මාතලේ මිනී වළ ගෝඨාභයගේ වැඩක්ද?

දිනය 2012 නොවැම්බර් මාසේ 26 වෙනිදා. බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් මාතලේ මහ රෝහලේ කැනීම් කටයුත්තක් සිදු කරමින් තිබුණා. ඒ රෝහලට අවශ්‍යව තිබූ ජීවවායු ඒකකය ඉදි කිරීමට. 17 සහ 19 වාට්ටුව අතර තිබෙන රෝහලේ මුලුතැන්ගෙ අසල අඩි 15ත් 30ත් ප්‍රමාණයේ වලක් කැපීමට කොන්ත්‍රාත්කරුවන්ට භාරව තිබුණා. කෙසේහෝ අඩි 5ක් පමණ හාරන විට ගල් තට්ටුවක් මතුවූ නිසා ගල් වෙඩි දමා එය කුඩු කළා. නමුත් ගල්වෙඩි නිසා වූ දෙදරීමෙන් අසල බිත්ති පුපුරා කඩා වැටුණා. බිත්ති යටින් දැකගන්නට ලැබුණේ කිසිසේත් අදහාගත නොහැකි දෙයකි. එනම් මිනිස් ඇටසැකිලි සමූහයක්. රෝහල් අධිකාරී අර්ජුන තිලකරත්න මහතා විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතාට මේ පිළිබදව දැනුම් දුන්නා. එම ස්ථානය නිරීක්ෂණය කර පසුව අජිත් ජයසේන මහතා එදිනම මේ සම්බන්ධයෙන් මාතලේ පොලිස් ස්ථානයට පැමිනිලි කළා. පසුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී.1810/12 දරණ නඩුව යටතේ මහේස්ත්‍රාත් විසින් මෙම ස්ථානය නිරීක්ෂණය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළා. වැඩිදුර කැනීම්වලින් මානව අස්ථි කොටස් 154ක් සොයා ගත්තේ ඒ අනුවයි. 

වධ දී මරාදැමූ බවට සාක්ෂි

විමර්ෂණ කටයුතුවලදී මිනිස් ඇටසැකිළි හමුවූ ස්ථානයේ පස හා එහි තිබී හමුවූ ලෝහමය කොටස් ගැන විශේෂඥ වාර්තාවක් සකස් කිරීමට පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතාට පැවරුණා. සමූහ මිනීවලේ තිබී හමුවූ බොත්තමක්, මුදු සහ බෝතලයක් 1980 අග භාගයට අයත් බවට ඔහු හදුනාගත්තා. එමෙන්ම මාංචු කුට්ටමක් සහිත පාදයේ අස්ථියකට සවිකර තිබූ යකඩ කම්බියක් ද හමුවිය. එය නැවත භාවිතා කිරීමට තරම් සුදුසු මට්ටමක තිබුණි. මේ අතර නියපොතු කිහිපයක් ද සොයා ගැනුණා. රාජ් සෝමදේව මහතා සදහන් කරන ආකාරයට මෙම භාන්ඩවල නිෂ්පාදිත දිනයන් මගින් හදුනා ගන්නට ලැබෙන්නේ මෙම මළ සිරුරු භූමදානය කර ඇත්තේ 1986-1990 අතර කාලයේ බවයි. තනි පුද්ගල ඇටසැකිලි සමූහ ලෙස භූමදානය කිරීමෙන් ඇඟවෙන්නේ එය කිසිදු වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් විසින් මළවුන්ට සැලකීමේ පිළිගත් සංස්කෘතික සම්මතයන් සමඟ නොගැලපෙන බවයි. ඒ අනුව මෙම අස්ථි කොටස් 1986-1990 දක්වා කාලයට අයත් ඒවා බවත් එහි මිහිදන් කර ඇති පුද්ගලයන් ස්වභාවික හේතූවකින් මියගොස් නැති බවත් වදදී මරාදැමූ බවට සාක්ෂි තිබේ කියා ඔහු නිගමනය කළා.

මාතලේ දිස්ත්‍රික්කය 1987-89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ බලකොටුවක්. ඒ වගේම සමූහ ලෙස මිනිසුන්ව අතුරුදන්ක කිරිමට ලක්වූ ප්‍රදේශයක්. මාතලේ ඕවිලිකන්ද ටවුමේ දකුණු පසින් අද පෙනෙන්නට තිබෙන තැපැල් ස්ථානය පිහිටි ගොඩ නැගිල්ල පවා ඒ කාලේ හමුදාව භාරයේ තිබුණු වධකාගාරයක්. රත්තොට මුවන්දෙණිය, වාරියපොළ වත්ත, අංකුඹුර, තානායම් ගොඩනැගිල්ල, රෙඩ්බානා කඳවුර, විජය විද්‍යාලය, අඹවත්ත මහා විද්‍යාලය, බණ්ඩාරපොළ කඳවුර, මාතල් කිස්තුදේව විදුහල අසළ තිබූ කඳවුර, වරකාවල පෝසිලේන් කම්හල ඉදිරිපිට මත්තව යුද හමුදා කඳවුර, නාඋල අරංගල යුද හමුදා කඳවුර හා වී ගබඩාව, කූඹියන්ගොඩ විහාරස්ථානය, ඕවිලිකන්ද යුද හමුදා කඳවුර, රත්තොට කටාරන්තැන්න බංගලා යුද හමුදා කඳවුර, උකුවෙල යුද හමුදා කඳවුර, උඩුපිහිල්ල යුද හමුදා කඳවුර, හෙට්ටිපොල යුද හමුදා කඳවුර, නාගොල්ල පාරේ කාර්මික පුහුණු විද්‍යාලය හමුදාව විසින් වධකාගාර ලෙස පවත්වාගෙන ගිය ස්ථාන වේ. මෙම ස්ථාන කර්නල් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අත්පත් කරගෙන ඇති බවට පසුව ප්‍රසිද්ධ වුණා.

”1989.10.07 මම උදේම වැඩට ගියා. දවල් 11ට විතර හමුදාවෙන් ඇවිත් මගේ මහත්තෙයා අල්ලගෙන ඕවිලිකන්ද ටවුමට ගෙනාවා කියලා මට ආරංචි වුණා. මම ටවුමට ගියා. ඒත් බලන්න නොදී හමුදාවේ අය මාව ආපහු හරවලා එව්වා. මගේ මහත්තෙයා අරන් ගිය දවසේ මේ ගමේ තවත් 16 දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. ඒ අයත් මේ මිනීවලේ ඇති කියලා අපිට සැකයක් තියෙනවා”. ඕවිලිකන්දේ අතුරුදහන්වූ පුද්ගලයකුගේ බිරිදක් එසේ පැවසුවාය.

කර්නල් ගෝටාභයගේ වැඩ

මෙම සමූහ මිනීවල මතුවූ ස්ථානය අසල 1989 හමුදා කදවුරක්ද පිහිටා තිබුණා. මේ කාලයේ (1988 මැයි 1 සිට 1990 ජනවාරි දක්වා) මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළේ කර්නල් ගෝටාභය රාජපක්ෂයි. ඔහු ගජබා රෙජිමේන්තුවේ පළවෙනි බලෑණියේ අණදෙන නිලධාරියාද විය. පොලිසිය, හමුදාව ඇතුළු පරිපාලනය භාර දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයාවූ ඔහු කැරලි මර්දනයේ ඉහළ නිලධාරියෙක්ද විය. ඒ නිසා 1989 කාලයේ මාතලේ දිස්ත්‍රික්කය තුල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සහ හමුදාව විසින් රැගෙන ගොස් රැදවුම් ස්ථානවල රදවා සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් කර්නල් ගෝඨාභය තොරතුරු නොදැන සිටිය නොහැකිය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්දිමිත්‍ර ඒකනායක 2013 පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙසේ පැවසීය. ”ප්‍රදේශයේ යුද හමුදාව භාරව නිලධාරීන් තිදෙනෙක් සිටියා. මම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විශේෂයෙන් සාකච්ඡා කරලා ජනතාව නිදහස් කළා. මට මතක හැටියට රෝහල් පරිශ්‍රය තුළ කිසිවකු වලදමා නැ. නමුත් එවැනි දෙයක් රහසිගතව සිදු වුනාද කියා මම දන්නේ නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේ හමුදාව සමූහ ඝාතන සිදුකළ බව ඇත්ත. දඹුල්ල පාලටුවාව එක ගමක 52ක් මැරුවා. මුවන්දෙණිය, වාරියපොළ වත්ත, අංකුඹුර වැනි ප්‍රදේශවල විශාල පිරිසක් සමූල ඝාතනය කළා. හමුදාව ඝාතනය කරපු බොහෝ දෙනා පසුව පුළුස්සා දමා තිබෙනවා. මලකදන් විවිධ ස්ථානවල වලදමා තිබෙනවා. ඔවුන් සමූහ ලෙස වැළලූ වෙනත් ස්ථාන තිබෙන්න පුළුවන්”.

එමෙන්ම පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි අයගේ ඥාතීන් ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීමට කර්නල් ගෝඨාභය සිටි මාතලේ විජය විද්‍යාලයේ හමුදා කඳවුරට බොහෝ වාරයක් ගොස් තිබේ. එසේ ගිය වාරවලදී සිය ඥාතියා සොයා ගැනීමට නොහැකි වුවත් තවත් බොහෝ දෙනෙකු රදවාගෙන සිටි හා වධ දී තිබූ අයුරු  ඔවුන් ඇස්දෙන්ම දැක තිබේ. මේ මාතලේ විජය විද්‍යාලයේ තිබූ කදවුරේදී වදබන්ධනවලට ලක්වී දිවි බේරාගත් අයෙක්. ”මාව ඇතුළට ගෙනියනකොට වධකාගාරයේ මුල්ලක ඔලු හතර පහක් ගොඩගහලා තිබුණා. ඒ ඔලුවලට කලුතෙල් හලාලා අදුරගන්න බෑ. මාව ගෙනියනකොටත් දෙන්නෙකුට එල්ලලා ගහනවා. කාමරේ පුරාම මස්කෑලි පිටින්ම ලේ හැලිලා කැටි කැටි මිදිලා”. මෙලෙස පැහැර ගැනීම්, බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම, ඝාතන සහ අතුරුදහන්කරවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශශන කොමිසන් සභාව විසින් අපාරධවලට සම්බන්ධ පොලිස් සහ හමුදා නිලධාරීන්ගේ නම් ලයිස්තුගත කළේය. ඒ අනුව 1989 පුද්ගල අතුරුදහන්කරවීමක් සම්බන්ධයෙන් මාතලේ හමුදා කදවුරේ ස්ථාන භාර නිලධාරියා වූ කර්නල් ගෝටාභය රාජපක්ෂ ජනාධිපති කොමිසම විසින් සැකකරුවකු ලෙස නම්කොට තිබේ.

මේ සියල්ලක්ම එසේ තිබියදී සිදුවූයේ කුමක්ද? මාතලේ සමූහ මිනීවළ සොයා ගන්නා අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම පළාතේ පොලිස් ස්ථානවල තිබූ වසර 5කට වඩා පැරණි සියලුම පොලිස් ලේඛන සහ වාර්තා විනාශ කරන ලෙස නියෝග කළා. මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් සියලු අධිකරණ වාර්තා තමා වෙත යොමු කරන ලෙසද ඔහු පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් 2030 දක්වා ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය රහස්‍ ආඥා පනත යටතේ ප්‍රසිද්ධ නොකිරීමට නියෝගයක්ද ලබාදී තිබේ. කර්නල් ගෝඨාභය මාතලේ දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ කාල සීමාව තුල පමණක් පවත්වාගෙන ගිය වධකාගාර 20ක් හා පුද්ගල අතුරුදන්කරවීම් 700ක් පිළිබදව වාර්තා වී තිබෙනවා.

අසංක අබේරත්න ( ලිපියේ සියලු ම වගකිම ලියුම්කරු සතුයි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may missed