බ්‍රිතාන්‍ය රැජිනගේ අවමඟුල කෙරෙහි ලංකාවේ ධනේශ්වර සංස්ථාපිතයේ ජුගුප්සාජනක ප්‍රතිචාරය

දෙ වැනි එලිසබෙත් රැජින [Photo by Joel Rouse/ Ministry of Defence/Open Government Licence v3.0]

එලිසබත් රැජිනගේ අවමඟුල වෙනුවෙන් වික්‍රමසිංහ ආන්ඩුවේ, පාලක ප්‍රභූවේ හා ජන මාධ්‍යයන්ගේ ප්‍රතිචාරය අතිශයින් ම ජුගුප්සාජනක ය. අධිරාජ්‍යවාදය ඉදිරියේ දනින් වැටීමේ සිය පන්ති පිලිවෙත මෙම ප්‍රතිචාරය මඟින් මනාව පැහැදිලි වෙයි. ට්වීට් පනිවිඩයක් නිකුත් කරමින් වික්‍රමසිංහ කියා සිටියේ “ඇය ස්ථාවරත්වයේ හා දරාගැනීමේ සංකේතයක්, ඇය නැති වීම අපට දැවැන්ත පාඩුවක්” යනුවෙනි. ඔහු සහ අනෙකුත් පක්ෂ කතා කරනුයේ ඔවුන් වෙනුවෙනි. මෙය කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ආස්ථානය නොවේ.

පාර්ලිමේන්තුව සැප්තැම්බර් 10 වන දා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා රැජිනට ‌ගෞරව කල අතර අගමැති දිනේෂ් ගුනවර්ධන පැවසුවේ රැජිනගේ අභාවය පිලිබඳ ව පාර්ලිමේන්තුව වැලපෙන බවත් සුදුසු දිනයක් යොදා ගනිමින් ශෝකය ප්‍රකාශ කිරීමේ යෝජනාවක් සම්මත කරන බවයි.

ලොව සිටි ඉහල ම ගනයේ ධන කුවේරිනියක වූ බ්‍රිතාන්‍ය රැජින පිලිබඳ වැලපෙන පාර්ලිමේන්තුව හෝ ජනාධිපති, ආන්ඩුවේ ක්‍රියා කලාපය නිසා උග්‍ර වන කෝවිඩ් වසංගතයෙන් හෝ අනෙකුත් රෝගාබාධයන්ගෙන් බැට කමින් ඖෂධ හා උපකරන හිඟයෙන් මරනයට පත්වන ජනතාව පිලිබඳව හෝ රට තුල මන්දපෝෂනයට හා කුසගින්නට ඇද දමා සිටින දශ ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනයා සහ ලමා පරපුර පිලිබඳ නො වැලපෙති. ඒ් වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රහාරයන් කම්කරු පීඩිත ජනයා මතට තව තවත් එල්ල කරමින් සිටිති.

මරනය ප්‍රකාශයට පත් වීමත් සමඟ ම පුවත්පත් ගනනාවක් රැජිනගේ මහිමය පිලිබඳ ලිවීමට සැප්තැම්බර් 10 දින සිය කතුවැකි වෙන්කර තිබිනි. “උතුම් නායිකාවකගේ මරනය”නමින් කතුවැකියක් ලිවූ දි අයිලන්ඩ් පුවත්පත සඳහන් කලේ “නූතන ලෝකයේ රාජාන්ඩුව යල් පිනූ දෙයක් ලෙස සැලකීමට පටන් ගෙන ඇත. නමුත් ඇය එය අදාල සහ අර්ථවත් කලේ ඇයගේ චමත්කාරය, යුතුකමේ හැඟීම, කැපී පෙනෙන අනුවර්තනය වීමේ හැකියාව සහ සියල්ලට ම වඩා තම රට කෙරෙහි ඇති ආදරය සමඟිනි.” යනුවෙනි.

එම කතුවැකිය අවසන් කර තිබුනේ මෙලෙසිනි; “රැජින තම ජාතිය වෙනුවෙන් තම ජීවිතය කැප කල අතර එය ජීවත් වීමට වටිනා බව ඔප්පු කලා ය. ලොව පුරා සිටින නායකයින්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල නායකයින් ශ්‍රේෂ්ඨ නායිකාවගෙන් උගත යුතු පාඩම මෙයයි.”

“රැඩිකල් රැජින” නමින් කතුවැකියක් ලිවූ දිවයින පුවත් පත එය අවසන් කලේ මෙලෙසිනි; “…ඇගේ මතවාද බ්‍රිතාන්‍ය සමාජයේ දුෂ්ට අත්තිවාරම සිදුරු කිරීමට සමත්විය. කෙසේ වුවද එලිසබත් රැජින සෑම කල්හි ම ස්වකීය රැඩිකල් මතය ජයග්‍රහනය කිරීමට සැලැස්වූවා ය. ඇය ඉතාම කලාතුරකින් ලෝකයට දැකගන්නට ලැබෙන වර්ගයේ ගැහැනියකි.”

“පුදුම එලවන සුලු පාලනයක්”යනුවෙන් කතුවැකියක් ලියූ රජයට අයත් ඩේලි නිව්ස් පුවත්පත ඇය පාලනය කල සමය තුල පැන නැගුනු අර්බුද හා බ්‍රිතාන්‍ය ජනයා අතර ඇය කෙරේ කෝපය නැංවුනු අවස්ථා පිලිබඳ සඳහන් කලේ ය. බ්‍රිතාන්‍ය අන්ත දක්ෂිනාංශික අගමැතිනි ලිස් ට්‍රස්ගේ අවමඟුල් කතාවේ අවසන් සඳහන උපුටා දක්වමින් “රජතුමාව දෙවියන් රැක දේවා” යනුවෙන් එය තම කතුවැකිය අවසන් කලේය.

බ්‍රිතාන්‍ය රජ පෙලපත යනු ලොව අතිශයින් ම ධන කුවේර පෙලපතක් වන අතර එහි දේශපාලනය අත්‍යන්තයෙන් ම බැඳී ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා කතිපයාධිකාරී පාලක ප්‍රභූව ආරක්ෂා කර පවත්වා ගැනීමට ය.

මියගිය එලිසබත්, රැජින බවට පත් වී ගතවූ පලමු වසර අට තුල කෙන්යාවේ “මවු-මවු මහජන නැගිටීම” ලෙයින් මැඬීමට බ්‍රිතාන්‍යය ක්‍රියා කලේ ය. අනතුරු ව 1967 සිට 70 දක්වා කාලයේ දී බයෆ්රා ප්‍රදේශය නයිජීරියාවෙන් වෙන් වීමට එරෙහිව නයිජීරියානු ආන්ඩුව දියත් කල ජනසංහාරක යුද්ධයට බ්‍රිතාන්‍යය සහයෝගය ලබා දුනි. ඉන් අනතුරු ව අයර්ලන්තයට උතුරින් පිහිටි ප්‍රාන්ත හයක් හා මල්විනාස් දූපත් වල බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පවත්වා ගැනීමට මිලිටරි මෙහෙයුම් සිදු කලේ ය. එක්සත් ජනපදය සමඟ තිබෙන “සුවිශේෂ සම්බන්ධය” පිලිබඳ සඳහන් කරමින් මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ සාපරාධී යුද්ධ දියත් කිරීමට ඇමරිකාව සමඟ ක්‍රියාත්මක විය.

බ්‍රිතාන්‍යය තුල කම්කරු පන්තියේ සෑම නැගිටීමක දී ම අවශ්‍ය කරන මර්දනකාරී නීති අන පනත් සහිත ව ඒවා තලා දැමුනි. ආන්ඩු දෙදර වීමට තුඩු දුන් 1970 ගනන් වල හා 80 ගනන්වල හීත්, විල්සන්, කැලහන් හා තැචර් වැනි බ්‍රිතාන්‍ය අගමැතිවරුන්ගේ ආන්ඩු සමයේ පැන නැගුනු වර්ජන රැල්ල මීට නිදසුන්වේ.

පරිස්සමින් වැඩි වර්ධනය කෙරුනු ඇයගේ මහජන පෞරුෂය නිසා, ජාතික අර්බුදය දරුනු අන්දමින් ඉහල ගිය අවස්ථාවන්හි දී ව්‍යාජ වුවත් දේශපාලනික ව අවශ්‍ය වූ ස්ථාවරත්වයේ මූර්තිය ලෙස ඇයව යොදා ගැනීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට ඉඩ සැලසිනි.

අභාවයට පත් වූ රැජිනගේ වසර 70ක් වූ ධූර කාලය ඇය විසින් මෙම කර්තව්‍යයන් අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් සඵල ලෙස ඉටු කර දීම පිලිබඳ කෘත ගුන ගැයීමක් ලෙස බ්‍රිතාන්‍ය පාලක ප්‍රභූව මෙම අවමඟුල ඔජ වඩවයි. එසේ වුවත් එම අවමඟුල් උත්සවයේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ නව රජු ලෙස පත් වී ඇති දෙවන චාල්ස්හට අවශ්‍ය වන පසුබිම සකස් කර දීම ය.

මෙම අවමඟුල් උත්සවයේ තවත් ප්‍රධාන අරමුනක් වන්නේ දේශප්‍රේමයේ, ජාතිකවාදී සම්ප්‍රදායේ සහ මුග්ධ හැඟීම්වල ප්‍රවාහයක් යට පන්ති අරගලය වැලලීමයි. ඊට රාජ්‍ය යාන්ත්‍රනය යහමින් පාවිච්චියට ගැනේ.

රැජිනගේ මරනය සිදු ව ඇත්තේ දරුනු ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයකින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙලී ගොස් ඇති තතු තුලය; දෙවන ලෝක යුද්ධයට පෙර පැන නැගුනු මහා අවපාතයට පසු ව සිදු වන ජීවන කොන්දේසි වල දරුනු ම කඩා වැටීම මධ්‍යයේ ය; රුසියාවට එරෙහි ව යුරෝපය තුල දියත් කර ඇති නේටෝවේ යුද්ධය අතරවාරයේ දී හා පන්ති අරගලයේ ඉහල යමින් ඇති රැල්ල මහ වර්ජනයක් පුපුරා යාම පිලිබඳ අනතුරු අඟවන පසුබිමක ය.

ධනපති පාලක සංස්ථාපිතයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති නිලධරය මෙම අවමංගල්‍යය යොදා ගනිමින් ඉහල යන ජීවන වියදමට එරෙහි ව කම්කරුවන්ගේ බහුතර ඡන්දයෙන් දියත් කිරීමට නියමිතව තිබූ ජාතික පරිමාන දුම්රිය හා තැපැල් කම්කරුවන්ගේ වර්ජන ඇතුලු වර්ජන නවත්වා තිබේ.

අවමඟුල් උත්සවය අතරතුර බ්‍රිතාන්‍ය රජ පවුලට එරෙහි ව පැන නැගෙමින් ඇති විරෝධයන් මැඩ පවත්වනු වස් පොලිසිය යොදා අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් ඇත්තේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමිනි. මේ වනවිට ලිස් ට්‍රස්ගේ බ්‍රිතාන්‍ය ආන්ඩුව වැඩ වර්ජන සාපරාධී කරන නීති ගෙන එමින් ඒකාධිපති පාලනයකට පැන ගැනීමට වෙර දරමින් සිටියි.

මෙම පසුබිම තුල ලංකාවේ ආන්ඩුවේ ක්‍රියා කලාපයෙන් ප්‍රකාශයට පත්වන්නේ බ්‍රිතාන්‍යය ඇතුලු ලෝක අධිරාජ්‍යවාදය වෙත වඩ වඩාත් සමීප වෙමින් සිය අර්බුදග්‍රස්ත පන්ති පාලනය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයයි.

මෙය ලංකාවේ ධනේශ්වරයේ අධිරාජ්‍ය ගැති ‌ඉතිහාසය සමඟ බැඳී පවතියි. 1815 දී එවක උඩරට පැවති රාජාන්ඩුව විසින් ගිවිසුමක් මඟින් රටේ පාලන බලය බ්‍රිතාන්‍යයට පවරා දීමෙන් පසු 1972 ව්‍යවස්ථා සංශෝධනය තෙක් ම මෙ රටේ රාජ්‍ය නායකත්වය දැරුවේ බ්‍රිතාන්‍යයේ කිරුලයි.

ඉන්දියානු උප මහාද්වීපීය කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත ජනතාවගේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි සටන් පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ පුපුරා යාම සමඟ, සිය ආයෝජන හා මිලිටරි කඳවුරු රැක ගැනීමට නම් පාලන බලය ජාතික ධනේශ්වරය අතට මාරු කර නාස් ලනුව තමන් අත තබා ගතයුතුයැයි බ්‍රිතාන්‍ය පාලකයෝ තීන්දු කලහ.

අග්නිදිග ආසියාවේ මිත්‍ර පාක්ෂික යුධ ප්‍රයත්නයේ අනදෙන මූලස්ථානය බවට පත්වූ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කනිෂ්ඨ හවුල් කාරයෙකු ලෙස “ඩොමීනියන්” තත්වයෙන් පවත්වාගෙන යාමට වඩා නිදහසක්, ලංකාවේ ධනපති පන්ති නියෝජිතයන්වූ ඩී එස් සේනානායක හා ඔහුගේ සගයන්ට අවශ්‍ය නොවුනි. ලංකාව බ්‍රිතාන්‍යයෙන් පූර්න ලෙස නිදහස් වුවහොත්, කම්කරු පන්තියේ ප්‍රහාරය ඉදිරියේ තමා අනාරක්ෂිත වෙතැයි ධනේශ්වරය බියට පත්විය.

ට්‍රොට්ස්කිවාදී ඉන්දීය බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය (බීඒල්පීඅයි) හා ලංකා සම සමාජ පක්ෂය විසින් නායකත්වය දුන් වර්ජන මාලාවක් 1946 -47 වසර වල පැන නැගුනු අතර වර්ජකයන් “බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස” යන දේශපාලන සටන් පාඨය ද ඉදිරිපත් කලේය. 1947 ජූනි වර්ජනය ඉක්බිත්තේ බ්‍රිතාන්‍ය පාලකයින් ලංකාවට, ඉන්දියාවට හා බුරුමයට ඩොමීනියන් තත්වය දෙන බව ප්‍රකාශ කලේ ය. 1948 දී “නිදහස සැබෑ ද බොරු ද?” නමැති ප්‍රකාශයක් නිකුත් කරමින් බීඒල්පීඅයි ප්‍රකාශ කලේ “මේ ලබා ගෙන ඇත්තේ නිදහසක් නොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව බැඳඇති දම්වැල් අලුතින් වාත්තු කිරීමක්” බවයි.

දැන් බ්‍රිතාන්‍ය රැජින වෙනුවෙන් වැලපෙන ධනපති සංස්ථාපිතයේ පැටිකිරිය එයයි.

1964 දී ලංකා සම සමාජ පක්ෂය ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සභාගයකට එලැඹී කම්කරු පන්තිය ඓතිහාසික ව පාවා දීමෙන් පසු 1970 ඇට වූ දෙවන සභාගය සමයේ සම්මත කල 1972 ව්‍යවස්ථාව සිංහල-බෞද්ධ වර්ගවාදය මත පදනම් කල අතර එහි ජාතික ආටෝපය ඔජ වැඩවීමට බ්‍රිතාන්‍යයෙන් පූර්න ලෙස ස්වාධීන වූ “ජනරජයක්”ලෙස ලංකාව නම් කලේය.

මීට වසර 50කට ඉහත දී ස්වාධීන ජනරජයක් බව ප්‍රකාශයට පත් කල ද ලංකාවේ ධනපති පන්තිය සිය යටත් විජිත හාම්පුතුන් හට දිගින් දිගට ම සැලකුවේ තම පන්ති පාලනයේ ගැලවුම්කරුවන් ලෙසිනි. ධනපති සංස්ථාපිතයේ ප්‍රධාන කොටසක් වන ජන මාධ්‍යය ද එම පිලිවෙත පෝෂනය කරමින් වගා දිගා කලහ. එලිසබත් රැජිනගේ අවමංගල්‍යය තුල දී එම දේශපාලනික ගැති බව කැපී පෙනෙන අයුරින් ඉස්මතු වී ඇත.

(සමන් ගුනදාස – wsws.org)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *