වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රමුඛ සංස්ථාපිතය කම්කරුවාට එරෙහි අශුද්ධ සංධානය

සංජය ජයසේකර විසිනි.

Protest
“සේවක අරමුදල් කොල්ලය වහා නවතනු!” ජුලි 25 කොලඹ කොටුව අසල නිදහස් වෙලද කලාප සහ පොදු සේවා සේවක සංගමය උද්ඝෝෂනයක් පැවැත් වීය (ජායාරූපය :ෆේස්බුක්)

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම (දේනප්‍ර) නොහොත්  ප්‍රශස්තිකරනය යන ප්‍රෝඩාකාරී වචන යට සඟවා කම්කරුවාගේ අවසාන ඉතිරි කිරීම් ද මංකොල්ල කෑමේ පියවර රනිල් වික්‍රමසිංහ ආන්ඩුව පසුගියදා තැබුවේය. ආන්ඩුවේ දේශීය නය වලින් වැඩි ප්‍රතිශතය බැංකු හා මූල්‍ය සමාගම් විසින් දරන තතු යටතේම, ඒවාට අතක්වත් නොතබා, මූල්‍ය වෙලඳපොල වසා දමමින් හා ඉතිහාසයේ දීර්ඝතම දින පහක බැංකු නිවාඩු ලබා දී කුමන්ත්‍රනය කරන ලද මහ බැංකු අධිපතිවරයාගේ සැලැස්ම යටතේ, ආන්ඩුව කම්කරු මහජනතාවගේ අවසාන බලාපොරොත්තුව වන සේවක අර්ථසාධක අරමුදල (ඊපීඑෆ්) හා සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) යන අරමුදල්වලට දැවැන්ත පාඩු ගෙන එමින්  ඊනියා ප්‍රශස්තිකරන සැලැස්ම ⁣කැබිනට්ටුවේ සම්මත කරනලදී.  එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමෙන් පසු රටේ ඉහලම අධිකරනය ද, මෙම සැලැස්මට එ⁣රෙහිව යැයි කියමින් ගෙනෙන ලද නඩු කටයුතු ද වැඩි දුර නොඅසාම විසිකර දැමුවේය. 

අශුද්ධ සංධානය

මේ ආකාරයෙන් සමස්ත ධනපති සංස්ථාපිතයම – විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය – කම්කරු පන්තියට එරෙහිව ලේ උරා බොන සංධානයකට එලඹ ඇත්තේය. 

නඩු කටයුතු ශ්‍රේෂ්ඨාධිකරනය තුල විභාග වෙමින් පවතිද්දීම ඊනියා පාර්ලිමේන්තු වරප්‍රසදවලට මුවා වෙමින් අගෝස්තු 9 දින පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා  සිටියේ පාර්ලිමේන්තු පටිපාටිය අධිකරනයට ප්‍රශ්න කල නොහැකි බැවින්, පාර්ලිමේන්තුව විසින් ‘නිසි පරිදි’ සම්මත කල පසුව ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුලු කිසිදු  අධිකරනයකට දේනප්‍ර සැලැස්ම පිලිබඳව කිසිදු ආකාරයක නියෝග නිකුත් කිරීමේ අධිකරන බලයක් නොමැති බවය. 

එදිනම ශ්‍රේෂ්ඨාධිකරනය ජාතික ජන බලවේගය ගොනුකල නඩුවක් ඇතුලු නඩු හතක් විසිකර දැම්මේ ය. අනෙක් නඩුව 11 දා බැහැර කෙරුනි.  ඒ කිසිදු හේතු දැක්වීමකින් තොරව මුල් අවස්ථාවේම ය.

අධිකරනයේ නඩුව ඇසෙමින්  පවතින අතරතුර මහ බැංකුව හා මූල්‍ය මන්ඩලය ද, අරමුදල්වල භාරකාර පාලකයන් ද උසාවිය තුල පෙනී සිටියේ ලක්ෂ 25කට වැඩි සාමාජික කම්කරුවන් හෙවත් තැන්පත්කරුවන් වෙනුවෙන් නොව ආන්ඩුවේ බැංකු ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙල වෙනුවෙනි. වැටත් නියරත් ගොයම් කා දමා ඇත.

උසාවියට නියෝග

අධිකරනය දේනප්‍ර සැලැස්මට ඇඟිලි නොගැසිය යුතු බවට වික්‍රමසිංහ අගෝස්තු  මුලදීම විවෘත අනතුරු ඇගවීමක් කලේය. පොල් වගා කරුවන්ගේ සංගමයේ රැස්වීමක දී අන්ඩුවේ නය “ප්‍රශස්තකරනයට” බාධා පැමිනවීම සඳහා යම් පාර්ශවයන් අධිකරන නියෝග අයැද ඇතැයි සඳහන් කරමින්  ඔහු කියා සිටියේ මෙසේය:

“රජයේ මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට, වෙන කාටවත් නොවෙයි. මේ වැඩසටහන පාර්ලිමේන්තුව සම්මත කරල තියෙන්නෙ…ජනතාවගෙ පරමාධිපත්‍ය බලය යටතෙ ජනතාවගෙ අධිකරන බලය දීල තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව දෙන යෝජනා, නීති අනුව තමයි ආන්ඩුව ක්‍රියා කරන්න යන්නෙ. මේ කරන කටයුතු අපි නවත්වන්නෙ පාර්ලිමේන්තුව කිව්වොත් විතරයි. නැත්තං ඒක ඉදිරියට ගෙනියනවා. මොකද බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ. බලය පාර්ලිමේන්තුවෙ තියෙනව නම් අපිට වෙන කාගෙන්වත් උපදෙස් ගන්නත් බෑ, නියෝග ගන්නත් බෑ… විශේෂයෙන් මේ නය ප්‍රතිව්‍යුහගතකරනයෙදි අපි වගකියන්නෙ පාර්ලිමේන්තුවට විතරයි.”

වික්‍රමසිංහගේ මෙම ප්‍රකාශය අධිකරනයේ තීන්දු වලට බලපෑම් කිරීමේ හිටපු විධායක ඒකාධිපති පාලකයාගේ වැඩ කටයුතු සිහි කැඳවයි. බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 අග ජනාධිපති ලෙස පත් වීමෙන් පසු මුල් අවධියේ සිටම අධිකරනයට විවෘතවම කියා සිටියේ තම ආර්ථික ප්‍රතිපත්ති වලට අකුල් හෙලන ලෙස අධිකරනය නොහැසිරිය යුතු බවයි. 

ධනපති දේශපාලකයන් කියා ඇති පරිදි පාර්ලිමේන්තුව හා අධිකරනය අතර ඝට්ඨනයක් ඇතිවී ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය වීම වැලැක්වීම අධිකරනයේ උත්සුකය වීය යන්න අමූලික බොරුවකි. සත්‍යය නම් පාලක සංස්ථාපිතයේ කොටසක් ලෙස ආන්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්‍තිය ක්‍රියාවට දැමීම අවහිර නොකිරීමට අධිකරනය පරිස්සම් වී ඇති බවය.

පාර්ලිමේන්තු සම්මතය

ජුලි 1 වන දින දේනප්‍ර සැලැස්ම පිලිබද මෝසම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේදී වික්‍රමසිංහ රඳා සිටින සිංහල  ස්වෝත්තමවාදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (එස්එල්පීපී) මන්ත්‍රීවරු එයට පක්ෂව චන්දය දුන්හ. මන්ත්‍රීන් 122 ක් ඊට පක්ෂව ඡන්දය දෙමින් එය වැඩි ජන්ද 60 කින් පාර්ලිමේන්තුවේ සම්මත විය. මෙසේ ව්‍යවස්ථාවට අනුව එය නීතියක් වන්නේ නැති නමුත්, එය පාර්ලිමේන්තුව විසින් අනුමත කල ආන්ඩුවේ ප්‍රතිපත්තියක් වේ.

කප්පාදුවේ තරම හා ස්වභාවය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ඩොලර් බිලියන 2.9ක ඇප නය ලබාගැනීමේ සිව් අවුරුදු කප්පාදු ඇතුලු නය ස්ථායීකරනය හා ආර්ථික ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහනේ කොටසක් ලෙස විදෙස් නය හිමියන් සමග එලඹෙන ගනුදෙනුවේ දී ආන්ඩුවේ දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීම නොවැලැක්විය හැකි කොන්දේසියක් ලෙස ආන්ඩුව ක්‍රියාවට දමා ඇත. මෙම ක්‍රියාදාමය සම්බන්ධ අයිඑම්එෆ් මීලඟ ඇගයීම සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබේ. ආන්ඩුව එයට සූදානම් වෙමින් සිටී.

පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවියට අනුව විශ්‍රාම වැටුප් (superannuation) අරමුදල් ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රමානයෙන් දරන්නේ 43%ක් පමනකි. සෙසු 57%ක ප්‍රමානය බැංකු, රක්ෂන ආයතන හා වෙනත් පාර්ශව විසින් දරනු ලබයි. මෙම සැලැස්ම යටතේ ඊපීඑෆ් හා ඊටීඑෆ් බැඳුම්කර වල කල් පිරෙන කාලය 2038 දක්වා දීර්ඝ කෙරෙනු ලැබෙන අතර කල් පිරෙන තෙක් ගෙවන පොලී අනුපාතය 2025 සිට 9% ක, එනම්, සෙසු බැඳුම්කර වලට සාපේක්ෂව ඉතා පහල හා ස්ථාවර අගයක, රඳවා ගැනීමට නියමිතය. එම කාලය තුල ඊපීඑෆ් අරමුදලට, එනම් අරමුදලේ සාමාජික කම්කරුවන්ට, සිදුවන අතිමහත් අලාභය රුපියල් බිලියන 12000ක් පමන වනු ඇති බව ගනන් බලා තිබේ. 

බැංකු ගලවා ගැනීම

දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) 64.6%ක් හෙවත් ඩොලර් බිලියන 42ක් වන භාන්ඩාගාරයේ දේශීය නය ප්‍රමානය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක ඉතුරුම් ගිනුම් පමනක් දංගෙඩියට යැවීමේ පාලක පන්තියේ තීන්දුව සම්බන්ධයෙන් මූල්‍ය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවට කීවේ, “2023 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් (ජීඩීපී) දැනට පවතින 128%ක නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් 95% දක්වා අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම මගින් නියම කර ඇති ඉලක්කය සපුරාලීමට මෙම නය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය” බවයි.

අපි මෙය කරන්නේ බැංකු, තැන්පත්කරුවන් සහ විශ්‍රාම වැටුප් ආරක්ෂා කරමින්,” යනුවෙන් සේමසිංහ කියන විට විශ්‍රාම වැටුප් ආරක්ෂා කිරීම සමිබන්ධව ඔහු බොරු කියයි. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ම මෙම බොරුව ජනගත කිරීම සඳහා විශාල වෙහෙසක් ගත්තේය. සත්‍යය නම්, ජුලි අග වීරසිංහ කැබිනට්ටුවට පැහැදිලි කිරීමේදී ම කියා ඇති පරිදි, සියල්ල කරනු ලැබ ඇත්තේ අර්බුදය මධ්‍යයේම දැවැන්ත ලාභ ගැරූ බැංකු හා මූල්‍ය සමාගම් ආරක්ෂා කිරීමට ය යන්නය.  

මාලදිවයින, නේපාලය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆරිස් හඩාඩ් සර්වොස් ජුලි 18 කොලඹ පැවති මාධ්‍යවේදීන් හමුවේ කරන ලද දේශනයකින් පසුව මෙම ලියුම්කරු ඔහුගෙන් මෙසේ විචාලේය: “ආන්ඩුවේ සමස්ථ දේශීය නය ප්‍රතිශතයෙන් වැඩි කොටසක් බැංකු හා මූල්‍ය ආයතන සතුව පවතිද්දී සේවක ඉතුරුම් අරමුදල් වලට පමනක් අලාභ වන පරිදි නය ප්‍රතිව්‍යුහගත කිරීම ඔබ දකින්නේ කෙසේ ද?” ඔහුගේ පිලිතුර සේමසිංහ හා වීරසිංහ උච්චාරනය කරන භාෂාවේ නිරුක්තිය සනිටුහන් කලේය: “ඒක ආන්ඩුව හා නයකරුවන් අතර තීන්දුවක්. කුමක් උවත් වැදගත් වන්නේ බැංකු පද්ධතිය බේරා ගැනීම යි.” 

සූරාකෑමේ න්‍යායපත්‍රයක් 

කම්කරුවාගේ අවසාන ඉතුරුම් ද ඇපයට තබමින් බැංකු හා මූල්‍ය සමාගම් පද්ධතිය ආරක්ෂා කරන වික්‍රමසිංහගේ ආන්ඩුව, වැඩකරන මහජනතාව වෙත හෙන පිට හෙන පාත් කිරීම සඳහා, දැනටමත් ඉදිරිපත් කර ඇති නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමට අර්බුදය යහමින් ගසා කමින් සිටී. 

පොලිස් හා මිලිටරි යාන්ත්‍රනය ද මෘග ලෙස යොදා ගනිමින්, වික්‍රමසිංහ තම වැඩපිලිවෙල නොසඟවා ඉදිරිපත් කර විටින් විට අවධාරනය කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනයට ලක් කරමින්, කම්කරු නීති ලිහිල් කරමින් සූරාකෑමේ කොන්දේසි ශක්තිමත් කරන බවට දේශීය හා විදේශීය ධනපති ආයෝජකයන්ට දී ඇති තම සහතිකය ස්ථාවර කිරීමටයි.   

ගිය බදාදා (16), කොලඹ තේ වෙලඳුන්ගේ 129 වන වාර්ෂික සමුලුවේදී, ලංකාවේ පුමුඛ ම ධනපති සූරාකන්නන් කොටසක් ඉදිරියේ වික්‍රමසිංහ කල ප්‍රකාශය පාලක පන්තියට දුන් නිශ්චිත පොරොන්දුවකි. ඔහු මෙසේ කීවේය:

“අද අපට ආර්ථික වශයෙන් සහ නියාමන වශයෙන් රජය විසින් ආධිපත්‍යය දරන ආර්ථිකයක් පවත්වාගෙන යා නොහැකියි.  නියාමනය ඉවත් කර පුද්ගලික ව්‍යවසාය [ආර්ථිකය] භාර ගත යුතුය.  ඒක තමයි අපි ඉලක්ක කරන්නේ.”

ජවිපෙ පන්ති අරගලයට ඇබ ගසයි

ප්‍රධාන විපක්ෂය වන  දක්ෂිනාංශික සමගි ජන බලවේගය (සජබ) සේම අයිඑම්එෆ් කප්පාදු පිලිවෙත ආරක්ෂා කර ඇති ජනතා විමුත්කි පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බල වේගය (එන්පීපී) ද  පාර්ලිමේන්තුවේදී දේනප්‍ර සැලැස්මට විරුද්ධව ජන්දය දීම ප්‍රෝඩාවකි. ආන්ඩුව, මහ බැංකු අධිපති හා අධිකරනය සේම ධනපති මූල්‍ය හා බැංකු පද්ධතිය කඩා නොවැටීම තහවරු කිරීමට මෙම පක්ෂ බැඳී සිටී. 

ධනපති ලිබරල් පාර්ලිමේන්තුවාදය ආරක්ෂා කිරීමට ලංකාවේ හා විදේශ ආයෝජකයන්ට හා වෙලඳ සංගම්වලට අයත් පාලක ප්‍රභූවට ශපත කර ඇති ජවිපෙ, අධිකරනය තුල “යුක්තිය” පිලිබඳ ව්‍යාජයන් උත්කර්ෂයට නංවමින්, කම්කරු මහජනතාවගේ ඉතුරුම්වල ඝාතකයන්ට එරෙහිව බංකොලොත් නාටක රඟ දැක්වූයේ කම්කරුවන්ගේ දැවෙන ප්‍රතිරෝධය අවසාන වශයෙන්  භූමදානය කිරීමට උත්සාහ ගනිමිනි. ජවිපෙට අයත් හා සෙසු වෘත්තීය සමිති සුපුරුදු ලෙස ව්‍යාජ සාකච්ජා හා විරෝධතා උද්ඝෝෂන මගින් කම්කරුවන්ගේ වැඩෙන අරගල දේශපාලනික සටනක් දක්වා වර්ධනය වීම සිරගතකර තැබීමේ ක්‍රියාන්විතයක නිරතව සිටී.

විශ්‍රාම වැටුප රැකගන්නේ කෙසේද? 

ප්‍රංශය, බ්‍රිතාන්‍යය ඇතුලු ප්‍රධාන ධනපති රටවල සිට ලංකාව වැනි රටවල් දක්වා පවතින ආන්ඩුවල මෙම සමාජ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්ති මගින් සෑම රටකම කම්කරු පන්තිය තල්ලු කරමින් පවතින්නේ, තම අතට දේශපාලන බලය ලබා ගැනීම සඳහා සටන් කිරීම හැර විදෙස් නය අවලංගු කොට, කප්පාදුව, පුද්ගලීකරනය හා යුද්ධය නතර කිරීමේ අන් මාවතක් නැති බව වටහා ගැනීම කරා ය. 

අධික බදු, බඩු මිල හා සේවා ගාස්තු මගින් මිරිකනු ලැබ ඇති වැඩකරන මහජනතාවගේ විශ්‍රාම වැටුප ආරක්ෂා කර ගැනීමේ අරගලය, එකී බලය සෑම කර්මාන්ත ශාලාවකම, වැඩපොලකම, සේවා ස්ථානයකම ද්වි-බලයක් ලෙස ගොඩනැගීම මගින් පෙරට ගත යුත්තේය. ඒ සඳහා වෘත්තිය සමිති-ආන්ඩුව-සමාගම් යන තුන් කට්ටුවට එරෙහිව ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය. එම කමිටුවල ජාතික සංධානයක් මගින් මහා වැඩවර්ජනයක් සූදානම් කිරීම තීරනාත්මක දේශපාලන පියවරක් වන්නේය.

ප්‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *