නිදහසේ මායාව හා සැබෑ නිදහස

75 ‍‍වන නිදහස් සැමරු

කොලඹ ක්‍රියාකාරී කමිටුව

නන්දන නන්නෙත්ති විසිනි

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු, 1815 සිට 1948 දක්වා, වසර 133ක් ලංකාව අල්ලාගෙන පාලනය කළහ. ඔවුන් තමන් විසින් බිහි කෙරුනු කොම්ප්‍රදෝරුවන් වූ දේශීය ධනපතියන් අතට රාජ්‍ය බලය මාරු කිරීමෙන්, 75 වසරක් සපිරීම  පෙබරවාරි 4දා සනිටුහන් කළේ ය.

සිංහල බෞද්ධ වර්ගවාදී රාජ්‍ය සංකේතය වන ‘ජාතික කොඩිය’ දිවයින පුරා සියලු රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය කරමින්, බෞද්ධ පූජකයන් පෙරටු කරගෙන, රාජ්‍ය හමුදා හා යුධෝපකරනවල බලය විදහා පාමින්, එදින, කොළඹ දී ප්‍රකෝපකාරී සැණකෙලියක් පැවැත් විනි. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අර්ධ මිලිටරි පොලිස් පාලනයකට යටත් කර පවතින, යාපනයට ගොස් ‘නිදහස් උත්සවයක්’ පැවැත් වූයේ ය. රටේ සාමාන්‍ය ජනයා ජාතික කොඩි එල්ලීම ප්‍රතික්ෂේප කළ අතර නිදහසක් නැතැයි කියන්නට වූහ.

නිදහසේ ගිවිසුම් ප්‍රකාශය අත්සන් කිරීම-1948.හෙන්රි මොන්ක් මේෂන් මූවර්, ඩී.එස්.සේනානායක.

4දා සිට ගෙවී ගිය සති දෙක තුල දිවයින ම ආවරනය වන පරිදි පැවැත්වූ සැණකෙලිය අවසන් කලේ, 16 දා, මහනුවර දලදා මාලිගය කේන්ද්‍ර කරගෙන, වීදි සංචාරය කල “ජනරජ පෙරහැරකිනි”. මෙය විශේෂ අවස්ථාවක දී රාජ්‍ය නායකයාගේ ඉල්ලීම අනුව පවත්වන සිංහල බෞද්ධ පෙරහැරකි. එබදු පෙරහැරක් 1875 දී, වේල්සයේ ආධිපාද එඩ්වඩ් කුමරුගේ ලංකාගමනය වෙනුවෙන් පවත්වනු ලැබ ඇත. පසුව 1954 හා 1981 වර්ෂවල ලංකාවට පැමිණි දෙවන එලිසබත් රැජින වෙනුවෙන් ද මෙම විශේෂ පෙරහැර පවත්වා ඇත. මීට අමතර ව එය පැවැත්වුනේ දළදා මාලිගාවේ ‘රන් වියන’ විවෘත කිරීම උදෙසා ය. මෙදා, බෞද්ධ ආගමික, වාර්ගික පූච්චානම්වලට අවස්ථාවක් වූ  පෙරහැරට පමනක් රුපියල් කෝටි 10ක් වැය කළ බව වාර්තා වේ.   

වික්‍රමසිංහ නුවර ජනරජ පෙරහැර අවස්ථාවට සහභාගී වෙමින්

රජය නිවේදනය කළ පරිදි මෙම කටයුතු සිදු කෙරුනේ “රටේ පසුගිය කාලයේ පැවති වාතාවරණය වෙනස් වී සාමකාමී වටපිටාවක් පවතින බවට ජාත්‍යන්තර සමාජය දැනුවත් කිරීමට” ය. පසු ගිය කාලයේ පැවති වාතාවරනය වූයේ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ නිදහසට එල්ල කෙරුනු ආණ්ඩුවේ ප්‍රහාරයට එරෙහිව, 2022 මාර්තු අග සිට ඇවිලී ගොස්, මිලියන දෙකක පමන ජනයා කොළඹට කැදවූ කැරලිකාරී අරගලයක් විසින් දිවයින අලලා ගනු ලැබීමයි. එහි දී පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු නියෝජතයන් එපා යයි මහජනයා උද්ඝොෂණය කළහ. කම්කරු පන්තිය මැදිහත් වී හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ, එම ජුලි මස, පලවා හැර ආණ්ඩුව අස්ථාවරත්වයට ඇද දැමූහ.

අද වන විට පන්ති යුද්ධය උත්සන්න වී ඇත. සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට තහන්චි පනවමින් ඇදෙන වික්‍රමසිංහ ආණ්ඩුවේ ඉලක්කය පන්ති අරගලය තලා දමා, ලාභ පද්ධතිය රැක ගැනීමට, තම තන්ත්‍රයට සමත්කම් ඇති බව අධිරාජ්‍යවාදී හාම්පුතුන්ට ඒත්තු ගනවා ගැනීම ය. එනම් මේ අසීරු මොහෙතේ පවා, 1948 ලැබුනු රාජ්‍ය සුරක්ෂිතව පවත්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඔනෑම පියවරක් තමන් විසින් ගනු ලබනු ඇති බව සහතික කිරීම ය.

1931 ඩොනමෝර් කොමිසම මගින් ස්ථාපිත කළ, “නිදහස්” සර්වජන ඡන්ද බලයමත් අභියෝගයට ලක් වී ඇත. මාර්තු මාසයේ කල් ඉකුත් විමට නියමිතව පැවති හා මැතිවරණ කොමිසම විසින් කැදවන ලද පළාත් පාලන මැතිවරණය, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් නො කිරීම මගින්  දින නියමයක් නැතිව කල් දැමීමට ආණ්ඩුව පියවර ගත්තේ ය. වික්‍රමසිංහ කියන්නේ  කෙදිනක හෝ රටේ ආර්ථිකය ගොඩනගන තෙක් මැතිවරණ නැති බව ය! ඒ මුදල් ඇමති ද වන ජනාධිපති වික්‍රමසිංහ, තමන් විසින් ම ඉදිරිපත් කරනු ලැබ පාර්ලිමේන්තුවේ දී සම්මත  කර ගැනුනු අය වැය ලේකනය මගින් මැතිවරණය සදහා මුදල් වෙන් කරන ලද බව පවා නො තකා හරිමිනි. වෙන් කර ඇති මුදල් ලබා දෙන ලෙස මුදල් ලේකම්ට නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු වී ඇත.

වික්‍රමසිංහගේ වියරු ස්වභාවය වටහා ගත හැකි ය. එවක පැවති යටත් විජිතවලට සාපේක්ෂ නිදහස් රාජ්‍ය ගෙන ආවේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලවත් ආර්ථික ශක්තිය ද හා ස්ටැලින්වාදී පාවා දීම ද මත  ගොඩ නැගූනු පස්චාත් යුද සමතයයි. එය බිද වැටීම ප්‍රකාශයට පත් කිරීමෙන් වසර 40ක් පමන ගෙවී ගොසිනි.. ලෝක යුද්ධ දෙකකට තුඩු දුන් ආර්ථික දේශපාලන කොන්දේසි නැවතත් තීව්‍ර ලෙස ඉස්මත්තට පැමින ඇත. සමථය සදහා මුදා හල ණය කන්ද පුපුරා ගොසිනි. සිය ආර්ථික දේශපාලන නිදහස ඉල්ලා කෙරෙන මහජන නැගිටීම්වලින් ලෝකය ඇලලී යමින් පවතී.

මහජන අවශ්‍යතා පාගා නො දමා පද්ධතිය පවත්වා ගත නො හැකි ය. අරගලයට පිවිසෙන ජනයා කඩාකප්පල්කාරීන් හා ත්‍රස්තවාදීන් ලෙස ලේබල් කර අත්අඩංගුවට ගැනීම “රාජ්‍යයේ”සාමාන්‍ය ජීවිතය බවට  පත් ව ඇත්තේ මෙම තතු තුල ය. “මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ” යි ශ්‍රි ලංකාවේ ජනාධිපතිගේ නිරන්තර තර්ජනය මතුවන්නේ මෙම නො හැකියාවෙනි.  

රටේ පැරනි ම ධනපති පක්ෂය වන 1946 පිහිටුවා ගත්, වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය අවසන් මහ මැතිවරණයෙන් එකදු ආසනයක්වත් දිනා නො ගෙන බිංදුවට ම බැස්සේ ය. ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ දැනුවත් නියෝජිතයන් විසින්, රටේ ආර්ථික දේශපාලන අර්බුදය වර්ධනය වෙමින් පැවතිය දී, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉඩකඩ භාවිත කර, කල් ඇතිවම පාර්ලිමේන්තු නියෝජිතයෙකු බවට පත් කර ගැනුනු ඔහු පසුව එම පාර්ලිමේන්තුව විසින් ම රාජපක්ෂගෙන් හිස් වූ ජනාධිපති පදවියට ඔසවා තබනු ලැබිනි.

මෙම පත් කිරීම බොහෝ සෙයින් 1933 ජනවාරි 30 දින, ජර්මනියේ ජනාධිපති වොන් හින්ඩන්බර්ග් විසින්, පාලක පන්ති දේශපාලන නියෝජිතයන් හා කර්මාන්තකරුවන්ගේ උපදෙස් සැලකිල්ලට ගෙන, ඇඩොල්ෆ් හිට්ලර් එරට චාන්සලර් පදවියේ පිහිටු වනු ලැබීම සමග සැසදිය හැකි ය. පෙබරවාරි 27දා සිදු වූ, බර්ලිනයේ පිහිටා තිබූ ජර්මානු පාර්ලිමේනතු ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධිය සමග ජර්මන් වැඩකරන ජනයාගේ අයිතීන් හා නිදහස දැඩි ලෙස සීමා කල කුප්‍රකට රිච්ටැග් ගිනි ආඥාව සම්මත කරවා ගත් හිට්ලර් කම්කරු පන්තියට එරෙහි මාරාන්තික ප්‍රහාරයක් දියත් කරමින් නිත්‍යානුකූල ආඥාදායකයෙකු ලෙස වැඩ ආරම්භ ක‌ළේ ය.

පෙර නොවූ විරූ මහජන කැරැල්ලක් මැද මහජන මතය නො තකා බලයේ පිහට වනු ලැබූ වික්‍රමසිංහ පාලනය තුල ‌ෆැසිස්ට් ව්‍යාපාරයක් ඉස්මතු වීමේ අනතුර පවතී. දැනට සැකසෙමින් තිබෙන ආකාරයේ මිලිටරිය හා පොලිසිය මත පදනම් වූ ආඥාදායකත්වයකට වෘත්තීය සමිති හා ඊනියා විරුද්ධ පක්ෂවල අනුග්‍රහය කැදවාගැනීමට මෙහා මාවතක් ඔහුගේ දේශපාලන නායකත්වය ලබන පාලක පන්තියට නැත.

1948 “නිදහස” පිළිබද මිත්‍යා කතා

“ජාතික නිදහස” උදෙසා බෞද්ධ භික්ෂූන්, රදළයන් හා ධනපතියන් දිවි පරදුවට තබා සටන් කළ බවට බොහෝ කතා වපුරනු ලැබ තිබේ. සත්‍ය නම් 1815 බ්‍රිතාන්‍ය පාලකයන්ට රට පාවා දුන් උඩ රට ගිවිසුමත්, බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ධනපතියන් අතට බලය පැවරූ 1848 නිදහස් පනතත් යන දෙකම පීඩිත මහජනතාවගේ නිදහසට වල කැපිම සදහා සිදු කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් බව ය.

උඩරට ගිවිසුම 1815
“මෙතෙක් පැවති සියලු සමාජවල ඉතිහාසය (මුලු මහත් ලිඛිත ඉතිහාසය) පන්ති අරගලවල ඉතිහාසය වේ” යයි කාල් මාක්ස් සහ ෆෙඩ්රික් ඒංගල්ස් සුප්‍රකට කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලියා තබා ඇත. මෙම මූල ධර්මයට එරෙහිව සැබෑ ඉතිහාසය වටහා ගැනීමට කිසිවෙකු සමත් වන්නේ නැත.    

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සිය පාලනය මුලු රටෙහිම ස්ථාපිත කළේ, 1815 මාර්තු මාසයේ 02 හෝ ඊට ආසන්න දිනක මල්වතු විහාරයට අයත් මහනුවර මගුල් මඩුවේ දී ඇතිකරගත් ගිවිසුමත් සමග ය. මල්වතු – අස්ගිරි උභයපාර්ෂවීය භික්ෂූහු හා උඩරට සිංහල රදළයෝ තම වරප්‍රසාද ආරක්ෂා කරන බවට බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් ලද පොරොන්දු පත්‍රයට රට පාවා දුන්හ. උඩරට කිරීටය අධිරාජ්‍යවාදයට නතු කරනු ලැබීමකට වඩා මෙය මහජනයාට එරෙහි දැවැන්ත කුමන්ත්‍රනයක් විය.

උඩ රට ගිවිසුමේ 5ස් වන ඡේදයෙන් “උඩ රට මුලාදෑනින් හා වැසියන් අදහන බුද්ධශාසනයත්, දේවාගමත් කඩ නො කර පවත්වමින් සංඝයා හා විහාරාරාම රැකීම” ඉංග්‍රීසි ආණ්ඩුවට බාර කරනු ලැබිණ. මුල් ගිවිසුම් 3 වෙන් වූයේ රදළයන්ගේ වෛරයට පාත්‍රව සිටි, උඩරට අවසන් රජු වූ ශ්‍රි වික්‍රම රාජසිංහට, ඔහුගේ ඥාතීන්ට හා එම වංශයේ කිසිවෙකුට රාජ්‍යයේ අයිතිවාසිකම් අහිමි බව තහවුරු කිරීමට ය. 4 වගන්තියෙන් සිංහලේ පරමාධිපත්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කළ අතර උඩ රට අධිකාරම්,  දිසාවේ, මොහොට්ටාල, කෝරලේ හා විදානෙලාට තම දේපල අයිතිය, වැඩවම් පද්ධතිය හා පීඩක කුල ක්‍රමය අයත් සිංහල නීති හා චාරිත්‍ර ක්‍රම පවත්වා ගැනීමට ඉඩ දුන්නේ ය. 6 සිට 10 දක්වා දඩුවම් නියමකිරීම ගැන ය. අවසාන අංක දෙක මගින් රාජ්‍ය ආදායම් එකතු කිරීම, වෙළදාම හා වානිජ කටයුතු බ්‍රිතාන්‍ය ආණුඩුවට පැවරණි.

රදළයින්ගේ හා භික්ෂූන්ගේ අනුමැතිය ලැබුනු, කරුනු දොලහකින් සමන්විත ගිවිසුමේ රටේ පිඩිත මහජනතාවගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව ගැන එකදු වචනයක්වත් සදහන් නො වී ය. ගිවිසුම වරප්‍රසාධිත ප්‍රභූව ආක්‍රමනිකයා සමග ඒකාබද්ධ වී පීඩිත ජනයා තව දුරටත් මිරිකා උරා බීම සහතික කිරීම සදහා ය.

1818 දී, සිය වරප්‍රසාද පිළිබද පොරොන්දු කඩ වීම නිසා බ්‍රිතන්‍ය පාලනය සමග ගැටුනු රදළයන් පිරිසක් ඌව  වෙල්ලස්ස කැරැල්ල නමින් ප්‍රකට සිද්ධියට යොමු වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ ප්‍රතිගාමී වැඩවසම්වාදය යළි ස්ථාපිත කිරීම හෙවත් ඉතිහාසයේ රියසක ආපස්සට කරකැවීම ය. නිදහස් අරගලයේ වීරයෙක් ලෙස ඔජ වඩවන මොනරවිල කැප්පෙටිපොල යනු 1815 පාවා දීමේ ගිවිසුමට අත්සන්කර පසුව බ්‍රිතාන්‍ය පාලකයන් සමග විරසක වී එම ව්‍යාපාරයට එක් වූ එක් රදළයෙකි. රදළයන්ගේ සෙසු පිරිස කැරැල්ල මැඩීමට බ්‍රිතාන්‍ය පාලකයන්ට සහාය වීමෙන් තම සීමිත වරප්‍රසාද දිනා ගැනීමට ක්‍රියා කළෙෘ් ය. 

එම සහාය ඇතිව ඉංග්‍රීසි පාලකයෝ ‘බිම් පාලු’ උපාය ක්‍රියාත්මක කරමින් ඌව වෙල්ලස්ස ගැමින්ගේ වගාවන් හා ගේදොර ගිනි දමා වනසා දැමූහ. ඇතැම් ගැමියන් දිවි ගලවා ගත්තේ ඈත එපිට වනගත ප්‍රදේශවලට පලා යාමෙනි. මෙසේ පලා ගොස් යළි සිය ගම් බිම්වලට නො පැමිණි ජන සමූහයකින් පැවත එන ගම්මානයක් A 4මාර්ගයේ ගොස් සියබලාන්ඩුවෙන් හැරී  අම්පාරට යන විට හමුවන දමන ප්‍රදේශය ආසන්නයේ මේ වන විටත් පවතී. වසර 19කට පෙර, මෙම ලේඛකයාට එම ගම්මානයේ ජනයා සම්මුඛ වී ඇත. මේ ගැමියෝ දිවයිනේ අනෙක් පෙදෙස්වලට උරුම වූ සමාජ සංස්කෘතියෙන් කෙතරම් ඇත් වී සිටියේ ද යත් 1950 ගනන් වන විටත් මෘත දේහ ‘කැලෑ ගැසීමේ’, එනම් පෙට්ටියක නො දමා කැළයට විසිකර දැමීමේ පුරුද්ද අනුගමනය කළෝ ය. 

1820-30 දශකවල බ්‍රිතාන්‍ය පාලනය බලාපොරොත්තු වූ ආදායම් නො ලැබීම නිසා ආදායමට වඩා පරිපාලන වියදම් ඉහල යාමෙන් අර්බුදයකට මුහුණ පායි. 1829 කෝල්බෲක් කොමිසම ලංකාවට එවන්නේ ඒ ගැන සොයා බලා පිලියම් යෙදීමට ය. වතු වගාව දියුනු කිරීමට අවශ්‍ය පරිපාලනමය පදනම් වැටෙන්නේ එතැනිණි. 1840 ඉඩම් පනත මගින් වසර 30ක් බුක්ති විදීම ඔප්පු කළ නො හැකි සියලු ගැමියන්ගේ ඉඩම් රජය සතු කර ගනී. ගැමියන් අත එවැනි ලියවිලි නො තිබිණි. දේශීය ප්‍රභූවෙන් ම ඉස්මතු වූ ඉඩම් හිමියන් හා ව්‍යාපාරවලින් ඉස්මතු වූ ධනපතියන් ට හා විදේශීය ව්‍යාපාරකයන්ට මේ ඉඩම් මිල දී ගැනීමේ අවස්ථාව උදා විය.

අනෝන්‍ය සහයොගීතාව තුල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය ලංකාවේ ගැමියන්ගේ ඉඩ කඩම් කොල්ලකමින් ද, ඇග බද්ද, බලු බද්ද, මාර්ග බද්ද, යනාදී බදු වර්ග 30ක පමන අයකරමින් ද, හමුදා පොලිස් ප්‍රහාරවලට ඔවුන් ගොදුරු කරගනිමින් ද,  රුදුරු මර්දනයක් පවත්වා ගැනුනු අතර ඊට එරෙහිව පැන නැගි 1848 කැරැල්ල ලේ විලක ගිල්වනු ලැබිණි.

“1848 කැරැල්ල එහි වපසරියෙන් සාමාන්‍ය ස්වභාවයට වඩා හීනව පැවතියේ වුව ස්වභාවයෙන් වඩා නවීන ය. එය තම ඉඩම් උදුරාගැනීමේ ධනේශ්වර ක්‍රියාවලියට එරෙහි ග්‍රාමීය ජනයාගේ ප්‍රචන්ඩ අරගලයක් විය. එයට නායකයන් සිටියත් නායකත්වයක් නො පැවතුනි.පැරණි වැඩවසම්වාදීහු තලා දමා බල රහිත කරන ලදහ. අරගලයට නායකත්වය දී බලය කරා ගෙන යා හැකි නව පන්තියක් තවම බිහි වී තිබුනේ නැත.” (Hartal, Colvin R. De. Silva, September 1953,  LSSP Pamphlet)

මේ තත්වය තුල ම ලංකා යටත්වජිත ආණ්ඩුව වතු වැඩට ගෙන්වාගත් ඉන්දියානු කම්කරුවෝ ම්ලේච්ඡ සූරා කෑමට ගොදුරු වූහ. සෙසු කම්කරුවන්ගේ තත්වය ද යහපත් වූයේ නැත. 1865 ආඥා පනතක් මගින් වැඩ වර්ජන සාපරාධී වරදක් බවට පත් කරන ලදී.

මේ මර්දනය නො තකා 1893 සැප්තැම්බර් 12 දින කොළඹ මුද්‍රණ සේවා කම්කරු වර්ජනයත් සමග වෘත්තීය සමිතිවල ආරම්භය සලකුනු කළෝ ය. වරාය දුම්රිය ඇතුලු අංශ ගනනාවක් කම්කරු අරගල හා සංවිධාන බිහි වීම ඇරබිණි. 1931 නඩේසන් අයියර්ගේ නායකත්වයෙන් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය බිහි විය.1946-47 මහා වැඩ වරජන දක්වා වසරින් වසර නිදහස උදෙසා කම්කරු පන්තියේ අරගල පැතිරී ගියේ ය.  

1947 මහා වැඩ වර්ජනය ලාභ පොදි ගැසීම උදෙසා පවතින ධනපති පන්තියේ අවශ්‍යතාවයට පටහැනි ව කම්කරු පන්තියේත්, පීඩාවට පත් ගොවි ජනතාවගේත් ප්‍රමුඛතම අවශ්‍යතාව වූයේ අධිරාජ්‍යවාදී ධනේශ්වර පීඩනයෙන් නිදහස් වීම ය. මහජනයා ප්‍රභූ පැලැන්තියේ වහලුන් ලෙස සැලකූ විහාරගම් සහ දේවාලගම්වලින් සමන්විත අඳ ගොවි ක්‍රමය, නියම කරන ලද රැකියාව හැර අන් රැකියාවක් තහනම් කලා වූ ද, කුල අතර ආවාහ විවාහ තහනම්කලා වූ ද, කුල ධූරාවලිය ද වැනි වැඩවසම් සමාජ පීඩනය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවදී නිදහස සාක්ෂාත් කිරීම ඓතිහාසිකවම අවශ්‍යය කෙරී පැවති අතර, උපන් ගෙයි දී ම පක්ෂාඝාත ව එම කරතව්‍යයන් ඉටු කිරීමට අසමත් වූ මෙරට කල් පසුවී මතු වූ  ධනපති පන්තිය මෙම අරගල නිසා තැති ගත්තේ ය.  

ලංකා ධනපතියන් ලංකා ජාතික සංගමය (1888) නමින් සංවිධානය වූ අතර එය සෑම විටම යත්න දැරුවේ බ්‍රිතාන්‍ය පාලනය තුල යම් බලතල හිමි කර ගැනීමට ය. ශ්‍රී ලාංකික ‘ජාතියේ පියා’ හා ‘නිදහසේ පියා’ ලෙස හැදින්වෙන ‘නිදහස් ලංකාවේ’ ප්‍රථම අගමැති වූ  ඩී.එස්.සේනානයක වනාහී කිසි දිනක කම්කරු පීඩිත ජනතාවගේ පසින් ජාතික නිදහස උදෙසා සටන් නො කල මෙම ලංකා ජාතික සංගමයේ නායකයෙකයෙකි. හුදෙක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඩොමීනියන් තත්වය වෙනුවෙන් පෙනී සිටි මෙම සංගමය 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරන යටතේ සර්වජන ඡන්ද අයිතිය ලබා දීමට බ්‍රිතාන්‍ය පාලකයන් කළ යෝජනාවට පවා  විපක්ෂව උද්ඝෝෂණය කිරීමට තරම් නිර්ලජ්ජිත වූ බව ඉතිහාසගත ය (1926 බැල්ෆෝර් ප්‍රකාශය අනුව ඩොමීනියන් තත්වය යනු, ‘බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල ස්වතන්ත්‍ර ප්‍රජාවන්’පිළිබද තත්වයකි. පසු කලෙක පොදු රාජ්‍ය මන්ඩලය තුල ස්වෛරී රාජ්‍ය නමින් එය හැදින්විනි.).

ලංකා ජාතික සංගමය කියා සිටියේ ‘නූගත් මිනිසුන්ට’ ඡන්ද බලය ලබා දීම දූෂණ වලට හේතු වන බව ය. 2021 ජනවාරි 15 දින එම්. තාරික්, ආන්ඩුවේ පුවත්පතක් වන දිනමිනට ලියූ ලිපියක සදහන් වන පරිදි,  1920 මල්ලිකා කුලගන සමිතිය හා 1927 ලංකා කාන්තා ඡන්ද අයිති සංගමය නමින් සංවිධානය වූ මධ්‍යම පන්තික කාන්තා සංගම් උගත් කාන්තාවන් සදහා ඡන්ද බලය ඉල්ලා උද්ඝෝෂණය කළේ ය. “ස්ත්‍රීන්ට ඡන්ද බලය ලබා දීම ඌරන්ට මුතු විසිකිරීම වැනි ක්‍රියාවකි” යි සර්ව ජන ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කළ කොම්ප්‍රදෝරු ධනපතියෝ කීහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස කෙසේ වෙතත් මේ පාලක පන්තිය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ද සහාය ලබමින් දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ වාර්තාවකට හිමිකම් පායි.

අන් යටත් විජිතවල මෙන් ම ලංකිකයන් ද යුද්ධයට බදවා ගැනීමේ දී මොවුන්ගේ පූණ අනුග්‍රහය හිමි විය. සෙබලුන් ලෙස  බදවා ගත් මිනිස්සු මහ මුහුදේ නැව්වලින් ගෙන යන අතරතුර දී පවා යුද්ධයට එරෙහිව කැරලි ගසා බ්‍රිතන්‍ය හමුදාව අතින් මැරුම් කෑහ.

ලංකා ජාතික සංගමයේ නායකයන් අධිරාජ්‍යවාදීන්ට කනලව්කිරීම මගින් තම පන්තියේ වරප්‍රසාද  රැකගැනීමේ සඟවන ලද වාර්තාව කෙබදුද යන්න, ව්‍යවස්ථා සංශෝධන  ඉල්ලා එංගලන්තයට ගියේ යයි කියන  “කෝට්ටේ සිංහයාගේ” කතාව මගින් උපහාසාත්මකව හෙළි වේ. ඒ අනුව පලමු ලෝක යුද්ධය සමයේ දී, 1915 මුස්ලිම් විරෝධී වර්ගවාදී කලබල පසුබිමෙහි, “සිංහලයන්ට” වූ අකටයුතු කම් ගැන යටත් විජිත මහ ලේකම්ට යොමු කිරීම සදහා පෙත්සමක් ජාතික සංගමයේ එච්. සී. ද මැල්, ජේම්ස් පීරිස් හා පොන්නම්බලම් රාමනාදන් එක්ව සකස් කරන ලද බව සඳහන් ය. මෙම පෙත්සම, අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා නොහොත් “කෝට්ටේ සිංහයා” සිය සපත්තු අඩියේ සගවාගෙන බ්‍රිතාන්‍යයේ සිටි යටත් විජිත ලේකම් වෙත භාර දීම සඳහා ගෙන ගිය බව කියනු ලැබේ. එහෙත් අන්තර්ගතය හෙළිදරව් කර නැති මෙම පෙත්සම පෙරේරා විජිත ලේකම්ට බාර නො දුන්නේ ය.  ඊ. ඩබ්ලිව්. පෙරෙරා “සිංහයෙක්” වන්නේ ලිපිය බ්‍රිතාන්‍ය පාලකයන්ට හසු වී නම් මැරුම් කන්නට සිදු වන බව දැනදැනත් ඔහු එය සපත්තුවේ සගවාගෙන සිටීම නිසා ය! ඔහු 1924 දී ලංකා ජාතික කොංග්‍රසයේ නායකත්වයට පත් කර ගන්නා ලදී.  

දේශීය ධනපති ප්‍රභූව සිය “නිදහස්” රාජ්‍ය පාලනය 1948 පෙබරවාරියේ ආරම්භ කර මාස 9ක් ගතවන්නට පෙර එනම් 1948 නොවැම්බර් 15 දින අංක 18 දරන පුරවැසි පනතක් මගින්  එවක දිවයිනේ ආර්ථිකයේ ජීවනාලිය වූ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරන ලදී. කම්කරුවන්ට තාවකාලික පදිංචි සහතික (TRP) ලබා දුන් අතර ධනපති ඉන්දියානුවන්ට,ව්‍යාපාරිකයන්ට පුරවැසිකම පිරිනමන ලදී.

හුදෙක් කුල, ගෝත්‍ර හා වාර්ගික සංකලනයක් ව පැවති ලංකා සමාජය එම වෙනස්කම් පැවතිය දී ම, සිංහල වාර්ගික ආධිපත්‍ය යටතේ ජාතිය ලෙස නම් කළේ  ය. මෙසේ වර්ගය ජාතියටත්, ජාතිය රාජ්‍යයටත් සම කිරිමේ පාලක පන්තියේ මෙම නිවට ප්‍රතිපදාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනයා දැනටමත් වසර 27 යුද්ධයක් ද සහිත ලේ විලකින් වන්දි ගෙවා ඇත.

(දෙවන කොටසක් ඇත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *