ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසුරිය වහා නිදහස් කරනු !

කොළඹ ක්‍රියාකාරි කමිටුව

ජනප්‍රිය ප්‍රහසන රංග ශිල්පිනී ජයනී නතාෂා එදිරිසූරිය, ඇයගේ කලා නිර්මාණයක් නිසා, බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ පැමිණිල්ලකට අනුව, පසු ගිය මැයි 28 දින මධ්‍යම රාත්‍රියේ  කටුනායක ගුවන් තොටුපලේ දී ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව (අපදෙ) විසින් අත්අඩංගුවට ගන්නා ලදී.  එදිනම කොටුව මහේසත්‍රාත්වරයා ඉදිරියට පමුනුවන ලදුව  ජුනි 7 දක්වා ඇයව බන්ධනාගාරගත කරනු ලැබිණි.  ඇය සිරගත කිරීම සිදුවන්නේ, කලා නිර්මාණයේ නිදහස අහුරා, ප්‍රතිගාමීත්වය තුළ කම්කරු පීඩිත මහජනයා සිරකර, පැරණි ලෝකයට එරෙහි ගාමක බලයන් ආපසු හැරවීම සඳහා පන්ති අරගලයට විරුද්ධව රාජ්‍ය මර්දන යාන්ත්‍රණය පිහිටුවීමේ උත්සන්න කෙරුනු වැඩපිළිවෙලක කොටසක් ලෙසය.

Stand-up Comedy (රැඩිකල් සහ ප්‍රති-හෙජමනික ප්‍රහසන කලා නිර්මාණ ප්‍රවනතාවක්) නිර්මානවේදිනියක් වන, නතාෂා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංවි වි සිටියාය . ඇය ඔස්ට්‍රේලියාවේ කලක් වාසය කර ඇති අතර හෙදියක් ලෙස කටයුතු කර ඇත. එම ජිවන අත් දැකීම් නතාෂා සිය කලාව තුළට කැදවාගෙන ඇති බව ඇගේ නිර්මාණ සාක්ෂි දරයි. ඊට අමතරව ඈ කාන්තා උපදේශිකාවක් ලෙස ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

“මෝඩාභිමානය” යනුවෙන් ඇය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රහසන රඟදැක්වීම් මාලාවක එක් කොටසක් අප්‍රේල් 1දා කොලඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවනාගාරයේ දී වේදිකාගත කර ඇති අතර, පසුව එහි වීඩියෝව යූටියුබ් හරහා ප්‍රචාරය කරනු ලැබිණි. සංස්තාපිත බෞද්ධ වර්ගවාදීන්ගේ උදහසට ලක්ව ඇත්තේ මෙම නිර්මාණය යි.  පුරුෂ කේන්ද්‍රිය හා වැඩවසම්  සමාජ ක්‍රමයක කාන්තාවන් වෙනස් ලෙස සලකනු ලැබීම හා ඔවුන් අත්විඳින සංස්කෘතික පීඩනය ඇය එමගින් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන එක් මාතෘකාවකි.  කාන්තාවන් තම දරුවන් සෙසු ළමුන් හා තරගකාරී ලෙස පිහිටුවීම සඳහා දරුවන්  සංසන්දනය කර හෙළා දැකීම හරහා ළමුන් මතට ගෙන එන දැවැන්ත පීඩනය මතු කර පෙන්වීම හා එය⁣ට විරෝධය දැක්වීම නිර්මාණයේ අනෙක් අරමුණ වී තිබේ.  එම ප්‍රහසනයේ එක් අවස්ථාවක ඇය වර්තමාන සමාජයේ  ‘තරඟයට’ ගොදුරු වූ ගැහැනුන්ගේ හා ළමුන්ගේ අර්බුදය කලාත්මක සංකල්පයක් ලෙස වේදිකාව මත නිර්මාණය කරන්නේ පහත සදහන් වචන වලිනි: 

“බුදු හාමුදුරුවන්ගෙ කාලෙ, බුදු හාමුදුරුවො සිදුහත් කුමාරය කාලෙ, සිදුහත් කුමාරය බබා කාලෙ, ඒ සම වයසෙ ළමයින්ට මාර ප්‍රෙෂර් එකක් තියෙන්න ඇති නේහ් (සභාවේ සිනා). අර සුද්ධෝදනගෙ ළමය, ඒ ළමය ඉපදුනු දවසෙම ඇවිදල. ඒකට මේගොල්ලො, තාම කෙලින් කරල වඩාගත්තහම බෙල්ල කඩාගෙන වැටෙනවා. අර සුද්ධෝදනගෙ පොඩි එකා, ඉපදුනු දවසෙ කවියක් කියල, ඒකට මුං… සුද්ධෝනගෙ කොලු පැටිය ඉපදුනු දවසෙයි කියල නෑ, දැම්මම තීරනය කරල තියෙන්නෙ, ලොකු වෙලා මොකද කරන්නෙ කියල… ඒකට අපේ අය, හැම දේම අපි කරල දෙනකම්ම බලාගෙන ඉන්නව. ඒ ලමයගෙ අම්මත් නෑ. මුන්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. මොනවයින් අඩුපාඩුවක් ද? සැප වැඩියි. සැප වැඩියි… වැඩියම බැනුම් අහන්නෙ අර දේවදත්ත… ඒකනෙ ගලක් පෙරලුවෙ…”

සමකාලීන දෙමවිපියන්ගේ භාවිතාව අතීතයට ප්‍රක්ශේපනය කර, වත්මන් දෙමාපියන්ගේ හා දරුවන්ගේ මෙම ඝට්ටනය දේවදත්තලා නිර්මාණ කිරීමට තුඩු දෙන්නේ යැයි ඇය සමාජ යථාරථයක් තියුනු හා ප්‍රහාසනාත්මකයව ගෙනහැර දක්වයි. 

නතාෂා ‘කන්‍යාභාවය’ නමැති පසුගාමී අවිද්‍යාත්මක  සංකල්පය ද හාස්‍යට ලක් කළේ මෙසේය:

“බෞද්ධ බාලිකා කියන්නෙ සර්ව ආගමික සංහිදියාවේ මුදුන් මල්කඩ. බාලිකා කියන්නෙ වර්ජින් ෆැක්ට්රීස්. කන්‍යාවියන්ව නිශ්පාදනය කරන එක තමයි අපේ ලොකුම ගෝල් එක. ඉස්කෝලෙ එන ළමයි ජීවිතේ වැඩිම කාලයක් කන්‍යාවියන් හැටියට තියා ගන්න එක තමයි ලොකුම වැඩේ. දැන් ඔය මුස්ලිම් ත්‍රස්තවාදියො, ඒ ගොල්ලො පිපිරිලා දිවි නසාගෙන මැරුනාම, ඒගොල්ලන්ට කන්‍යාවියො 72ක් හම්බවෙනවා නේ. ඒකෙන් වැඩි කෝටා එකක් සප්ලයි කරන්නෙ බෞද්ධ බාලිකාව…”

ඉහත ආකාරයේ ඇගේ නිර්මානයන් ඇසුරේ ප්‍රේක්ෂකයෝ සිනහසෙති. අවසන තමන් තමන්ටම සිනාසුනු බවක් ඔවුහු වටහා ගනිති. එය ප්‍රඥාගෝචර කලාවකි. ඇගේ දේශපාලන නැඹුරුව කුමක් වුවත් ඇගේ කලාව සමාජ අසමානතාවයේ හා පසුගාමීත්වයේ යම් අංශයක් නිතරම ඉස්මතු කරයි. ඒ අනුව, ලිංගිකත්වය කාන්තාවට වෙනස් ලෙස සැලකීමේ හේතුවක් වීම මෙන් ම  “විනය හා සදාචාරය” වෙනුවෙන් දරු දැරියන් ගැහැනු හා පිරිමි ලෙස වෙන් කිරිම ද විද්‍යා විරෝධී, ප්‍රතිගාමී අදහසකි ය යන සිය වැටහීම හා පිළි ගැනීම, ඇය තම නිර්මාණවල දී ඉස්මතු කළා ය.       

මෙහි සදහන් කරුනු සම්බන්ධයෙන් තම පුද්ගලික අදහස ප්‍රකාශ කිරීම සඳහා නිකුත් කළ “සුලං කපොල්ලේ” නමැති වීඩියෝවෙන්, නතාෂා, කාන්තාව හා පිරිමියා ‘මහා ලොකුවට වෙන් කරගෙන සිටීම නො විය යුතු දෙයක්’ යයි තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළා ය. පිරිමියා, පිරිමියෙකු වන හේතුවෙන් ඔහු ගැහැණියය බලාගත යුතු ය යි  යෝජනා කිරීම  “emotional blackmail එකක් (චිත්තවේගී තර්ජනයක්)” යයි ඈ කියයි. “මනුෂ්‍ය සම්බන්ධතා ගොඩ නැගීමට කාන්තාවක් තව කෙනෙක් මත යැපෙන්නට අවශ්‍ය ද? (පිරිමියා) තමන්ගේ සතුට කැප කර තව කෙනෙක් බලා ගන්න එකට ද සතුට කියන්නෙ. ආදරේ කියන්නෙ ඒකට ද?” යි නතාෂා ප්‍රශ්න කරයි. ඇය තව දුරටත් මෙසේ ද විමසයි. “පිරිමියා අසරණ කාන්තාව බාරගන්නට ඉන්න rehabilitation (පුනරුත්තාපන)  එකක් ද?”

ගැහැනුන් “දූෂණය කරනවා” යන පිළි ගැනීම ද, ඇය අභියෝගයට ලක් කරයි. අපේ කතා නායිකාව තම කලාව තුළින්  විමසා සිටින්නේ, ‘යම් පිරිමියෙකු විසින් ගැහැණියට කරන හිරිහැරයක් නිසා ඇය ‘දූෂණය’ වූවා ය යි කියන්නේ කෙසේ ද?’ යනුවෙනි. සැබවින්ම අපවිත්‍රව ඇත්තේ කවරක් ද? ඇය යථාරථය මතු කරයි.

“කලාව politically correct (දේශපාලනිකව නිවැරදි) වෙන්න ඕනෑ ද? ආතල් එකට විතරක් කරන්න පුලුවන් ද? බැරි ද?  politically විතරක් correct වුනොත් හරි ද?” මේ ඇගේ තර්ක ගොඩ නැගෙන ආකාරයයි. මේවා නිදහස් අදහස් ය.

බෞද්ධ කොමසාරිස් ප්‍රමුඛ ආගමික අන්තවාදීන්ගේ පැමිණිලි අනුව ඇය දඩයම් කර ඇත්තේ, එසේ, පවතින අධිකාරීන් බිඳලන, නිදහස් අදහස් දැරීම, ඒ  වෙනුනේ පෙනී සිටීම හා කලා නිර්මාණ තුළින් ඒවා සමාජගත කිරිම යන මේ කරුනු නිසා ය. බුද්ධාගමට හා එහි ශාස්තෲන්ට අපහාස කිරීම හා ආගමික සංහිඳියාව නැති කිරීම, බාලිකා විද්‍යාලවලට අපහාස කිරීම යන චෝදනා ඇයට විරුද්ධව ගොතා ඇත. එහි අරමුණ හුදෙක් කලා නිර්මාණයේ, භාෂණයේ හා ප්‍රකාශනයේ  නිදහස පාගා දැමීම පමණක් නො ව, පීඩිත ජන සමාජය තුළ පොදුවේ දැල්වෙන සමානාත්මතා හැඟීම් හා කාන්තාව මත හෙළා ඇති ධනවාදී පීඩනයට විරුද්ධව කාන්තාවන් තුළින්ම නැගී එන විමුක්තිකාමී හැඟීම් අංකුර අවස්ථාවේ දී ම තලා වනසා දැමීම ය. 

කුප්‍රකට සිවිල් සහ දේශපාලන අයිතිවාසිම් පිළීබද ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ නතාෂාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත්තේ පහල අධිකරණයෙන් ඇප ලබා ගත නොහැකි වන පරිදිය. මේ යටතේ චෝදනා සම්බනධව වරදකරු කරනු ලැබුව හොත්  වසර දහයක් දක්වා සිරගත කිරීමකට යටත් වීමේ අන්තරාය ඇය මත ලඹ දේ.  

ඒ වන විටත් SL VLOG නමැති යූටියුබ් චැනලයෙන් එය නැරඹූ පිරිස 21000ක් බව උසාවියට වාර්තා කළ  පොලිසිය, එය ආගම් විරෝධී වෛරී සහගත ප්‍රකාශයක් ලෙස නම් කර එයින් මහජන කැලඹිලි ඇති විය හැකි යයි පවසමින්, ඇය රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් ඉල්ලා සිටියේ ය.  පොලිසිය තව දුරටත් කියා සිටියේ බෞද්ධ කටයුතු කොමසාරිස් මෙබදු පැමිණිල්ලක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් ඇය පසුගිය ‘අරගලය’ ට සම්බන්ධ වී ඇති නිසා වි⁣ශේෂ සැලකිල්ලකින්  සොයා බලන බවත්ය.  මහේස්ත්‍රාත් නතාෂාට ඇප දෙන ලෙස නීතිඥයන් විසින් කෙරුනු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. පසු දින ලංකාදීප වාර්තා කළේ, “විහිලුවට ආගමික කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම  හරිදැයි” මහේස්ත්‍රාත්වරයා විමසා සිටි බව යි. මේ වාර්තාව අනුව, ආගමික කාරනා විහිලුවට භාවිත කළේ ය යි මහේස්ත්‍රාත් නඩු නො අසාම තීන්දු කර ඇති බව ගම්‍ය නොවන්නේ ද? 

ආගමික හෝ වෙනත් ආකාරයක සමාජ විරෝධී බවක් ඇගේ නිර්මාණය අත්විඳි ප්‍රේක්ශකයන්ට මතු වී නො තිබිණි. මාස දෙකකට පසු අදාල වීඩියෝව ප්‍රසිද්ධ කිරීමෙන් දින දෙකක් ඇතුළත එය නැරඹූ 21000 අතුරින් රිදී ඇත්තේ කා හට ද? රිදී ඇත්තේ, ‘ආගමික සංහිඳියාවට’ බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට පසු දා ම නියෝග කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ය, ඔහුගේ බෞද්ධ කටයුතු කොමසාරිස්ට ය, බෞද්ධ මූලධර්මවාදීන් ඇතුලු වර්ගවාදී ෆැසිස්ට් කල්ලි සහ පාලක පන්තියේ සෙසු නියෝජිතයන්ට ය.

දැන් ආගමික සමාජ කැළඹීමක් උසිගැන්වීම සදහා වෙර දරණ උන්මත්තකයෝ ද ඔවුහු ම ය. වැඩකරන ජනයාගේ කුප්‍රකට හතුරෙකු වන දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිනිය “ප්‍රධාන පෙලේ පාසැලක පසු ගියදා පැවති ප්‍රහසන වැඩ සටහනක දී නතාෂා එදිරිසූරිය නැමැත්තිය බුදුන් වහන්සේට සහ බෞද්ධ සංස්කෘතියට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුනා.” යි වාර්තා කළේ ය. “ඒ ප්‍රකාශය තුළ අපහාසය පමණක් නො ව අසභ්‍ය වචන පවා ගැබ්ව තිබූ අතර එහිදී ඇය බෞද්ධ කාන්තා පාසල් ද ප්‍රසිද්ධියේ බරපතල ලෙස විවේචනය කලා” යි එය තව දුරටත් ප්‍රකාශ කළේ ය. ප්‍රසිද්ධ දර්ශන සදහා මුදල් ගෙවා වෙන්කරනු ලබන ශ්‍රවනාගාරය පාසැලකින් වෙන්කර ගැනීමට ජයවීරට නොහැකි වී ඇත. අසභ්‍ය වචන යනු කුමන්ත්‍රණකාරයන්ගේ නිර්මාණ ය.  එ මතු ද නොව, බොහෝවිට සැකකරුවන් සම්බන්ධයෙන් නඩු අසා තීන්දු දීමේ බලයද පැහැරගන්නා ජයවීරගේ නාලිකාව නතාෂාව මුල පටන්ම වරදකරු කරන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ අයිතියද ඇයට අහිමි කරමිනි.

පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පෙජපෙ) ජගත් කුමාර, “ ඔල මොට්ටල කාන්තාව පිලිබද නඩු අහල වැඩක් නැහැ. රජ කාලෙ දඩුවම් දෙන්න ඕනෙ, උල තියන්න ඕනෑ…” යි එම ප්‍රවෘත්ති ප්‍රකාශනයේ දී යෝජනා කළේ ය. ගිය වසරේ අප්‍රේල්-ජුලි මහජන අරගල  ආර්ථික දේශපාලනික වුවමනාවන් විසින් පැන නැංවූවක් නො ව, බුද්ධාගමට විරුද්ධ එකකි යි තහවුරු කිරීමට ප්‍රවෘත්ති ප්‍රකාශය බොහෝ කාලයක් වැය කළේ ය. ප්‍රකට වර්ගවාදීන් වන චන්න ජයසුමන, නාමල් රාජපක්ෂ, අද්මිරාල් සරත් විජේසේකර, වැනි පොජපෙ හිටපු හා දැනට සිටින ඇමතිවරු ඊට සාක්ෂිකාරයන් ලෙස ඉදිරිපත් කරන ලදහ.  නීතිය ක්‍රියාත්මක කර දැඩි දඬුවම් නොදුන හොත්  ‘මහජනතාව කටයුතු අතට ගනු ඇතැයි‘ වීරසේකර ෆැසිසට් මැර කල්ලිවලට සූදානම් වීමට කැඳවුම් කළේ ය. “මේවා සංවිධානාත්මක අපරාධ” බවත්, නතාෂා  “රටට එරෙහි බූත හොලමන්” වල මුහුනතක් බවත්  ප්‍රකාශ කළ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන  සමගි ජන බලවේගයේ මන්ත්‍රී කවින්ද ජයවර්ධන පක්ෂයේ ආණ්ඩුව සමග පෙල ගැසීම පෙන්නුම් කළේ ය.

දැන්  ව්‍යාජ වමුන් සිටගන්නේ කොතැන ද?  පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය පක්ෂයේ අදහස  සූත්‍රගත කරමින් කියා සිටියේ, “බෞද්ධයන්ගේ සත් රිදවීමක් වෙලා තයෙනවා  මේ ප්‍රකාශය විසින්” යනුවෙනි. “ඉපදුනු ගමන් දරුවෙක් ඇවිද්ද යි කියන එක ප්‍රශ්න කරන්න කලා කරුවෙකුට අයිතියක් නැත්ද?” ලෙස ඉදිරිපත් කර ඇති  මතයට, “ඔව්, එතන ප්‍රශ්නයක් තියෙනවා” යයි පිලිතුරු දෙන ජයගොඩ, නතාෂාගේ නිර්මානය, “කන්‍යාවියක් විසින් දරුවෙක් ඉපදුනේ කොහොමද කියල ප්‍රශ්න කරල… අනවශ්‍ය සමාජ ප්‍රශ්නයක් ඇති කර, බලවේග අතර බෙදීමක් හදපු එක,… තක්කඩියො අපතයො ඔක්කොටෙම ආයෙ වැඩ කරන්න වැඩ බිමක් හදපු එකක්” යයි හෙලා දකී. ඒ අනුව පෙසප කියා සිටින්නේ, ආගමට අපහාස කලාය යන ආන්ඩුවේ චෝදනාවට පමනක් නො ව තක්කඩියන්ට වැඩ කිරිමට ඉඩකඩ විවර කිරීම යන කරුනු දෙකටම නතාෂා වැරදිකාරිය වන බව ය. ‘බලවේග අතර බෙදීම’ ගැන කියන විට ඔහු එකිනෙකාට එරෙහිව පිහිටා තිබෙන ප්‍රධාන පන්ති දෙක ගැනම සදහන් නො කලේ ය. හරියටම එම කරුන නිසාම ජයගොඩලාට යථාර්ථය මුන නො ගැසෙන අතර බංකොලොත් ධනවාදයේ යහපත් හැඩයක් මවා ගැනීමට සිදු වී ඇත.    

නමුත්, ප්‍රශ්නයේ මුල් විහිදී ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදයේ පතුලට ම ය. සියලුම රටවල ආණ්ඩු මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීමේ ප්‍රති විප්ලවයේ හා යුද්ධයේ මාවතට ඇද වැටී ඇත්තේ ඒබැවිනි. එක්සත් ජනපදය අසාන්ජ්ගේ ලේ ඉල්ලා සිටීමෙන් ද, ලංකාවේ අර්බුද ග්‍රස්ත ආණ්ඩු ශක්තික සත්කුමාර, රම්සි රසීක්, අහ්නාෆ් ජසීම් වැනි කලාකරුවන්, සමාජ ක්‍රියාකාරීන් සිරගත කිරීමෙන් ද ප්‍රදර්ශනය කර ඇත්තේ නිදහස් ප්‍රකාශනයට එරෙහිව මෙම ආණ්ඩුවල පවත්නා අතිශය ගැඹුරු වෛරයයි. වික්‍රමසිංහ ආණ්ඩුව එය පෙරට ගනිමින් සිටී.  පන්ති පාලනයට ද, අවසානයේ ධනපති දේපල සම්බන්ධතාවලට ද, තියුනු අභියෝගයක් වන වත්මන් මහජන පිබිදීම තලා දැමීම හැර මාවතක් ධනවාදී පාර්ලිමේන්තුවාදයට නැත. දැන් නිදහස සදහා සටන සෑම පියවරක් පාසාම මෙම යල් පැන ගිය පන්ති පාලනය අහෝසි කිරීම දෙසට එල්ල කළ යුතු ය.

නතාෂා වහා නිදහස් කිරීම හා ඇයට එරෙහි බොරු චෝදනා අකුලා ගැනීම සඳහා බලකෙරෙන උද්ඝෝෂණයක් ජයග්‍රහනය තෙක් නො නවත්වා ගෙන යාමට සියලු කලාකරුවෝ කම්කරු පන්තිය සමග පෙරමුන ගත යුත්තාහ.

කම්කරුවනි, ගොවියන්, පීඩිතයන් හා තරුණයන් රැලි කරගෙන සටනේ පෙරමුන ගනු! කලාවේ, හා  ප්‍රකාශනයේ නිදහසට තබන අත සිඳ දමනු! කාන්තාව මත හෙළන ධනේශ්වර පන්ති පීඩනය සදහටම අවසන් කරනු! අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *