මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේ අශිෂ්ට වැඩ

ශ්‍රී ලංකා කර්තෘ සංසදය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමග එක්ව සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 23න් වන වරටත් දෙසැම්බර් 13 වැනිදා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණි. ශ්‍රී ලංකා පුවක්පත් ආයතනයට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන්(පෙර ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය) පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බැවින් ලද ආරාධනා පත්‍රයක් අනුව මාද ඊට සහභාගි විය. සුපුරුදු ලෙස එම සම්මාන උළෙල පිළිබඳ මෙවරත් අසන්නට දකින්නට ලැබුනේ පැරණි විවේචනයන්මය. එහි ප්‍රමිතිය සාධනීය ලෙස උසස් කර ගන්නට උත්සාහ ගෙන ඇති බවක් ඒ අනුව පෙනී ගියේ නැත. මා සේවය කරන අනිද්දා පුවත්පතේ අයදුම්කාරියක් සම්බන්ධයෙන්ද සම්මාන උළෙලට පෙර අකටයුතු කමක් වාර්තා විය. ඒ පිළිබඳවත් මෙම සම්මාන උළෙල සම්බන්ධයෙන් අතීත සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙනුත්, මෙම සම්මාන උළෙල සම්බන්ධයෙන් ඇතිවන විවේචන අඩු කරගනිමින් එහි ප්‍රමිතිය ඉහළ නංවා ගැනීම සඳහා මා පෞද්ගලිකව දැරූ උත්සාහයන් පිළිබඳවත් යළි ප්‍රසිද්ධියේම මෙසේ කතා කරන්නට කාරණා දෙකක් බලපෑවේය. එකක් ඉහතින් සඳහන් කළ අප පුවත්පතේ අයදුම්කාරිය සම්බන්ධයෙන් වූ සිදුවීමය. දෙවැන්න සම්මාන උළෙලේදී හමුවූ මාධ්‍ය සගයන් කිහිප දෙනෙකු කළ ඉල්ලීමය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මේ සම්බන්ධයෙන් යළි මා ප්‍රසිද්ධියේ කතා කළහොත් එය හරවත් සංවාදයක් සඳහා වැදගත් එකක් වනු ඇති බවයි. (මන්ද ඔවුන්ට ඔවුන් සේවය කරන ආයතනවල මේ සඳහා ඉඩක් නොලැබීම එයට හේතුවය) එම කරුණු සඳහන් කිරීමට පෙර මුලින්ම සඳහන් කළ යුත්තේ මෙම සම්මාන උළෙලට මා විරුද්ධ නැති බවය. ඒ මුද්‍රිත මාධ්‍යයේ සේවය කරන මාධ්‍යවේදීන් ඇගයීමට සම්මාන උළෙලක් තිබිය යුතු නිසාය. මාගේ අදහස වන්නේ එය ජනමාධ්‍යවේදයේ උසස් ප්‍රමිතිය ආරක්ෂා කරන, සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු එකක් විය යුතු බවයි. මා 2006 වසරෙන් පසු මෙම සම්මාන උළෙලට අයදුම් කිරීම නවතා දැමූ අතර ඒ සඳහා හේතු වූයේ මෙම සම්මාන උළෙලේ තීන්දු තීරණ සම්බන්ධයෙන් විවේචනයන් සිදුකිරීමට සිදුවීමය. එසේ කළේ අයදුම් කර එම විවේචනයන් ගෙන ආවොත් සම්මාන නොලැබීම නිසා විවේචනයන් සිදුකරන බවට චෝදනා එල්ල විය හැකි බැවිනි. ඒ අනුව මා එවක සේවය කළ රාවය පුවත්පත මගින් මේ සම්මාන උළෙල පිළිබඳ ප්‍රසිද්ධ විවේචන කිහිපයක් එල්ල කළ අතර ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලෙකම්වරයා හා සභාපතිවරයා ලෙසද, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද එම විවේචනයන් සහිත මැදිහත්වීම් කළෙමි. එමෙන්ම මෙම සම්මාන උළෙලට වසර 15ක් පිරීම නිමිත්තෙන් පළකළ සමරු කළඹට ඊට පෙර සම්මානයට පාත්‍රවූවන්ට සටහනක් ලියන ලෙස කරන ලද ආරාධනයේදීද මාගේ විවේචනය එහි ඇතුලත් කළෙමි. කණගාටුවට කරුණ ඒ කිසිවකට මෙම සම්මාන උළෙලේ අයිතිකරුවන් බව කියන ශ්‍රී ලංකා කර්තෘ සංසදය සාධනීය ප්‍රතිචාර නොදැක්වීමය. මෙම සම්මාන උළෙලේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සම සංවිධායකයින් යැයි කීවද විනිශ්චය මණ්ඩලය, දීර්ඝ සේවා ප්‍රණාමලාභීන් හා විනිශ්චය මණ්ඩල තේරීම් විලින් තොරව ලබාදෙන ජනමාධ්‍ය නිදහස පිළිබඳ සම්මානය හා සිය සගයින්ගේ හා පොදු මහජනතාවගේ ඇගයීමට ලක්වන ජනමාධ්‍යවේදියාට පිරිනැමෙන සම්මාන ඇතුළු තීන්දු තීරණ ගැනීම් සියල්ලක්ම සිදුකරන්නේ ශ්‍රී ලංකා කර්තෘ සංසදයයි. ඒකාබද්ධ සංවිධායක මණ්ඩලයක් පත්කළද ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් ඒ සඳහා නම්කරන පිරිසට සිදුවන්නේ ඒ සඳහා කැඳවන රැස්වීම් කිහිපයක වාඩිවී සිටීමට පමණය. උළෙල සංවිධානයට අදාල කාර්ය මණ්ඩලයේ කටයුතු නම් කරන්නේ පුවත්පත් ආයතනය මගින්ය. පුවත්පත් ආයතනයේ සම සංවිධායකත්වය ඇත්තේ ඇත්තටම එම කටයුත්තට පමණය. අනිද්දා පුවත්පතේ සේවය කරන අමන්දිකා කුරේ වසරේ තරුණ ජනමාධ්‍යවේදි සම්මානයට අයදුම් කර තිබූ අතර සම්මාන උළෙලට සතියකට පමණ කාලයක් තිබියදී මෙම සම්මාන උළෙලේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක සුකුමාර් රොක්වුඩ් අමන්දිකාට ඉංග්‍රීසියෙන් අමතා ඇය තවමත් සේවය කරන්නේ අනිද්දා පුවත් පතේද යන්න හා හොඳම තරුණ ජනමාධ්‍යවේදි සම්මානයට ඇය අයදුම් කළාද යන්න විමසා තිබුණි. ඉන්පසු ඔහු නැවතත් ඇයට කතාකර විමසා තිබුණේ හොඳම තරුණ ජනමාධ්‍යවේදී සම්මානයට ඇය කෙටි ලැයිස්තු ගතවී ඇති බවත් එම සම්මානය ඇයට ලැබුණහොත් ඒ සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්වයට ඉන්දියාවට යෑමට කැමති දැයි කියාය. ඒ සම්බන්ධයෙන් ඊමෙල් මාර්ගයෙන් ඔහුට දන්වන ලෙසද දන්වා තිබුණි. මේ ගැන මා දැනගැනීමෙන් පසු සුකුමාර් රොක්වුඩ් අමතා එසේ විමසීම් කළේ ඇයිදැයි ඇසූ අතර ඔහුගෙන් ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත. මා සුකුමාර් රොක්වුඩ්ගෙන් එසේ අසන්නට හේතු වූයේ මෙම තරුණ ජනමාධ්‍යවේදී සම්මානය සම්බන්ධයෙන් මීට පෙරද මෙවැනිම සිදුවීම් වාර්තා වී තිබූ හෙයින්ය. ඉන් එක් අවස්ථාවක් වූයේ එවක අප සමග රාවය පුවත්පතේ සේවය කළ තරිඳු උඩුවරගෙදර ඒ සඳහා අයදුම් කිරීමෙන් පසු සම්මාන උළෙලට පෙර සුකුමාර් රොක්වුඩ් මේ ආකාරයටම ඔහුගේ ඉංග්‍රී දැනුම පරික්ෂා කිරීමත්, ඉන්පසු තරිඳු උඩුවරගෙදරට සම්මානය වෙනුවට කුසලතා සහතිකයක් හිමිවීමත් නිසාය. (සම්මාන උළෙලට සති කිහිපයකට පෙර සම්මානවලට අදාළ නම් ඇතුලත් කිරීම සඳහා හා සහතික සකස් කිරීම සඳහා සම්මානලාභීන්ගේ නාමලේඛනය සුකුමාර් රොක්වුඩ් සතුවන බව මතක තබාගන්න)
ඒ නිසාම අපගේ උපදෙස් පරිදි අමන්දිකා කුරේ සුකුමාර් රොක්වුඩ්ට ඊමේල් මාර්ගයෙන් දන්වනු ලැබුයේ එම සම්මානය සමග ඉන්දියාවට යෑමට ලැබෙන ශිෂ්‍යත්වයට යෑම හෝ නොයෑම මත එම සම්මානය ලැබීම හෝ නොලැබීම තීරණය විය යුතු නැති බවත්, සම්මානය ලැබෙනවා නම් ඇය බාර ගන්නා බවත්ය. ඊට පිළිතුරක් එවමින් සුකුමාර් රොක්වුඩ් සඳහන් කර තිබුණේ එය විනිශ්චය මණ්ඩලයට යොමු කරන බවයි. ඇත්ත වශයෙන්ම ඒ වනවිට විනිශ්චය මණ්ඩලයේ කටයුතු අවසන් වී තිබුණ අතර ඉන්දියානු ශිෂ්‍යත්වය හා සම්මානලාභීන් තේරීම අතර සම්බන්ධයක්ද තිබුණේද නැත. මෙය පැහැදිලිවම විනිශ්චය මණ්ඩලයට කරුණු ලැබූ බරපතල නිගරුවකි. අමන්දිකගේ ඊමෙල් පණිවිඩය රොක්වුඩ් මහතා විනිශ්චය මණ්ඩලයට යොමු කර තිබුණේද නැත. එවැන්නක් විනිහ්චය මණ්ඩලයට යොමු කිරීමේ හැකියාවක්ද ඔහුට නැත. එම විමසීම හා එයට පිළිතුරු ලබාදෙන ලෙස අමන්දිකාගෙන් කරන ලද ඉල්ලීම නිල එකක් වශයෙන් පෙන්නීමට එය විනිශ්චය මණ්ඩලයට යොමු කරන බව ඔහු සඳහන් කළ බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් අනිද්දා කර්තෘ කේ ඩබ් ජනරංජනද සුකුමාර් රොක්වුඩ් ගෙන් විමසනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්තෘ සංසදයේ සභාපති සිරි රණසිංහද ජනරංජනට කතාකර සිදුවූයේ කුමක්දැයි විමසා තිබුණි. එමෙන්ම මාද ජනමාධ්‍ය සම්මාන ඒකාබද්ධ කමිටුවට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් පත්කර තිබූ ලක්ෂ්මන් මුතුතන්ත්‍රීගේට කතාකර මෙය දැන්වූ අතර ඔහු එය සුකුමාර් රොක්වුඩ් ගෙන් විමසා සිරි රණසිංහ මහතාටද දන්වා තිබුණි. තවද සුකුමාර් රොක්වුඩ්ට යැවූ අමන්දිකාගේ ඊමෙල් දැනුම්දීම මා විසින් සිරි රණසිංහ මහතාටද, විනිශ්චය මණ්ඩලයේ කිහිප දෙනෙකුටද යවමින් ඔවුන් දැනුවත් කරන ලදී. කරුණු එසේ වෙද්දී සම්මාන උළෙලට පෙර දවසේ සම්මාන උළෙල සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය ලැබුණු අතර එහි සඳහන් වූයේ හොඳම ගවේෂණාත්මක වාරිතාකරුට ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වය හිමිවන බවයි. ඒ අනුව අපගේ නිගමනය වූයේ ඇතිවුනු කතාබහ හේතුවෙන් සම්මානය වෙනස් කර නැතත් සම්මානයට ලැබෙන තෑග්ග හෙවත් ශිෂ්‍යත්වය වෙනස් කර ඇති බවයි. (ඉන්දියානු ශිෂ්‍යත්වය හොඳම තරුණ ජනමාධ්‍යවේදියාට ලබාදෙන එකක් පමණය) එහෙත් සම්මාන උළෙලේදී ඒ දෙකම වෙනස් නොවී අමන්දිකාට ලැබුණි. එසේ වීමට හේතුව මේ සම්බන්ධයෙන් දැනුවත් වී අප කරන ලද මැදිහත්වීම් බවට විවාදයක් නැත. මෙම සම්මාන උළෙලට විවේචන එන්නේ ඉතිහාසය පුරාම සිදුවූ මෙවැනි සිදුවීම් නිසාය. ඒකාබද්ධ සංවිධායක කමිටුවේ කටයුතු කළත් එහි තීන්දු තීරණ සියල්ලක්ම කර්තෘ සංසදයේ බැවින් ඒ සම්බන්ධයෙන් අප බරපතල ලෙස සිතිය යුතු බවත්, පාර්ශවකරුවන් ලෙස එහි කටයුතු හා තීන්දු තීරණ ගැන විමසන අවස්ථාවලදී අප අපහසුතාවයට පත්වන බවත්, ඒ නිසාම කර්තෘ සංසදය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකර එම ගැටළු නිරාකරණය කරගත යුතු බවත්, නැතහොත් අප මෙම සම්මාන උළෙලින් ඉවත්විය යුතු බවත් මා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට යෝජනා කළ අතර එය පිළිගනිමින් ශ්‍රී ලංකා කර්තෘ සංසදය සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය. වර්ෂය හරියටම මතක නැතත් ඒ මීට වසර ගණනාවකට පෙරය. විනිශ්චය මණ්ඩලයේ ගෞරවය සඳහා හා අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ඒ ඒ සම්මානය ලබාදෙන්නේ මොන මොන හේතුවලටද යන්න නිර්නායක සෑදීම (එකම සම්මානය විවිධ හේතුවලට විවිධ වසරවලී ලබාදීම සිදුවේ. ඊට ශ්‍රී ලංකා කර්තෘ සංසදය මගින් ලබාදෙන ජනමාධ්‍ය නිදහස සහ සිය සගයින්ගේ හා පොදු මහජනතාවගේ ඇගයීමට ලක්වන ජනමාධ්‍යවේදියා යන සම්මානද අදාලවේ), විනිශ්චය මණ්ඩලයේ තේරීම් පිළිබඳ වගවීම සඳහා ඒ ඒ සම්මාන වර්ගය සඳහා අයදුම් කරන අයගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීම, කළකිරීම හා වෙනත් හේතු නිසා අයදුම් නොකරන ජනමාධ්‍යවේදීන්ද ඇතුලත් වන ආකාරයෙන් විශිෂ්ටයන් තේරීමේ ක්‍රමයක් පිළිබඳ සොයා බැලීම, දීර්ඝ සේවා ප්‍රණෘම සම්මාන හා කර්තෘ සංසදය පිරිනමන සම්මාන හා ඇගැයීම් සඳහා තේරීම් කිරීමේ හැකියාව කෙසේ වෙතත් නාම යෝජනා කිරීමේ අවස්ථාව හෝ ඒකාබද්ධ සංවිධායක කමිටුවට ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් එහිදී ඉදිරිපත් කරන ලදී. එම යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඔවුන් පළිගත්තද ඒ සම්බන්ධයෙන් ස්ථීර පිළිතුරක් නොමැතිව මා ඒකාබද්ධ සංවිධායක කමිටුවේ කටයුතු නොකරන බව කී අතර කර්තෘ සංසදය සමග සාක්ච්ඡා කර පිළිතුරක් ලබාදීමේ පොරොන්දුව මත ඉන් ඉවත් නොවී කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය. අවසානයේ කර්තෘ සංසදය වෙනුවෙන් ලැබුණ පිළිතුර වූයේ මෙය කර්තෘ සංසදයේ සම්මාන උළෙල බැවින් ඔවුන් විසින් තීරණය කරනු ලබන සම්මාන ඇතුළු ඇගයීම් පිළිබඳ මැදිහත්වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි. මාගේ ඒකාබද්ධ සංවිධායක කමිටු අත්දැකීම ඉන් අවසන් වූ අතර මගේ යෝජනාවක් අනුව සිදුකළ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත්කිරීමද එම වසරට පමණක් සීමා විය.මෙම සම්මාන උළෙලේ සම්මාන වෙනස් කිරීම්, කර්තෘ සංසදයේ සාමාජිකයින්ට විනිශ්චය මණ්ඩල තීරණයෙන් බැහැරව සම සම්මාන දීම, විනිශ්චය මණ්ඩල සාමාජිකයින්ගේ හිතවතුන්ට සම්මානය තේරීමෙන් පසු බලකිරීම මත සම සම්මාන දීම, කර්තෘ මණ්ඩල හිතවතුන්ට හිතවතියන්ට කර්තෘවරුන් විසින් සම්මාන දීම හා ඒ නිසාම අලුත් සම්මාන හඳුන්වාදීම් ඇතුළු කී නොකී බොහෝ දේ සිදුවී තිබේ. එහෙත් ඒවා ගැන එකිනෙකට විස්තර නොකරන්නේ පුවත්පතේ ඉඩ ගැන සංවේදී වෙමින්ය. මෙවර සම්මාන උළෙලේ දකින ලද දුර්වලතා හා සැක උපදවන තීරණ සම්බන්ධයෙන් විස්තරාත්මකව නොලියන්නේද ඉඩකඩ නම් වූ එම කරුණ හේතුවෙන්මය. පුවත්පත්වල සේවය කරන දැනුම් තේරුම් ඇති බොහෝ මාධ්‍යවේදීන් මෙම සම්මාන උළෙලින් ඈත්වී ඇත්තේ එඉහත සඳහන් කළ කරුණු නිසාය. එහි පිළිගැනීම දිනෙන් දින වර්ධනය වනවා වෙනුවට නැති වී යන්නේ ඒ නිසාය.
එහෙත් ඒ ගැන ශ්‍රී ලංකා කර්තෘ සංසදයටවත් එහි සාමාජිකයින්ටවත් දැනෙන පාටක් පෙනෙන්නට නැත. මෙය වාර්ෂිකව ඔවුන් පවත්වන වැඩසටහනක් පමණය. අප එහි යන්නේද මාධ්‍ය ක්ෂේත්‍රයේ යම් පිරිසක් හමුවී අල්ලාප සල්ලාපයේ යෙදීමට අවස්ථාවක් ලැබෙන නිසාය. ඒ නිසා මගේ අත්දැකීම හා අදහස වන්නේ මෙම සම්මාන උළෙල සම්බන්ධයෙන් බීරි අලින්ට වීණා වයා ඵලක් නැති බවය. මෙම සම්මාන උළෙලට ආපසු හැරී බලන්නට සිදුවන ආකාරයෙන්, පුවත්පත් ක්ෂේත්‍රයේ මාධ්‍යවේදින් ආයතන හා ඔවුන්ගේ ගෞරවයට හේතුවන ඊට විකල්ප සම්මාන උළෙලක් කාගේ හෝ පුරෝගාමීත්වයෙන් ආරම්භ කල යුතු බවය ‘

ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *