රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා ගේ ආරක්ෂකයෙක්.

රාජපක්ෂලා සමඟ රනිල් එකට ඔතා මේ මජර දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතු බවත් නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව
ජනතා විමුක්ති පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි

ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව අපේ රට ඉතිහාසයේ සංකීර්ණම ආර්ථික අර්බුදයකට රට ඇද දැමු බවත් තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍යම ද්‍රව්‍ය පවා ලබාගත නොහැකි තත්වයක් රට තුළ ඇති කළ බව දිසානායක පැවැසීය .

දිසානායක එසේ පැවැසුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුනු කාර්යාලයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය

දිසානායක වැඩිදුරටත් මෙසේ පැවැසීය

වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා ගොවි ජනතාවට පොහොර අහිමි කර, ආර්ථිකය පතුළටම කඩා දැමුවා. මෙයට එරෙහිව ජනතාව උද්ඝෝෂණය කරමින් තැනින් තැන නැගී සිටියා.

ඊට ඇහුම්කන් නොදුන් නිසා රාජපක්ෂ පවුලත් මේ ආණ්ඩුවත් ගෙදර යා යුතු බවට ගෝල්ෆේස් පිටියේත්, වෙනත් නගරවල සිට ගම් දක්වාත් උද්ඝෝෂණ ඇති වුණා. මංකොල්ලකන ලද මහජන දේපොළ යළි පවරාගෙන වංචනිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට එක හඬින් මේ රටේ ජනතාව ඉල්ලා සිටියා. මහානායක හාමුදුරුවන් වහස්සේලා, නීතිඥ සංගමය සහ විවිධ බහුජන සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය දෙසට අදාළ විවිධ යෝජනා ඉදිරිපත් කළා. කෙටි අන්තර්කාලීන පාලනයක් ගොඩනඟා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ග ගෙන, ඉන් අනතුරුව තමන්ගේ පාලනයක් ගොඩනඟා ගැනීමට මහජනතාවට අවස්ථාවක් දිය යුතු බව අවධාරණය කර තිබුණා.


මහජනයාගේ ආණ්ඩු විරෝධය කිසිසේත්ම සැලකිල්ලට භාජනය නොකළ තීන්දුවක් ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය ජනතාවගේ හඬ හෑල්ලුවට ලක්කළ ගෝඨාභය රාජපක්ෂගේත් රනිල් වික්‍රමසිංහගේත් තක්කඩි ක්‍රියාවක්. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් මේ සම්බන්ධයෙන් තිබෙන වලංගුතාවය මොකක්ද? මහා මැතිවරණයට තරග කර, මන්ත්‍රී ධුරයක්වත් දිනාගත නොහැකි වූ කෙනෙක්, පෙර මැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ ගණනක් ගත් කෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න වත් ඡන්ද ගන්න බැරිවුණු කෙනෙක්. 2015-2019 විනාශකාරී ප්‍රතිපත්තියට විරුද්ධව ජනතාව ඔහුව ගෙදර යැවුවා.

මෙතරම්ම ජනතාව ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහත්, තමන්ට ඡන්දය දුන් සියලු බලවේගත් අවුරුදු දෙකහමාරක් තුළ අහිමි කර ගත් ගෝඨාභය රාජපක්ෂත් එකතු වෙලා පාලනයක් පිහිටුවා ගැනීම එකඟ වෙන්නේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයකටද? මේ දෙදෙනාම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක් විතරයි. ගෝඨාභය, රනිල්ව විශ්වාස කරනවා, රනිල්, ගෝඨාභයව විශ්වාස කරනවා. ඒ හැර පොදු ජනතාව මේ දෙදෙනාවම විශ්වාස කරන්නේ නැහැ.

2018 ඔක්තෝබර් මස සිදුකළ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව ඇටවීමට වඩා මෙය වෙනස් වෙන්නේ කොහොමද? ජනවරමට මුළුමනින්ම පිටුපා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂව එදා අගමැති ධුරයට පත්කළා.

ඒ හා සමානම ක්‍රියාමාර්ගයක් ගෝඨාභය රාජපක්ෂ විසින් අද කර තිබෙනවා. ඔවුන් මේ සෙල්ලම් කරමින් ඉන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත සහ ජනතාවගේ අදහස් සමගයි. ගෝඨාභය රාජපක්ෂගේ 69 ලක්ෂයක ජනවරමේ ගැබ් වී තිබෙන්නේ කුමක්ද? මහබැංකු මංකොල්ලයේ මහ මොළකරු පරාජයට පත්කරන්නයි. පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැර අගමැතිවරයාගේ වගකීම ඉටුනොකිරීම නිසා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙනවා කියලයි ගෝඨාභය බලය ගත්තේ.

ඒ වගේම හම්බන්තොට වරාය විකිණීම ඇතුළුව ජාතික දේපොළ විකිණීමට එරෙහිවත් රනිල් වික්‍රමසිංහ දිගටම අනුගමනය කළ දේශපාලන සංස්කෘතියට එරෙහිවත් ජනවරමක් ගෝඨාභය රාජපක්ෂට ලැබුණා. ඒ ජනවරමට විරුද්ධව අද ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත්කළා. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු හැමදෙනාම ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය කාලයේ කීවේ 2015 වන විට තිබුණු ශක්තිමත් ආර්ථිකය 2019 දක්වා රනිල් වික්‍රමසිංහ යටතේ බිඳදමන ලද බවයි.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව අපේ රටේ ආර්ථිකයේ කුලුනු බිඳ දමන්න හේතුවුණු බවයි කීවේ. අද ආර්ථිකය බිඳ වැටීමේ විශාලම පංගුවක් රනිල් වික්‍රමසිංහ විසින් දැරිය යුතු බව ගෝඨාභය, මහින්ද ඇතුළු මුළු ආණ්ඩුවම කීවා.
අද ඔවුන් එකතු වෙලා ආර්ථිකය ගොඩනඟන බව කියනවා.

මේ රටේ පුරවැසියන් මේ කෑදර, මජර දේශපාලන සංස්කෘතිය අනුමත කරන්නේ නැහැ. රනිල්ට විවේචන එල්ල කරමින් ඔහු පරාජය කළ යුතු බව කියා ජනවරම ලබාගෙන ඔහුගේ කරට අතදාලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඒ නිසා අද පරාජයට පත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නොවෙයි. ඔවුන්ගේ කැත, කිළිටි, මජර දේශපාලන සංස්කෘතියමයි. එය මුළුමනින්ම පරාජයට පත් කළ යුතුයි.

ඔවුන් මේ ක්‍රියාමාර්ගය ගත්තේ ආර්ථිකය ගැන හෝ රටේ ජනතාව ගැන හිතලා නොවෙයි.
රනිල් වික්‍රමසිංහ හැමදාමත් රාජපක්ෂගේ ගැලවුම්කරු වුණා. රනිල් වික්‍රමසිංහ හැමදාමත් රාජපක්ෂලාගේ ආරක්ෂක කුලී හේවායෙක්. 2015 දී මුළු ජනවරමම ගැබ්වී තිබුණේ රාජපක්ෂ පවුල විසින් සිදුකළ මිනිස් ඝාතනයන් ඇතුළු අපරාධවල වගඋත්තරකරුවන් හැටියට දඬුවම් දීමටයි. ඒ වගේම සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘවරුන් වූ ගෝඨාභය ප්‍රමුඛ අපරාධකරුවන්ට දඬුවම් දෙන බව කීවා. නමුත් රනිල් වික්‍රමසිංහ 2015 මුළු ජනවරමම පාවාදුන්නා.

නිලධාරීන්ට බලපෑම් කර පරීක්ෂණ යට ගැහුවා. හිටපු පොලිස් ඇමති ගාමිණී සෙනරත්ව තමන්ගේ ගෙදර හංගාගෙන හිටියා. මේ පවුල් දෙක හැමවෙලාවෙම එකිනෙකා ආරක්ෂා කළා. අදත් රාජපක්ෂ පවුල, රාජපක්ෂලාගේ ත්‍රාඩ දේශපාලනය බිත්තියටම හේත්තුවෙලා තියෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඇඳිවත පවා උනා දමා රාජපක්ෂලාගේ ආරක්ෂක කුලී හේවායා හැටියට කටයුතු කරනවා.

පසුගිය සති දෙක තුන ඇතුළත රාජපක්ෂලාගේ මුළු දේශපාලනයම අවලංගු වී ගියා. ඔවුන්ගේ වංචා දූෂණ කරළියට ආවා. මේ නිසා නීතිය අතට ගැනීම අපි අනුමත නොකළත් තරුණයන් ගුවන් තොටුපොළවල් වටකරගෙන හිටියා.

ඔවුන්ට පැනලා යන්න ඉඩ නොදිය යුතුයි කියන තැනට පුරවැසියන් ඇවිත් තියෙනවා. කටුනායක, රත්මලාන, මත්තල වගේ ගුවන්තොටුපොළවල් ආසන්නයේ දහස් ගණන් රැකවල්ලාගෙන සිටියා. මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරය අත්හැර රාත්‍රියේ පලායන්න සිදුවුණා.

මහජනයාගේ දේපොළ හොරකම් කිරීමේ වරදට, මහජනයාගේ ආර්ථිකය විනාශ කිරීමේ වරදට, ජනමතයට කිසිසේත්ම ඇහුම්කන් නොදීමේ වරදට අද බංකරයක ඉන්න සිදුවී තිබෙනවා. අන්න ඒ රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා ලෙස රනිල් වික්‍රමසිංහ කරළියට ඇවිත් ඉන්නවා. මෙම විනාශකාරී පාදඩ දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕනෑ. ජනතාව රනිල්ට විරුද්ධව ගෝඨාභයට ඡන්දය දෙනවා. ගෝඨාභයට විරුද්ධව රනිල්ට ඡන්දය දෙනවා. අවසානයේ දෙන්නා මාලිගා කුමන්ත්‍රණයකින් රට පාලනය කරන්න එනවා.

මේ කැත දේශපාලන සංස්කෘතිය පරාජය කරන්න ඕනෑ.
ගෝඨාභයට ගෙදර යාමට බලකිරීමටත් රනිල් වික්‍රමසිංහත් යොදවාගෙන අටවා ගන්නා ආණ්ඩුවට සහ ජනතාවගේ දේපොළ හොරකම් කළ හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් අපේ රටට අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කැපවී සිටිනවා.


ගෝඨාභයද රනිල්ද එකට ඔතා මේ කැත දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කළ යුතුයි. ඒ වෙනුවෙන් ජනතාව පෙරට ආ යුතුයි. අග්‍රාමාත්‍ය ධුරය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහට මොන ජනවරමක්ද තිබෙන්නේ. මේ පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත වුවමනාවන් නියෝජනය කරන තැනක් නොවෙයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට තවදුරටත් රට පාලනය කරන්න ජනවරමක් නැහැ. මේ බව නීතිඥ සංගමය, මහානායක හිමිවරුන්ගේ යෝජනා, සෝභිත හාමුදුරුවන්ගේ යෝජනා සහ වෙනත් දේශපාලන ව්‍යාපාර ඉදිරිපත් කර තිබූ යෝජනාවල ගැබ්වී තිබෙන්නේ කෙටි කාලයක් තුළ අලුත් ජනවරමක් අවශ්‍ය බවයි.

ජනවරම නියෝජනය නොකරන මේ විකෘති පාර්ලිමේන්තුවට අපේ රට සහ ජනතාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතියක් නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි.


එය පමාකරන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහු කොතැනක හෝ අන්තර් පාලන කතාවක් කියන්නේ නැහැ. මේ විගඩම්කාරී පාලනය අවසන් කරන කාලයක් කියන්නේ නැහැ. ඔහු කල්පනා කරන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂාව සහිතව, වැටුණු ඔටුන්න ආරක්ෂා කර ගැනීමයි. මේ කැත, මජර, ඩීල් දේශපාලනය පිළිකුල් කළ යුතුයි. ගෝඨාභයටත් මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියටත් වංචනිකයන්ට එරෙහිවත් ගොඩනඟා තිබෙන ව්‍යාපාරය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන්න එක්වන ලෙස ආරාධනා කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහා ඊට ලැබුණු පිළිතුරු

ප්‍රශ්නය:- ව්‍යවස්ථාවට අනුව අගමැති පත්කිරීම කර තිබෙනවාද?
පිළිතුර:- ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි යැයි හැඟෙන කෙනා අගමැති ලෙස පත්කිරීමට ජනාධිපතිට හැකි වෙනවා. එතකොට ගෝඨාභයට අනුව පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැක්කේ රනිල්ට. ඇත්ත ගත්තොත් මෙතන උඩින් රනිල්. යටින් ඉන්නේ බැසිල්.
ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද?
පිළිතුර:- මේ විගඩම්කාරී පාලනය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනවාද කියා බලන්න ඕනෑ. ඒ සඳහා අපි ඉක්මන් විය යුතු නැහැ. මන්ත්‍රීවරු එහෙට මෙහෙට විකිණෙන සේල් එක දැන් පටන්ගෙන තිබෙන්නේ. මෙවැනි තත්වයකදී එහෙට මෙහෙට විකිණෙන මන්ත්‍රී කඳන් ඉන්නවා. 2018 මෛත්‍රීපාලගේ කුමන්ත්‍රණය වෙලාවේ පාර්ලිමේන්තුව ආසන්නයේ පැවැත්වූ රැස්වීමේදී මෛත්‍රීපාල කීවේ ඔහුට 113 හදාගැනීමේදී මන්ත්‍රීවරයෙකුගේ ගණන මිලියන 500 දක්වා ඉහළ නැග තිබූ බවයි. දැනුත් ඒ සල්පිල පටන්ගෙන තිබෙන්නේ. බදු වංචා කරමින්, මුහුදු ආරක්ෂක සේවාවන් පවරා දෙමින්, ගජමිතුරන්ට ලබාදුන් ප්‍රකෝටි ගණන් මුදල් මේ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා දැන් යෙදවෙමින් තිබෙනවා. මිලදී ගැනීම හරහා මන්ත්‍රීවරුන් 113 හදාගන්න ක්‍රියාකරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.
ප්‍රශ්නය :- සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරයාට යැවූ ලිපිය අනුව ආණ්ඩුව භාර ගැනීමට ප්‍රමාද වී ඇති බවට ප්‍රවෘත්ති පළ වුණා. එය දකින්නේ කොහොමද?
පිළිතුර:- සජිත් ප්‍රේමදාස ගැනනම් කතාකරලා වැඩක් නැහැ. මනමාලි පෝරුවට නැගලා පෝරුවේ චාරිත්‍ර කරන අතර, මනමාලිට කැමතියි කියලා ලියුමක් යවනවා. එවැනි ළපටි අපරිණත දේශපාලනයකින් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න හැකිවෙයි කියලා අපි හිතන්නේ නැහැ.
ප්‍රශ්නය:- රටේ පවතින තත්වය හමුවේ ටිකක් ඉවසීමෙන් බැලුවොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
පිළිතුර:- අපි බලාගෙන ඉන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම ඇතුළේ මහ බැංකු බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දීමේ පොරොන්දුව තිබෙනවා. දඬුවම් දෙයිද කියලා අපි බලාගෙන ඉන්නේ. ඒ ජනවරම ඇතුළේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්ති ගැන පොරොන්දු තිබෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ පොරොන්දු අතර රාජපක්ෂ පවුල අපේ රටේ කරන ලද සොරකම්වලට දඬුවම්දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් පහරදීම, එක්නැලිගොඩ පැහැරගෙන යාම, මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාම, සුදු වෑන් සංස්කෘතියට එරෙහි වීම යන පොරොන්දු දී තිබුණා. ඔහු ඒ දේවල් කරයිද කියලා අපි බලාගෙන ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිවෙන්නේ රජ පරම්පරාවෙන් ආපු උරුමයක් හැටියට නොවෙයි. ජනවරමකින්. ඒ ජනවරම තුළ රනිල් වික්‍රමසිංහට එරෙහි දේශපාලනය තිබුණා. ඒ ජනවරමට අනුව ඔවුන් කටයුතු කරන්නේ කෙසේද කියලා කලබල නැතිව අපි බලාගෙන ඉන්නවා. හැබැයි මේ එකාට එකා රකින බව අපි අවධාරණය කරනවා.
ප්‍රශ්නය:- ඔබ කියන ආකාරයට මේ පිහිටුවන්නේ නීති විරෝධී පාලනයක් නම්, ඊට එරෙහිව අන්තර්කාලීන පාලනයකට සැලසුමක් තිබෙනවාද?
පිළිතුර :- එහෙට මෙහෙට විකිණෙන මන්ත්‍රී කඳන් එක්ක නම්, කරන්න දෙයක් නැහැ. අර චෞර වළල්ලේ සල්ලි ඇති තරම් දැනුත් එළියට විසිකෙරෙමින් තිබෙනවා. මිලදී ගන්න පුළුවන් මන්ත්‍රී කඳන් එක්ක එකතු වෙලා කරන්න යමක් අපිට නැහැ. අපට තිබෙන්නේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර, වංචා-දූෂණ අවසන් කරන, වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් කර, ඒ දේපොළ නැවත පවරා ගන්නා පාලනයක් පිහිටුවා ගන්නයි. අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය දැන් තිබෙන මහලු බවෙන් මුදවාගෙන තරුණ අලුත් ජවයක් සහිත තත්වයක් අවශ්‍ය බව පිළිගන්නා පුරවැසියන් එක්ක ඒකාබද්ධ වීම අපේ අරමුණයි. පවතින අර්බුදයේ පීතෘවරු මේගොල්ලෝ. ඒගොල්ලොත් එක්ක අපට කිසිම ගමනක් නැහැ. ඔවුන් මේ අර්බුදය තවත් තීව්‍ර කරනවා හැරුණු කොට කිසිම විසඳුමක් දෙන්නේ නැහැ.
ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ දීර්ඝ කාලීනව රාජපක්ෂ පවුල ආරක්ෂා කරනවා කියලාද ඔබ කියන්නේ ?
පිළිතුර:- මම එක දෙයක් කියන්නම්. මේ වන විටත් නවවැනිදා එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා, ඇතුළු 17 දෙනෙකුට රටන් පිටවීම වළක්වා වාරණ නියෝගයක් අධිකරණයෙන් දී තිබෙනවා. අධිකරණයත් මෙවැනි නියෝගයක් දෙන්නේ එසේ ලබාදිය හැකි තරම් කරුණු ප්‍රමාණයක් තිබෙන නිසයි. අපේ රටේ පුරවැසියන් නවදෙනෙක් පමණ ඝාතනයට ලක්වූ දේපොළ විශාල ප්‍රමාණයක් හානිවී රට දැඩි අවිනිශ්චිතතාවයකට ආවා. ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුණා. මේ හැමදේකම නිර්මාපකයා මහින්ද රාජපක්ෂයි. රනිල් වික්‍රමසිංහ ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා ගේ ආරක්ෂකයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *