පොලිස් අත්අඩංගුවේදී මිය ගිය කුමාරිව රදවා ගත් බවට පොලිස් පොතේ සටහන් නැහැ

රාජගිරිය වැලිකඩ පොලිසීය මගින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගත් සැකකරුවන්ගේ නම් සටහන් තබන නාම ලේඛනය ඉදිරිපත් කරන්නැයි මරණකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ වැලිකඩ පොලිසීයෙන් ඉල්ලා සිටි අතර එහි දී එම නාම ලෙඛනයේ ආර් .රාජ් .කුමාරිගේ නම සදහන්ව නැතැයි අද (19) එම නඩුව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ පොලිසිය පැවැසීය .

පොලිසීය එසේ පැවැසීමත් පසු නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයාට මැයි 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙසට නොතීසි නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .

මරණකාරීයගේ මරණය සැක සහිත බවත් , මෘත දේහය ගොඩගෙන නැවත මරණ පරික්ෂණයක් පවත්වන්නැයි කුමාරිගේ ස්වාමී පුරුෂයා අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් අනුව මෙම නඩු විභාගයට ගැනිණ .

වැලිකඩ පොලිසීය කුමාරිව අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රදවා තබාගෙන පහර දී පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු ඇය මිය ගොස් ඇත.

වැලිකඩ පොලිසීය මගින් කුමාරිව අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි 11 වෙනිදාය .

කුමාරිව අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රදවා තබා ගත් බවට වැලිකඩ පොලිස් පොතේ සටහන් කර නැතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අනතුරුව රෝහල් ගත කළ පසු මිය ගිය බව පිළිගෙන ඇත.

කුමාරි මිය ගොස් ඇත්තේ පොලිස් පහර දිම නිසා බව අධිකරණ වෛද්‍ය නිලධරයා මරණකාරීයගේ ස්වාමී පුරුෂයා වන සෙල්වදුරේ ජේ . සුරාජ්ට පවසා ඇත.

කුමාරිව වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ , චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කරද්දි , මුද්දක් සොර ගත්තා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි .

කුමාරි නෙත්තිකුමාරගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස අවුරුද්දකට වැඩි කාලයක් සේවය කොට ඇති අතර වැලිකඩ පොලිසිය ඇයව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කුමාරි සේවය කර ඇත්තේ වෙනත් නිවසක බව කුමාරිගේ ස්වාමී පුරුෂයා ලංකා ස්කයි නිව්ස් සමග පැවැසීය .

මරණකාරීයගේ සහ ඇයගේ ඥාතීන්ගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා සහ නීතිඥ ජේයරත්න රාජා පෙනී සිටියහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *