ලෝක යුද්ධය වළකමු ! ක්‍රියාකාරී කම්ටු ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනගමු !

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ මැයි දින පණිවිඩය

මෙම මැයි දිනය ලොව පුරා කම්කරු පන්තිය විසින් සමරනු ලබන්නේ ඉස්මතු වෙමින් පවත්නා 3 වන ලෝක යුද්ධයේ ඉමහත් අනතුර හා ලොව පුරා ධනේශ්වර පාලනය විසින් පනවනු ලැබ ඇති ඝෝර ජීවන කොන්දේසිවලට එරෙහිව සටන් වදිමින් සිටින කම්කරු පන්තියේ ප්‍රතිප්‍රහාරය මධ්‍යයේ ය.

තමා විසින් ම නිර්මිත ලෝක පර්යායේ ප්‍රතිවිරෝධයන් සමඟ මේ මොහොතේ පොර බදමින් සිටින සුපිරි ධනපතීන්ගෙන් සමන්විත ප්‍රභූව, ධනේශ්වර ක්‍රමය විසින් නිර්මානය කෙරුනු සියල්ල ද ඇතුලත් සමස්ත පෘථිවියේ අත්‍යන්ත විනාශය සූදානම් කරමින් සිටිති. 

ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තෝරා ගැනීමක් ඉතිරි ව නැත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන ගත කර ඇත්තේ, එහි එක් දිනක් හෝ නොහැර අඛන්ඩව ඒ හෝ මේ යුද්ධයේ පැටලී සිටිමිනි. බෝල්කන් අර්ධ ද්වීපයේ වේවා, ඉරාකයේ වේවා, ඇෆ්ගනිස්ථානයේ හෝ සිරියාවේ වේවා, මේ සෑම තැනෙක දී ම, අහිංසක සිවිල් වැසියන් මරා දැමීමට ඔවුන්ට තමන්ගේ ම හේතු තිබූ අතර, ඒ සම්බන්ධයෙන් තමන් ම නිර්මානය කරගත්, එහෙත් වසර ගණන් ගත වෙත් දී ඒවා පවත්වා ගෙන යාමේ උනන්දුවක් තමන්ට හෝ නොතිබූ ව්‍යාජ යුක්තියුක්ත කිරීම් ද ඔවුන් සතු ව තිබිණ. රුසියාවට එරෙහිව යුක්‍රේනය තුළ බළල් අත් යොදා ගනිමින් දියත් කර ඇති නැටෝ යුද්ධය න්‍යෂ්ටික ගැටුමක හා සමූල විනාශයක තර්ජනය මතු කරයි. චීනයට එරෙහි එක්සත් ජනපද ප්‍රකෝපකරණයන් මෑතක දී උත්සන්න කර ඇති අතර, චීනය සමඟ යුද ගැටුමක් නොවැළැක්විය හැකියැයි එජ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු විවෘතව ම නිවේදනය කරති.  

    

නාසිවාදය පරාජයෙන් ශතවර්ෂ තුන් කාලක් ගෙවී යාමෙන් පසු නැවතත් යුරෝපය, ඇමරිකාව, හා ලෝක ගෝලයේ බොහෝ ප්‍රදේශවලින් නැවත සිය විරූපී හිස ඔසවමින් සිටින ෆැසිස්ට්වාදය සමඟ කම්කරු පන්තිය මුහුනට මුහුණ දී සිටී. තම ෆැසිස්ට්වාදී විභවය පිළිබඳ ව සමාජයේ වඩාත්ම අන්ත-දක්ෂිනාංශික ස්වෝත්තමවාදී කොටස්වලට ඒත්තු ගැන්වීමේ තරඟයක ප්‍රධාන ධනපති පක්ෂ නිමග්න වී සිටී. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩ පැවැත්වෙමින් පවතින අතර, ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයන්’ ලෙස පෙනී සිටින්නෝ එකී අයිතීන් සම්බන්ධයෙන් කෙරෙන අත්‍යන්ත උල්ලංඝණයන් විවෘතව ම ආරක්ෂා කරමින් සිටිති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මේ මොහොතේ පොර බදමින් සිටින්නේ, අද වනවිට ජීවිත මිලියන 21 ක් ඉක්මවා විනාශ කර ඇති කොවිඩ්-19 වසංගතයේ තුවාල තවමත් ලේ ගලමින් තිබෙන අතරතුර ම, ඒ මතට පැටවෙන කප්පාදු පියවරයන්හි ඝෝර ප්‍රතිවිපාක සමඟ ය. ධනේශ්වර ආණ්ඩු, සුපිරි ධනපති ප්‍රභූවට අයත් මිනිසුන්ගේ තුනී සමාජ ස්ථරයක ලාභය සහ ඓශ්චර්යය වෙනුවෙන්, වසංගතය පිළිබඳ ව අපරාධකාරී නොතැකීමක් පවත්වා ගෙන යමින් මෙම දැවැන්ත ජීවිත විනාශයට කැමැත්තෙන් ම ඉඩ දී සිටියෝ ය. මෙකී ම්ලේච්ඡ ආකල්පය හුදු කොවිඩ් 19 වසංගතයට සීමා වූවක් නොව, දුගීන්ගේ ජීවිත පිළිබඳව – සහ යුද්ධය පිඝිබඳව – ඔවුන් දරන පොදු ආකල්පයයි. 

ශ්‍රී ලංකාව තුළ ඇතැම් බරපතල රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනෙන අත්‍යවශ්‍ය ඖෂධවල බැරෑරුම් හිඟයක් පවතින බව දැන් පොදුවේ දන්නා කරුනකි. මෙය හුදෙක් ශ්‍රී ලංකාවට හෝ ඊනියා ‘දියුනු වෙමින් පවතින’ රටවලට සීමා වූ තත්ත්වයක් නොවේ. ලෝකයේ වඩාත්ම බලගතු රටවල ජනයා පවා මුහුණ දී සිටින්නේ එකී ඉරණමට ම ය. (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ඉංග්‍රීසි පිටුවේ 2023 අප්‍රේල් 26 වාර්තාවකට අනුව)  ඇලබාමා සරසවියේ අනුක මූර්තන හා චිකිත්සක අංශයේ අධ්‍යක්ෂ ජොනතන් මැකිනති සඳහන් කරන අන්දමට, “එක්සත් ජනපදයේ පවා ජනයා, මෙම” ඖෂධ “හිඟකමින් මිය යාමට නියමිත බව නිසැක” ය.

අධිරාජ්‍යවාදය ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයක් දෙසට ගමන් කරමින් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කරමින් සිටින අතරතුර, ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊට ප්‍රතික්‍රියා දැක්වීමේ දිශාවට අනවරත ලෙස ගමන් කරමින් සිටී. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මේ තතු විචිත්‍ර ආකාරයෙන් විස්තර කර ඇති ආකාරය පහත උපුටා දක්වමු:

 “ඉහත දශකය තුළ පැවතියේ පන්ති අරගලයේ අනවරත උත්සන්න වීමකි. පන්ති අරගලයේ එක් කැපී පෙනෙන සුලු ලක්ෂණයක් වූයේ එහි ජාත්‍යන්තර ස්වභාවයයි. සන්නිවේදන තාක්ෂණයේ විප්ලවකාරී වර්ධනයන් විසින් විවිධ රටවල කම්කරුවන් අතර පැවැති බාධක දියකර හැරෙමින් පවතී. ඕනෑම එක් සුවිශේෂී රටක ඇති වන සමාජ ගැටුමක්, එය ආරම්භ වූයේ කොතැනක ද යන්න නොතකා, ක්ෂනිකව ම පාහේ ජාත්‍යන්තර ප්‍රේක්ෂක ජනයා දිනා ගනිමින් ලෝක සිදුවීමක් බවට එක පැහැර පත් වෙයි. චිරාත්කාලීන භාෂාමය බාධක පවා, ලේඛන හා භාෂිතයන් ඒවා ලියන ලද හා කථනය කරන ලද භාෂාව කුමක් වුව එය නොතකා ඒවා පරිවර්තන කිරීමට හා අනු පිටපත් කිරීමට සමත් ක්‍රමලේඛයන් හරහා ලෝක ගෝලීය ප්‍රේක්ෂා ගෘහයකට පහසුවෙන් වටහා ගත හැකි පරිදි ජය ගනු ලැබේ.” (WSWS, 08 April 2023) 

මේ ආකාරයෙන් කම්කරු පන්තිය, ජාතික මායිම් ඉක්මවා යමින් පාලක පන්තියේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර දක්වමින් සිටිති. සන්නිවේදන තාක්ෂණයේ නව වර්ධනයන්ගෙන් සන්නද්ධව සිටින ඔවුහු ලෝක ගෝලීය ආර්ථිකයකින් හා ජාතික ආණ්ඩුවලින් සමන්විත පවත්නා ලෝක පර්යායට අභියෝග කරමින් සිටිති. ලාභ ඉපැයීම මත පදනම් වූ ධනේශ්වර පර්යාය සහ අධිරාජ්‍යවාදය, ජනයා සිය ජාතිය, වර්ගය, ආගම හා සමේ වර්නය මත බෙදා වෙන් කරමින්, තාක්ෂණයේ, විද්‍යාවේ, සංස්කෘතියේ, සහ මානව වර්ධනයේ කවර හෝ සංවර්ධනයක් ඇති වීමට එරෙහිව විවෘතව ම බාධක පනවමින් සිටිති. ධනපති පන්තියට හා, එකී පන්තිය කම්කරුවන් සඳහා සූදානම් කරමින් සිටින කුරිරු ප්‍රහාර සම්බන්ධයෙන් කම්කරුවන් නොමඟ යවමින් ඔවුන් අතර පන්ති සහයෝගීතාවයේ දේශපාලනය ප්‍රවර්ධනය කරන සියලු ධනපති ඒජන්තයන්ට එරෙහිව අත්‍යවශ්‍ය හා මඟ හැර යා නොහැකි අවශ්‍යතාවය ව පවතින්නේ කම්කරුවන්ගේ සංවිධානාත්මක උපකරණය නිමවා ගැනීමයි.     

හාමත, මරණය සහ විනාශය රැගත් වර්තමානයේ දිග හැරෙමින් පවතින සමාජ අර්බුදයට තමාගේ ම විසඳුම පිලිබඳ ව සාකච්ඡා කරමින්, විවාද කරමින් හා සටන් වදිමින්, සුපිරි ධනපතීන්ගේ හා මූල්‍ය කතිපයාධිපත්‍යයේ ලෝක පර්යාය වන අධිරාජ්‍යවාදයේ කුරිරු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දීමට තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු (සාමාන්‍ය කම්කරුවන්ගේ කමිටු) ආකාරයෙන් ස්වකීය සංවිධාන පිහිටුවා ගන්නා ලෙස කොළඹ ක්‍රියාකාරී කමිටුව මුලු රට පුරාත්, ලෝක ගෝලය පුරාත් සියලු කම්කරුවන්ට කැඳවුම් කරයි.  

2023 මැයි දිනය සමරමින්, ධනේශ්වර ප්‍රහාරවලට මෙන්ම ලෝක යුද්ධයක් කරා කෙරෙන ප්‍රයානයට ද එරෙහිව ස්වකීය ප්‍රතිප්‍රහාරයේ ක්‍රියාකාරකම් හා වැඩ පිළිවෙල පිළිබඳ ව සාකච්ඡා කිරීමට තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු, කම්හල් හා නිවහන් ප්‍රදේශ කමිටු ගොඩ නැඟීමටත්, එකී ප්‍රහාරවලට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩ නැඟීම සඳහා සිය ජාත්‍යන්තර සහෝදරයන් සමඟ එක්සත් වීමටත් නැඟී සිටින ලෙස තොළඹ ක්‍රියාකාරී කමිටුව ශ්‍රී ලංකාව තුළ හා සමස්ත ලෝකය පුරා සියලු පන්ති සහෝදරයන් හා සහෝදරියන්ට කැඳවුම් කරයි.    

එවැනි සන්ධානයක් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව දැනටමත් කර ඇති කැඳවීමට පූර්න සහයෝගය පල කරන අපි, කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගී ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමෙහි ලා එක්සත් හා පොදු ක්‍රියාමාර්ග ගැනීමට හජාජාකයේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයට (සසප) අප ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නැයි එම පක්ෂයෙන් ඉල්ලා සිටිමු.

අධිරාජ්‍යවාදී යුද ප්‍රයත්න භංග වේවා!

ලෝකයේ කම්කරුවනි, එක්වව්!!

ඡායාරූප අනුග්‍රහය ලෝසවෙඅ    

#CACPS #theSocialistLK  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *