දේශපාලන වෙනස්කම් පැත්තකට දමා එකතුවීම හැර වෙනත් පාරක් අපට නෑ

රනිල්ගේ දුර්දාන්ත පාලනය පෙරළා දැමීම සදහා අපි සියලුම පක්ෂ සහ කණ්ඩායම් වලට එකට එකතු වන ලෙසට අරාධනා කරන බවත් මේ පාර හැර වෙනත් පාරක් අපට නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් පවසයි .

අපි අතර දේශපාලන වෙනස්කම් තිබෙන බවත් නමුත්  රනිල්ගේ දුර්දාන්ත පාලනය පෙරළා දැමීම සදහා  අවම දේශපාලන ජයග්‍රහණ  ලබාගෙන කටයුතු කරන ලෙසට යෝජනාව කරන බවත් අපේ වෙනස්කම් පැත්තකින් තබා පොදු වැඩ පිළිවෙලකට එකතු විමේ හැකියාව සහ අවශ්‍යතාවය දැඩිව තිබෙන බව ගුණරත්නම්  අවධාරණය කළේය .

ඔහු මෙසේ පැවැසුව් නු‌ගේගොඩ පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ පෙරේදා (12) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය.

මේ අශුද්ධ සන්ධානයේ මේ ජනතා විරෝධී දේශපාන න්‍යාය පත්‍රයට එරෙහිව තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින ලෙස සියලුම දෙනාට අපි ආරාධනා කරන බව ගුණරත්නම් පැවැසීය .

ද්විබල අන්තර්කාලීන පාලනයක් මාස හයක් වැනි කාලයකට යෝජනා කරන බවත් ද්විබල දේශපාන පාලනයක් හරහා ජනතා ජයග්‍රණ කරා යන්න පුළුවන් බව තම පක්ෂය විශ්වාස කරන බවත් ගුණරත්න කීවෙිය .

මාස 06ක කෙටි කාලයක තුළ නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් විධායක ජනාධිපති ක්‍රමය ජනමතයකින් අහෝසී කළ හැකි බව ගුණරත්නම් පවසයි .

ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය

මුලින්ම මේ දේශපාලන තත්වය ගැන කිව්වොත්, වත්මන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ උවමනාවට පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න තිබුණ ඊනියා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත දින නියමයක් නැතිව කල් දමලා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මේ රනිල් රාජපක්ෂ පාලනය විසින් එකඟතා ඇතිකර ගෙන තිබෙන ආකාරය අනුව ගෙනැවිත් තිබෙන මහබැංකුව සම්බන්ධ පනත් කෙටුම්පත විවාදයට ගැනීමත් කල්දමලා. ඒ වගේම විදුලි බල මණ්ඩලය, ටෙලිකොම් යන ආයතන පෞද්ගලිකකරණය කිරීමේ උත්සාහය තරමක් පස්සට දාල තියෙනවා. නමුත් මේ අයගේ ලැයිස්තුවේ තියෙන රාජ්‍ය ආයතන 53ක් පෞද්ගලිකකරණය කිරීමේ උත්සාහය විවිධ උපක්‍රම හරහා ක්‍රියාත්මක කිරීමේ අරමුණ දකින්න තියෙනවා. මේ ආකාරයට පස්සට දාලා තියෙන්නෙ ඒවා මේ පාලනයට ක්‍රියාවට නගන්න අවශ්‍ය නැති දේවල් නිසා නෙවෙයි. ඔවුන්ට ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍ය වුණේ විරුද්ධ අදහස් මකලා, විරුද්ධවාදීන් අත්අඩංගුවට අරන් මාස ගණන් රඳවා තබන්න, මාධ්‍ය තමන්ට හීලෑකරගෙන ආණ්ඩුවට අවශ්‍ය දේ විතරක් ප්‍රචාරය කරන තත්වයට අරන් ප්‍රජාතන්ත්‍ර විරෝධී, අත්තනෝමතික, මර්දනකාරී පාලනයක් පවත්වා ගෙන යන්නයි. මේ වෙලාවෙ විවිධ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තිය සමිති, මානව හිමිකම් ක්‍රියාකාරින් මේ පනත් කෙටුම්පතට එරෙහිව හඩ නැගීම නිසා තාවකාලිකව පස්සට අරන් තියෙනවා.

මහබැංකව ස්වාධීන කිරීමේ නීති සංශෝධනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලකිරීම නිසා ඔවුන්ගේ විස්තීරණ ණය ලබාදීමට අදාළව මේ පනත් සංශෝධනය කරන්න ආණ්ඩුව කටයුතු කරන්නෙ. ණය අනුමත වෙන්නත් කලින්ම කොන්ද නමලා, ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ඒ සඳහා ඔවුන් කියන ආකාරයෙන් කෙටුම්පත් හදන්නත් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පියවර ගත්තා. ඩොලර් මිලියන 330 ලැබෙන්නත් කලින් අපි ඔය ගොල්ලන් කියන දේටත් වැඩි දේවල් කරන්න සූදානම් කරමින් ඉන්නෙ කියලා ලිඛිතව දන්වලා තියෙනවා. නමුත් ශේ්‍රෂ්ඨාධිකරණය විසින් මේ මහබැංකු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරතිබෙන නිසා මේ ආකාරයෙන් පස්සට දාලා තියෙන්නෙ.

අපි දන්නවා අත්තනෝමතික ආකාරයට වඩැ කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව විසින් දැවැන්ත මහජන නැගිටීමක් කරලා 2022 පළවා හැරියට පස්සෙ ජනතාවගේ බලය සම්බන්ධ ජනාධිපති රනිල් වික්‍රමසිංහලා තහවුරුවීමක් සිදුව තිබෙනවා. මේ වනවිට ඇති වී තිබෙන සීමිත මහජන විරෝධය හමුවේ පවා මේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහලා අඩිය පස්සට තියන තත්වය නිසා ඒ ජනතා අරගලය විසින් දේශපාලන බල කේන්ද්‍රයට ගෙන ආ සුවිශේෂ වෙනස්කම අපට පෙනෙනවා. රනිල් රාජපක්ෂ පාලනය විසින් අරගලයේ හිටිය සමහර කොටස් සමග සන්ධානයකට යමින් දේශපාලන ශක්තිය තහවුරු කරගන්න උත්සාහයක් ගත්තා. ඉන්දියන් රජයේ උපායමාර්ගික අවශ්‍යතා වෙනුවෙන් ත්‍රිකුණාමල තෙල් ටැංකි, සේතු සමුද්‍රම්, කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය සම්බන්ධ ගනුදෙනු වෙනුවෙන් කොන්දෙසිවලට හිස නවලා ආර්ථිකය ස්ථාවර කරගැනීමේ පියවර තබන බවක් පෙනෙනවා. ඒ වගේම එක්සත් ජනපදයෙ න්‍යාය පත්‍රයට වැඩ කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ දක්වා බල කරපු ආකාරයට පොදු ජනයාට හානිකර ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් මේ ගමන යන්න සූදානම් වෙන්නෙ. රනිල් රාජපක්ෂ පාලනය විසින් අමෙරිකන් ඉන්දියන් සහාය ඇතිව ඔවුන් සමග සන්ධානයකට යමින් ඒ වගේම සුපිරි ව්‍යාපාරික පන්තියත් සම්බන්ධ කරගෙන ඒ අයත් සන්ධානයකට අරගෙන මේ ගමන යන්න සූදානම් වෙන්නෙ. පොදු ජනතාව මත ඉතා බරපතළ බදු බරක් පටවා ඉන්ධන ගාස්තු, ජල බිල්, විදුලි බිල් වැඩිකරමින් ඇති අවස්ථාවෙ මේ සුපිරි ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දෙන්න තීරණය කළා. පහුගිය කාලෙ වාර්තා වුණා බිලියන 1000ක විතර බදු නොගෙවා පැහැර හැර තියෙන්නෙ මේ සුපිරි ව්‍යාපාරික පන්තිය. ඒ වුණාට අපි දන්නවා බිලියන 700ක නොගෙවන ලද බදු කපාහැරීමට සහන ලබාදීමට ආණ්ඩුව පියවර ගත්තා. මේ ආකාරයට තමයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මැදිහත් වූ ලෝකයේ සෑම තැනකම සිදුව තිබෙන්නෙ. ආර්ජන්ටිනාවෙත් මේ ආකාරයටම වසර විසි ගණනක් මුල්‍ය අරමුදලේ ක්‍රමයට ගෙන ගිහින් ජනතාව මත බර පැටවීමෙන් කිසිදු සහනයක් ආර්ථික ජයග්‍රහණයක් අත්කරගෙන නෑ. බ්‍රසීලයෙදිත් මුල්‍ය අරමුදල නිර්දේශ කළ මාවතේ ගිහින් සිදුව ඇති දේ ගැන අපි දන්නවා. මුල්‍ය අරමුදලසෙමහර ප්‍රධානින් පවා පිළිඅරගෙන තියෙනවා තමන් නිර්දේශ කළ වැඩපිළිවෙළ අසාර්ථක වී තිබෙන බව.

මේ වනවිට දරාගන්න බැරි තරම් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මුල්‍ය අරමුදල මැදිහත්වන බව කිව්වට ලෝක මුල්‍ය වෙළඳපොලේ බලපෑම නිසා දේශීය ණය ප්‍රතිව්‍යහගත කිරීමක් ඇවිත් තිබෙනවා. ඒ යටතේ සේවක අරමුදල, සාමාන්‍ය ජනයාගේ ඉතිරි කිරීම් සහිත බැංකු පද්ධතිය අනතුරට ඇද වැටිලා අවසානයේ මහබැංකුව අභියෝගයට අනතුරට ලක්වීමේ තත්වයට ඇවිත් තිබෙනවා. ඒ නිසා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් මුල්‍ය අරමුදල හරහා අමෙරිකන් ඉන්දියන් අරමුණු වෙනුවෙන් ගොඩනගන සුපිරි ව්‍යාපාරිකයන් සහාය දෙන සන්ධානයට සිදු වෙන්නෙ පැරණි ආර්ථික මොඩලය යළි ශක්තිමත් කිරීමක් පමණයි. ඒ මොඩලයම තමයි මේ ආර්ථික අගාධයට රට ගෙන ගියේ. නමුත් දැන් මේ රටේ සමහර ව්‍යාපාරිකයන් මධ්‍යම පන්තිකයන්, සුලු පරිමාණ ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වෙනවා, යම් මුලාවක ඉන්නවා, රනිල් වික්‍රමසිංහ විසින් මේ පැරණි යන්ත්‍රය පණගන්වන්න දරණ උත්සාහයෙන් ඔවුන්ට යම්කිසි වාසිදායක තත්වයක් මේ මුල්‍ය අරමුදලේ වැඩසටහනින් ලැබෙයි කියලා. නමුත් අපි දන්නවා වසර 75ක් අසාර්ථක වෙච්ච ක්‍රමයකින් නැවත සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. ඉදිරියෙදි එට්කා ගිවිසුම, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වගේ තව ගිවිසුම්, සේතුසමුද්‍රම් වගේ සැලසුම් යටත් ඔවුන් හිතන තත්වය උදා වෙන්නෙ නෑ. ඒ හරහා එනව නම් එන්නෙ, දැවැන්ත ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් මේ රටේ සුලු හා මධයපරිමාණ ව්‍යාපාරිකයන් තලාගෙන ජනතාව පීඩාවට ඇද දමන කාලයක්.

නමුත් මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමෙදි ඇතිවන විරෝධය මර්දනය කරන්න ත්‍රස්ත විරෝධී නමින් පනත් ගෙන එන්න සූදානම් වුණේ. මේ වෙලාවෙ පවතින විරෝධය නිසා ඒක පසුපසට අරන් තිබෙන්නෙ. දැන් මැතිවරණ කල්දාලා මේ අය ජනතා විරෝධී ගමනකට යන්න සූදානම් වෙන්නෙ.

මේ තත්වය නිසා මේ දුෂ්කර දේශපාලන අභියෝග හමුවේ මේ අධිරාජ්‍යවාදී බලයට හිස නවන රනිල් රාජපක්ෂ පාලනයට හා සුපිරි ව්‍යාපාරික සන්ධානයේ පාලනයට ඉඩ දෙනවද? නැත්නම් ඒ වෙනුවෙන් අපි මොකක්ද කරන්නෙ? මෙන්න මේ කාරණයෙදි අපි අපගේ යෝජනා ඉදිරිපත් කරනවා. මේ තත්වය ජයගන්න නම්, නිශ්චිත ලෙස ජනතාවගේ බලය සහිත ක්‍රියාමාර්ග හරහා ‘ද්විබල පාලනයකට’ අපි නැවත මාවත විවර කරගත යුතු බව අපි කියනවා. 2022 අපි දැක්කා ජනතාවගේ සාමුහික බලය, අරගලයෙන් පැන නැගුණ බලකිරීම හමුවේ විධායක බලයක් තිබුණ පාර්ලිමේන්තුවේ විශාල බලයක් තිබුණ පාලකයෙක් රටෙන් පළවා හරින්න තරම් හැකියාවක් ලැබුණා. අපි ඒ කාරණය නැවත නැවත අවධාරණය කළ යුතුයි. මොකද ඒ ජනතා බලය මේ රටේ දේශපාලන ක්‍රියාවලියට අඛන්ඩ සාධකයක් ලෙස ගන්නෙ කියන කාරණය අපි අවධානයට ගන්නවා. ඒ නිසා අපි කියනවා මේ අරගලයේ ඉදිරි පියවර ලෙස ඒ ජනතා බලය ඒකරාශි කරමින් මේ පාර්ලිමේන්තව, මේ නියෝජිත ආයතන තියෙද්දි මේ අධිකරණ පද්ධතිය තියෙද්දි මේ ජනබලය නගරවල, ගම්වල, ආයතනවල ජනබලය සංවිධානය කරමින් රටේ දේශපාලනයට අත්‍යවශ්‍ය සංඝටකයක් බවට පත් කරගන්න අපි සැලසුම් කරන්න ඕන. අන්න ඒ විධියට පමණයි මේ දේශපාලන තත්වය තුළ ජනතා ජයග්‍රහණ ලබාගන්න පුලුවන් වෙන්නෙ. මේ එළියෙ බලය කියන සාධකය පහුගිය කාලෙ මේ රටේ දේශපාලනයෙ වෙනස්කම් කරන්න දායක වූ බලයක් බවට පත් වුණා. මේ ජනතා බලය සංවිධිත බලයක ලෙස ව්‍යුහයක් ලෙස ස්ථාපිත කරන්නෙ කොහොමද කියලා අරගලකරුවන් අතරින්ම යෝජනා ඉදිරි සැලසුම් ආවා. මහජන කවුන්සිල් වැනි යෝජනා හරහා මේ අරගලයේ ජනතා බලය කොහොමද ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් පවත්වා ගෙන යන්නෙ කියන සාකච්ඡාව යෝජනාව දේශපාලන පක්ෂවලට ඉදිරිපත් වුණා. ඒ සඳහා වන ජනතා ව්‍යාපාර ගොඩනැගුණා, ජන අරගල සභා ගොඩනැගුණා. ඒ අත්දැකීම් හරහා අපි මේ මහජනයාගේ බලය ශක්තිමත් කිරීමේ දිශාවට පියවර තබන්න මේ යෝජනා ඉදිරිපත් කරන්නෙ.

මේ පවතින පාර්ලිමේන්තුවට පිටින් ජනතාව දේශපාලන වශයෙන් සක්‍රිය කරන ව්‍යුහයන්ගේ බලය හමුවේ ගොඩනැගෙන ‘ද්විබල පාලනයක්, අන්තර්කාලීන, කෙටිකාලීන පාලනයක්’ වෙනුවෙන් අපි මේ යෝජනා ඉදිරිපත් කරන්නෙ. මොකද පළවෙනි ප්‍රශ්නය තමයි, මේ පවතින ආණ්ඩුව පන්නා දැමිය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *