ජවිපෙ ලෝක මැයි දිනය සමරයි

ජනතා විමුක්ති ‌‌‌පෙරමුණේ රතු මැයි දින රැලිය කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට ඊ‌යේ (01) පැවැත්විණ .

ලෝක මැයි දිනය සැමරීම සදහා ජවිපෙ තිඹිලිගස්යාය බි.ආර්. සී. පිටියෙන් ආරම්භ කළ පෙළපාලිය කොළඹ විහාර මහා දෙවි උද්‍යානය දක්වා පැමිණ පසු රැලියක් පවත්වන ලදි.

ජවිපෙ රතු පෙළපාලියට සහ රැලියට විශාල ජනකායක් සහභාගි වි සිටියහ .

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවිඩය

ලංකාවේ වැඩකරන ජනතාව ප්‍රමුඛ, පීඩිත පොදු ජනතාව මෙවර 2023 ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක කඩඉමක සිටය.

ලෝක ධනවාදය තුළ අධිරාජ්‍යවාදී උපායමාර්ග තුළ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය යළි යළිත් අසාර්ථක වී, ධනවාදී ලෝකයම බරපතළ අර්බුදයන්ට මුහුණ දී සිටී. එකී අර්බුදය දැන් ඉල්ලා සිටින්නේ සමාජයේ සරල වෙනස්කම් නොව සමාජ ආර්ථික දේහයේ ගැඹුරු වෙනස්කම්ය. සමාජ පරිවර්තනයක්ය.

ලංකාවේද වසර 75ක ධනේශ්වර තට්ටුමාරු දේශපාලන ගමනක අවසානයේ ලංකාව පත්ව සිටින්නේ සමාජ, ආර්ථික, දේශපාලන ඛේදවාචකයකටය. ණය බරින් මිරිකී, ගත් ණය ගෙවාගත නොහැකිව නිල වශයෙන්ම බංකොලොත් බව ප්‍රකාශ කළ රටක ජනතාවෝ, මූලික ජීවන කොන්දේසි පවා ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් පීඩාවෙන් පීඩාවට පත්ව සිටිති.

රටේ වැඩකරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සාතිශය බහුතරයක් ජනයා වත්මන් ආර්ථික අර්බුදයේ ඛේදවාචකයෙන් පීඩාවට පත්ව ඉන් මිදීමේ මඟක් සොයමින් සිටිති.
මේ මොහොතේ රටේ පාලන බලයේ සුක්කානම අතට ගෙන සිටින, ජනවරමක් නැති විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාලක නඩය මේ ව්‍යසනයට මුවා වී රට අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට අනුව හැසිරවීමට පටන් ගෙන තිබේ. ණය බරින් මිරිකී බංකොලොත් වූ රටක, ඊට හේතු වූ වංචා, දූෂණ, නාස්තිය නතර කර, රට නිෂ්පාදන ආර්ථික උපායමාර්ගයකට යොමු කරනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා තවත් ණයක් වෙනුවෙන් රට පාවා දීමටය. මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටවී රටේ අවසාන සම්පත් ටිකත් විකුණමින් ජනතාව මත අධික ලෙස බදු බර පටවමින් තවත් ටික දවසක් හෝ බලයේ රැඳී සිටීමටය.

අනෙක් අතට රට පාවාදෙමින්, ජනතාව මත බර පටවමින් යන අධිරාජ්‍ය ගැති පාලනයට එරෙහිව නැගෙන ජනතා විරෝධයන් යටපත් කිරීමට, මර්දනය කිරීමට නව ත්‍රස්ත විරෝධී පනත් හඳුන්වාදීමටත් ජනතාව බිය වැද්දීමටත් ජන මතයට බියෙන් ඡන්ද කල්දැමීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පන්නයේ ගමනකටද රනිල් වික්‍රමසිංහ පාලනය විසින් මුල පුරනු ලැබ ඇත.
එහෙත් මෙවර 2023 මැයි දිනය සමරන මොහොතේ රට පවතින්නේ පාලකයන් සිතන ආකාරයට නොවේ. මෙරට ජනයා දැන් දේශපාලනික වශයෙන් වඩාත් සවිඥානික වී සිටිති. මේ විපතින් රට ගොඩගැනීමට නම්, නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට රට ගෙන යා යුතු බවටත් සමාජ සාධාරණත්වය ඇති කළ යුතු බවටත් වංචා, දූෂණ, හොරකම් ස්ථීර ලෙස නවතා සියලු හොරුන්ට අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවටත් හොරා කෑ මහජන ධනය යළි අත්පත් කර ගත යුතු බවටත්, ඒ සඳහා ජනතාවගේ පාලනයක් බිහිකළ යුතු බවටත් දැන් බහුතර ජනතාව තදින් විශ්වාස කරති.
රට විනාශ කළ, එම විනාශකාරී මාවතේම තවදුරටත් අගාධය කරා, රට ඇදගෙන යන බලලෝභී, ජනපීඩක, දුෂ්ට පාලනයත් 75 වසරක බංකොලොත් තට්ටුමාරු දේශපාලන ක්‍රමයත් වහාම පරාජය කොට, බිඳවට්ටන ලද මව්බිම ගොඩනඟන ජනතාවාදී පාලනයක් බිහිකිරීම හැර අන් විකල්පයක් වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු ජනයා ඉදිරියේ දැන් නැත.

එබැවින් රට විකුණන, රට පාවාදෙන, ජන පීඩක, දූෂිත ප්‍රභූ පංතියේ පාලනය පරාජය කොට ජනතාවාදී පාලනයක් ගොඩනැංවීම සඳහාත් දැනට ජනවරමකින් තොරව බලහත්කාරයෙන් බලයේ සිටීමට වෙර දරන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලක කල්ලිය පැරදවිය හැකි දැවැන්ත ජනතා බලය ගොඩනැඟීම සඳහාත් ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස වැඩකරන ජනතාව ප්‍රමුඛ වර්තමාන ඛේදවාචකයෙන් පීඩාවට පත්ව සිටින සියලු ජනතා බලවේගයන්ගෙන් මේ මැයි දිනයේදී අපි ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ
2023.05.01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *