වූ අවසාන ක්ෂණික ප්‍රසම්පාදන හැරුණු විට අනෙකුත් ප්‍රසම්පාදන වලට අදාළ නැව් තොග 111ක් අදාළ දිනට පැවති තරගකාරී මිල මත සපයාගෙන ඇත. අවශ්‍යතාවයෙන් සියයට 50ක් වූ ක්ෂණික ගල් අඟුරු මිලදී ගැනීම් ප්‍රසම්පාදන ගිවිසුම් 03ක් මගින් ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස්, අදානි ග්ලෝබල් හා සුඑක් ඒජී යන සමාගම්වලට ලබාදී තිබේ. ඒ යටතේ ස්විස් සංගප්පූර් ඔවර්සීස් එන්ටර්ප්‍රයිසස් හා අදානි ග්ලෝබල් සමාගම් පිළිවෙළින් ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 302,091ක් හා 300,289ක් 2021 නොවැම්බර් 14 දින වනවිට සපයා ඇත.
ක්ෂණික ප්‍රසම්පාදන මිල කැඳවුම් 02ක් සඳහා කිසිඳු ලංසුකරුවෙකු ඉදිරිපත් වී නැති හෙයින් අවලංගු කර තිබේ. ඒ අනුව තවදුරටත් සපයාගත යුතු ගල් අඟුරු අවශ්‍යතාවය වන මෙටි්‍රක් ටොන් 480,000ක් හෙවත් නැව් තොග 08ක් සපයා ගැනීම සඳහා සුඑක් ඒජී සමාගම සමඟ ගිවිසුමකට එළඹ තිබේ. එම සමාගම එම කාල පරිච්ඡේදය අවසන් වනවිට මෙටි්‍රක් ටොන් 351,894ක් හෙවත් නැව් තොග 06ක් සපයා ඇතත් නැව් තොග 02ක් ඒ වනවිටත් සපායා තිබී නැත.
2021 නොවැම්බර් 01 දින අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කරන ලද තාක්ෂනික ඇගයීම් කමිටු වාර්තාව මගින් ක්ෂණික මිලදී ගැනීම් 05 සඳහා ඒපීඅයි 4 හා ඒපීඅයි 6 යන දර්ශකයන්ගේ සංයුක්ත දර්ශකයක් පළමු වරට හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත්තේ ඒපීඅයි 4 මිල දර්ශකය ස්ථාවරව පහළ යන ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බැවින් හා තවදුරටත් මිල පහළ යාමක් පුරෝකතනය කර ඇති බැවින් එය සිදුකළ බවයි. එමෙන්ම ඒ යටතේ ගල් අඟුරු මිලදී ගැනීම මාස 4ක පමණ කාලයක් තිස්සේ සිදුකළ යුතු බැවින් වෙළඳපොල මිල උච්චාවචනයන් සමඟ ස්ථාවර මිල ක්‍රමය යෝග්‍ය නොවන බවයි.
කෙසේ වෙතත් 2021-2022 ප්‍රසම්පාදන වාරය තුළ සුඑක් ඒජී සමාගම විසින් ක්ෂණික ප්‍රසම්පාදන අංක 05 යටතේ සැපයිය යුතු එහෙත් මෙතෙක් සැපයුම් නොකළ නැව් තොග දෙකක්ද, 2022-2023 වාරය තුළදී සැපයීමට නියමිතව තිබී ඇත.
ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන ලද යෝජනා හා රජයන් අතර මිලදී ගැනීම්වලට අදාළ ප්‍රසම්පාදන තීරණ ගැනීම යටතේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 ජුලි 06 දිනැතිව ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ නිරීක්ෂණයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන යෝජනා වල මිල ගණන් මෙන්ම රජයන් අතර මිලදී ගැනීමේ යෝජනාවල මිල ගණන්ද සංසන්දනය කරමින් වඩාත්ම තරගකාරී මෙන්ම අවම මිල ගණන් යටතේ මිලදී ගැනීම සුදුසු බව ඒ මගින් කියා ඇත. එමෙන්ම එම යෝජනාවලට අදාළ ප්‍රසම්පාදන තීරණ ගැනීම්ද ඒ වනවිටත් පත්කර ඇති ප්‍රසම්පාදන කමිටුව මගින් සිදුකිරීම සුදුසු බව නිරීක්ෂණ වශයෙන් ලබාදී ඇත. ඒ සඳහා ජුලි 15 දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව සුඑක් ඒජී සමාගම 2021 නොවැම්බර් 09 දින රුසියානු තානාපති කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතද, කොරල් එනර්ජි සමාගම 2022 ජුලි 07 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙතද, ක්‍රිංග්ස්ටන් ගෲප් ටේඩින් සමාගම 2022 ජුලි 06 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙතද, චීන සීඑම්ඊසී සහ ශ්‍රී ලංකා බ්‍රවුන්ස් සමාගම එක්ව 2022 ජුලි 25 දින ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති වෙතද සිය ස්වෙච්ඡා යෝජනා ලබාදී ඇත. එම සමාගම් අතරිනුත් සුඑක් ඒජී සමාගම හැර අනෙක් සමාගම් ස්වෙච්ඡා යෝජනා ඉදිරිපත් කර ඇති අතර සුඑක් ඒජී සමාගම කැමැත්ත දක්වන ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කර ඇත. ඒ නිසා සුඑක් සමාගමේ කැමැත්ත දක්වන යෝජනාව තාක්ෂණික ඇගයීම් කමිටුව සලකා බලා නැත. එසේම ක්‍රිංග්ස්ටන් ගෲප් සමාගම නිශ්චිත මිල දර්ශකයක් සඳහන් නොකර කලාපීය මිල දර්ශකය මත මිල ගණන් සාකච්ඡා කළ හැකි බව සිය යෝජනාවේ සඳහන් කර ඇතත් තාක්ෂණික ඇගයීම් කමිටුව එහි මිලද ඇගයීම් කර නැත.
මීට අමතරව අප පසුගිය සතියේ සඳහන් කළ දීර්ඝ කාලීන ගල් අඟුරු ගැනීමේ ටෙන්ඩරය 2022 අගෝස්තු 10 දින විවෘත කිරීමෙන් පසු 2022 අගෝස්තු 12 දින අදානි ග්ලෝබල් සමාගම ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් විදුලිබල අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙන අතර චීන සීඑම්ඊසී සහ ශ්‍රී ලංකා බ්‍රවුන්ස් සමාගම එක්ව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එදිනම ලංකා ගල් අඟුරු සමාගම වෙත ලබාදී තිබේ.
මෙසේ දීර්ඝ කාලීන ගල් අඟුරු ටෙන්ඩරයේ ලංසු විවෘත කිරීමෙන් පසු ලැබුණු ස්වෙච්ඡා යෝජනා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් 2022 අගෝස්තු 19 දින ඇගයීමට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය වී ඇත්තේ නීති රීති, රෙගුලාසි, නෛතික විනිවිදභාවය සහ හොඳම භාවිතයන් යන දෘෂ්ටි කෝණයෙන් බැලූ විට එම ස්වෙච්ඡා යෝජනා ඇගයීම සුදුසු හා සදාචාරාත්මක නොවන බවයි.
ඉන්පසු සිදුවී ඇත්තේ දීර්ඝකාලීන ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් කර සුදුසුකම් නොලැබූ සමාගම වෙනුවට එම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ, ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසු ස්ව කැමැත්තෙන් යෝජනා ඉදිරිපත් කරන ලද චීන සීඑම්ඊසී සහ ශ්‍රී ලංකා බ්‍රවුන්ස් ඒකාබද්ධ සමාගම ගල් අඟුරු දීර්ඝකාලීනව සැපයීමේ ටෙන්ඩරය බ්ලැක් සෑන්ඩ්ස් සමාගමට ලබාදීමට එරෙහිව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කරීමය. එම අභියාචනයෙන් කියා ඇත්තේ ලියාපදිංචි සැපයුම්කරුවෙකු නොවන බ්ලැක් සෑන්ඩ්ස් සමාගමට එම ටෙන්ඩරය ලබාදීම නීති විරෝධී බවයි.
මෙහි උත්ප්‍රාසය වන්නේ එම දීර්ඝකාලීන ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ හා ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසු ඉදිරිපත් කළ ස්වෙච්ඡා යෝජනාව පවා සදාචාර නොවන බව කියමින් තාක්ෂණික කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලද සමාගමක් අභියාචනයක් ඉදිරිපත් කිරීම සහ ඒ හේතුවෙන් සිදුවන නීතිමය අභියෝග හා කතාබහ නිසා එම ටෙන්ඩරය අහෝසි කිරීමට සිදුවීමය.
මෙහිදී විගණනය කරන විශේෂ සඳහන් කිරීම වන්නේ විගණනයේ නිරීක්ෂණයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලබාදුන් පිළිතුරක්ය. විගණන නිරීක්ෂණයක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ලේම්වරයා සඳහන් කර ඇත්තේ ඔස්ටේලියාවෙන් ගල් අඟුරු නැව්වාර 105ක් ආනයනය කර ඇති තත්වය තුළ සත්‍යය පසෙක දමා විගණන නිරීක්ෂණ ලෙස හිතළු සඳහන් කර ඇති බවයි. එහෙත් ඒ දක්වාම ඕස්ටේලියාවෙන් ගල් අඟුරු ආනයනය කර නැති බව ගල් අඟුරු සමාගම විසින් විගණනයට තහවුරු කළ බව විගණනය සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2022 සැප්තැම්බර් 22 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් මගින් බ්ලැක් සෑන්ඩ් සමාගම වෙත ක්ෂණික ප්‍රසම්පාදන නැව්වාර 02ක් ප්‍රදානය කර ඇති බව සඳහන් කර තිබුණද එලෙස ප්‍රසම්පාදනයක් ප්‍රදානය කර නොතිබීම හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිවැරදි නොවන හා තහවුරු නොකරන ලද තොරතුරු අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කර ඇති බව විගණනය සඳහන් කරයි.
එමෙන්ම රුපියල් බිලියන 500ක් පමණ වන ඉහළ වටිනාකමකින් යුත් මෙම ගල් අඟුරු ප්‍රසම්පාදනය සිදු කිරීමේදී ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂනික ඇගයීම් කමිටුව ඵලදායි හා කාර්යක්ෂම ලෙස එම කාර්ය සිදුකර නොමැති බව කරුණු පරික්ෂා කිරීමේදී පෙනී යන බවද විගණනය සිය නිරීක්ෂණ වශයෙන් අවධාරණය කරයි.

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *