මිනීමරු පාලකයින් ආරක්ෂා කරන වගවිම සහ ප්‍රකාශනයේ අරගලය .

දශක ගනනාවක් තිස්සේ ලංකාවේ ආණ්ඩුවල මර්දනයට, ඝාතනයට, හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන් සිහිකරමින් “කලු ජනවාරිය” ලෙස නම් කෙරුනු සැමරුමක් හා උද්ඝෝෂණයක් ජනවාරි 27 සිකුරාදා කොළඹ විහාර මහාදේවී උද්‍යාන ඉදරිපිට පැවැත්විණි . එය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. 

මධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හතලිහකට ආසන්න ප්‍රමානයක් සහභාගී වූ⁣ මෙම උද්ඝෝෂණයේදී මර්දනයට ලක් කෙරුනු මාධ්‍යවේදීන්ගේ ජායාරූප රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරනු ලැබිණි . මාධ්‍ය නිදහස හා මර්දනයට ලක්කෙරුනු මාධ්‍යවේදීන් සිහි කිරීම සඳහා යෝජිත සමරු ඵලකයක ආකෘතියක් ද එහිදි නිරාවරනය කෙරිණි . මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රැස්ව සිටි පිරිස ඇමතූහ.

කොළඹ ක්‍රියාකාරී කමිටුවේ සහෝදරවරු එම අවස්ථාවට  සහභාගී වූ මාධ්‍යවේදීන් අතර උද්ඝෝෂණයේ යෙදුනු අතර කමිටුවේ මෑතම ප්‍රකාශයක් වන “සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස් කරනු! පාලක පන්තියේ කුමන්ත්‍රණය පරාජය කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!” යන ලිපියේ පිටපත් ඔවුන් අතට පත් කළෝය . එය කියවා බැලූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම එහි අන්තර්ගතයට තම එකඟතාවය පල කළෝය .

උද්ඝෝෂණයට යොදා ගැනුනු විරෝධතා පුවරුවල දක්නට ලැබුනු එකම වාක්‍යය කන්ඩ වූයේ “යුක්තිය තවම ඉටුවී නැත (No Justice Yet)” යන්නයි.  මෙම වක්‍ය කන්ඩයේ සංවිධායකයන් අදහස් කළ සැබෑ සංයුක්ත අර්ථය කථිකයන් තම අදහස් දැක්වීම් තුළ ඉදිරිපත් කළෝය: එනම් අතරුදහන් කෙරුනු, ඝාතනය කෙරුනු, ශාරීරික හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන්ට රනිල් වික්‍රසිංහගේ පසුගිය යහපාලන ආණුඩ යටතේ පවා යුක්තිය ඉටු නොවුනු බවත්, ඉදිරියේදී පත්වන ධනපති ආණ්ඩුවකින් යුක්තිය ඉටුකරගැනීමට අපේක්ෂා කරන බවත් ය.

එක් කථිකයෙක් සඳහන් කලේ ඝාතනයට ලක්වූ  ලසන්ත වික්‍රමතුංග, අතුරුදහන් කරනු ලැබූ ප්‍රගීත් එක්නැළිගොඩ වැනි මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් 2015 දී වික්‍රමසිංහ දුන් මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කළ බවයි. තවත් කථිකයෙක් වික්‍රමසිංහ එම පොරොන්දු ඉටුකලා නම් මෙවැනි සමරු හා උද්⁣ඝෝෂණ පැවැත්වීම අවසන් කළ හැකිව තිබූ බව කියමින් එම පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධව ඔහුට චෝදනා කළේය .

බලයට පත් එක එකක් ධනපති ආණ්ඩු මාධ්‍යය, මාධ්‍යවේදීන් හා ප්‍රකාශනයේ නිදහස පාගාදමමින්  කටයුතු කළේ යන සත්‍යය අවධාරනය කරමින් “යුක්තිය ඉටුවී නැත ( Justice Denied)” යන සත්‍යය කම්කරු පීඩිත මහජනතාවට ගෙන යමින්, කම්කරු පාලනයක් යටතේ සියලු ධනපති පාලනයන්හි අපරාධවලට එරෙහිව යුක්තිය ඉටුකරගැනීමේ විප්ලවවාදී අපේක්ෂාව වෙනුවට එම අපරාධවලම උල්පත වන ධනපති පාලක පන්තියේ අනාගත නියෝජිතයන්ගෙන්ම වගවීම අපේක්ෂා කිරීම “යුක්තිය තවම ඉටුවී නැත” යන්නෙහි ගැබ්ව ඇති බව කථිකයෝ සනාථ කළහ. මෙය භයානක ප්‍රතිවිපාක ගෙන දෙන දේශපාලන අපගමනයකි.

මාධ්‍යවලට හා මාධ්‍යවේදීන්ට එරෙහි මර්දනය වළක්වා ගැනීමට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවිධානවලට, එකමුතු වලට තනිව කළ හැක්කක් නොවේ. 

මාධ්‍යයට එරෙහි ප්‍රහාරය වඩාත් පුලුල් දේශපාලන මර්දනයක, සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයක  ප්‍රධාන කොටසක් පමනි. එය බැඳී පවතින්නේ දැවැන්ත සමාජ කප්පාදු වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පොලිස් හා මිලිටරි ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු හා පීඩිත ජනතාවගේ අරගල මර්දනය කිරීමේ දේශපාලන ප්‍රහාරයක අනිවාර්ය කොටසක් වශයෙනි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර හා දේශීය මූල්‍ය කථිපයාධිපත්‍යයේ කප්පාදු විධානයන්, පරපටු සංගතවල අවශ්‍යතාවයන් හා ප්‍රාග්ධනයේ නියමයන් ක්‍රියාවට දමමින්, ධනපති අර්බුදය කම්කරු හා පීඩිත මහජනතාව මත හෙලා ඇති ධනපති අලුගෝසු පාලකයන්ගේ ආණ්ඩු යටතේ ඊනියා නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනතාවය හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය  පිළිිිබද කිසිදු  මිත්‍යාවක් පැවතිය යුතු නැත.

ඒ වෙනුවට, මෙම අපරාධ ඇතුලු සමතස්තයක් උතුරේත්, දකුණෙන් දහස් ගණන් ඝාතනවලට, අතරුදහන්කිරීම් වලට යුක්තිය ඉටුකර ගත හැකිවනු ඇත්තේ දේශපාලන බලය ධනපති පාලක පන්තිය වෙතින් කම්කරු මහජනතාව වෙත උදුරා ගනු ලැබුවහොත් පමණි .

ස්වාධීන ක්‍රියාකාරී කමිටු රටපුරාත්, ජාත්‍යන්තරවත් එකමුතු කරමින් කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මෙහෙයවා ගනිමින් රාජ්‍ය මර්දනයට  එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තික නායකත්වයක් ගොඩනැගිය යුතුව තිබේ. සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංධානයක්  පිහිටුවීම සඳහා කොළඹ ක්‍රියාකාරී කමිටුව ඇතුලු ක්‍රියාකාරී කමිටු මෙම වැඩපිළිවෙල දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. 

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) 2019 දී පිහිටුවීම හා එය මගින් වි⁣ශේෂයෙන් ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම සඳහාත් කවිවර අහනාෆ් ජසීම්ගේ නිදහස සඳහාත් ගෙන ගිය අරගල ලංකාවේ වැඩකරන ජනතාවට මාධ්‍යවේදීන්ට ,කලාකරුවන්ට තම නිර්මානකරණයේ හා ප්‍රකාශනයේ නිදහස් රැකගැනීම සදහා ගතයුතු දේශපාලන සටන කවරේද යන්න පිළබද නැවුම් අත්දැකිමක් එක් කළේය .

කොක්‍රික පිහිටවනු ලැබුවේ මෙම අරගල පෙරට ගැනීම සදහායයි .ත්‍රියාකාරී කමිටු ඔබ ආයතනය තුළමත් කොක්‍රික සමග පිහිටුවා ගනිමින් ද කොක්‍රික සමග සමීපව කටයුතු කරමින් ද ඉදිරි අරගලය සදහා පෙරට එන ලෙස අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු .

සංජය විල්සන් ජයසේකර

කොළඹ ක්‍රියාකාරී කමිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *