ජාතික ගීය විකෘති කල බවට චෝදනා කරමින් ගායන ශිල්පිනී උමාරා සිංහවන්ස ට එරෙහිව වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කෙරෙයි

ජූලි 30දා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය “විකෘති කරමින්” ගායනා කලේ යැයි චෝදනා නගමින්, ජනප්‍රිය ගායන ශිල්පිනියක වන උමාරා සිංහවන්සට එරෙහිව ආන්ඩුව ඇතුලු සිංහල වර්ගවාදී නඩ විසින් විෂකුරු උද්ඝෝෂනයක් දියත් කර තිබේ.

ගායන ශිල්පිනී උමාරා සිංහවන්ස (ෆේස් බුක්)

සිංහවන්ස, ජාතික ගීයේ ඇති “ශ්‍රී ලංකා මාතා” යන්න “ශ්‍රී ලංකා මහතා” ලෙස “හිතමතාම විකෘති කොට” ගායනා කලේයැයි කියමින් ප්‍රතිගාමී වර්ගවාදී කොටස් විසින්, අදාල වීඩියෝව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුල ප්‍රදර්ශනය කරමින් සහ ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය තුල බෙදාහරමින් ආරම්භ කල උද්ඝෝෂනය, අර්බුදග්‍රස්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ මැති ඇමැතියන් විසින් ක්ෂනිකව ඩැහැ ගන්නා ලදි.

ජාතික ගීය “හිතුමතේ වෙනස් කිරීම නීති විරෝධී ක්‍රියාවක්” බව සඳහන් කල, රාජ්‍ය, පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් “කඩිනම් පරීක්ෂනයක්” ආරම්භ කිරීම පිලිබඳව ජූලි 31 දා නිවේදනය කලේ ය. මෙම පියවර අනුමත කල, වර්ගවාදී ප්‍රකෝපකරුවෙකු ද වන බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක කීවේ, “රටක ජාතික ගීය රටේ අනන්‍යතාව සහ සංස්කෘතිය නියෝජනය කරන නිසා කිසිවෙකුට එය විකෘත කිරීමට (කිසිවෙකුට) නොහැකි” බවයි.

සිංහවන්සට එරෙහිව “පාර්ශව කිහිපයක්” අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිනිලි ඉදිරිපත් කල බව මාධ්‍ය වාර්තා කල අතර මේ පිලිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අගෝස්තු 2දා සිංහවන්ස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇත. ගායිකාව විසින් “ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරී ඇතිද” යන්න සොයා බලන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ්‍යය නිවේදනය කලේ ය.

උමතු සහගත වර්ගවාදී උද්ඝෝෂනය මධ්‍යයේ, එදිනම ෆේස්බුක් සටහනක් තබමින් තමන් කිසිසේත්ම ජාතික ගීය විකෘති නොකල බව ප්‍රකාශ කල සින්හවංස, “මගේ ගායනය නිසා පීඩාවට පත්වූ/සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනෙකුගෙන් හෘදයාංගම සහ අවංක සමාව අයදිමි” යැයි කියා සිටියාය. වර්ගවාදී කොටස් සමහන් කිරීමේ අරමුනින් ඇය මෙසේද සඳහන් කලාය: “මා ශ්‍රී ලංකිකයෙකු වසයෙන් නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන….රටේ අභිමානය නගා සිටුවීම සඳහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් උපරිම ශක්ති ප්‍රමානයෙන් කටයුතු කර” ඇත.

සිංහවන්සගේ උක්ත ෆේස්බුක් සටහනට සියගනනින් ප්‍රතිචාර ලැබී තිබුන අතර ඒවායින් ඇතම් ප්‍රකාශ වත්මන් දක්ෂිනාංශික උද්ඝෝෂනයේ නින්දිත ස්වභාවය ප්‍රකාශයට පත් කර තිබිනි. සිංහවන්සට “ශ්‍රී ලංකාව තුල ගීත ගායනය තහනම් කොට රටින් පිටුවහල් කරන” ලෙස එකෙකු ඉල්ලා තිබුනු අතර “උඹ වෙන රටක ගිහින් කිව්වා නම් එක්කෝ එල්ලලා මරනවා නැත්තම් ගල් ගහලා මරනවා” යැයි තවකෙකු ලියා තිබිනි. ආන්ඩුව නිසැකවම ආමන්ත්‍රනය කරන්නේ මෙවන් ෆැසිස්ට් පන්නයේ කොටස්වලට ය.

සිංහවන්සගේ මෙම සමාව අයැදුම පිලිගැනීමට සූදානම් නැති බව ආන්ඩුව එලිපිටම ප්‍රකාශ කර ඇත. ජාතික ගීය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බව සිහිපත් කල, රාජ්‍ය, පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක කීවේ, සිංහවන්ස “ප්‍රසිද්ධියේ සමාව ගත යුතු” බවත් “පරීක්ෂන දිගටම පැවැතී ගෙන යනු ඇති” බවත් ය. “කාටවත් බෑ ජාතික ගීතය විකෘති කරන්න. ඒකට ගරු කිරීම අපේ වගකීමක්”යැයි ලේකම්වරයා කීවේ ය.

ගායිකාව අතින් සිදුවූවේයැයි කියන “විකෘතිකරනය” අරභයා ආරම්භ කර ඇති මෙම ග්‍රස්තිසහගත ප්‍රතිචාර මෙරට පාලක පන්තිය මුහුන දී ඇති අර්බුදයේ ගැඹුර පෙන්නුම් කරන අතරම, මෙම උද්ඝෝෂනයේ අරමුන වන්නේ, ආන්ඩුවට එරෙහිව පැනනගිමින් පවතින මහජන අරගල ජාතිවාදී විෂ දුමාරයක් මැද ගිල්ලවා දැමීම යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් පැනවූ දරුනු කප්පාදු පිලිවෙත් මුලුමනින්ම ක්‍රියාවට දමා ඇති වික්‍රමසිංහ ආන්ඩුව මෙහි කොටසක් ලෙස රාජ්‍ය ආයතන 400කට අධික ප්‍රමානයක් මුලුමනින්ම හෝ පාර්ශවීය වසයෙන් පෞද්ගලීකරනය කිරීමේ වැඩකටයුතුවලට අතගසා ඇත. මෙහි ප්‍රතිඵලය ලෙස දස ලක්ෂයකට අධික රාජ්‍ය රැකියා අතුගා දැමෙනු ඇත.

මෙහි මෑතම ප්‍රහාරය වන්නේ නව රැකියා පනතයි. පවතින නීති 13 ක් විස්ථාපනය කරනු ඇති මෙම පනතින්, කම්කරුවන් විසින් සටන් වැද දිනාගත් අයිතිවාසිකමි වලින් යමක් ඉතිරිව ඇත්නම් ඒවා අහෝසි කෙරෙනු ඇත. පසුගිය ජූලි 1දා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද “දේශීය නය ප්‍රතිව්‍යුහගතකරන පනත” මගින් සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) සහ සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) සඳහා වන පොලී අනුපාත විශාල ලෙස කපා හැරීම මිලියන ගනනක් වන කම්කරුවන්ට දරුනු ලෙස පහර වදිනු ඇත.

අයිඑම්එෆ් පිලිවෙත් අනුයමින් ආන්ඩුව විසින් විදුලි සහ ජල බිල්පත්, ආහාර සහ අනෙකුත් පාරිභෝගික භාන්ඩ ගාස්තු අහස උසට නැංවීම සහ පීඩිත ජනයා සඳහා ලබා දී තිබූ “සමෘද්ධිය” වැනි සොච්චම් සහනාධාර පවා කපා දැමීම හේතුවෙන්, දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ පීඩිතයන් තුල වෛරය දැල්වී ඇත. පසුගිය වසරේ මහජන අරගලය ද ඉක්වමා යන ආකාරයේ දැවැන්ත ආන්ඩු විරෝධී මහජන අරගල පැනනැංවීම දැනටමත් පෙන්නුම් කර ඇත. ධනපති ගැති වෘත්තීය සමිති නිලධරයට මේවා මැඩපවත්වා ගැනීමට අසීරු බව ආන්ඩුව යහමින් දැනුවත් ය.

සිංහවන්ස විසින් ජාතික ගීය “විකෘතිකිරීම”ට එරෙහි උද්ඝෝෂනය මගින් පැහැදිලිවන පරිදි, ධනපති රාජ්‍යයට මහජනයා අවනත කරවන සහ එයට හිස නමන සුරුවමක් වසයෙන් ජාතික ගීය ධනපති පන්තිය විසින් ඔජවඩවමින් තිබේ. ජේ.අර්. ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් 1978දී සම්මත කරන ලද ප්‍රතිගාමී ව්‍යවස්ථාව මගින් එයට ව්‍යවස්ථාපිත තත්වයක් පිරිනමා ඇත්තේ ද ඒ අරමුනෙනි. කුඩා කල සිටම ජාතික ගීය වැයෙන ඕනෑම අවස්ථාවක සීරුවෙන් සිටගෙන සිටීමට බල කෙරෙන අතර එසේ නොකරන අය “ජාතිද්‍රෝහීන්” වසයෙන් හංවඩු ගැසීමට හෝ කොන්කිරීමට ලක්වේ.

දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව බලහත්කාරයෙන් අටවන ලද ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍යය සංකේතවත් කරන ඊනියා ජාතික ගීයට හෝ ජාතික ධජයට කවර හෝ ප්‍රගතිශීලී අන්තර්ගතයක් නොමැත. අතලොස්සක් ධනපතියන්ගේ දේපල රකින පන්ති පාලක උපකරනයක් වන රාජ්‍ය සෑම විටම බහුතරයක් වන කම්කරු පීඩිත ජනතාවගෙන් එයට අවනතවීම ඉල්ලා සිටියි. එයට අවනත නොවන්නන් බලහත්කාරයෙන්ම අවනත කරවා ගැනීම සඳහා ධනපති නීති සහ උසාවි මෙන්ම මිලිටරි පොලිස් මර්දනය යහමින් ක්‍රියාත්මක කෙරේ.

බොහෝවිටම ගායනයේදී ගැනිය නොහැකි තරම්වන, කිසිසේත්ම හිතමතාම සිදුකල බවක් නොපෙනෙන, තාක්ෂනික දොසක් යැයි සැලකිය හැකි සිංහවන්සගේ “විකෘතිකරනය” අරභයා නීතිමය පියවර ගැනීමට ආන්ඩුව කැසපොට ගැසීම පිටුපස ඇත්තේ, පවත්නා දරදඩු නීති දැඩිකිරීම සඳහා මෙම සිදුවීම දඩමීමා කරගැනීමට දරන ආන්ඩුවේ වියරු උත්සාහය යි.

මෙම උද්ඝෝෂනයේ පෙරමුනේ රාල ලෙස වැඩට බැස සිටින වර්ගවාදී දිවයින පුවත්පත මේ වෙනුවෙන් “ජාතික ගීය විකෘති කිරීමේ අපරාධය” මැයෙන් කතුවැකි දෙකක්ම ලියමින් මේ පිටුපස සැලසුම්සහගත කුමන්ත්‍රනයක් තිබෙන බව ඇඟවුම් කිරීමට වෑයම් කලේ ය. ජාතික ගීය හා ජාතික ගීය “අපට දලදා වහන්සේ, ජයශ්‍රීමහ බෝධින් වහන්සේ තරම් උතුම්, පූජනීය” බව කී දිවයින, “මෙම විකෘතියට උඩගෙඩි දුන් අයට වහා නීතිය ක්‍රියාත්මක කරන” ලෙස ආන්ඩුවට බල කලේ ය.

මහජනයා අතර අතිශයින් කුජීතව සිටින ජනාධිපති වික්‍රමසිංහ ප්‍රමුඛ අපකීර්තිමත් පාලක පන්තිය ප්‍රතිගාමී සිංහල-බෞද්ධ සංස්ථාපිතයේ කොටස්වල පිටුබලය ලබමින් රුදුරු අනපනත් ක්‍රියාවට දැමීමට මෑත කාලයේදී වැඩට බැස ගෙන සිටී. පසුගිය මැයි මාසයේ අගදී ප්‍රහසන වැඩසටහනකින් බුද්ධාගමට අපහාස කලේයැයි කියමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන සිරගත කිරීමත්, ඊට ඉකුත් කාලයේ ඒ සමානම චෝදනා නගමින් ලේඛක ශක්තික සත්කුමාර, මුස්ලිම් කවියෙකු වන අන්නාෆ් ජසීම් ඇතුලු තවත් ගනනාවක්ම අනීතිකව සිරකිරීම මගින් පාලක පන්තියේ මෙම වියරුව පෙන්නුම් කරයි.

සැබෑ නිදහස සඳහා කිසිදිනෙක අව්‍යාජ නිදහස් සටනක් දියත් කිරීම තබා එවැන්නකට අතිශයින්ම රුදුරු ලෙස එරෙහිවූ මෙරට පාලක පන්තියට 1947දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලබාදුන් නාමික නිදහස හෙවත් ඩොමීනියන් තත්වය ඔවුහු දෝතින් බදා ගත්හ. එසේ නිදහස ලබා ගත් ඔවුන්ගේ මුල්ම පියවර වූයේ කම්කරු පන්තිය ලේවැකි වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා ලක්ෂ සංඛ්‍යාත දෙමල වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමයි. එලැඹුනු දශකවලදී දක්නට ලැබුනේ, මෙසේ බලයට පැමිනි සෑම ධනපති ආන්ඩුවක්ම කම්කරු පන්තිය බෙදා පාලනය කිරීම සඳහා මෙම ලේවැකි වර්ගවාදය මෙන්ම බෞද්ධාගම පෙරටුකරගත් සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය යහමින් යොදා ගන්නා ආකාරය යි.

ඇත්ත වසයෙන්ම සුලුතර දෙමල ජනයාට එරෙහිව කොලඹ ආන්ඩුව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ගෙන ගිය ලේවැකි වාර්ගික යුද්ධය මගින් කුලුගැන්වුනු පසුගිය දශක ගනනාවේ කටුක අත්දැකීම වන්නේ නාමික හෝ “ජාතික සමගියකට” මෙම බංකොලොත් පාලක පන්තිය අතිශයින්ම සතුරු බවයි.

අවසාන වසයෙන්, අභූත චෝදනා මත සිංහවන්සට එරෙහිව ආරම්භකර ඇති සියලුම නීති විමර්ශන හකුලාගත යුතුයැයි සමාජවාදී සමානතා පක්ෂය කියා සිටී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *