මැතිඇමතිවරුන්ගෙන් නොකපන , ජනතාවගෙන් කපන උපයන විට ගෙවීමේ බදු

ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුව විසින් පනවා ඇති බදුවලට එරෙහිව මේ වනවිට
වෘත්තිකයින්ගෙන් දැඩි විරෝධයක් පැන නැඟී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක
සංගමය එම බදු අය කිරීම්වලට එරෙහිව කළු සතියක් ප්‍රකාශයට පත්කළ අතර බැංකු සේවකයින් සේවයට වාර්තා කිරීම ද කළු ඇඳුමින් සිදුකරනු දක්නට ලැබුණි . විරෝධතාවයක නිරත වෙමින් ලංකා බැංකු සේවක සංගමය ජනාධිපති කාර්යාලයට
ලිපියක් බාරදෙමින් ප්‍රකාශ කරනු ලැබුයේ නව බදු අහෝසි කිරීමට කටයුතු නොකළහොත් නැවත දැනුම් දීමකින්
තොරව රටේ බැංකු පද්ධතිය අකර්මණ්‍ය කරන බවයි .
පරිපාලන නිලධාරීන්ගේ සංගමයද මෙම බදු සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා ඇති අතර ඒ
සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේදී පිළිතුරක් අවශ්‍ය බවද කියා ඇත .
රට තුුලනව බදු සම්බන්ධයෙන් එවැනි විරෝධයක් පවතිද්දී ඇමති බන්දුල ගුණවර්ධන කියා ඇත්තේ , රුපියල්
45000ට වඩා වැටුප් ලබන සියල්ලන්ගෙන් බදු අයකරන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි පැනවූ බවත්
එය රුපියල් ලක්ෂයක සීමාවකට වැඩි කරගත්තේ ඉතා අසීරුවෙන් බවත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු
නොකළහොත් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු කියා ඇත.
ආණ්ඩුව 2023 ජනවාරි 01 දින සිට පනවා ඇති බදු අනුව රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් ඇති සියළු
පුද්ගලයින් බදු ගෙවිය යුතුවේ . දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර ඇති ආදායම් බදු
ගෙවීමේ දත්ත අනුව රුපියල් ලක්ෂයේ සිට රුපියල් 141.667ක් දක්වා මාසික ආදායම් උපදවනු ලබන
පුද්ගලයෙකු සියයට 6ක බද්දක් ගෙවිය යුතුය . රුපියල් 141667 සිට රුපියල් 183.333ක ආදායමක් ලබන
අයෙකු සියයට 12ක බද්දක් ගෙවිය යුතුය . රුපියල් 183.333 සිට රුපියල් 225 .000ක් දක්වා මාසික
ආදායමක් ලබන අයෙකු සියයට 18ක බද්දක් ගෙවිය යුතුය . රුපියල් 225 .000 සිට රුපියල් 266 .667ක්
දක්වා ආදායම් උපයන අයෙකු සියයට 24ක බද්දක් ගෙවිය යුතුය . රුපියල් 266.667 සිට රුපියල්
308.333ක් අතර ආදායමක් ලබන අයෙකු සියයට 30ක බදු ගෙවිය යුතුය . රුපියල් 308.333 ඉහල ආදායමක්
ලබන අයෙකු සියයට 36ක බද්දක් ගෙවිය යුතුය.
පුද්ගලයෙකුගේ නිත්‍ය ආදායම ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ පඩි ,
වැටුප් දීමනා , අතිකාල ගමන් දීමනා, අනෙකුත් දීමනා ගාස්තු විශ්‍රාම වැටුප් හා වෙනත් ලැබීම් ආදිය
ලෙසය .
එමෙන්ම මූල්‍යමය නොවන වරප්‍රසාද ලෙස නිවාවලට ගෙවන ගෙවීම්, ප්‍රවාහනය සඳහා කරන ගෙවීම්, විදුලිය සඳහා කරන ගෙවීම් දුරකතන සඳහා කරන ගෙවීම් , විනෝදාස්වාදය සඳහා කරන ගෙවීම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවන බිල්ද රක්ෂණය සඳහා කරන ගෙවීම්දවෙනත් අයට කරන ගෙවීම්ද ඇතුලත් කර ඇත .
ඉහත සඳහන් කරන ලද ආදායම් හා ගෙවීම් සම්බන්ධයෙන් සේවකයින්ගෙන් අයකරන බද්ද හැඳින්වෙන්නේ උපයනවිට ගෙවීමේබද්ද යනුවෙනි මෙම බද්ද බදු ලිපිගොනුවක් විවෘත කර ස්වෙච්ඡාවෙන් ගෙවන බද්දක් නොවන අතර රාජ්‍ය අංශයේ
වේවා පෞද්ගලික අංශයේ වේවා සේවා ස්ථාන විසින් සේවක වැටුප් දීමනා හා අනෙකුත් පහසුකම් වලට කරන ගෙවීම් අනුව
සේවකයාගෙන් කපා එවිය යුතු බද්දකි .
බදු ගෙවිය යුතු ආදායම් සීමාව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉහල දැමූ අවස්ථාවේදී එම
බද්දට අයත් වූයේ වාර්ෂිකව රුපියල් ලක්ෂ 30ක් හෝ මාසිකව රුපියල් 250 .000කට වඩා ආදායම් ලබන
පුද්ගලයින් පමණය . ඒ අනුව ඉහත සඳහන් කරන ලද හා සඳහන් නොකරන ලද වෘත්තිකයින් බොහෝ දෙනෙකුට හා
සේවකයින්ට එය ප්‍රශ්නයක් වූයේ නැත .

දැන් මෙය ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ රටේ වර්තමානයේ පවතින උද්ධමනය හේතුවෙනි . රුපියල් ලක්ෂයක
ආදායමක් යන්න අද පවුලකට ජීවත් වීමටත් බැරි අගයක පවතිද්දී ඒ සඳහාත් බදු අයකිරීමේදී ජීවත් වන්නේ කෙසේද
යන ප්‍රශ්නය වැඩකරන පුද්ගලයින්ගේ කර මතට පැටවී ඇති හෙයිනි .
බදු පිළිබද මෙම කතාබහ ඇතිවී ඇති තත්වය තුල ජනාධිපතිවරයා, ඇමතිවරු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා
නිලධාරීන් සියළු දෙනාගේ මුදල් නොවන වරප්‍රසාද වෙනුවෙන් බදු අයකළ යුතු යැයි පාර්ලිමේන්තු මුදල් කාරක
සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රකාශ කර තිබුණේ එම කමිටුව හමුවට දේශීය ආදායම්
දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීය .
එහි තේරුම වන්නේ නිලධාරීන් කෙසේ වෙතත් මෙතෙක් ජනාධිපතිවරයා, ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
උපයනවිට ගෙවීමේ බදු ගෙවා නැති බවය . ඔවුන්ට වැටුප් දීමනා හා අනිකුත් පහසුකම් ලබාදෙන ජනාධිපති ලේකම්
කාර්යාලය අමාත්‍යාංශ හා පාර්ලිමේන්තුව එම බදු අයකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවා නැති බවය .
එහෙත් ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අති බහුතරයක් බදු නොගෙවා සිටිමින් රටේ ජනතාවට බදු
ගෙවන්න යැයි අලුත් බදු යෝජනා සම්මත කරමින් පැනවීමය . මීට පෙර 2022 සැප්තැම්බර් 11 දින අනිද්දා
පුවත්පත වාර්තා කරනු ලැබූයේ බදු ලිපිගොනු ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 115 දෙනෙකුට
පමණක් බවය . එසේම එම මන්ත්‍රීවරුන්ටත් බදු ලිපිගොනු ඇත්තේ ඔවුන්ට අයත් ව්‍යාපාරවල කොටස් හිමියන්
හා අධ්‍යක්ෂවරුන් හේතුවෙන් බවය .
මෙම දේශපාලන තනතුරුලාභීන් අතරින් අවම වරප්‍රසාද භුක්ති විඳින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
සම්බන්ධයෙන් ගත්කළඔවුන්ගේ මාසික දීමනාව හෙවත් වැටුප රුපියල් 54 .285කි . පාර්ලිමේන්තු රැස්වීම්වලට
සහභාගිවීම වෙනුවෙන් එක් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රුපියල් 2500කි . පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල
රැස්වන කාරක සභා සඳහා සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 2500කි . කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට
රුපියල් 100,000කි . සංග්‍රහ දීමනාව රුපියල් 1000කි . රජයෙන් වැටුප් ලබන රියදුරෙක් නොමැති නම් රියදුරු
දීමනාව රුපියල් 3500කි . එක් එක් මන්ත්‍රීවරයා තේරී පත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුට ඇති දුර
පදනම් කර ගණනය කළ ඩීසල් ලීටර ප්‍රමාණය සඳහා මාසයේ පළමු දිනට පවතින වෙළදපල මිල ගණන් අනුව ඉන්ධන
දීමනාව ගෙවනු ලැබේ . කොළඹ දිස්ත්‍රික්කය සඳහා ලීටර් 283 ,94 ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ලීටර් 355,58 ක්
වශයෙන් එය සඳහන් කර තිබේ. අනෙකුත් දිස්ත්‍රික්කවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට ඊට වඩා වැඩි ඉන්ධන
දීමනාවක් ලැබේ)ඃ39ත ස්ථාවර දුරකතන හා ජංගම දුරකතන සඳහා මාසිකව රුපියල් 50 .000ක් ලැබේ . පෞද්ගලික කාර්ය මණ්ඩලසාමාජිකයින් 04 දෙනෙක් කාර්යාලයට පැමිණීම වෙනුවෙන් එක් අයෙක් සඳහා රුපියල් 2500 බැගින් මාසිකව
රුපියල් 10.000 ලැබේ . සෑම මන්ත්‍රීවරයෙකුටම වාර්ෂිකව රුපියල් 350 .000ක් වටිනා මුද්දර එක් කාර්තුවකට
රුපියල් 87500 බැගින්) ලබාදේ .
කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී ඇති මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් ගත්තද මුද්දර දීමනා පෞද්ගලික
කාර්ය මණ්ඩල දීමනා රියදුරු දීමනා පාර්ලිමේන්තුවට සහභාගිවීම හෝ පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල
කාරක සභා අවස්ථාවන්ට සහභාගි වීම සම්බන්ධයෙන් ලැබෙන දීමනා අත්හැරියද මසකට රුපියල් ලක්ෂ 3කට අධික මුදලක්
හිමිවන බව පෙනේ . ඒවාට අමතරව ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් වාර්ෂිකව
රුපියල් 220.000 හෙවත් මාසයකට රුපියල් 18 .333ක රක්ෂණ වාරිකයක්ද මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ගෙවනු ලබයි .
කොළඹ , ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් හැර තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලැබෙන අතර ඊට
අමතරව රාජ්‍ය හා කැබිනට් ඇමතිවරුන්ට නිල නිවාස ලැබේ . දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කර
ඇති ආදායම් ගණනය කිරීමේ මූල්‍යමය නොවන වරප්‍රසාදවලට මෙම නිල නිවාස පහසුකමද ඇතුලත් වේ . රුපියල් ලක්ෂ
2ක් හෝ ඊට අඩු මාසික වේතනයක් හිමිවන පුද්ගලයෙකුට ලැබෙන නිවසක් සඳහා ශ්‍රේණිගත ප්‍රදේශයක නම්
රුපියල් 20 ,000ක් හෝ වේතනයෙන් සියයට 12 .5ක් යන දෙකෙන් අඩු අගයද ශ්‍රේණිගත නොවන ප්‍රදේශයක
නම් රුපියල් 15 .000ක් හෝ වේතනයෙන් සියයට 10ක් යන දෙකෙන් අඩු අගයද , වතු බංගලාවක් සම්බන්ධයෙන් නම්
රුපියල් 10 .000ක් හෝ වේතනයෙන් සියයට 7 .5ක් යන දෙකෙන් අඩු අගයද මූල්‍යමය නොවන වරප්‍රසාදයට අයත්
ඉපැයීම් ලෙස සැලකේ .

එමෙන්ම රුපියල් ලක්ෂ 2ට වඩා මාසික වේතනයක් ලැබෙන අයෙකු සඳහා ලබාදෙන නිවසක් ශ්‍රේණිගත ප්‍රදේශයක නම්
රුපියල් 40 .000ක් හෝ සියයට 12 .5 යන දෙකෙන් අඩු අගයද, ශ්‍රේණිගත නොවන ප්‍රදේශයක නම් රුපියල්

30 .000ක් හෝ සියයට 10 යන දෙකෙන් අඩු අගයද, වතු බංගලාවක් නම් රුපියල් 20 .000ක් හෝ සියයට 7.5 යන
දෙකෙන් අඩු අගයද ඉපැයීම් ලෙස සැළකේ .

ලබාදෙන ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් එය ගණනය කර ඇත්තේ එංජින් ධාරිතාව අශ්වබල 1800 හෝ ඊට අඩු
පෙට්‍රල් ඩීසල් හෝ හයිබි්‍රඩ් රථ සඳහා සහ කිලෝවොට් 200 හෝ ඊට අඩු ඉලෙක්ටික් වාහන සඳහා මසකට වාහනයට
රුපියල් 20 .000ක්)ුමදඑත රියදුරුට රුපියල් 10)ුමදඑත000ක් හා ඉන්ධන සඳහා රුපියල් 20)ුමදඑත000ක් වශයෙන්ය . එය
එංජින් ධාරිතාව අශ්වබල 1800ට වැඩි හා කිලෝවොට් 200ට වැඩි වාහන සම්බන්ධයෙන් ගණනය කර ඇත්තේ වාහනයට
රුපියල් 35 .000ක් රියදුරුට රුපියල් 10.000ක් හා ඉන්ධන සඳහා රුපියල් 30 .000ක් වශයෙන්ය .
2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වත්මන් බදු ගෙවීමේ ආදායම් අගයන් අනුව ඉහත සඳහන් කළ ආකාරයේ
මූල්‍යමය හා මූල්‍යමය නොව වරප්‍රසාද පාර්ලිමේන්තුවේ කටයුතු වෙනුවෙන් පමණක් මාසයකට ලබන පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් මෙන්ම ඇමතිවරු හා ජනාධිපතිවරයාද අනිවාර්යෙන්ම බදු ගෙවීමට යටත් විය යුතු බවට විවාදයක්
නැත . මෙම නව බදු සංශෝධනයට පෙර ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ තිබූ බදු ගෙවිය යුතු වාර්ෂික ආදායම
වූ රුපියල් ලක්ෂ 30ක් හෙවත් මාසික ආදායම රුපියල් 250 .000ක් යන්න සම්බන්ධයෙන් ගත්තද මෙම
මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් හා ජනාධිපතිවරයා එම මූල්‍යමය හා මූල්‍යමය නොවන වරප්‍රසාද වෙනුවෙන් බදු ගෙවිය
යුතුව තිබුණි .
එහෙත් ආචාර්ය හර්ෂ ද සිල්වාගේ යෝජනාව අනුව පෙනෙන්නේ මන්ත්‍රීවරු පමණක් නොව ඊට වඩා ආදායම් හා
වරප්‍රසාද භුක්ති විඳින ඇමතිවරුන් හා ජනාධිපතිවරයා පවා උපයන විට ගෙවීමේ බදු මෙතෙක් ගෙවා නැති බවයි .
තමන් සම්මත කරන හා අනුමත කරන බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා , ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් බැඳෙන්නේ
නැත්නම් එවැනි බදු නීතියක් අනිවාර්යෙන්ම අභියෝගයට ලක්කළ යුතුමය . ඒ බදු ගෙවිය යුතු ආදායම් සීමාව
වර්තමාන ජීවන වියදමත් සමඟ සැසැඳූ කළ රුපියල් 100 .000ක් යන ඉතා අසාධාරණ අගයක් ගන්නවාට අමතරවය .

කසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *