ලෝකය පිල් බෙදෙයි ,අධිරාජ්‍යවාදී ලෝක යුද අන්තරාය උත්සන්න වේ

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි.

න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක් දෙසට ලෝකය රූටා යමින් පවතින්නේ ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ දැවැන්ත දුර්වලතාවය හා අර්බුදය විසින් ජනනය කර ඇති ජාත්‍යන්තර මහා ප්‍රතිඝතිතතාවයන් මධ්‍යයේය. පසුගිය ශතවර්ෂයේ නිර්මානය කර, නව ශත වර්ශයේ දශක දෙකකට පසු උත්සන්න කෙරුනු මූලික ප්‍රතිඝතිතතාවයක් වන  ජාතික රාජ්‍ය පද්ධතිය නිෂ්පාදන බලවේගයන්ගේ අති මහත් වර්ධනයට දැවැන්ත බාධාවක් ලෙස පැවතීම, එය එම සීමාවෙන් ඔබ්බට ඒකාග්‍රකරනු ලැබූ ලෝක පර්යායක් ද සමාජ නිෂ්පාදනයක් හා සමාජ සමානතාවයේ ක්‍රමයක් ද ඉල්ලා සිටී. එහෙත් අධිරාජ්‍යවාදී පද්ධතිය තවතවත් තම පන්ති අවශ්‍යතා ජාතික රාජ්‍යය තුල ශක්තිමත් කිරීමට උත්සාහ ගනිමින් ප්‍රතිවාදී හා තරඟකාරී ආර්කයන් විනාශ කිරීමත් ඒවා තම ජාතික ධනපති පන්තියේ සූරාකෑමට නතු කිරීමත් කරා ධාවනය කෙරේ. කප්පාදුවට එරෙහිව රටක් රටක් පාසා පන්ති අරගලයට මුහුන දී සිටින පාලක පන්තීන් යුද්ධය පන්ති බලයේ උපකරණයක් ලෙස රට තුලත්, ඉන් පිටතත් යොදා ගනී. යුද්ධය කරා වන වෛෂයික ධාවනයේ පදනම එයයි. 

මෙම වර්ධනයන් යටතේ, දෙවන ලෝක  යුද්ධයේ ම්ලේච්ඡත්වයෙන් පසු නැවත වරක් ලෝකය භයානක ලෙස අක්ෂවලට බෙදෙමින් පවතී. ලෝක යුද තත්වයන්ගේ මෙම වර්ධනය පිලබඳ නිරන්තර අධ්‍යයනය, එය වැළැක්විය හැකි එකම පන්තිය වන ලෝක කම්කරු පන්තියට අත්‍යවශ්‍ය ඉදිරි දර්ශනය සම්පාදනය කිරීම සඳහා තීරනාත්මක ය. මෙම දේශපාලන වාර්තාතාව මූලිකව වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිළිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී පසුගිය සතිය දක්වා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී.

ඇමරිකානු අධිරාජ්‍යවාදය හා නේටෝ බලවතුන් විසින් යුක්‍රේනය තුල රුසියාවට විරුද්ධව ගෙන යන යුද්ධය තෙවන ලෝක යුද්ධයක අන්තරාය තීව්‍ර කරමින් පවතී. ඒ අතරම ඇමරිකාව චීනයට එරෙහි යුද ධාවනය උත්සන්න කර යි. මීට සමගාමීව චීනය හා රුසියාව, වෙළඳපොල ආධිපත්‍යය සම්බන්ධයෙන් වන තම විරසකයන් තිබියදී ම, පොදු සතුරාට එරෙහිව කඳවුරු බඳිමින් සිටී. යුද්ධයේ ඇවිලෙන ගිනි දැල් අතරේ ජර්මනිය හා ජපානය අවසන් මහා යුද්ධයේදී බිම හෙලූ තම අවි මුවහත් කරමින් සිටී. 

යුක්‍රේන යුද්ධය:

යුක්‍රේනය තුළ රුසියානු ආක්‍රමණයේ කිසිදු ප්‍රගතිශීලී අන්තර්ගතයක් නැත.  එහෙත්, විනාශකාරී යුද්ධයේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ නේටෝව රුසියාවේ දේශසීමා දෙසට තල්ලු කළ සහ, රුසියාව අස්ථාවර කිරීමට හා අවසානයේ යටත් කිරීමට යුක්‍රේන හමුදාවට බිලියන ගනන් වත් කළ වොෂින්ටනයට ය.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් මොස්කව් වෙත ආර්ථිකය දුර්වල කරන සම්බාධක පනවා ඇත. එමගින් මොස්කව් ගෝලීය මූල්‍ය පද්ධතියෙන්  ක්‍රියාකාරීව ඉවත් කොට තබා තිබේ.

යුක්‍රේන ආණ්ඩු හා බටහිර බලවතුන් රුසියාවට එරෙහි යුද වියදම් තියුනු ලෙස ඉහල නංවද්දීම, යුක්‍රේනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF)  යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 15.6 ක ණය පැකේජයකට එකඟ වී තිබේ. යුක්‍රේනයේ ආර්ථිකය 2022 දී සියයට 30 කින් හැකිලෙන බව දැකිය හැකිවිය. යුක්‍රේනයේ 2023 වන විට $38 පමන වන අය වැය පරතරය පියවීමට හා $17 පමන වන යුද්ධයෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනයට මුදල් අවශ්‍යව තිබේ.  ඒ අනුව පැහැදිලිවම මෙම IMF ණය ලබා දීම  මූල්‍යමය වශයෙන් කරන යුද ආධාරයකට වඩා දෙයක් නෙවේ. යුද වැදී සිටින රටකට IMF විසින් ණය ආධාර ලබාදෙන පලමු අවස්ථාව ලෙසත් මෙය ඉතිහාසගත වනු ඇත. 

මීට අමතරව, 2022 දී එක්සත් ජනපද කොන්ග්‍රසය යුක්රේනය සඳහා ඩොලර් බිලියන 122 කට වඩා වැඩි මුදලක් වෙන් කළේය.  යුක්‍රේනය සඳහා එක්සත් ජනපද වියදම් වලින් අඩකට වඩා මිලිටරි ආධාර විය.

මෙම ණය ආධාර මගින් සනිටුහන් කෙරුනේ IMF හි විශාලතම කොටස් හිමියා ලෙස එක්සත් ජනපදය ප්‍රධානව  බටහිර අධිරාජ්‍යවාදයේ සමස්තයම රුසියාවට එරෙහිව බලල් අත් සේ යොදා ගෙන යන ව්‍යසනකාරී යුද්ධය පවතින තාක් කල්, ඉදිරි වසර ගනන සඳහා ඔවුන් යුක්‍රේන ආණ්ඩුවට පිටුබලය දීමට සූදානම් බවයි. 

මෙම ණය ආධාර පැහැදිලි කරන්නේ යුක්‍රේනයේ  සමස්ත දේශපාලන ව්‍යුහය දැන් රුසියාව සමග අධිරාජ්‍යවාදී යුද්ධයේ බඝල් අතක් ලෙස එහි භූමිකාව දිගටම කරගෙන යාමට සූදානම් බව යි.  මෙයට ත්‍යාග ලෙස ලැබෙනු ඇත්තේ, යුක්රේන කතිපයාධිකාරයට තවත් අරමුදල්, ආයුධ සහ අවසාන වශයෙන් යුරෝපා සංගමයේ සහ නේටෝවේ සාමාජිකත්වය යි.

මීට සාපේක්ෂව, යුක්‍රේනය කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයේ බර උසුලමින් සිටියි.  ණය ගිවිසුම පිළිබඳව IMF නිවේදනයට පෙර ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා ඇත්තේ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුක්‍රේනියානුවන් මිලියන 8ක්  “දරුණු දරිද්‍රතාවයේ” ජීවත්වන බවයි. 

ඇමරිකානු පීඩනය හමුවේ චීනය හා රුසියාව කඳවුරු බඳියි

පසුගිය සතියේ චීන ජනාධිපති ෂී ජින්පිං මොස්කව් වෙත ගොස් රුසියානු ජනාධිපති පූටින් හමුවී සිය ඉහළ පෙළේ දෙදින සංචාරය අවසන් කලේය.  පුටින් සමඟ පැවති රැස්වීම්වලදී නායකයින් දෙදෙනා ඔවුන්ගේ සහයෝගීතාව “ඉතිහාසයේ ඉහළම මට්ටමට ළඟා වී ඇති” බව ප්‍රකාශ කළ අතර, එක්සත් ජනපදයට එරෙහිව,  එක්සත් ජාතීන්ගේ සංවිධානය මත පදනම් වූ “ජාත්‍යන්තර පද්ධතිය සුරැකීමට” ඔවුන්ගේ අධිෂ්ඨානය ප්‍රකාශ කළෝය.

තම රටවල් අතර දිගුකාලීන ආරවුල් සහ නොඑකඟතා තිබියදී, න්‍යෂ්ටිකටිකද්ධයක අන්තරාය කැඳවා ඇති තීව්‍ර වන එක්සත් ජනපද හා එහි සහචර රාජ්‍යයන්ගේ ආක්‍රමණකාරීත්වයට සහ ප්‍රකෝපකරණයන්ට එරෙහි වීමේ අවශ්‍යතාවය මගින් චීනය හා රුසියාව දෙරට අතර ආර්ථික, දේශපාලන හා මිලිටරි සහයෝගීතාව යළි සකස්කර ගනිමින් සිටී. එය එම පාලන තන්ත්‍රවල දුර්වලතාවයෙන් මිස විශාල ශක්තියකින් ගලා එන්නක් නොවේ. 

දෙරටේ නායකයන්ගේ සාකච්ජා, ද්විපාර්ශ්වික ආර්ථික හා මූලෝපායික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එකඟතාවන් ඇතිකරගැනීම අරමුනු කරගැනුනා පමණක් නොවේ. එය යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය නොසැලකිලිමත් ලෙස තීව්‍ර කරන වොෂින්ටනයේ යුදකාමී ප්‍රචාරණයට හා  චීනය සමග යුද්ධය සඳහා එහි වේගවත් ධාවනයට මුහුන දීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිප්‍රහාරයකි.

දෙරටේ නායකයන් බලකර සිටියේ “එක්සත් ජනපදය තමන්ගේම එකපාර්ශ්වික මිලිටරි අධිකාරිය පවත්වා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහ කලාපීය ආරක්ෂාව සහ ගෝලීය මූලෝපායික ස්ථාවරත්වයට වල කැපීම නතර කරන ලෙස” ය.

එක්සත් ජනපද මාධ්‍ය ෂී ජින්පිං සහ පුටින් “ජාත්‍යන්තර නීති මත පදනම් වූ පද්ධතියට”, එනම් වොෂින්ටනය නීති පැනවූ පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ  පද්ධතියට, තර්ජනයක් බවට දිගින් දිගටම පින්තාරු කරමින් සිටී. 

වොෂින්ටනය රුසියාවට එරෙහි යුද්ධය සලකනු ලබන්නේ, එහි ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය සමග ගැටුමක පූර්විකාවක් වශයෙනි.  යුක්‍රේනය යුද්ධයට කාරනා සකස් කෙරුනු පරිද්දෙන්ම,  බයිඩන් පරිපාලනය උත්සාහ කරන්නේ චීනය සමග යුද්ධයට කඩතුරාව ලෙස තායිවානයට පහර දීම සඳහා බීජිනය තල්ලු කිරීමට ය.

පෙබරවාරි අග, එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධයක් කැඳවන බවට ප්‍රකාශ කරමින් පැවති නියෝජිත මණ්ඩලය ද්විපාර්ශ්වික කමිටුවකදී එහි සභාපති මයික් ගැලගර් පැවසුවේ චීනය සමඟ එක්සත් ජනපදයේ “තරඟය” “ආචාරශීලී” නොවනු ඇති බව සහ, චීනය සමඟ එක්සත් ජනපදයේ ගැටුම “21 වැනි සියවසේ ජීවිතය කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳ ‘පැවැත්මේ අරගලයක්’ වනු ඇති බවත්” ය.

මාර්තු 17න් අවසන් වූ සති අන්තයේ, කොන්ග්‍රසයේ රිපබ්ලිකන් සාමාජිකයින් විශ්‍රාමික එක්සත් ජනපද ජෙනරාල්වරයෙකුගේ නායකත්වයෙන් යුද ක්‍රීඩාවක් ගෙන ගිය අතර, 2025 වන විට චීනය සමඟ පූර්ණ යුද්ධයක් අපේක්ෂා කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේය.

බ්‍රිතාන්‍යය, ප්‍රන්සය සහ ජර්මනිය වැනි නේටෝ සාමාජිකයින් ද ඇතුලුව ආසියාව තුල ද සිය මිලිටරි සන්ධාන ශක්තිමත් කිරීම හා ප්‍රකෝපකාරීත්වය අවුලුවමින් තායිවානය ද ඇතුලුව කලාපය පුරා වේගවත් ආයුධ ගොඩ නැගීමක එක්සත් ජනපදය නිරතව සිටී.  ඒ අතරම, බයිඩන් පරිපාලනය ට්‍රම්ප් යටතේ චීනය මත පනවා ඇති දැවැන්ත තීරුබදු පවත්වා ගෙන යයි.  උසස් ගනයේ අර්ධ සන්නායක සහ ඒ ආශ්‍රිත උපකරණ විකිණීම තහනම් කරමින් චීන අධි තාක්‍ෂණික කර්මාන්ත අඩපණ කිරීමට බයිඩන් උත්සාහ ගනිමින් සිටී.

ට්‍රම්ප්ගෙන් පසුව, බයිඩන් පරිපාලනය නිර්දය ලෙස චීනය සමඟ ආතතීන් උත්සන්න කර තිබේ. එය වසර ආරම්භයේ සිට තායිවානයේ එක්සත් ජනපද හමුදා රැඳී සිටීම තුන් ගුණයකින් වැඩි කර ඇති අතර “ප්‍රජාතන්ත්‍රවාදී” තායිවානය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීමෙන් දශක ගණනාවක් පුරා පැවති “එක් චීනයක්” ප්‍රතිපත්තිය උඩුයටිකුරු කර ඇත.  මිලියන 20කට අධික ජනතාවක් මරා දැමූ ගෝලීය වසංගතය අවුලුවාලීම සම්බන්ධයෙන් වුහාන් වෛරස් විද්‍යා ආයතනයට දොස් පවරන, බරපතල ලෙස අපකීර්තියට පත් වූ, COVID-19 හි මූලාරම්භය පිළිබඳ ගිනි අවුලුවන සුලු “ලැබ් කාන්දුව” නම් කුමන්ත්‍රණ න්‍යාය එක්සත් ජනපද රජය දැන් හුවා දක්වයි.

මොස්කව් හි ෂී-පුටින් සමුලුව, වසර 50කට පෙර එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් සහ ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කිසිංගර් විසින් සෝවියට් සංගමයට එරෙහිව චීනය සමග ක්‍රියාත්මක සන්ධානයක් ද,  එය සමග නව සහයෝගීතාවයක් ද ඇති කර ගත් ඇමරිකානු භූ දේශපාලන මූලෝපායේ අවසානය සනිටුහන් කරයි.  නික්සන් බීජිං වෙත පැමිණ 1972 පෙබරවාරි මාසයේදී මාඕ සේතුං හමුවීමෙන් මෙම ගනුදෙනුව මුල පිරීය.

මාඕගේ ගිවිසුම විසින්, පසුකාලීන දශකවල ආර්ථික ගෝලීයකරණයේ නැගීම මධ්‍යයේ චීනයේ වෙළඳපොල පුනස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. සෝවියට් සංගමය මත මෙම ගෝලීය ක්‍රියාවලීන්ගේ බලපෑම සහ ‘තනි රටේ සමාජවාදය’ නම් ජාතිකවාදී මූලධර්මයේ අර්බුදය ද සෝවියට් සංගමය විසුරුවා හැරීමට තුඩු දුන් අර්බුදය නිර්මානය කළේය.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමටත්, රුසියාව, යුක්‍රේනය සහ අනෙකුත් පැරණි සෝවියට් සමූහාණ්ඩු වෙනම ජාතික රාජ්‍යයන් ලෙස පිහිටුවීමටත්, දැවැන්ත ආර්ථික හා සමාජීය පසුබෑමකටත් අවසානයේ තුඩු දුන් ක්‍රියාවලියකට එක්සත් ජනපදයේ මූලෝපාය පාර කැපීය.  එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග මාඕගේ ගිවිසුම, නිෂ්පාදනයේ ගෝලීයකරණය මගින් රුසියාව තුල සිදුකරනු ලැබූ පරිදි ධනේශ්වර ප්‍රතිස්ථාපන ක්‍රියාවලීන් සඳහා දොර විවර කලේය.

සෝවියට් සංගමයේ අවසානයෙන් වසර 30කට වැඩි කාලයකට පසුව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, අඛන්ඩ ඓතිහාසික පරිහානියකට හා රට තුළ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුණ දෙමින්, පසුගිය දශකය පුරා භූ දේශපාලනික පිළිවෙත ආපසු හරවා ඇත.  දැන් ධනේශ්වර බලවතුන් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය, වොෂින්ටනයට නොඉවසිය හැකි ලෙස එක්සත් ජනපදයේ ආධිපත්‍යය දරන ලෝක පර්යායෙන් යම් තරමක ස්වාධීනත්වයක් රඳවා ගෙන ඇත.  චීන ලාභ ශ්‍රමයෙන් සුපිරි ලාභ ඉපැයීමට උත්සුක වන ඇමරිකානු සහ ජාත්‍යන්තර සංගතවල දැවැන්ත ආයෝජන සහ තාක්‍ෂණය ගලා ඒමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය පිම්බී ගිය චීනය සම්බන්ධයෙන් එය විශේෂයෙන්ම සත්‍ය වේ.

අද එක්සත් ජනපදයට එරෙහිව සාමය ඇති කරන්නා ලෙස ලෝක වේදිකාවේ චීනය ප්‍රක්ෂේපණය කරනු ලබන්නේ ෂී ජින්පිං විසිනි.

ෂි හා පූටින් අතර සාකච්ඡාවේ ප්‍රධාන අංගයක් වූයේ සටන් විරාමයක් සහ දෙරට විනාශ කරන යුද්ධයක් අවසන් කිරීම සඳහා යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා සඳහා පසුගිය මාසයේ බීජිං විසින් ප්‍රකාශයට පත් කරන ලද යෝජනා ය.

අඟහරුවාදා (21), ෂී සමග සාකච්ඡා වලින් පසුව, පුටින් චීන සාම සැලැස්ම වැළඳ ගනිමින්, “බටහිර සහ කියෙව් සූදානම් විටෙක යුක්රේනයේ සාමකාමී සමතයක් සඳහා පදනම ලෙස එය ගත හැකි” බව ප්‍රකාශ කළේය.  නැගෙනහිර යුරෝපයේ නේටෝවේ ආක්‍රමණය පිළිබඳ යන්තම් වෙස්වළාගත් විවේචනයක් තුළ, ඒකාබද්ධ ප්‍රකාශය “මිලිටරි, දේශපාලන සහ වෙනත් වාසි ලුහුබැඳීම සඳහා වෙනත් රටවල නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතාවලට හානි කරන ඕනෑම රටක් හෝ රටවල් සමූහයකට” විරුද්ධත්වය ප්‍රකාශ කලේය.

මොස්කව් දණගැස්වීම සඳහා යුද්ධය භාවිතා කිරීමේ වොෂින්ටනයේ අරමුනු වලට හරහට හිටින බැවින්, එක්සත් ජනපදය චීන සාම සැලැස්ම හෙලා දැක ඇත. එය  පුදුමයක් නොවේ.  රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් “යුක්‍රේන භූමියෙන් රුසියානු හමුදා ඉවත් කිරීම ඇතුළත් නොවන” සටන් විරාමයක් සඳහා වන ඕනෑම ඉල්ලීමක් හෙලා දුටුවේ, එය “රුසියානු ආක්‍රමණය අනුමත කිරීම” සහ “ජනාධිපති පුටින්ට විවේක ගැනීමට සහ ඔහුගේ හමුදා යළි පිහිටුවීමට ඉඩ සලසන” බව පවසමිනි. ”

වොෂින්ටනයේ බලපෑම මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් නිකුත් කරන ලද පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන සඳහන් කරමින්, “යුක්රේනයේ සිදු කරන ලද කුරිරුකම්වලට ක්‍රෙම්ලිනය වගකිව යුතු බවටත්, ඒවා හෙළා දකිනවා වෙනුවට, චීනය එම අපරාධ දිගටම කරගෙන යාමට රුසියාවට රාජ්‍ය තාන්ත්‍රික ආවරණයක් ලබා දෙන බවටත් ” ෂීගේ සංචාරයට දින කිහිපයකට පෙර බ්ලින්කන් චීනය විවේචනයට ලක් කළේය. 

කියෙව් ප්‍රසිද්ධියේ ප්‍රතිරාවය කරන එක්සත් ජනපද ආස්ථානය නොතකා, යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ චීනයේ යෝජනා සම්බන්ධයෙන් “සංවාදයට” තමා විවෘත බවයි. කෙසේ නමුත්, මූලික වටයේ චීනය හා යුක්‍රේන⁣ය අතර  සාකච්ජා සඳහා බ්‍රහස්පතින්දා (23) වන විටත් දින නියම කරගෙන තිබුනේ නැත. 

පූටින් හා ෂී අතර සාකච්චාවල අන්තර්ගත කෙරුනු පුලුල් භූ දේශපාලනික කරුනු අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව අතර AUKUS ගිවිසුම සහ චීනයට එරෙහිව පැහැදිලිවම ඉලක්ක කර ඇති ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීන සැපයීම සඳහා දැන් ප්‍රකාශයට පත් කරන ලද කාලරාමුව පිළිබඳව ඔවුහු “බරපතල කනස්සල්ල” ප්‍රකාශ කළහ.  “කලාපීය සාමය සහ ස්ථාවරත්වයට වල කපමින්, ආසියා-පැසිෆික් රටවල් සමග නේටෝව මිලිටරි ආරක්ෂක සබඳතා අඛණ්ඩව ශක්තිමත් කිරීම” සම්බන්ධයෙන් ද ඔවුහු එම බරපතල කනස්සල්ල ප්‍රකාශ කළෝ ය.

බටහිර වෙළඳ යුද ප්‍රතිපත්ති හා සම්බාධක මධ්‍යයේ දෙරට අතර ආර්ථික සහයෝගීතාවය දැඩිකර ගැනීමට නායකයන් දෙපල එකග වී තිබේ.  චීනය විසින් රුසියානු බලශක්තිය මිලදී ගැනීම සහ මොංගෝලියාව හරහා චීනය වෙත දෙවන ප්‍රධාන ගෑස් නල මාර්ගයක් – සයිබීරියාවේ බලය 2- ගොඩනැගීම, රුසියාව චීනයේ නව න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකාරක කිහිපයක් ඉදිකිරීමට උදව් කිරීම,  “සිවිල් ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිෂ්පාදනය, ෆෙරස් නොවන ලෝහ විද්‍යාව, අභ්‍යවකාශ ගවේෂණ, ජෛව තාක්‍ෂණය සහ ඖෂධ, මෙන්ම අනෙකුත් ප්‍රබල විද්‍යා ක්ෂේත්‍රවල ප්‍රධාන ව්‍යාපෘති ඒකාබද්ධ කිරීම ආදියට ඔවුන් එකඟවී ඇත.

මෙම ආසන්නතම ෂී-පුටින් සමුලුව නිවේදනය කරන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවනු ලබන සහ ශීඝ්‍රයෙන් මතුවෙමින් පවතින ලෝක යුද්ධයක විරුද්ධ කණ්ඩායම් බවට තමන් පත් වීමේ සංඥාව වන නමුත් ඒ සඳහා චීන හෝ රුසියානු පාලන තන්ත්‍රයන්ට කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් නොමැත.

මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධය

සිරියාව තුළ තම අනීතික අත්පත්කර ගැනීම් ශක්තිමත් කර ගනිමින්, සිරියානු ස්වෛරීත්වයට සහ ජාත්‍යන්තර නීතියට පටහැනිව වොෂින්ටනයේ සාපරාධී වාඩිලෑම ආරක්ෂා කිරීම සඳහා ඇමරිකානු ගුවන් හමුදා ආක්‍රමණශීලී ප්‍රහාර මාලාවක් පසුගියදා සිදු කලේය.

බ්‍රහස්පතින්දා (23)රාත්‍රියේ සිරියාවේ නැගෙනහිර පළාතේ ඉලක්ක වලට එරෙහිව ප්‍රහාර එල්ල කෙරිණි. පෙන්ටගනයට අනුව, ඊසානදිග සිරියාවේ හසාකා නගරය ආසන්නයේ එක්සත් ජනපද හමුදා නඩත්තු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන යානයක් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් හමුදා කොන්ත්‍රාත්කරුවෙකු මිය ගොස් එක්සත් ජනපද හමුදා පස් දෙනෙකුට තුවාල සිදු කිරීමෙන් පසු බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නියෝග කළේය .

මෙම ප්‍රහාර සිකුරාදා දින  එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු එල්ලකර ගනිමින් දියත් වුනි. ගුවන් හමුදාව ප්‍රති ප්‍රහාර එල්ල කලහ. සිරියාව තුල ඉරානය ප්‍රොක්සි යුද්ධයකට සැරසෙන බව එක්සත් ජනපද ABC මාධ්‍යය ප්‍රචාරය කරමින් සිටී. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැනඩා සංචාරය තුල කියා සිටියේ ඉරානය සමග ගැටුමක් අවශ්‍ය නැතත්, කලාපයේ රඳවා ඇති ඇමරිකානුවන් ආරක්ෂා කිරීමට පියවර ගනු ඇති බව යි.

එක්සත් ජනපද හමුදා නීති විරෝධී ලෙස සිරියානු භූමිය අල්ලාගෙන සිටිති.  මිලිටරි  කොන්ත්‍රාත්කරුවන් ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් සමඟ, එක්සත් ජනපද භටයින් 900 ක් පමන මෙම වාඩිලෑමේ නියැලී සිටී. තවද, රටින් පිටත යොදවා ඇති විශේෂ බලකායන් විසින් අතිරේකව මෙම වාඩිලාගැනීම වැර ගන්වනු ලැබේ. ඔවුන් සිරියාවේ ඊසානදිග තෙල් බිම්වල යොදවා ඇත. යුද්ධයෙන් විනාශ වූ රටට දැඩි ලෙස අවශ්‍ය බලශක්ති සැපයුම් සඳහා ප්‍රවේශ වලකමින් තිබේ.  මූලෝපායිකව වැදගත් බැග්ඩෑඩ් සිට ඩැමස්කස් දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ ගමනාගමනයට බාධා දමා ඇත.

මෙම වාඩිලෑමේ සාපරාධී ස්වභාවය, සම්බාධක මගින් රට ආර්ථික වශයෙන් ගෙල සිර කිරීමේ වොෂින්ටනයේ උත්සාහයට අමතරව, සිරියානුවන් දහස් ගණනක් මරා දමා මිලියන ගනනක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමට බල කල, පසුගිය මාසයේ ව්‍යසනකාරී තුර්කි-සිරියානු භූමිකම්පාවෙන් ගැඹුරු වී ඇත.

ISIS (ඉස්ලාමීය රාජ්‍යය) හි ඉතුරුපහදු වලට එරෙහිව සටන් කිරීමේ කඩතුරාව යටතේ අඛණ්ඩව වාඩිලෑමේ සැබෑ ඉලක්කය වන්නේ, සිරියානු ආණ්ඩුව, ඉරානයේ පිටුබලය ලබන මිලිටරි කන්ඩායම් සහ ISIS පරාජයකිරීමේ දී තීරනාත්මක භූමිකාවන් ඉටු කළ රුසියානු හමුදාව ය.  ISIS යනු සිරියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා CIA සංවිධානය කරන ලද යුද්ධයේ බළල් අතකි. වොෂින්ටනය ඩොලර් බිලියන ගණන් ආයුධ සහ මුදල් අල්කයිඩාවට සම්බන්ධ මිලිටරි කන්ඩායම් වෙත පොම්ප කළේය. සිය දහස් ගණනක් මරා දැමූ සහ මිලියන ගණනක් සරණාගතයින් බවට පත් කළ ගැටුමක් එය නිර්මානය කළේය.

එක්සත් ජනපද වාඩිලෑම මෙම ම්ලේච්ඡ යුද්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමකි.  එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමකි, එය සිරියානු රජය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කර නැත.  මෙම තත්වයන් යටතේ, මෙම වාඩිලෑමට විරුද්ධ වන සහ එක්සත් ජනපදය සිරියාවෙන් පලවා හැරීමට සහ රටේ ස්වෛරීභාවය නැවත අත්පත් කර ගැනීමට උත්සාහ කරන කන්ඩායම් වල සන්නද්ධ ක්‍රියා සම්පූර්ණයෙන්ම යුක්ති යුක්ත ය.

මෙම ආක්‍රමණකාරී වාඩිලෑම සිදුකෙරෙන්නේ සිරියාවේ පමනක් නොව ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ සහ යේමනයේ ද මිලියන ගණනක් මරාදමා සහ අබල දුබල කරමින් සමස්ත සමාජයන්ම විනාශ කළ කලාපයක මීට පෙර දශක තුනක කාලයක එක්සත් ජනපද අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත්වීම් වලින් පසුවය.

මෙම වාඩිලෑම දමස්කස්හි සිරියාවේ ආණ්ඩුවට සහය පිණිස මැදිහත් වූ රුසියාවට එරෙහිව යුක්‍රේනයේ එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධයට සහාය දැක්වීම කරා ද යොමු කර ඇත. මාර්තු මාසය තුළ සෑම දිනකම Al Tanf එක්සත් ජනපද බලකොටුවට ඉහලින් සන්නද්ධ ජෙට් යානා පියාසර කිරීම මගින් රුසියාව පෙර ගිවිසුමක් කඩ කර ඇති බවට එක්සත් ජනපද හමුදාව කරන චෝදනාවෙන් මෙම සතියේ සෘජු මිලිටරි ගැටුමක තර්ජනය එලිමහනට ගෙනෙන ලදී.

ඒ අතරම, වොෂින්ටනය, මැද පෙරදිග තුල චීනයේ වැඩෙන ආර්ථික හා දේශපාලන බලපෑමට විරුද්ධ වීම සඳහා මැද පෙරදිග එහි මිලිටරි රඳවා තැබීම තව තවත් දැඩි කර තිබේ.

චීනය මැදපෙරදිග කලාපයේ විශාලතම ආයෝජකයා බවට පත් වී ඇත. කලාපය සමඟ චීනයේ සමස්ත වෙළඳාම එක්සත් ජනපදය බෙහෙවින් ඉක්මවා යයි.  2021 දී, චීනය මැද පෙරදිගින් කල තෙල් සහ ගෑස් ආනයනය, එක්සත් ජනපදය මෙන් හතර ගුණයක්, එනම් චීන ආනයන ඩොලර් බිලියන 130ක් වන විට ඇමරිකානු ආනයන ඩොලර් බිලියන 34 ක් විය. එම කලාපයට චීනයේ අපනයන ඩොලර් බිලියන 129 ට සාපේක්ෂව ඇමරිකාවේ අපනයනය ඩොලර් බිලියන 48 කි. එනම් තුන් ගුණයකින් වැඩි විය. 2021 දී පමණක් කලාපයේ චීන ආයෝජන සියයට 360 කින් වැඩි විය.

එක්සත් ජනපදය ඉරාකයට එරෙහිව සිය සාපරාධී යුද්ධය දියත් කර වසර විස්සකට පසු, චීනය විසින් අරමුදල් සපයන ප්‍රධාන ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා දිනකට ඉරාක තෙල් බැරල් 100,000 අපනයනය කරන ගනුදෙනුවක් යටතේ චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහනේ ප්‍රමුඛ හවුල්කරුවන් අතරට ඉරාකය එක් වී තිබේ.

සිරියානු පාලක බෂිර් අල් අසාද් ගේ පාලනයට සහාය පලකරන එම රටවල පාලන තන්ත්‍ර වලට එරෙහිව සිරියාවේ හා ඉරානයේ අල්කයිඩාවට සම්බන්ධ මිලිටරි කණ්ඩායම්වලට සහය දැක්වීමේදී වොෂින්ටනයේ ප්‍රධාන සහචරයෙකු වූ සෞදි අරාබිය සමග  සහයෝගීතාවයකට බීජිනය පියවර ගනිමින් සිටිය දී සිරියාව තුළ එක්සත් ජනපද ක්‍රියාකාරකම්  හදිසියේ පුපුරා යාම අහම්බයක් නොවේ.  

සිරියාව සහ සෞදි අරාබිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බවට වාර්තාවෙන් දින කිහිපයකට පසුව එක්සත් ජනපද මිලිටරි තීව්‍රතාවය ආරම්භ වී ඇත. සිරියාවේ ජනාධිපති අසාද් තමන් පාලනයෙන් එලවා දැමීම සදහා මීට පෙර ඇමරිකාවට පක්ෂව කටයුතු කල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ රාජ්‍ය සංචාර සිදු කිරීමත් සමග මෙම මිලිටරි උත්සන්න කිරීම් සමපාත විය. එක්සත් ජනපදයේ දැඩි පීඩනය නොතකා එකින් එක අරාබි රජයන් සිරියාව සමඟ සබඳතා යළි අරඹයි.

කලාපයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික හා දේශපාලන ආධිපත්‍යයේ පරිහානිය සමනය කිරීමේ උත්සාහයක් ලෙස මැද පෙරදිග තුළ වොෂින්ටනයේ මිලිටරි බලය අඛණ්ඩව භාවිතා කෙරේ. මෙය, යුක්රේනයේ “මානව හිමිකම්” සහ “ජාතික ස්වෛරීත්වය” ආරක්ෂා කිරීම පිළිබඳ සියලු ප්‍රචාරවල තියුනු කුහකත්වය හෙළිදරව් කරන්නේ ය.

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය හා නේටෝව විසින් දියත් කරන ලද ප්‍රොක්සි යුද්ධය නියෝජනය කරන්නේ, යටත් විජිත පන්නයේ වාඩිලෑම්, සමූල ඝාතන සහ වධහිංසා පැමිණවීම මගින් සිරියාව, ඉරාකය සහ සෙසු කලාපවල ජනතාවගේ ස්වෛරීභාවය සහ මානව හිමිකම් බෝම්බ වලින් විනාශභාග් කල දශක ගනනාවක එක්සත් ජනපද මිලිටරි ආක්‍රමණයේ අඛන්ඩව හා භයානක උත්සන්න කිරීමකි.

රුසියාව යුක්රේනයේ යුද කලාපවලින් ළමුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද අපරාධකරුවෙකු ලෙස චෝදනා කර ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC), එහි අඛණ්ඩ වාඩිලෑම සහ බෝම්බ හෙලීම හරහා වොෂින්ටනය ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තම කට වසා ගෙන ඇත.  මෙම අපරාධ ඊට පෙර වසර 30කට වැඩි කාලයක්  එක්සත් ජනපද අධිරාජ්‍යවාදී අපරාධවලට අමතරව ය. 

පසුගිය දශක තුන පුරා සෑම එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුම CIA ඝාතන සහ වධහිංසා වැඩසටහන්, ඒකපාර්ශ්වික සම්බාධක තන්ත්‍රයන් මගින් මිලියන ගණනකගේ ජීවිත බිලිගැනීම සහ ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව හා යේමනය යන රටවලට එරෙහිව කළ යුද්ධ සඳහා යුද අපරාධ නඩු විභාගවල විත්තිකරුවන් කල යුතුව පවතී.

ICC හි අධිකරණ බලය පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති වොෂින්ටනය, එක්සත් ජනපද මිලිටරි නායකයන්ට හෝ දේශපාලකයන්ට එරෙහිව නඩු විභාග කිරීමට උත්සාහ කළහොත්, හේග් උසාවියට විරුද්ධව මිලිටරි බලය යෙදවීමටත්, එහි නීතිවේදීන්ට එරෙහිව ත්‍රස්තවාදීන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සම්බාධක පනවන ආකාරයෙන්ම තහංචි පනවන බවට තර්ජනය කෙරෙන නීති සම්පාදනය කිරීමටත් තරම් දුරදිග ගොස් ඇත. මෙසේ කළේ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද යුද අපරාධ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට ICC නීතිවේදීන්  නිර්භීත වීමත් සමගය.

පෙන්ටගනය මැද පෙරදිග දශක ගණනාවක ආක්‍රමණකාරී යුද්ධවල සිට රුසියාවට සහ චීනයට එරෙහිව නව සහ ලෝක විනාශකාරී න්‍යෂ්ටික යුද්ධ සුදානම් කිරීම වෙත සිය අවධානය යොමු කර ඇතත්, සිරියාව, ඉරානය, ඉරාකය යන රටවල හා සෙසු කලාපයේ ජනතාවට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ හැකියාව තවමත් එයට තිබේ. 

රුසියාව සමග යුද්ධයේ දී වොෂින්ටනයේ අදූරදර්ශී පිලිවෙත් සහ චීනය සමග මිලිටරි ගිනි ගැනීමක් කරා එහි කඩිමුඩියේ දිව යාම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරිහානිය මගින් ප්‍රධාන වශයෙන් ප්‍රකාශයට පත් වන ගෝලීය ධනේශ්වර අර්බුදය තුලින් පැන නගී.  මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ දශක තුනක් අඛණ්ඩව එක්සත් ජනපදය ප්‍රධානකොට මෙහෙයවන ලද යුද්ධ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික හා භූදේශපාලනික ආධිපත්‍යයේ සාපේක්ෂ පරිහානිය නැවැත්වීමට අපොහොසත් වී ඇත. ඇමරිකානු මහාද්වීපය පුරා සහ ජාත්‍යන්තරව සීඝ්‍රයෙන් නරක අතට හැරෙන සමාජ අර්බුදයක් මිලියන ගනනක් කම්කරුවන් මහජන අරගලවලට තල්ලු කරමින් සිටින තතු තුළ, ඇමරිකානු සහ යුරෝපානු අධිරාජ්‍යවාදය ලෝකය පුරා මිලිටරිවාදය හා යුද්ධය උග‍්‍ර කරමින් මෙම සමාජ ආතතීන් පිටතට හැරවීමට උත්සාහ කරයි.

යුද්ධය සඳහා බයිඩන් කැනඩාව සමග සබඳතා තර කරයි 

රුසියාවට හා චීනයට එරෙහි උතුරු ඇමරිකානු අධිරාජ්‍යවාදී සහයෝගීතාව සඳහා බයිඩන් සිකුරාදා (24) කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩො කැනඩාවේදී හමුවිය.  මෙය ඔහුගේ ප්‍රථම කැනේඩියානු නිල සංචාරයයි. යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව සමග නේටෝව විසින් උසිගන්වන ලද යුද්ධය; ඉන්දු පැසිෆික් කලාපයේ සිට ආක්ටික් කලාපය දක්වා චීනයට මුහුණ දීම; උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක විධානය (NORAD) නවීකරණය; යුද්ධයට සම්බන්ධ ආර්ථික පියවර, ‘නීතිවිරෝධී’ සංක්‍රමන වැළැක්වීම සඳහා දේශසීමා ආරක්ෂනය තරකිරීම ආදී භූ මූලෝපායික ගැටළු රාශියක් සාකච්ඡා කිරීම එහි අරමුනු විය.

ප්‍රකාශයට පත් කරන ලද සාකච්ජා  න්‍යාය පත්‍රය අවධාරනය කළේ, විප්ලවවාදී ස්වභාවයේ ගෝලීය කම්කරු පන්තියේ නැගිටීමක් ද අවුලුවා ඇති පෙර නොවූ විරූ ගෝලීය ධනේශ්වර අර්බුදයක කොන්දේසි යටතේ, උතුරු ඇමරිකාවේ නිවුන් අධිරාජ්‍යවාදී බලවතුන් ලෝක යුද්ධය දෙසට අපරීක්ෂාකාරී ලෙස යුහුසුළු වන බව යි.

කැනේඩියානු පාර්ලිමේන්තුවේ මිනිත්තු හතලිහක කථාවේදී බයිඩන් කියා සිටියේ තම දෙරට ජාත්‍යන්තර ප්‍රමිතිවලට පටහැනිව කටයුතු කිරීමට නැඹුරු වී සිටින රුසියාව වැනි ආඥාදායක රටවල් සහිත වඩ වඩාත් භායානක ලෝකයකට, දේශගුණික විපර්යාසන්ට හා වෙනස්වන ආර්ථිකයකට මුහුණ දිය හැකි නොනැවතිය හැකි බලවේගයක්” බව යි. “අපගේ ඉරණම එකිනෙකට බැඳී ඇති අතර ඒවා වෙන් කළ නොහැකි ය, ” බයිඩන් පැවසීය.

මෙම සංචාරය අතරතුර චීනයට විරුද්ධව ඇමරිකානු හා කැනේඩියානු ප්‍රකාශවලින් මතු කෙරෙන ‘කුලප්පුවට’ වහා ප්‍රතිචාරය දෙමින් කැනඩාවේ චීන තානාපති නිලධාරියෙක් කළේ යැයි කල ප්‍රකාශයක් ‘ග්ලෝබල් ටයිම්ස්’ වාර්තා කළේය: 

“කැනඩාව සහ එක්සත් ජනපදය ඇතුළු බටහිර ජාතීන් කුඩා සංඛ්‍යාවක් සීතල යුද්ධ මානසිකත්වයට සහ මතවාදී අගතීන්ට අනුගත වෙමින්, “කුඩා කල්ලිවල” අවශ්‍යතා මත “කණ්ඩායම් දේශපාලනයේ” යෙදී, වෙනත් රටවල ස්වෛරීත්වයට අනවශ්‍ය ලෙස හානි කරන අතර ලෝක සාමය, ආරක්ෂාව සහ සංවර්ධනයට විශාල හානියක් කරයි. ජාත්‍යන්තර පර්යායට ඇති බරපතල, දිගු කාලීන සහ විශාලතම තර්ජනය එයයි.”

වොෂින්ටනය සමග එක්ව, ටෲඩෝ ආණ්ඩුව මෑත මාසවලදී චීනයට එරෙහිව වඩාත් ආක්‍රමණශීලී ආස්ථානයක් ගෙන ඇත.  එය ප්‍රධාන උපායමාර්ගික ආර්ථික අංශවල චීන ආයෝජන තහනම් කර, කැනඩාවේ 5G ජාලයෙන් Huawei බැහැර කර, ධවල මන්දිරය සමඟ සමීප උපදේශනයකින් කෙටුම්පත් කළ බව පුරසාරම් දොඩන ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයක් නිකුත් කර ඇත.

යුද ටැංකි අටක්, ගුවන් ආරක්ෂක පද්ධතියක්, සන්නද්ධ වාහන සහ විශාල පතොරම් ප්‍රමාණයක් ඇතුළුව කැනඩාව ඩොලර් බිලියන 1 කට අධික මිලිටරි ආධාරයක් යුක්‍රේනයට සපයා ඇත.  එය යුක්රේනයට ‘විශේෂ මිලිටරි බලකායන්’ යොදවා ඇත, සංඛ්‍යාව සහ ක්‍රියාකාරිත්වය රහසක් වුවද, 2015 දී යුක්රේන සන්නද්ධ හමුදාවන් ප්‍රතිසංවිධානය කිරීම සහ පුහුණු කිරීම සඳහා එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය හමුදා සමඟ සහයෝගයෙන් දියත් කරන ලද  “යුනිෆයර් මෙහෙයුම” කැනඩාව වේගවත් කළේය.

බයිඩන්ගේ දින දෙකක සංචාරයේදී රටවල් දෙක අතර ආර්ථික සහයෝගීතාවය සඳහා ද ඩොලර් බිලියන සිය ගණනක ව්‍යාපෘති සඳහා ද එකඟතා කිහිපයක්ම ඇතිකර ගෙන තිබේ.

බයිඩ්න් හා ජර්මානු චාන්සලර් රහස් යුධ සාකච්ජා පවත්වයි 

යුක්‍රේන යුද්ධයට වසරක් පිරෙන තැන, මාර්තු 3 සිකුරාදා, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ධවල මන්දිරයේ පැවති පැයක රහසිගත යුද සමුළුවක් සඳහා වොෂින්ටනයට පියාසර කළේය.  ෂෝල්ස් මාධ්‍යවේදීන් නොමැතිව තනිව පියාසර කළ අතර, ඔහුගේ කාර්යමණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකු නොමැතිව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පුද්ගලිකව හමු විය. දෙරටේත්, ලොවපුරාත් කම්කරු, පීඩිත මහජනතාවගේ ඉරනම් ලෙයින් ලියවිය හැකි එම හමුවේ සාකච්ජා වන කිසිවක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ කාන්දු වීමේ හැකියාව බැහැර කිරීමට එක්සත් ජනපද රජයට අවශ්‍ය විය.

හමුව ආරම්භයට පෙර යුක්රේනය සඳහා ජර්මනියේ “අතිශය තීරනාත්මක මිලිටරි සහාය” වෙනුවෙන් බයිඩන් ෂෝල්ස්ට ප්‍රශංසා කාළේය. තම රටතුල දැඩි දේශපාලන ප්‍රතිරෝධය හමුවේ, චාන්සලර්වරයාට එවැනි පිටුබලයක් දීම “ඉතා දුෂ්කර” වූ බව  පිළිගත්තේය. යුක්රේන හමුදා මූලෝපායික නගරයක් වන බක්මූට් හි විශාල පරාජයකට මුහුණ දෙමින් සිටින කොන්දේසි යටතේ, යුද්ධය සඳහා ජර්මනියේ අත්‍යවශ්‍ය සහාය ගොනුකර ගැනීම බයිඩන්ට අවශ්‍ය ය.

ඇමරිකානු හා යුරෝපීය කම්කරු පන්තියට බොරු කියමින් ආණ්ඩු සැලසුම් කරන්නේ කුමක් දැයි යන්න පිළිබඳව අඳුරේ තබා ගන්නා අතර, කුමන ක්‍රියාමාර්ගයක් ගත්තත් එය යුක්ති සහගත කිරීමට දූෂිත, රාජ්‍ය පාලිත මාධ්‍යයට පවරා ඇත.  යුද්ධයට පුලුල්ව පැතිරුනු මහජන විරුද්ධත්වය එක්සත් ජනපද හා යුරෝපීය ආන්ඩු විසින් නොතකා හරිනු ලැබේ.

පිළිතුරු වශයෙන් ෂෝල්ස් යුද්ධය සඳහා බටහිර බලවතුන්ගේ එකමුතුව අවධාරනය කරමින් මෙසේ කීවේය: “මේ මොහොතේ මම හිතන්නේ අපි එය [එක්සත් මිලිටරි මැදිහත්වීම] දිගටම කරගෙන යන බවට වන පණිවිඩය ලබා දීම ඉතා වැදගත් වේ.”

පුද්ගලික හමුවෙන් පසු කිසිදු මාධ්‍ය සාකච්ජාවකට රාජ්‍ය නායකයන් දෙදෙනා මුහුණ දුන්නේ නැත. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ජනාධිපති බයිඩන් හා සහ චාන්සලර්  ෂෝල්ස් යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් “එක්සත් පෙරමුණක්” ප්‍රසිද්ධ කළ බවත්, “චීනය මොස්කව් වෙත ආයුධ සැපයීමට පියවර ගත හැකිය යන උත්සුකයන් මධ්‍යයේ බටහිර සහයෝගය නොවෙනස්ව තබා ගැනීමට පොරොන්දු වූ බවත් ය”.

1944 හිට්ලර් නැඟෙනහිර ප්‍රෘසියාවේ සිය ජෙනරාල්වරුන් හමුවීමට ගිය දා සිට කිසිදු ජර්මානු චාන්සලර්වරයකු මෙම ස්වභාවයේ රැස්වීමකට සහභාගි වී නැත. ඇත්ත වශයෙන්ම, එම රැස්වීමේ රහස්‍යභාවය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන රාජ්‍ය නායකයන් අතර හමුවකට වඩා ෆැසිස්ට් නායකයන් වූ හිට්ලර් සහ මුසෝලිනි අතර යුද කාලීන හමුවීම්වලට වැඩි සාම්‍යයක් දරන බව කෙනෙකුට කිව හැකිය. 

නේටෝව ගැටුම උත්සන්න කිරීමට පසුබට නොවන බවට පුටින්ට අනතුරු ඇඟවීමක්  කිරීම මෙම සමුලුව මගින් අපේක්ෂා කෙරුනි. රුසියානු ජනාධිපතිවරයා නිසැකවම මෙම රැස්වීම එලෙස අර්ථකථනය කරනු ඇත. එය චීන ජනාධිපති ෂී ජින්පිං සහ ගැටුමේ සිටින රුසියාවේ වෙනත් සහචරයින්ට පණිවිඩයක් යැවීමට ද අදහස් කෙරුුුණි

ජර්මනිය හා ජපානය යළි අක්ෂගත වේ

ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ මැදපෙරදිග ඇතුලු කලාපවල යුද්ධ සඳහා මිලිටරි සහාය දෙමින්, ක්‍රමයෙන් තම පශ්චාත් දෙවන යුදකාලීන නිෂ්ක්‍රීය යුද ප්‍රතිපත්තිය අවසන් කර, අඩුතරමින් පසුගිය දශක දෙක හමාරක කාලය තුළ තම මිලිටරි බලය තරකරමින් පැවති ජර්මානු  හා  ජපාන ආණ්ඩු දැන් මහා යුද්ධයෙන් ශතවර්ශ තුන් කාලකට පසු නැවත වරක් දේශපාලන, ආර්ථික හා මිලිටරි සහයෝගීතාවයේ කඳවුරු බැඳීම ආරම්භ කර තිබේ. මෙය අතිශයින් පුලුල් අර්ථ දනවන ප්‍රධාන භූ දේශපාලන වර්ධනයකි.

පළමු ජර්මානු-ජපන් ආන්ඩුවල උපදේශන සඳහා ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මාර්තු 17 සිකුරාදා ටෝකියෝ වෙත ගියේ අමාත්‍යවරුන් හය දෙනෙකු හා ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් ද කැටුව ය.  ආණ්ඩුවේ කවයන්ට අනුව, එවැනි උපදේශන වෙන් කර ඇත්තේ “සමීප සහ උපායමාර්ගික වශයෙන් වැදගත් හවුල්කරුවන්” සඳහාය.  චාන්සලර්වරයා දැනටමත් (පසුගිය අප්‍රේල් මාසයේදී) ජපානයට ගොස් ඇති අතර මැයි මාසයේදී G7 සමුළුව සඳහා නැවත එහි පියාසර කරනු ඇත.  “ජපන්-ජර්මානු සබඳතා වෙන කවරදාටත් වඩා ශක්තිමත් සහ සමීපයි” යනුවෙන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අවධාරණය කළේය.

පසුගිය වසරේ චීනය සමඟ ජර්මනියේ වෙළඳ පරිමාව ජපානය සමඟ මෙන් හය ගුණයකට වඩා වැඩි වූ අතර, එක්සත් ජනපදය සමඟ පස් ගුණයකට වඩා වැඩි විය. රුසියාව සමඟ එය තරමක් වැඩි වී ඇත. ජපානය 2022 දී ජර්මනියේ වෙළඳ හවුල්කරුවන් අතර 18 වැනි ස්ථානයට පත් වූ අතර වෙළඳ පරිමාව යුරෝ බිලියන 45.7 ක් පමනකි. එහෙත් දැන් සබඳතා තරකර ගැනීමට චාන්සලර් වරයා චීනය නොව, ජපානය තෝරාගෙන තිබේ. 

“ආර්ථික ආරක්ෂාව” සඳහා දෙරට අතර සැපයුම් ජාල තර කිරීමටත් ඔවුන් සාකච්ජා කළ බව කිෂිඩා සදහන් කළේය. බැටරි සඳහා දුර්ලභ ඛනිජ වර්ග කැණීම් කිරීමේ හා සහ සූර්ය පැනල නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයා වන චීනය ගැන සඳහන් කරමින් “ආර්ථික බලහත්කාරයට එරෙහිව” ඛනිජ, අර්ධ සන්නායක, බැටරි සහ අනෙකුත් උපාය මාර්ගික ප්‍රදේශ සඳහා සැපයුම් දාම ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජර්මානු ඩීඩබ්ලිව් මාධ්‍යය වාර්තා ක‌ළේ යුක්‍රේනයේ පවතින යුද්ධය ජපානය හා ජර්මනිය තුල ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමේ වැදගත්කම වඩාත් මතුකර ඇති බවට ජපාන අගමැති ප්‍රකාශ කල බවයි.

මේ අතර දෙරටේම ආරක්ෂක අමාත්‍යවරුන් එක්ව නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කර ඇත්තේ කලාපය තුල නව ජර්මානු හමුදා ඛණ්ඩ යොදවනු ඇති බවත් පොදු මිලිටරි අභ්‍යාසවල නිරතවනු ඇති බවත් ය. ඒ සඳහා අදාල නීතිමය ගිවිසුම්වලට එළඹීමට යෝජනා වී ඇත. ෂේල්ස් තවදුරටත් ප්‍රකාශකර ඇත්තේ එලඹෙන වසරවලදී ජර්මානු මිලිටරිය වි ආසියා-පැසිපික් කලාපයේ සංචාරයක නිරතවනු ඇති බව ය.

වසරකට පෙර යුක්‍රේන යුද්ධය ආරම්භයේ සිට රටවල් දෙකම ඔවුන්ගේ ආයුධ අයවැය දෙගුණයකටත් වඩා වැඩි කර ඇත. ජර්මනිය යුරෝ බිලියන 100 ක විශේෂ ආයුධ අරමුදලකට එකඟ වී ඇති අතර වාර්ෂික ආයුධ අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 සිට 2 දක්වා ක්ෂණිකව වැඩි කිරීමට එකඟ වී ඇත. ජර්මානු ආන්ඩුවේ ප්‍රකාශිත ඉලක්කය වන්නේ “යුරෝපයේ ප්‍රමුඛතම මිලිටරි බලය” වීමයි.

ජපානය 2027 වන විට මිලිටරි වියදම් යෙන් ට්‍රිලියන 43 (යුරෝ බිලියන 300) දක්වා වැඩි කිරීමටත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 2 දක්වා මිලිටරි අයවැය දෙගුණ කිරීමටත් සැලසුම් කරයි.  2022 දෙසැම්බරයේදී, ටෝකියෝව නව ‘ජාතික ආරක්ෂක උපාය මාර්ගයක්’ නිකුත් කරන ලද අතර එය “සාමවාදී” ව්‍යවස්ථාවක අවසාන ආවරණයත් ඉවත් කර කලාපයේ තම ආර්ථික ප්‍රතිවාදියා වන චීනයට එරෙහි යුද්ධයට රට සූදානම් කරයි. එය “පෙර නොවූ විරූ සහ විශාලතම උපායමාර්ගික අභියෝගයක්” ලෙස විස්තර කෙරේ.

ආරක්‍ෂක උපායමාර්ගය “ප්‍රතිප්‍රහාරක හැකියාවන්” වේගයෙන් අත්පත් කර ගැනීම අරමුණු කරයි.  නව ප්‍රහාරක ජෙට් යානා, මධ්‍යම දුර මිසයිල සහ අනෙකුත් ආයුධ මගින් ජපාන හමුදාවට චීනය තුළ ගැඹුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මිලිටරි සහ ආයුධ තාක්‍ෂණය සම්බන්ධයෙන් ගත් කල, ජපානය සහ ජර්මනිය යන දෙකම මෙතෙක් එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ මිලිටරි හැකියාවන් බොහෝ වාරයක් ඉක්මවා ඇත. නමුත් දෙදෙනාම උත්සාහ කරන්නේ දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී බලය මත යැපීමෙන් මිදීමටයි.

ජර්මනිය යුරෝපයේ ආයුධ නිෂ්පාදනය සහ මිලිටරි බලය ශක්තිමත් කිරීමට උත්සාහ කරන අතර, දශක ගනනාවක සංයමයෙන් පසු තමන්ගේම ආරක්ෂක කර්මාන්තය පුනර්ජීවනය කිරීමට ජපානයට අවශ්‍යය.  දෙසැම්බරයේදී, එය නව ප්‍රහාරක ගුවන් යානයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඉතාලිය සහ එක්සත් රාජධානිය සමඟ එකඟ විය – එක්සත් ජනපදයේ මැදිහත්වීමකින් තොරව ඇතිකරගත් පළමු ප්‍රධාන ආරක්ෂක සහයෝගීතාවය එයයි

ජර්මනියේ ආසියා ප්‍රතිපත්තිය තුළ ද “නව යුගයක්” නිර්මානය වෙමින් පවතින ප්‍රමාණය වසර 26 කට පසු ජර්මානු රජයේ සාමාජිකයකු විසින් තායිවානයට කළ පළමු සංචාරයෙන් අඟහරුවාදා (21) සනාථ විය.

අර්ධ සන්නායක, විද්‍යුත් කාර් බැටරි, හයිඩ්‍රජන් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගිතාව සාකච්ඡා කිරීමට පර්යේෂණ අමාත්‍ය බෙටිනා සටාක් වැට්සින්ගර් (සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, FDP) දිවයිනට පැමිණියේය. චාන්සලර් කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශය සමඟ සමීපව සම්බන්ධීකරණය කර ඇති බව වැට්සින්ගර් පැවසූ මෙම සංචාරය, බීජිනය විසින් හිතාමතාම ප්‍රකෝප කිරීමක් ලෙස සලකනු ලැබීය.  අවම වශයෙන් වචනයෙන් හෝ ජර්මනිය කැපවී සිටින, One China ප්‍රතිපත්තියේ මෙම උල්ලංඝනයට එරෙහිව චීන විදේශ අමාත්‍යාංශය තියුනු ලෙස විරෝධය දැක්වීය.

දෙරට අතර නව සුහදතාවය ඓතිහාසික මතකයන් අවදි කරයි.  ජර්මනිය සහ ජපානය අවසන් වරට මෙතරම් සමීප මිත්‍රත්වයක් පැවැත්වූයේ දෙවන ලෝක යුද්ධය සමයේදීය.  1936 කොමින්ටර්න් විරෝධී ගිවිසුම සහ 1940 ත්‍රිත්ව-බල ගිවිසුම මගින් ජපානය, ඉතාලිය සමග නාසි ජර්මනියේ වැදගත්ම ජාත්‍යන්තර සහචරයින් බවට පත් විය. නාසීන් සෝවියට් සංගමයට එරෙහිව ඔවුන්ගේ මිනීමරු සමූලඝාතන යුද්ධය දියත් කරද්දී, ජපානය තිරිසන් යුද අපරාධ කරමින් චීනයේ සහ නැගෙනහිර ආසියාවේ විශාල කොටසක් යටත් කර ගත්තේය.

යුද්ධයෙන් පරාජය වීමෙන් පසු දෙරටටම නිරායුධ කිරීමට සිදු විය.  අදටත් නිල වශයෙන් වලංගු එහි පශ්චාත් යුද ව්‍යවස්ථාවේ, ජපානය “සියලු කාලය සඳහා, ජාතියේ ස්වෛරී අයිතියක් ලෙස යුද්ධය සහ ජාත්‍යන්තර ආරවුල් විසඳීමේ මාධ්‍යයක් ලෙස තර්ජනය හෝ බලය භාවිතා කිරීම” මෙන්ම “ඉඩම්,  නාවික සහ ගුවන් හමුදා හෝ වෙනත් යුද මාධ්‍යයක්” නඩත්තු කිරීම අත්හලේය. පශ්චාත් යුද බටහිර ජර්මනියේ සන්නද්ධ හමුදා අවම වශයෙන් නිල වශයෙන් හෝ ආරක්ෂක කාර්යයන් වලට පමනක් සීමා විය.

ජපානය සහ ජර්මන් ෆෙඩරල් සමූහාන්ඩුව (බටහිර ජර්මනිය) 1955 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කළ අතර 1970 ගණන්වල සිට වෙළඳ හා සංස්කෘතික හුවමාරුව වර්ධනය විය. දේශපාලනික වශයෙන්, සබඳතා බොහෝ දුරට ආතතියෙන් තොර වූ නමුත් විශේෂයෙන් සමීප නොවීය.  ‘සීතල යුද්ධය’ අවසන් වීමත් සමඟ දෙරටම ප්‍රහාරක හමුදා පවත්වා ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රතිපත්තියෙන් (military restraint) මිදෙන්නට පටන් ගත්හ. නව සහයෝගීතාවයට දැන් එලඹෙන්නේ ඔවුන් සියලු නීවරණ අතහැර දැවැන්ත ලෙස නැවත සන්නද්ධ වෙමින් සිටින මොහොතකය.

ජර්මනිය, මීට පෙර ආසියාවේ සිය විදේශ ප්‍රතිපත්තිය මූලික වශයෙන් ආර්ථික අවශ්‍යතා සහ චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම මගින් මෙහෙයවීමට ඉඩ දී තිබුණද, දැන් මිලිටරි හා දේශපාලන සලකා බැලීම් සහ චීනය සමඟ ගැටුම කේන්ද්‍රගතව පවතී.

බර්ලින්-ටෝකියෝ මිලිටරි අක්ෂයේ පුනර්ජීවනය තහවුරු කරන්නේ, යුක්රේනයේ නේටෝ යුද්ධය, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් විසින් නියමිත වේලාවට නතර නොකළහොත්, න්‍යෂ්ටික ව්‍යසනයකට තුඩු දෙන බවයි. අධිරාජ්‍යවාදී බලවතුන් අතර ලෝකය ප්‍රචණ්ඩ ලෙස යලි බෙදීමකට පෙර නිමිත්ත වන බවයි.

ලෝකය බේරා ගන්නේ කෙසේ ද? 

අධිරාජ්‍යවාදී බලවතුන් නොසැලකිලිමත් ලෙස මෙහෙයවනු ලබන්නේ ධනවාදයේ නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධතා – එනම් පන්ති ප්‍රතිවිරෝධතා තීව්‍ර කිරීම සහ අමුද්‍රව්‍ය, වෙළඳපොලවල් සහ ලෝක බලය සඳහා අරගලය – විසිනි. අධිරාජ්‍යවාදී බලවතුන් සියවසකට පෙර කළාක් මෙන්, ලෝක යුද්ධය හා ආඥාදායකත්වය කරා ඇදී යයි.

යුද්ධයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් සඳහා වන වෛෂයික කොන්දේසි පන්ති අරගලයේ තීව්‍ර වීමත් සමග ලොව පුරා වේගයෙන් වර්ධනය වෙමින් පවතී.  එහෙත් ආත්මීය වශයෙන්, ධනපතියන් තවමත් වාසිය දරයි: ඔවුන් තම අවශ්‍යතා ගැන දනී, රාජ්‍ය බලයේ ලීවර ඔවුන් අත තබාගෙන සිටින අතර, දක්ෂිනාංශික හා වාමාංශික යැයි කියන පක්ෂවල සිට වෘත්තීය සමිති සහ යුද්ධයට උල්පන්දම් දෙන මාධ්‍ය දක්වා සහායක බලවේග විශාල සංඛ්‍යාවක් ඔවුන් සතුව ඇත. 

න්‍යෂ්ටික සමූල ඝාතනයක් කරා ලෝකය ඇද වැටීම නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ, යුද්ධයට මූලික හේතුව වන ලාභ පද්ධතිය සහ ලෝකය ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන්ට බෙදීම අවසන් කිරීමේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත ඒකාබද්ධ වූ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම හරහා නැඟී සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

26 මාර්තු 2023

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *