“පොලීසිය මට පහර දුන්නෙ එන්ජීඕ කාරයා කියමින් ” යැයි මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ලෝසවෙඅ ට පවසයි

පානී විජේසිරිවර්ධන

ජූලි 28 දා කොලඹ පැවති විරෝධතාවක් වාර්තා කිරීමට පැමිනි මාධ්‍යවේදියෙකු වන තරිඳු උඩුවරගෙදර බලහත්කාරයෙන් ජීප් රථයකට ඇදදමාගත් පොලීසිය ඔහු පැහැරගෙන යන අයුරු රූපවාහිනී නාලිකාවන් හි සමාජ මාධ්‍යයන්හි ප්‍රදර්ශනය විය. ඔහු මෙසේ පැහැරගනු ලැබුවේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන කම්කරු සටන් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවකදී ය.

දෙමටගොඩ සහශ්‍රපුර ක්‍රීඩා පිටිය අසලදී විරෝධතාකරුවන්ට පොලීසිය එල්ල කල ජල සහ කඳුලුගෑස් ප්‍රහාර වලින් වලකිනුවස්, ත්‍රිරෝද රථයක නැගී එම ස්ථානයෙන් ඉවතට යමින් සිටියදී මෙම පොලිස් මෙහෙයුම සිදුවූ බව උඩුවරගෙදර ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසීය.

‘ත්‍රී වීලර් එක නැවැත්වූ පොලීසිය, මම මාධ්‍යවේදියෙකු බව කෑ ගසා කියද්දී, මගේ කොන්ඩෙන් සහ අතපය වලින් ඇද බලහත්කාරයෙන් ජීප් එකට නග්ග ගත්තා. මගේ ජර්නලිස්ට් අයිඩෙන්ටිටි කාඩ් එකවත් පෙන්නන්න අවස්ථාවක් දුන්නෙ නැ. ජීප් එක ඇතුලෙදි මට අමානුෂික විදියට පහර දුන්න. බොරැල්ල පොලීසියට ගෙනිහිල්ල එතනදිත් පහර දුන්නා’ යැයි ඔහු කීවේය.

පොලිස් පහරදීම් වලින් තම ඇසක් ඉදිමී තිබූ බවත්, ශරීරයේ තැනින් තැන තුවාල සිදුව තිබූ බවත් මාධ්‍යවේදියා පැවසීය. රෝහලකට ගෙනගොස් ප්‍රතිකාර ලබාදෙන ලෙස ඔහු සහ ඔහුගේ නීතීඥයන් ඉල්ලා සිටි නමුදු පොලීසිය එය ප්‍රතික්ෂේප කර ඇත. 28 දා පස්වරු 2.00 ත් 3.00 ත් අතර පැහැරගත් උඩුවරගෙදර, පසුවදා පෙරවරුවේ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත්කොට ඇති අතර එහිදී ඔහු ඇපමත නිදහස්කොට තිබේ. නමුත්, පොලීසිය අධිකරනයට ඉදිරිපත්කොට ඇති, ‘අයුතු ජනරාශිය’ සහ ‘කලහකාරී ලෙස හැසිරීම’ ඇතුලු ව්‍යාජ චෝදනා වලට ඔහු මුහුන දී සිටී.

මාධ්‍ය තුලින් ඔහු ඉදිරිපත් කරන ආන්ඩු-විරෝධි අදහස් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වූයේ යැයි විශ්වාස කරන බව උඩුවරගෙදර ලෝසවෙඅ ට පැවසීය. ‘පොලීසිය මාව පැහැරගෙන යද්දි මට පහර දුන්නෙ, එන්ජීඕ කාරයා කියමින්. මම ජනමාධ්‍යවේදියෙකු වෙන අතරම, සමහර උද්ඝෝෂන වලට ඒවායේ පාර්ශවකරුවෙකු ලෙස සහභාගි වෙනවා. 83 කලු ජූලිය සමරමින් ජූලි 23 දා බොරැල්ල කනත්ත ඉදිරිපිට තිබුනු විරෝධතාවටත් මම සහභාගි වුනා. ඒන්ජිඕකාරයා කියන්නෙ ඒ නිසා වෙන්න ඕන.’

දෙමල සහ මුස්ලිම් ජනයාගේ අයිතීන් වෙනුවෙන් කතා කරන සහ ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව විරෝධතා දක්වන සංවිධාන සහ පුද්ගලයන්, ‘එන්ජීඕ කාරයන්’ ලෙස හඳුන්වනු ලබන්නේ රාජ්‍ය දඩයමට සහ සිංහල වර්ගවාදී නඩවල මැර ප්‍රහාරයන්ට යටත් කිරීමේ අරමුනෙනි.

උඩුවරගෙදරට එල්ල කෙරුනු පොලිස් ප්‍රහාරයට එරෙහිව ජාතික සහ ජාත්‍යන්තර හිමිකම් සංවිධාන කීපයක්ම තම විරෝධය පලකොට ඇත. ජාත්‍යන්තර සංවිධානයක් වන ‘මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව’ ජූලි 29 දා ප්‍රකාශයක් නිකුත් කරමින්, උඩුවරගෙදර ‘වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කර ඔහුට පොලිසියෙන් පහර දුන් බවට එල්ල වන චෝදනා විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කල යුතු’ යැයි කියා සිටියේ ය. මේ අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ද සිද්ධිය පිලිබඳ විශේෂ විමර්ශනයක් අරඹා ඇත.

මෙම පොලිස් දඩයම, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල කරමින් පවත්නා රුදුරු ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය යි. බුදුදහමට අපහාස කල බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට එරෙහිව ගෙනයන අධිකරන ක්‍රියාදාමය ඇතුලු ප්‍රතිගාමි උද්ඝෝෂනය ද එම ප්‍රහාර මාලාවේ කොටසකි.

උඩුවරගෙදර ගේ භාෂනයේ නිදහසට එරෙහිව එල්ල කෙරි ඇති රාජ්‍ය ප්‍රහාරය දැඩිව හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඔහුට එරෙහි ව්‍යාජ චෝදනා සියල්ල වහා ඉවත්කර ගතයුතුයැයි කියා සිටී.

කෙසේ නමුත්, ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරනය කිරීම එල්ල කරගත් උඩුවරගෙදරගේ විරෝධතා දේශපාලනය සහ පෙසප සහ එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන වලට ඔහු දක්වන සහයෝගීතාව, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරක්ෂිත කලහැකි එකම සමාජ බලවේගය වන කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහිව පිහිටා සිටින බව සසප අවධාරනය කරයි.

උඩුවරගෙදර වාර්තා කිරීමට ගිය ජූලි 28 දා විරෝධතා උද්ඝෝෂනයට දෙමටගොඩදී කඩා වැදුනු සන්නද්ධ පොලීසිය විරෝධතාකරුවන්ට කායිකව පහර දෙමින් සහ අධි පීඩක ජල ප්‍රහාර එල්ල කරමින් එය විසුරුවා හැරීමට ගත් ම්ලේච්ඡ පියවර ද ප්‍රකාශනයේ සහ භාෂනයේ නිදහසට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයේම කොටසකි. විරෝධතාව කැඳවා තිබුනේ කම්කරුවන්ගේ ‘ඊටීඑෆ් සහ ඊපීඑෆ් අරමුදල් කොල්ලකෑම වහා නවතනු’, ‘යෝජිත නව කම්කරු නීති හකුලාගනු!’ සහ ‘රුපියල් 20,000 කින් කම්කරුවන්ගේ මාසික වැටුප් වැඩි කරනු!’ ඇතුලු ඉල්ලීම් ගනනාවක් මත ය.

ජූලි 28 දා ප්‍රහාරය, වික්‍රමසිංහ ආන්ඩුව එක් සතියක් තුල විරෝධතාවන්ට එල්ල කල පොලිස් ප්‍රහාරයන්ගෙන් තුන්වැන්නයි. ජූලි 23 දා, 1983 ජූලි දෙමල ජන විලෝපනය සමරමින්, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධානත්වයෙන් පැවති විරෝධතාවකට සහ ජනතා විමුක්ති පෙරමුනේ තරුන සංවිධානයේ මූලිකත්වයෙන් පැවති විරෝධතාවකට පොලිස් ප්‍රහාර එල්ලකොට විසුරුවා හැරීමට ආන්ඩුව කටයුතු කලේය.

ආන්ඩුව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික සහ දේශපාලන අර්බුදය හමුවේ එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත කම්කරු-පීඩිත මහජනතාව මත එල්ල කරන කප්පාදු ප්‍රහාරයන් වඩාත් වේගවත් කර ඇත. රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනයට සහ වානිජකරනයට ලක් කිරීමෙන් දසදහස් සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමි කිරීමට ද, ඉතිරිවන අයගේ දීමනා, වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදු කරමින් වැඩ වේගවත් කිරීමට ද ආන්ඩුව පියවර ගෙන ඇත.

දේශීය නය ප්‍රතිව්‍යුහකරනය යටතේ කම්කරුවන්ගේ ඊපීඑෆ් සහ ඊටීඑෆ් අරමුදල් වලින් ඔවුනට ලැබෙන ප්‍රතිලාභ ද දැවැන්ත කප්පාදුවකට ලක් කෙරේ. ඒ සමගම කම්කරුවන්ගේ අතීත සටන් වල ප්‍රතිඵල ලෙස අත්කරගත් ජයග්‍රහන සියල්ල අහිමි කරමින්, විශේෂයෙන්ම පැය අටේ වැඩ දිනය පවා අහෝසි කරමින්, කම්කරු ශ්‍රමය ඇටපොත්තටම සූරාකෑමේ වහල් නීති පද්ධතියක්, ‘නව කම්කරු නීති’ යටතේ ස්ථාපිත කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත.

කම්කරු පංතිය දැනටමත් මෙම කප්පාදු ප්‍රහාරයන්ට එරෙහිව අරගලයට පිවිස ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව පලවා හැරි පසුගිය වසරේ මහජන නැගිටීම ඉක්මවා යන නැගිටීමක් දෙසට මෙම අරගල වර්ධනය වෙමින් පවතී. පොලිස් රාජ්‍යයක් දෙසට වික්‍රමසිංහ වේගයෙන් පිය මනිනුයේ වැඩෙන පංති අරගල තලා දමා එවන් මහජන නැගිටීමක් පූර්ව-භංග කිරීමේ අරමුනෙනි.

උඩුවරගෙදරගේ ප්‍රකාශනයේ නිදහසට එල්ල කෙරුනු ප්‍රහාරයන් වලින් ද, පෙසප, එසප සහ ජවිපෙ විරෝධතාවන්ට එරෙහි පොලිස් ප්‍රහාරයන් මගින් ද පෙන්නුම් කෙරෙන්නේ වික්‍රමසිංහ තන්ත්‍රය තමාට එරෙහි කවර හෝ විරෝධතාවකට ඉඩ නොදීමට තීන්දු ගෙන ඇති බවයි.

ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදය හමුවේ, සෑම රටකම පාලන තන්ත්‍රයෝ, එහි බර විවිධ කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමත්, එයට එරෙහිව වැඩෙමින් පවතින පංති අරගල රැල්ල තලා දැමීම සඳහා ආඥාදායක පාලන රූපයන් වෙත මාරු වෙමින් සිටිති. වික්‍රමසිංහ ආන්ඩුව එහි තියුනුම ප්‍රකාශනයකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එල්ල කෙරෙන ප්‍රහාරයන් ඇතුලු මෙම සමස්ත ප්‍රහාරය පරාජය කල හැක්කේ, එහි මූලය වන ගෝලීය ධනපති ක්‍රමයට සහ ධනපති ආන්ඩු වලට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ප්‍රතිප්‍රහාරයක් මගිනි. එය පදනම් කල යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මතයි.

ධනපති ක්‍රමය හා බැඳී පවතින වෘත්තීය සමිති නිලධරය සහ ව්‍යාජ-වාම පක්ෂ එවන් වැඩපිලිවෙලකට පරම සතුරුය. ඔවුහු ආන්ඩුවලට බලපෑම් දැමීමේ නිශ්ඵල විරෝධතාවන්හි කම්කරුවන් සිරකොට එම ප්‍රහාරයන් ට ඔවුන් යටත්කර දෙති. එසේත් නොමැතිනම් කම්කරුවන්ගේ විරෝධය වෙනත් ධනපති පක්ෂ යටතට අපසරනය කොට ඔවුනගේ අරගල පාවා දෙති.

කම්කරු පංතිය, ධනපති පක්ෂ වලින් සහ වෘත්තීය සමිති වලින් ස්වාධීනව, තමන්ගේ වැඩපොලවල සහ කම්හල් වල තමාගේම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් සටන තම අතට ගත යුතු වන්නේ එබැවිනි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed