ප්‍රංශ පොලිස් ඝාතනයන්ට සහ රාජ්‍ය මර්දනයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි

(මෙය, ‘Mobilize the working class against French police murders and state repression!’මැයෙන් 2023 ජූලි 01 දා ලෝසවෙඅ හි පලවූ ඉදිරි දර්ශ​න ලිපියේ පරිවර්තනයකි.)

පැරිසියෙන් පිටත නොන්ටේර් හි 17 හැවිරිදි තරුනයෙකු වන නාහෙල් පොලිසිය විසින් ඝාතනය කිරීමෙන් පසු ප්‍රංශයේ දින තුනක් පුරා මහජන විරෝධතා පුපුරා යමින් පවතී. ප්‍රචන්ඩත්වය ඉල්ලා ෆැසිස්ට්වාදී ප්‍රකාශයන් විවෘතව සිදු කරන පොලිස් සංවිධානයන්ගෙන් බලගැන්වුනු රුදුරු මර්දනයකින් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආන්ඩුව එයට ප්‍රතිචාර දක්වයි.

1968 මහ වැඩවර්ජනයෙන් පසු ප්‍රංශය තුල පැනනැගි විශාලතම ව්‍යාපාරය වන මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහි මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ මහජන විරෝධතා හා වැඩ වර්ජනවලින් ඉක්බිතිව ප්‍රංශය පුරා නගරවල විරෝධතා සහ කැරලි පැන නගිමින් පවතී. වෘත්තීය සමිති නිලධරයේ සහ විවිධ “විරුද්ධ” පක්ෂවල ඒකාබද්ධ ප්‍රයත්නයන් තුලින් මෙම විරෝධතාවන් ගෙල සිරකර යටපත් කරන ලදී.

මැක්‍රොන්ට එරෙහි දේශපාලන අරගලයක් සඳහා දෘෂ්‍යමාන ඉදිරි මාවතක් නොමැති තැනකට තරුනයන් හා කම්කරුවන් ඇද දැමීමට සැලසුම් කෙරුනු එම පාවාදීමෙන් පසු ඔවුන් තුල ඇතිව පවත්නා කලකිරීම නාහෙල්ගේ ඝාතනයෙන් පසු පැනනැගි කැරලි කෝලාහල සහ කොල්ලකෑම් මගින් පිලිබිඹු වෙයි.

රුදුරු පොලිස් මර්දනයක් දියත් කරමින් මැක්‍රොන් එයට ප්‍රතිචාර දක්වයි. ඊයේ, මැක්‍රොන්ගේ ඇමතිවරු ඇඳිරි නීතිය සහ බහුතර නගරවල විරෝධතා තහනම් කිරීම් ප්‍රකාශයට පත් කල අතර හමුදා පොලිසිය කැරලිකරුවන්ට එරෙහිව සන්නද්ධ රථ භාවිතා කරන බව පැවසීය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අත්හිටුවන හදිසි තත්වයක් ද ඇතුලුව ‘සියලු විකල්ප ක්‍රම’ යොදවන බව ඔවුන්ගේ කාර්ය මන්ඩලය තහවුරු කර ඇත. ඒ අනුව පොලිසියට නඩු විභාගයකින් තොරව ඕනෑම අයෙකු සිරගත කිරීමට හෝ නිවාස අඩස්සියේ තැබීමට හැකිය.

ටික් ටොක් (TikTok) සහ ස්නැප්චැට් (Snapchat) වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට ‘වඩාත් සංවේදී අන්තර්ගතයන්’ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත්, ‘සාමය කඩ කිරීමට හෝ ප්‍රචන්ඩත්වය උග්‍ර කිරීමට’ කැඳවුම් කරන රජයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා මැක්‍රොන් අන්තර්ජාල වාරනයක් කැඳවා ඇත.

පොලිස් සංවිධාන ප්‍රංශ නගරයන්හි කම්කරු පන්ති දිස්ත්‍රික්කවල ලේ සහ මර්දනය ඉල්ලා සිටී. ෆැසිස්ට් පන්නයේ හෑල්ලක් තුල, පොලීසිය සිකුරාදා තර්ජනය කලේ, ඔවුන් ‘අත්අඩංගුවට ගෙන ක්‍රියාවෙන් ඉවත් කර තබනු’ යනුවෙනි.

ඒකාබද්ධ ප්‍රකාශය මෙසේ ප්‍රකාශ කලේය: “මෙම ම්ලේච්ඡ කන්ඩායම් වලට මුහුන දී සිටියදී, සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටීම තවදුරටත් ප්‍රමානවත් නොවේ, අපි එය පැනවිය යුතුය. … මෙය, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා නොව මෙම අශික්ෂිතයන්ට එරෙහිව සටන් කිරීමට කාලයයි.”

මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාව ‘අශික්ෂිතයන්’ ලෙස විස්තර කෙරෙන පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශයෙන් හෙලිදරව් කෙරෙන්නේ, නාහෙල්ට ඉතා සමීපයේ සිට ම්ලේච්ඡාකාරයෙන් වෙඩි තබා, කැමරා දර්ශන මගින් සත්‍යය හෙලිවන තුරු නිල ලේඛනයන්ට ඒ ගැන බොරු කීමට පොලිස් භටයෙකුට හැකි පොලිසියේ විෂඝෝර මානසික තත්වය පමනක් නොවේ. එය කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන තත්වය ද පැහැදිලිවම අවධාරනය කරයි. “පොහොසතුන්ගේ ජනාධිපති” විසින් නායකත්වය දෙන ධනේශ්වර රාජ්‍යය කම්කරුවන්ට එරෙහි යුද්ධය සඳහා දැඩි ලෙස සන්නද්ධ පොලිස් ප්‍රහාරක කන්ඩායම් බලමුලු ගන්වයි.

ප්‍රංශයේ අර්බුදය, ජාත්‍යන්තරව කම්කරුවන් මුහුන දෙන දේශපාලන ප්‍රශ්න තියුනු ලෙස අනාවරනය කරයි. ඉතා වැදගත් වූ මෙම සන්තතීන් ම ලොව පුරා රටවල ක්‍රියාත්මක වෙමින් පවතිී. වසර තුනකට පෙර, පොලීසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම එක්සත් ජනපදය පුරා මහජන විරෝධතාවලට තුඩු දුන් අතර, එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන්ට එරෙහිව එක්සත් ජනපද හමුදාව නීති විරෝධී ලෙස යැවීමට ඉල්ලා සිටියේ ය. එය තථ්‍ය වසයෙන්ම හමුදා කුමන්ත්‍රන ප්‍රයත්නයක් විය. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකල මහා වැඩවර්ජනයක් හේතුවෙන්, විරෝධතාවලට සම්බන්ධ වූවන්ට ආන්ඩුව නිර්දය ලෙස නඩු පවරනු ලැබ ඇත.

මිලිටරි-පොලිස් මර්දනයට එරෙහිවත්, ප්‍රංශයේ සහ ජාත්‍යන්තරව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමටත් කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හදිසි කර්තව්‍යයකි.

සෝබෝන් හි සිසුන්ට එරෙහිව පොලිසියේ ම්ලේච්ඡ ක්‍රියාවලින් පසු, 1968 මැයි-ජූනි මහා වැඩවර්ජනය හරහා කම්කරු පන්තියේ මැදිහත්වීම බව මෙහිදී සිහිපත් කල යුතුය. දැන් ඔබ හමුවේ, පොලීසිය විසින් නිරායුධ තරුනයෙකු ම්ලේච්ඡාකාරයෙන් මරා දමා ඇත. ඉන් අනතුරුව රට පුරා කම්කරු පන්තික ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් සමූහ අත්අඩංගුවට ගැනීම් සහ මර්දනය දියත් කෙරී පවතී..

ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ කැමැත්ත විවෘතව නොතකමින්, ආන්ඩුවේ නියෝගය හරහා විශ‍්‍රාම වැටුප් කප්පාදු පැනවීම සම්බන්ධයෙන් ප්‍රංශය පුරා කම්කරුවෝ කෝපයට පත්ව සිටිති. පාර්ලිමේන්තුවේ ඡන්දයක් හෝ නොතබා මැක්රෝන් ක්‍රියාත්මක කල කප්පාදු වලට ප්‍රංශ ජනතාවගෙන් හතරෙන් තුනක් විරුද්ධ වූ අතර, ඔහු එයට එරෙහිව වැඩවර්ජනයේ යෙදෙන හෝ විරෝධතාවයේ යෙදෙන ඕනෑම කෙනෙකුට පහර දීමට කැරලි මර්දන පොලිසිය යැවීය.

අරගලය අතරතුර, ප්‍රංශ ජනතාවගෙන් තුනෙන් දෙකක් – මින් අතිමහත් බහුතරය කම්කරුවෝ වූහ – ජනමත විචාරකයන්ට පැවසුවේ මහා වැඩවර්ජනයකින් ආර්ථිකය අවහිර කරමින් මැක්‍රොන් නැවැත්වීමට අවශ්‍ය බවයි.

මූලික ප්‍රශ්නය, එනම් මැක්‍රොන් යා යුතුව තිබූ බව සහ එම බලය කම්කරු පන්තියට මාරුවිය යුතුව තිබූ බව, මග හැරීම සඳහා වෘත්තීය සමිති නිලධරයන් සහ විවිධ ව්‍යාජ-වාම පක්ෂ විසින් සෑම දෙයක්ම කරන ලදී:

සමිති නායක ලෝරන්ට් බර්ගර් “භයානක දේශපාලන වාතාවරනයක්” සහ “මේ රට ප්‍රචන්ඩත්වයෙන් අල්ලා ගත හැකි උමතුවක්” ලෙස නැගිටීම හෙලා දුටුවේය. බර්ගර් විවේචනය කලේ මැක්‍රොන්ගේ පොලිස් නිලධාරීන්ගේ ප්‍රචන්ඩත්වය නොව, මැක්‍රොන්ට එරෙහිව කම්කරුවන් හා තරුනයන්ගේ විරෝධතාවන් ය. මක්නිසාද යත්, වෘත්තීය සමිති නිලධරයන් විරුද්ධවාදීන් නොව, පොලිස්-රාජ්‍ය යන්ත්‍රයේ සේවකයන් සහ ආරක්ෂකයින් වන බැවිනි.

මැයි දිනයෙන් පසු මැක්‍රොන්ට එරෙහි සියලු ඵලදායී වැඩ වර්ජන ක්‍රියාමාර්ග නිලධරය විසින් අවසන් කෙරුනු අතර ධනවත් මධ්‍යම පන්තියේ ව්‍යාජ-වාම පක්ෂ සියල්ලම එයට අනුගත විය. ෂෝන්-ලුක් මෙලන්ෂොන් ගේ නව මහජන සංගමය මැක්‍රොන් වෙත බෙලහීන පෙත්සම් කිහිපයක් යැවූ අතර, නොනවතින විප්ලවය කන්ඩායමේ ජුවාන් චිංගෝ තත්වය “විප්ලවවාදී නොවන” බව ප්‍රකාශ කලේය.

‘විප්ලවවාදී නොවේ’ යැයි කියන මෙම තත්වය දැන් රට පුරා සමාජ නොසන්සුන්තාවේ පිපිරීමක් දක්වා වර්ධනය වී ඇත.

තරුනයන්ට තනිව සටන් කිරීමට ඉඩ හරිමින් ඔවුන් අත්හැර දැමීම කම්කරුවන්ට කල නොහැක. අන් කවරදාකටත් වඩා ඉවබව නැති හා අධිකාරීවාදී ස්වභාවයක් අත්පත් කර ගනිමින් සිටින ආන්ඩුවේ සියලු ක්‍රියා, සංගතවල හා මූල්‍ය ප්‍රභූවේ විධානයන්ට එරෙහිව පැන නගින විරෝධයේ සෑම ප්‍රකාශනයකටම එල්ල කෙරෙනු ඇත.

ප්‍රංශය තුල සහ ජාත්‍යන්තරව පොලිස් ප‍්‍රචන්ඩත්වයට හා ආඥාදායක පාලන රූපයන් වෙතට හැරීම, සමාජ අසමානතාවයේ ආන්තික මට්ටම්වලට සහ එජ-නේටෝ අධිරාජ්‍යවාදයේ තීව‍්‍රවන යුද්ධයට අවියෝජනීය ලෙස සම්බන්ධ ය. රටතුල මහජන සමාජ කෝපයට මුහුන දෙන ධනේශ්වර පාලක ප්‍රභූව එයට ප්‍රතිචාර දක්වන්නේ ප්‍රචන්ඩත්වයෙනි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රංශ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය මැක්‍රොන් සූදානම් කරමින් සිටින නව පොලිස් රාජ්‍ය පියවරට විරුද්ධත්වය බලමුලු ගැන්වීම සඳහා කම්කරුවන් හා තරුනයන් අතර ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට කැඳවුම් කරයි.

මෙම ක්‍රියාකාරී කමිටු, මැක්‍රොන්ගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව වැඩ වර්ජන සහ විරෝධතා සම්බන්ධීකරනය ද, පොලිස් රාජ්‍යයට ගොදුරු වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම ද, කම්කරු පන්තිය තුල මැක්‍රොන්ට එරෙහිව මෙතෙක් බලමුලු නොගැන්වූ මහජන විරෝධය ඔහුව පලවා හැරීමේ ව්‍යාපාරයකට ගොනු කල යුතුය.

අන්තයටම කුනු වී ගොස් ඇති මෙම ආන්ඩුව පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි අතර එය ගොඩනැගිය යුතුය. මේ සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් හා ඔවුන්ගේ ව්‍යාජ-වාම උපාංගයන්ගෙන් නිර්දය ලෙස බිඳී ගැනීම සහ සමාජවාදය සඳහා අරගලයක ගමන් මග තුල කම්කරුවන්ට ප්‍රංශයේ සහ ජාත්‍යන්තරව රාජ්‍ය බලය මාරුකල හැකි ක්‍රියාකාරී කමිටු කම්කරු පන්තිය තුල ගොඩනැගීම අවශ්‍ය වේ.

wsws.org වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *