නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය  පෙරට

නන්දන නන්නෙත්ති විසිනි

නතාෂා එදිරිසූරිය හිටිවන ප්‍රහසන කලා නිර්මානයකින් බුද්ධාගමට අපහාස කලේ යැයි මැයි 28 දින අත් අඩංගුවට ගෙන, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේ යයි ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, අද දින (6) දක්වා බන්ධනාගාරගත කර තබා ගන්නා ලදී.  ජුලි 5 බදාදා  ඇගේ ඇප ඉල්ලීම සලකා බැලූ කොලඹ මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැදි ඇයට ඇප ලබා දීමට තීන්දු කරමින් කියා සිටියේ නතාෂාගේ ප්‍රකාශය “කිසිසේත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුනට එරෙහිව ප්‍රචන්ඩත්වය හෝ සතුරුකම් කිරීමේ අරමුනින් එහි ප්‍රෙක්ෂකයන් උසිගැන්විමේ ක්‍රියාවලියක යෙදුනු බවට පෙනී නෙයන”  බවත් ඒ අනුව එය “වෛරී ප්‍රකාශයක්” ලෙස පෙනී නොයන බවත්ය.  

වාර්තා වන පරිදි, විද්‍යාව තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරනා ප්‍රායෝගිකදැයි ප්‍රශ්න කිරීමට හැකියාව ඇතැයි සඳහන් කල මහාධිකරන විනිසුරුවරයා එයින් වෛරය ප්‍රකාශ වන්නේ කෙසේදැයි පැමිනිල්ලෙන් ප්‍රශ්න කලේ ය.   

මෙම තීන්දුව නතාෂාට එරෙහිව බොරු පැමිනිලි කල ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු ආගම්වාදී නඩය මෙන් ම ඊට සහයෝගය දුන් සියලු අවස්ථාවාදීන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කලා විරෝධී මුග්ධ නිරුවත ප්‍රදර්ශනය කලේය. 

Nathasha
නතාෂා ඇප ලබා නිදහස්ව (fb)

නතාෂා අත්අඩංගුවට ගැනීමට ආගම සම්බන්ධ කල ද එය ආගම පිලිබද කරුනක් නො වන බවත්, අවශ්‍ය නම් ආගම ප්‍රශ්න කිරීමට අයිතිය ඇති බවත් තහවුරු කරමින්, ඇගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ගැන සංවේදී සියලු මිනිසුන්ගේ වගකීම බව මුල සිටම අවධාරනය කලේ හා, ඒ වෙනුවෙන් තනිවම, ප්‍රතිගාමී බලවේගයන්ට අභිමුඛව, උද්⁣ඝෝෂනය ආරම්භ කලේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) යි. ඊට ප්‍රගතිශීලී කලාකරුවන්, කම්කරුවන් හා තරුනයන් අතර බලගතු සහායක් ගොනු විය. 

පැමිනිල්ල පරාජය වූයේ හුදෙක් මහාධිකරන තීන්දුවෙන් පමනක් නො වේ. සියලු ධනේශ්වර හා ව්‍යාජ වාම පක්ෂ හා කල්ලි, අපේක්ෂා භංග, දිරිය බල සිදුනු බුද්ධිමතුන්, තමන්ගේ වේල පිරිමැසීමට එහා දෙයක් නොසිතන ඇතැම්  කලාකරුවන් හා ඊනියා රැඩිකලුන්, පාලක පන්තිය නතාෂාට එරෙහිව අවුලන ලද ප්‍රකෝපකාරීත්වය සමග පෙල ගැසුනි. එහෙත් පාලක පන්තියේ දරුනු වික්ෂෝපයකට හේතු වෙමින්, කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනතාව එම ගිනි මැලයට දර දැමීම උදෙසා මෙහෙයවා ගැනීමට හැකි නොවී ය යනු නින්දාසහගත පරාජයකි. 

තතු එසේ තිබිය දී, ධනපති සංස්ථාපිතයේම පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) හා ඉන් බිදී ව්‍යාජ-වාම පක්ෂයක් ලෙස සංවිධානය වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නතාෂාට හා ඇගේ කලාවට විරුද්ධව තම පන්ති පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන මතයක් ගොඩ නැගීමට අන්ත ප්‍රතිගාමී උත්සාහයක නිරත වීය. රටේ සිවිල් සාමය කඩ වී, තමන් ගත කරන සාපේක්ෂ සුව පහසු ජීවිත අවුල් වනවාට බියෙන් පසුවන සුලු ධනේශ්වර පන්ති ස්ථරයක කම්කරු විරෝධී අවශ්‍යතාවන් මේ පක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 

Jayagoda
පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නතාෂා අත් අඩංගුවට ගැනීමට පසු දින  මෙසේ නිවේදනය කලේ ය: පීඩාවට පත් මිනිසුන් “විශ්වාස කරන සමහර ආත්මීය කරුනු, සමහර සංස්කෘතික දේවල්, ආගමික සංවේදී දේවලට” ප්‍රහාරයක් එල්ල වී ඇත. එය පාලක පන්තියේ අවශ්‍යතාවක් බව සදහන් කල ඔහු “ෆාස්ටර් ජෙරමුයි, නතාෂයි … ආගම් අතර මේ බෙදීම හදන්න යනවා” යි චෝදනා කරමින් “මේකට ඉඩ දෙන්න එපා” යි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.  

ධනපති පක්ෂයක් ලෙස තමන්මගේ සුදුසුකම ධනපතියන් හා අධිරාජ්‍යවාදීන් හමුවේ සනාථ කිරීමට දැඩි වෙහෙස දරන ජවිපෙ ද මෙම යොජනාව ම  තවත් ආකාරයකින් ඊට දින දෙකකට පසු ඉදිරිපත් කලේ ය. “මෑතකදී කිසියම් කාන්තාවක් සිදුහත් කුමරු සම්බන්ධයෙන් කරපු කතාවක් පදනම් කරගෙන ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. …ඒක අහම්බෙන් සිද්ධ වුනත්, සැලසුම් කරල සිද්ධ වුනත් අර දුෂ්ට ආගම්වාදී, ජාතිකවාදී අරමුනුවලට එකතු වෙනවා,” යැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කලේ ය. සිල්වාගේ ඉල්ලීම මෙසේ ය: “ජනතාවගේ හිතේ තියෙන ඉතා සියුම් තැන් අවුස්සලා ජනතාවගෙ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දරන උත්සාහය හරියට අදුනගන්න.”

කලාවේ හා ප්‍රකාශන⁣යේ නිදහසට විරුද්ධ වන ආන්ඩුව ඇතුලු ධනේශ්වර පෙරමුනත්, නතාෂාගේ කලාත්මක නිර්මානයත් යන අංශ දෙකම එකට අනා මේ දෙපැත්තටම විරුද්ධ වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ දී ජවිපෙ මෙන්ම පෙසප හි අභිප්‍රාය කුමක් ද?

පසුගිය “අරගල” සමයේ “ජාතික සමගියට කිසියම් ප්‍රවේශයක් ඇති වීම ගැන බිය” වූ  “ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්න රාජපක්ෂල රනිල්ලා… ආපහු එලියට එන්න මේවා පාවිච්චි කරන” බව පවසන  සිල්වා වාර්ගික යුද්ධයේ දී දෙමල ජනයාගේ ලෙයින් පොඟාගත් අත් සගවාගෙන දැන් වාර්ගික ආගමික භේද ප්‍රතික්ෂේප කරන බව අඟවන්නේ එය හුදෙක් රාජපක්ෂලාට වාසි වන බව ගැන කනස්සල්ලෙනි. එයින් පැහැදිලි වන පරිදි, ජවිපෙ බිය වී සිටින්නේ එවැනි තත්වයක් තුල තම පාර්ලිමේන්තු සිහිනය බිද වැටෙනු ඇත යන්න ගැන මිස මහජන විරෝධී, වර්ගවාදී ආන්ඩුවක් බලයට ඒම වැනි දෙයක් ගැන නො වේ. සියල්ලටමත් වඩා ජවිපෙ, පාර්ලිමේන්තුවේ 225ම එපා යි කී මහජන විරෝධය, රාජපක්ෂ විරෝධයකට සිඳවා ධනපති ක්‍රමය බේරාගෙන, එතනින් නතර නොවී, ඒ තුල සමාජ අර්බුදය සැඟවීමට මෙය ද අවස්ථාවක් කර ගනී. ජවිපෙන් කැඩී සමාජවාදය පිලිබඳ ඉඳහිට තොල් මතුරන පෙසප ද මෙය යහමින් උපයෝගී කර ගනී. 

Tilwin
ටිල්වින් සිල්වා

නතාෂා සිය කලාව තුල කාන්තාව සිමා බන්ධනයන්ගෙන් වට කර, පුද්ගලික දේපලක් ලෙස සලකා පීඩාවට ලක් කිරීම, හා වැඩවසම්වාදී ආගමික සංකල්ප යොදාගෙන තවදුරටත් කාන්තාව ගර්හා කිරීම අභියෝයට ලක් කලා ය. ඇය ධනවාදය තුල කිසි දිනක විසඳිය නොහැකි නිදහස පිලිබද ප්‍රශ්න ඒ තුල ඉස්මතු කලා ය. ප්‍රස්තුත සිල්වාගේ කතාවේදී ඔහු නතාෂාගේ නම පවා පාවිච්චි කිරීමට තරම් නුසුදුසු යයි තීරනය කිරීම මගින්, නතාෂාගේ නිර්මානය තුලින් එලි දකින නිදහස්කාමය සම්බන්ධව  ආන්ඩුව හා බෞද්ධ අන්තවාදී නඩවල පවතින  භීතිය සමඟ තමන් අනන්‍ය වීම ප්‍රකාශයට පත් කලේ ය. 

නතාෂා, සුද්ධෝදන, සිද්ධාර්ථ හා දෙව්දත් යන බෞද්ධ සාහිත්‍යයේ එන වාසගම් හා සිද්ධීන් සිය නිර්මානයේ සංකල්ප රූප ගොඩ නැගීමට යොදා ගත්තා ය. කෘතියේ මුඛ්‍යාර්ථය වූයේ ධනේශ්වර සමාජයේ කාන්තාව හා දරුවන් මුහුන දී සිටින ඛේදජනක තත්වය ප්‍රතිනිර්මානය කිරීම වු අතර අතීත කලා නිර්මානයෙන් පරිහරනයට ගත් මෙම උපුටා ගැනීම් ඊට මැනවින් උචිත විය.      

නතාෂාගේ කලාව සහ එහි ඇගවුම් ගැන, විශේෂයෙන් අදාල ප්‍රහසනයේ ආකෘතිය හා අන්තර්ගතය සම්බන්ධයෙන් එක වචනයක්වත් සිල්වා හෝ ජයගොඩ තම නිවේදන තුල ප්‍රකාශ නො කිරිම අහම්බයක් නො වේ. බොරුව සමාජගත කිරීම සදහා ඔවුන්ට ඒ ගැන සාකච්ඡා කිරීමෙන් වැලකීම අවශ්‍යය විය. නමුත්, ජයගොඩගේ කතාව තුල ම කලාකාරිනියට එල්ල වී ඇති ප්‍රහාරය ගැන එක වැකියක් විය. ඒ “අත්අඩංගුවට ගැනීම ගැන අපට කියන්න තියෙන්නෙ, මීට කලින් ආගමට අපහාස කල අය අත්අඩංගුවට ගත්ත ද?” යි යන්නයි. අවස්තාවාදී ලිස්සායෑමේ නියම ස්වභාවය පෙන්වන මෙම ප්‍රශ්නය, ආගමික උන්මත්තකයන් “අතීතයේ ඉඳන් එන මේ නාඩගමේ කොටස්කරුවො සියලු දෙනාම” අත් අඩංගුවට ගත යුතු යයි දියත් කර ඇති උද්ඝෝෂනයට සමපාත වේ. එමතුද නොව, එය රාජ්‍ය මර්දන හස්තය ශක්තිමත් කිරීම සඳහා කරන පැහැදිලි ඇරයුමකි.

ජවිපෙ හා පෙසප නිදහස් කලාවට දක්වන හතුරුකම එහි පන්ති ස්වරූපයයන්ම නිපන්නකි. නතාෂාගේ නිර්මානයට විරුද්ධත්වය පැන නගින්නේ එතැනිනි. කලාවට සම්බන්ධ ජවිපෙ සුලු ධනේශ්වර දේශපාලන වාර්තාව තුල 1988-89 කාලයේ අතිෂය නිර්මානශීලී හා ජනප්‍රිය ප්‍රවීන කලාකරුවන් ගනනාවක් ධනපති ඒකීය රාජ්‍ය රැකීමේ දේශප්‍රේමය උදෙසා ලෝබ නැතිව මරා දැමීම ඇතුලත් ය. ටිල්වින් සිල්වාට අනුව රැඩිකල් කම ලෝකයට මවා පෑම සඳහා නතාෂා ආගමික හිත් රිදවා ඇත. ඔහුගේ කලා විචාරය ඉස්මතු වන්නේ තම අවශ්‍යතාවට ගැලපෙන පරිදි නතාෂා “රැඩිකල්කම පෙන්වීම වැනි” කලාකරුවාගේ සිතිවිලි ලෙස තමන් විසින් ම සකසා ගත් අදහස්වලිනි. කලා කෘතිය හා එහි අදහස් කරන දෑ මොනවා වුවත් මේ ඊනියා කලා විචාරකයාට අදාල නැත.

දැන් ජයගොඩගේ යෝජනාව “සමාජයට සම්බන්ධ නැති ව්‍යුක්ත කලාව කියා එකක්” නැති නිසා කලාව හැම විටම සමාජය ගැන සංවේදී වී දේශපාලනය සමග සම්බන්ධ විය යුතු බව ය. “ඒ නිසා කලාකරුවා දේශපාලනික වෙන්න ඔනෙ” යි ඔහු අවධාරනය කලේ ය. මෙහි දී ජයගොඩ “තමන්ට හිතෙන හිතෙන විදියට වල් බූරු නිදහස කලාවට තියෙන්න ඕන කියල කලාව කිරීම හා සමාජය ගැන හිතා කලාව කිරිම” යනුවෙන් පැති දෙකක් යෝජනා කරයි. උක්ත ප්‍රකාශයේ දී  ඔහු පැහැදිලි ම තර්ක කරන්නේ ආගමික හැගීම් වැනි සංවේදී කාරනාවලින් කලාව පාලනය විය යුතු බව ය.

උදාහරනයක් හැටියට බෞද්ධයන්ගේ හිත් රිදවිමක් වෙලා තියෙනවා, මේ ප්‍රකාශය (නතාෂාගේ නිර්මාන) මගින්. මේ ප්‍රකාශය පාවිච්චි කරල අදහස් දැක්වීමේ අයිතියට, ප්‍රකාශනයේ නිදහසට, භාෂනයේ නිදහසට පහර දෙන්න හදනවා එක පැත්තකින්. ….තක්කඩි බලවේග මේ අස්සෙ සලු වෙන්න හදනවා,” මෙසේ ජයගොඩට අනුව ආන්ඩුව ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහසට පහර දීමට පෙරට පැමින ඇත්තේ  නතාෂාගේ නිර්මාන නිසා ය. ඒ නිසා එවන් නිර්මාන නො කල යුතු ය. 

ජයගොඩගේ හෝ සිල්වාගේ කලාව පිලිබඳ මෙම ආස්ථානයට මාක්ස්වාදී හෝ සමාජවාදී ආස්ථානය සමග මොනම හෝ සම්බන්ධයක්  නැත. ධනපති සමාජයේ පවතින අධිකාරී සංස්කෘතියට, පැවැත්මට කලාව යටකිරීමට යෝජනා කරන මෙම ප්‍රතිගාමී පිලිවෙතට එරෙහිව කලාව පිලිබඳ සමාජවාදී ආස්ථානය වොරොන්ස්කි පැහැදිලි කරන්නේ මෙසේය:

 “කලාව යනු ජීවිතය සංජානනය කිරීම යි…කවියා හෝ ලේඛකයා අවට යථාර්ථයෙන් සෑහීමකට පත් නොවන විට, ඔහු නිරායාසයෙන්ම එය තිබෙන ආකාරයට නොව, විය යුතු ආකාරයට නිරූපණය කිරීමට උත්සාහ කරයි;  ඔහු අනාගතයේ වැස්ම අර්ධ වශයෙන් ඉවත් කර මිනිසාට ඔහුගේ පරමාදර්ශය පෙන්වීමට උත්සාහ කරයි.  ඔහු පරමාදර්ශී “හෙට දවස” නම් ප්‍රිස්මය හරහා අද යථාර්ථය බැලීමට පටන් ගනී. ඉහලම තලයන් දක්වා අඳිනු ලැබූ මිනිසාගේ සිහින, ආශාවන් හා පැතුම් හොඳම කලාකරුවන්ගේ නිර්මාන කාර්යයන්හි පදනම වූ අතර එය දිගටම එසේ වන්නේය.” [ඒ.කේ.වොරොන්ස්කි, ‘කලාව ජීවිතය සංජානනය කිරීම ලෙස, හා සමකාලීන ලෝකය’, 1923]

කලා කෘතියක  සීමාව තීරනය කරනුයේ කලාවමය. කලාවේ දේශපාලනය යනු සීමා පනවා ගැනීම නො ව සීමා බිදීම ය. නො එසේ ව, එය නැවුම් දෑනීම් හා හැඟීම ජනිත කරන්නේ කෙසේ ද?  සමාජ ඥෙය මඩල පුබුදුවන්නේ කෙසේ ද? ලෝකය වෙනස් කිරීමේ මිනිසාගේ නොතිත් යත්නයට දායක වන්නේ කෙසේ ද? කලාවේ මෙම නිදහස ප්‍රතික්ශේප කරන්නෝ එහි හතුරෝය. 

පෙසප නායකයා පෙරට දමන්නේ අතිෂය ආත්මාර්තකාමී සුලු ධනේශ්වර අවශ්‍යතාවකි. ඔහුගේ මේ වචන සලකා බලන්න: “අරගලයේ දී දේශපාලනය ගැන හිතන අයයි, එලෙස නොවන සාමාන්‍ය ජනතාවයි  අතර කිසියම් ආකාරයේ අවබෝධයක් හැදිල තියෙනවා. ජාතිකවාදයට, ආගම්වාදයට විරුද්ධ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සංවේදී වූ ලිබරල් අදහස් දැරූ පිරිස් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඒ තරම් සංවේදී නැති නමුත් තමන්ගේ ජාතික ආගමික අනන්‍යතා ගැන සංවේදී ව හිටපු ජාතකවාදී කොටස් අතර යම් අවබෝධයක් හැදිල තියනවා.” මෙම මලකුනු සමාජ පන්තීන් අතර වඳ බහු විවාහයට යතාර්තවාදී කලා නිර්මාන බාධාවක් වීම ය ජයගොඩගේ සංවේදීතාව ය. ඔහුට අනුව මේ ලිබරල්ලු, ජාතික ආගමික අනන්‍යතා කල්ලි, ආගම්වදයට විරුද්ධ කන්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදයට සංවේදී නැති කල්ලි යනාදී සියලු දේ එකට ඇනූ ඔහු හා පෙසප ද අයත් සංධානය පවත්වා ගැනීම හෙවත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්, දක්ෂිනාංශික ව්‍යාජ-වාම පෙරමුන පන පිහුටුවා පවත්වා ගැනීම කලාකරුවාගේ කර්තව්‍ය විය යුතු ය!

මීට ප්‍රතිපක්ෂව කොක්‍රික උද්ඝෝෂනය පදනම් වූයේ කලාවට සීමා පැනවීමට එරෙහිව එහි නිදහස රැකීම වැඩකරන පන්තියේ නිදහස සමඟ බැඳී පවතීය යන සත්‍යය  මත ය. අර්බුදය ගැඹුරුවත්ම ධනපති පාලක පන්තිය කලාවට හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව, අද පෙසප ආරක්ෂා කරන සංධානයටම අයත්  අන්ත ප්‍රතිගාමී බලවේග මත පදනම් වූ ෆැසිස්ට් බලවේග සූදානම් කරනු ඇත. කලාවට එරෙහි ⁣ඉහත කී ව්‍යාජ වාම ප්‍රතිපත්ති වලට නෑකම් කියූ ස්ටැලින්වාදී ප්‍රහාරය සම්බන්ධව අන්ඩ්‍රේ බ්‍රෙටන් හා ඩියෝගෝ රිවේරා 1938 දී කරන ලද කැඳවුම මේ නිසා අදට ද අදාල ය:

“කලාවේ සෑම ප්‍රගතිශීලී ප්‍රවනතාවක්ම ෆැසිස්ට්වාදය විසින් ‘පරිහානිගත’ ලෙස හදුන්වා විනාශ කරයි.  සෑම නිදහස් නිර්මානයක්ම ස්ටැලින්වාදීන් විසින් ‘ෆැසිස්ට්’ ලෙස හඳුන්වයි.  ස්වාධීන විප්ලවවාදී කලාව දැන් ප‍්‍රතිගාමී ප්‍රහාරයට එරෙහි අරගලය සඳහා සිය බලවේග එකතු කල යුතුය.  එය තම පැවැත්මේ අයිතිය උස් හඬින් ප්‍රකාශ කල යුතුය.” [ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා ප්‍රකාශනය]

අව්‍යාජ, නිදහස් කලාව ඊට නියමිත තැනට ඔසවා තබනු ඇත්තේ කම්කරු පන්තිය ධනේශ්වරයට එරෙහි දේශපාලන බලය තහවුරු කරගැනීම සදහා ගෙන යන අරගලයේ ජයග්‍රහනයෙන් ම පමනක් බව සෑම අතින් ම සත්‍යාපනය වී ඇත. ඒ සදහා ප්‍රථම කොන්දේසිය වන්නේ මෙම ප්‍රතිගාමී ව්‍යාජ-වාම පෙරමුන හෙලිදරව් කර කුඩු කර දැමීම ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *