විජේ ඩයස් සහෝදරයාගේ චරිතාපදානය ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ හා ලාංකීය කම්කරු පන්තියේ නූතන ඉතිහාසය සනිටුහන් කරයි

නන්දන නන්නෙත්ති විසිනි

තරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව ලෙස 1968 දී ආරම්භ කල, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) පුරෝගාමී නායකයෙකු මෙන් ම, 1987 සිට එහි ප්‍රධාන ලේකම් ලෙස භාරගත් වගකීම යටතේ සංගමය 1996 දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) නමින් පක්ෂයක් බවට පරිවර්තනය කළා වූ ද, එවක් පටන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරය මරනය දක්වා දැරුවා වූ ද විජේ ඩයස් සහෝදරයාගේ අභාවයෙන් පලමු වර්ෂ පූර්න අනුස්මරනය වෙනුවෙන්, 29දා, කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත් වූ රැලිය පිලිබඳ සමාලොචනයක් කම්කරු පන්තියේ හා තරුනයන්ගේ දේශපාලන විඥානය වර්ධනය සදහා අත්‍යවශ්‍ය මැදිහත්වීමක් ලෙස සැලකිය යුතු ය. 

එමෙන් ම, 27දා බොරැල්ල සුසාන භූමියේ දී මහජනයා සදහා විවෘත කල, විජේ සහෝදරයාගේ හා ඔහුගේ සමස්ථ දැනුවත් දේශපාලන ජිවිතයේ නොවෙන් කල හැකි සටන් සහායිකාව, යෙහෙලිය, සහෝදරිය හා පියඹ වූ පියසීලී විජේගුනසිංහ සහෝදරියගේ ද මතකයන් සංකේතවත් කල ස්මාරකය සමාජවාදී සංස්කෘතියේ පුරාවෘතයක් වන් විජේ- පියසීලි සංකලනය වෙනුවෙන් උචිත උපහාරයකි. එසේ වුව ද උක්ත රැස්වීමේ දී මෙම සංස්කෘතික සහසම්බන්ධය ගැන වචනයක් හෝ ප්‍රකාශ නො වීම නො තකා සිටිය නො හැකි මග හැරීමකි යි අපි සිතමු.

plaque
විජේ හා පියසීලි වෙනුවෙන් බොරැල්ල කනත්තේ පිහිටුවා ඇති සමරු ථලකය

රැලිය කැදවන ලද්දේ සසප හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සදහාජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය විසිනි. ඊට සහභාගී වීම සදහා පක්ෂයේ සහෝදර සහෝදරියෝ, හිතවත්තු, විජේ සහෝදරයාගේ ඥාතීහු, ඇතුලු පිරිසක් දිවයිනේ විවධ ප්‍රදේශවලින් පැමින සිටියහ.   

ජාත්‍යන්තර කමිටුවේ සුබ පැතුම් පනිවිඩ ට්‍රොට්ස්කිවාදි ජාත්‍යන්තරවාදය වෙනුවෙන් විජේ සහෝදරයාගේ කැප වීමට උපහාර දක්වා තිබිනි. විජේගේ චරිතාපදානය ජාත්‍යන්තර කමිටුවේ හා ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන අරගලයේ නූතන ඉතිහාසය සනිටුහන් කරන බව සනාත කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝත් සහෝදරයා විසින් එවන ලද  සුබපැතුම් පනිවිඩය සුවිශේෂී වගකීමක් පක්ෂය හමුවේ තැබී ය.

සිය දශක අටක ජීවිතයෙන් දශක හයක ස්ටැලින්වාදයට, පැබ්ලෝවාදී අවස්ථාවාදයට, නේකාකාර සුලු ධනපති වාර්ගික, ජාතික හා ආගමික අපගමනයන්ට, වෘත්තීය සමිතිවාදයට, සහ  අවසානයේ ව්‍යාජ වාම පෙරමුනුවලට එරෙහිව නොනවතින විප්ලව ක්‍රියා මාර්ගය උදෙසා න්‍යායික හා ප්‍රායෝගික භාවිතයක නියැලෙමින්, බාහිර මෙන් ම අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් සමග පෙරමුනේ සිට ගැටුනු ජීවිතයක ක්‍රියා කලාපය එහි මරනයෙන් අවසන් කරනු ඇතැයි සිතනු හැකි වන්නේ කාට ද?

රැස්වීමේ මුලසුන දැරූ සසප දීර්ඝ කාලීන මධ්‍යම කාරක සභිකයෙක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලංකාවේ කර්තෘ වන වන කේ. රත්නායක සහෝදරයා සිය හැඳීන්වීමේ දී පවසා සිටි පරිදි ම, විජේ සටන් වැදුනු “ඉදිරි දර්ශනය විමසා පාඩම් උකහා ගැනීම, පක්ෂය හා තරුන සංවිධානය ඉදිරි වැඩ කටයුතු සදහා පන්නරය ගන්වා ගැනීමට” කල යුතු ඉමහත් වැදගත්කමක් දරන කාර්යයකි. කෙසේ වෙතත් හුදෙක් ජාත්‍යන්තරවාදයට කැප වීම වැනි වියුක්ත සඳහන් කිරීම්වලින් එහා යමින් ඔහුගේ ජීවිතයේ අනුගමනය කල මාක්ස්වාදී මූලධර්ම ගැන අවබෝධයක් රැස්වීම තුලින් ඊට උචිත පරිදි  ඇති නොකිරීම සැලකිල්ලට ගැනීම අවශ්‍යය. පන්ති අරගලයේ නව කාල පරිච්ඡේදයක් වන මෙම වකවානුව තුල අවශ්‍යයෙන් ම විජේ පදනම් වූ මූලධර්මයන්ගේ මූලයන්ට ගමන් කර පාඩම් උකහා ගැනීම තීරනාත්මක යයි පවා කිව හැකි ය. 

rathnayaka
කේ. රත්නායක

පැබ්ලෝවාදී පිරිහීමේ පාඩම් උකහාගෙන, 1964 ලංකා සමසමාජ පක්ෂය ධනපති සභාගයට ඇතුලු වෙමින් කල පාවා දීමේ මූලයන් වටහා ගනිමින්, ඊට එරෙහිව ජාත්‍යන්තරවාදී ඉදිරී දර්ශනය මත ස්ථිරසාරව පිහිටා කම්කරු පන්තිය බලය ගැනීමෙන් මෙපිට ධනවාදී පීඩනය ජය ගත හැකි මාවතක් නැති බව විජේ වටහාගත්තේ යයි සියලුම කථිකයෝ සඳහන් කලහ. 

අයෝමය විනය පිලිබඳ ව්‍යාජය හා කට්ටිවාදය

“බලය ගන්න නම් 1917 බලය ගත් වැනි අයෝමය විනයකින් යුතු පක්ෂයක් අවශ්‍යයි; ධනේශ්වර පීඩනය කපා හරිමින් කම්කරු පන්තියේ පන්ති ස්වාධිනත්වය ආරක්ෂා කරමින් එය බලමුලු ගන්වන්න,” යිපවසමින් රත්නායක කියා සිටියේ 1964 දී, විජේ ඇතුලු තරුන නායකත්වය ඒ මත පිහිටා පක්ෂය ගොඩ නගා මෙහෙය වූ බව ය. එහෙත්, එම අයෝමය විනය සමන්විත වූයේ කුමකින් ද, පැබ්ලෝ- මැන්ඩෙල් නායකත්වය වලලා දැමූ එම විනය ආරක්ෂා කර වර්ධනය කලේ කෙසේ ද යන ප්‍රශ්න අවධානයට ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වන්නේ, කම්කරු පන්තියේ ස්ව විඥානය බොල්ෂෙවික් වර්ගයේ පක්ෂයකින් තොරව කෙසේවත් ඇති කල නො හැකි බැවිනි. කම්කරු පන්තිය සම්බන්ධයෙන් සැලකුවත් ඔවුනගේ ඔනෑම දේශපාලන සංවිධානයක් – ක්‍රියාකාරී කමිටු, ෆැක්ටරී කමිටු, ආරක්ෂක කමිටු වැනි- මෙම මූලධර්මයට නො බැඳුනේ නම් අවස්ථාවාදය පරාජය කෙරෙන්නේ හෝ මහජන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩ නැඟෙන්නේ හෝ, කොටින් කියන්නේ නම් විප්ලවයක් සිදු වන්නේ හෝ නැත. 

පැබ්ලෝවාදය හුදෙක් දියකරහැරිම්වාදී (Liquidationism) හා පිවිසුම්වාදී (Entryism) වූවා පමනක් නො වේ. තනි රටේ සමාජවාදය නැමති ජාතික පිලිවෙත සඳහා ස්ටැලින්ට ට්‍රෙට්ස්කිවාදී වාම විපාර්ශවය හා ඊට සහාය වූ කම්කරුවන් ලක්ෂ ගනනින් විරේක කර පක්ෂය නිලධාරීවාදී මාධ්‍යමික තන්ත්‍රයකට යටත් කිරීම අවශ්‍ය වූවා සේ ම, පැබ්ලෝවාදයට ද 4වන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය තුලට දියකර හැරීම සඳහා පක්ෂයේ බෝල්ෂෙවික්වාදී පැවැත්ම අහෝසි කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් විය. මෙහිදී පැබ්ලෝ තන්‍ත්‍රය විසින් අති විශාල ප්‍රමානයක් සාමාජිකයෝ ප්‍රංශ ශාඛාවෙන් ‘විරේක’ කර දමනු ලැබුනාහ. 

මෙම ප්‍රවනතාවට එරෙහිව ස්වාධීන ලෝක පක්ෂයක් ලෙස ජාත්‍යන්තර කමිටුව පිහිටු වීමට පදනම් දැමූ සුප්‍රකට විවෘත ලිපිය මගින් එවකට එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස්. පී කැනන් පෙන්වා දී ඇති පරිදි, පැබ්ලෝගේ සංශෝධනවාදය හා ට්‍රොට්ස්කිවාදය අතර බෙදීම් රේඛා කෙතරම් ගැඹුරු ද යත් දේශපාලනිකව හෝ සංවිධානාත්මකව කිසිදු සම්මුතියක් ඇති කර ගැනීමට හැකියාවක් නැත. බහුතර මතය සැබෑ ලෙස පිලිබිඹු කරන ප්‍රජාතන්ත්‍රවාදී තීරනවලට එලඹීමට ඉඩ නො දෙන බව පැබ්ලෝ කන්ඩායම ප්‍රදර්ශනය කර ඇත.”  හතරවන ජාත්‍යන්තරය තුල පැන නැගි මෙම නිලධාරීවාදී පරිහානියට එරෙහි ව, බෝල්ෂෙවික්වාදයේ පදනම වන ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතවාදය යලි ස්ථාපිත කෙරුනු අව්‍යාජ කම්කරු පන්තික පක්ෂය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීමට කැනන් ඇතුලු නායකත්වයට සිදු විය. ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය විප්ලවවාදි පක්ෂයක මස්ථිස්කය නම්, ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය එහි ක්‍රියාකාරීත්වයේ හදවත වැනි ය. 

එක්සත් ජනපද සසප පදනම් ලේඛනය මෙසේ දක්වයි:

කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය සදහා සංවිධානයක් අවශ්‍ය වන අතර එය විනයකින් තොරව නො පවතිනු ඇත. එහෙත් විනය නිලධාරීවාදී ලෙස ඉහලින් පැටවිය නො හැකි ය. එය වැඩි දියුනු කල යුත්තේ මූලධර්ම හා ක්‍රියාමාර්ග මත නිදහස් ලෙස ඇති කර ගන්නා එකඟතාවයක පදනමින් ය. ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පදනම් වන සසප සංවිධානාත්මක ව්‍යුහය තුල ප්‍රකාශයට පත් වන්නේ මෙම වැටහීමයි. ප්‍රතිපත්ති හා සුදුසු උපායන් සූත්‍රගත කිරීමේ දී පක්ෂය තුල පූර්න ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු ය. පක්ෂ ව්‍යවස්ථාවෙන් සඳහන් කෙරුනු අවස්ථා හැර, අනෙක් අවස්ථාවල දී සසප ප්‍රතිපත්ති හා වැඩ කටයුතු පිලිබද අභ්‍යන්තර සාකච්ඡාව සීමා පැනවීමකින් තොරව සිදුවිය යුතු ය. නායකයන් සාමාජිකයන් විසින් තෝරා පත්කර ගන්නා අතර, ඔවුන් විවේචනයට හා පාලනයට විවෘත විය යුතු ය. නායකත්වයට එරෙහිව ඉදිරිපත් වන විවේචනයට මුහුන දිය නො හැකි අපේක්ෂකයන් එක්සත් ජනපද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලාරම්භකයා වූ ජේම්ස් පී කැනන්ගේ වචන සැලකිල්ලට ගත යුතු ය. ‘සත්‍යය කිසිවෙකුටත් හානි නො කරයි. ඔහුට සුදුසු තැනම හිමි කර දෙයි.’ එහෙත් ප්‍රතිපත්ති සූත්‍රගත කිරීමේ දී පුලුල් සාකච්චාව ද, විවෘත හා අව්‍යාජ විවේචන ද අවශ්‍ය වන ආකාරයට ම, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී දැඩි විනයක් ද අවශ්‍ය වේ. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇති කර ගත් තීන්දුවලට සෑම සාමාජිකයෙක් ම බැදී සිටී. තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී, මධ්‍යගතවාදයේ මෙම අත්‍යවශ්‍ය අංගයට විරුද්ද වන හා විනයගත වීමේ ඉල්ලීම සිය ‌පෞද්ගලික නිදහසට අකුල් හෙලීමක් ලෙස සලකන අය විප්ලවවාදී සමාජවාදීන් නො ව, පන්ති අරගලයේ ඇඟවුම් හා ඉල්ලීම් වටහා නො ගන්නා අරාජකවාදීන් හා පුද්ගලවාදීන් ය.”

සසප හිටපු මධ්‍යම කාරක සභිකයෙක් වන මෙම ලේඛකයා විජේ සහෝදරයා මුල් වරට දැක හදුනාගත් 1975 වසරේ සිට බොහෝ කලක් ඔහු ඇසුරේ වටහා ගැනීමට හැකි වූ පරිදි, නායකයෙකු ලෙස විජේ ඩයස්ගේ සාර්ථකත්වය පිටුපස පැවති ප්‍රධාන ම මූල ධර්මයක් වූයේ මෙයයි. පුද්ගල චරිතයේදී විජේ ආඩම්බරකාරයෙකි, එහෙත් උද්ධච්ඡ නැත, නිහතමානී ය. දැඩි ය, නමුත් උනුවන හදවතක් ඇත, ලෙන්ගතු ය. කෙනෙකු ඉදිරිපත් කරන අදහස් සන්සුන්ව සවන් දීමේ පුරුද්දක් යකඩ මිනිහෙක් වූ විජේ සහ යකඩ ගැහැනියක වූ පියසීලි යන මේ යුවලට ම තිබිනි. වරක් වඩාත් න්‍යායිකව කරුනු පැහැදිලි කල රැස්වීමකට පසු සහෝදරියක් මෙසේ පැවසුවා ය. “විජේ සහෝදරයාට මොන තරම් ගැඹුරු විශ්ලේෂනයක් වුවත් කාටත් පැහැදිලි වෙන පරිදි විස්තර කල හැකි වීමට හේතුව සෙසු මිනිසුන් ගැන ඔහුගේ වැටහීම හා ඔවුන් කෙරේ ඔහු තුල ඇති ලෙන්ගතු කම යි.” මේවා වගකිව යුතු නායකයෙකුගේ සාර්ථකත්වයට හේතු නොවන්නේ කෙසේ ද?

මෙම මූලධර්ම වෙත පක්ෂයත්, පන්තියත් යොමු කර ගැනීමට විජේ ඩයස් අනුස්මරනය මහඟු අවස්ථාවකි. මෑත දී, පක්ෂය තුල දේශපාලන ප්‍රශ්න මතු කිරීම නිසා, සාමාජිකයන් 5ක් කිසිදු සාකච්ඡාවකින් හෝ විනය පරීක්ෂනයකින් පවා තොරව, විනය බිඳීම යන චෝදනාව යටතේ දොට්ට දැමුනි. මේ අනුස්මරන රැස්වීම අවසන් වී දින තුනක් ඉක්මවෙත් දී පක්ෂය ගත් පලමු පියවර වූයේ තවත් සහෝදරවරු 7ක්, ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය අනුයමින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුවකට සහාය පලකිරීම මගින් පක්ෂ විනය බිඳ ඇතැයි යන චෝදනාවම මත, විනය පරීක්ෂනයකින් තොරවම, එකවර පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමීම යි.විනය ගැන කථා කිරීමේ දී කිව යුත්තේ, මෙම ‘විරේක’ කිරීම් සිදු කර ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාව පවා නො තකා හරිමින් බව ය. මේවා සිදු වන්නේ පන්ති අරගලයේ ඉතා තීරනාත්මක සටන් දිග හැරෙමින් තිබිය දී ය. විජේ සහෝදරයාගේ ජීවිතය පිලිබඳ සැබෑ ඇගයීමක් පෙනී සිටිනු ඇත්තේ මෙම අවස්ථාවාදී ප්‍රවනතාවන්ගෙන් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා ය.  

“විජේ සිය ජීවිතයේ අවසාන කාලය ගත කලේ මේ මහජන අරගලය තුල ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය වර්ධනය කර කම්කරු පන්තියට පාලන බලය ගැනීමේ මාවත පෙන්වීමට යි,” පැවසූ රත්නායක, මහජන අරගලය තුලට ප්‍රායෝගිකව හා සක්‍රීයව මැදිහත් නොවෙමින්, එයින් වියුක්තව, එහි නායකත්වය සඳහා ⁣පොරබැඳීමට පැකිලීම ගැන පක්ෂයට එල්ල වූ විවේචන හෙලා දකිමින් මෙසේ කියා සිටියේ ය: “නෑ මාක්ස්වාදයේ අයනු ආයනු තමයි, ට්‍රොට්ස්කිවාදයේ අයනු ආයනු තමයි, කම්කරු පන්තිය අරගලයට එනකොට ඔවුන් සදහා අවශ්‍ය ඉදිරි දර්ශනය, ක්‍රියා මාර්ගය, මග පෙන්වීම සූදානම් කිරීම.” මේ අනුව, කම්කරුවන් අරගලයට කැඳවීම සෑම කල්හි ම සෙසු ප්‍රතිගාමී ව්‍යාපාරවලට අයත් වැඩකි. විප්ලවවාදී පක්ෂය ක්‍රියාත්මක වන්නේ ඔවුන් එසේ කම්කරුවන් අරගලයට ගෙන ආ පසුව ය.

එහෙත්, ඔහුගේ මෙම අදහස මාක්ස්වාදී අයනු ආයනු දැනුවත්ව භාගෙට කියවීමකි. පන්තිය, පක්ෂය හා නායකත්වය කෘතියෙහි එන ට්‍රොට්ස්කිගේ පහත දැක්වෙන වචන ඒ සමඟ සසඳා බලන්න: 

“අලුත් නායකත්වයක්, පැරනි නායකත්වයකට වඩා ස්ථිර බව, විශ්වාසවන්ත බව, අවංක බව ජනයාගේ පලල් කොටස් ඒත්තු ගන්නේ ඔවුන්ගේ ම අත්දැකීම්වල පදනම මතින්, අවධි ගනනාවකින්, ක්‍රමානුකූලවයි. සත්‍යයෙන් ම විප්ලවයක් මධ්‍යයේ, එනම්, සිදුවීම් වේගවත්ව පරිවර්තනය වන තත්ත්වයක දී දුර්වල පක්ෂයකට ඉක්මනින් දැවැන්ත එකක් බවට වර්ධනය වන්නට පුලුවන. එසේ වන්නේ, එම පක්ෂය විප්ලවයේ ගමන් මඟ ඉතා පැහැදිලිව වටහා ගෙන ඇත්නම් හා දෙඩවීම්වලින් මත් නොවූ, දඩයම්වලින් තැති නොගත් ඉතා දැඩි ස්ථිර කේඩරයන් පක්ෂය සතුව පවතී නම් පමනෙකි. එබඳු පක්ෂයක් විප්ලවයට පෙරාතුව සූදානම් වී තිබිය යුතුය. මන්ද යත්, කේඩරයන් පුහුනු කිරීමට සැලකිය යුතු කාල පරිච්ඡේදයක් අවශ්‍ය වන බැවින් හා විප්ලවය එවැනි කාලයක් නොසපයන බැවිනි.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 15)

එම කෘතියේ ම තවත් තැනෙක එන මේ කොටස ද බලන්න:

“… ජයග්‍රහනය මූලෝපායාත්මක කර්තව්‍යයකි. ජනතාව බලමුලු ගන්වනු වස් විප්ලවවාදී අර්බුදයක වාසිදායක කොන්දේසි උපයෝගී කර ගැනුම අවශ්‍ය ය. ජනතාවගේ පවත්නා “පරිනතකම” ආරම්භක ස්ථාවරය කර ගනිමින් ඔවුන් පෙරට තල්ලු කිරීම අවශ්‍ය ය. සතුරා මොන ම අයුරකින්වත් සර්ව-බලධාරී නොවන බව ද, පරස්පර විරෝධයන්ගෙන් වැහැරී සිටින බව ද, මතුපිටින් පෙනෙන වෙස් පෑමට යටින් සන්ත්‍රාසය හා කුලප්පුව රජයන බව ද වටහා ගන්ට ජනතාවට ඉගැන්වීම අවශ්‍ය ය.” (පන්තිය පක්ෂය හා නායකත්වය – පි. 11)

තවදුරටත්, කල යුත්තේ කුමක්ද කෘතියේ ලෙනින් ලියා ඇති පහත කොටස් ද මෙහි ලා සැලකිල්ලට ගනු වටී:

“සෑම පොදු ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රශ්නයක් ම මතු කිරීමෙහි දී සහ විසදීමෙහි දී, අන් සියළු දෙනාටම ඉදිරියෙන් සිටීමට ඇති තමන්ගේ යුතුකම අමතක කරන තැනැත්තේ ද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු නොවේ. (කල යුත්තේ කුමක්ද? පි. 202)”

“පොදු  වශයෙන් නොව, වචනයේ නියම අර්ථයෙන්, සටනට හඬ නැගීම කල හැක්කේ, සටන ඇති වන තැනදී ය. එවැනි හඬ නැගීම් කල හැකි වන්නේ, තමන්ම සටනට අවතීර්ණ වන හා අප්‍රමාදව ම එසේ කරන අයට පමනකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශකයන් වශයෙන් අපගේ කටයුත්ත වන්නේ, දේශපාලන උද්ඝෝෂන ගැඹුරට ගෙනයාම, ව්‍යාප්ත කිරීම හා උත්සන්න කිරීමයි. (කලයුත්තේ කුමක්ද? පි. 189)   

රත්නායක සහෝදරයා ගෙන එන තර්ක වනාහී විජේ සහෝදරයාගේ ජීවිතය කියා දුන් පාඩම් කනපිට හැරවීමකි. ඔහු හුදෙක් ඉදිරි දර්ශනය සඳහා ඉදිරි දර්ශන වර්ධනය කලේ නැත. ඔහු න්‍යායික මෙන් ම ජීවමාන දේශපාලන අරගලය තුල කම්කරුවන් ගොවියන් හා තරුනයන් අතර වැඩ කලේ ය. 

සැබවින්ම නම්, රත්නායක මේ උත්සාහ කරන්නේ පසුගිය මහජන අරගල තුලින් ඉදිරියට පැන විදහා ලූ හා  තමන්මද අයත් නායකත්ව තන්ත්‍රය කලක සිට පක්ෂය තුල වර්ධනය කලා වූ ඉහතකී නොවැලැක්විය හැකි චෝදනාවෙන් ඉදිරිපත් කරන පක්ෂයේ කට්ටිවාදය ව්‍යාජ සූත්‍රයකින් වසා දැමීම යි. ට්‍රොට්ස්කි 1935 දී “කටිටිවාදය, මාධ්‍යමිකවාදය සහ  හතරවන ජාත්‍යන්තරය” නමින් විප්ලවවාදී ව්‍යාපාරය තුල එම ප්‍රවනතාවයන්ගේ කාර්යභාරය සම්බන්ධව විශ්ලේෂනය කරමින් ලියන ලද ලියවිල්ලේ පහත කොටස අවධාරනයට ගන්න:

“මාක්ස්වාදය විසින් ධනේශ්වර සමාජයේ චලනය පාලනය කරන නීති මත විද්‍යාත්මක වැඩපිලිවෙලක් ගොඩනගා ඇති අතර, මාක්ස්වාදය විසින් එම නීති සොයා ගන්නා ලදී.  මෙය දැවැන්ත ජයග්‍රනයකි!  කෙසේ වෙතත්, නිවැරදි වැඩපිලිවෙලක් නිර්මානය කිරීම ප්‍රමානවත් නොවේ.  කම්කරු පන්තිය එය පිලිගත යුතු ය.  නමුත් කට්ටිවාදියා, දේවල්වල ස්වභාවය අනුව, කාර්යයේ පලමු භාගයේදී නතර වේ.  කම්කරු මහජනතාවගේ සැබෑ අරගලයට සක්‍රීයව මැදිහත්වීම ඔහුට මාක්ස්වාදී වැඩපිලිවෙලක වියුක්ත ප්‍රචාරයක් මගින් ආදේශ කරනු ලැබේ.”

මේ අනුව, විප්ලවවාදී පක්ෂයක වගකීම ඉදිරිදර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කර කම්කරු පන්තියට බලය ගැනීමේ මග පෙන්වීම යයි කියන විට මාක්ස්වාදීන් අදහස් කරන්නේ කුමක් දැයි විජේ දැන සිටියේ ය. එය විශේෂ බුද්ධිමතුන් අතලොස්සකගේ පුවත්පත් කලාවේදී කටයුත්තක් වැනි දෙයක් නොවන බව ඔහුගේ ජීවිතය ගැන පක්ෂයේ ප්‍රරෝගාමී නායකයෙකු වන වයෝවෘද්ධ නන්ද වික්‍රමසිංහ, මෙම අනුස්මරනය වෙනුවෙන් නිකුත් කල වීඩියෝව මඟින් පෙන්වා දී ඇත. පැහැදිලි විය යුතු ප්‍රශ්නය නම්, ඉදිරි දර්ශන හා ක්‍රියා මාර්ග වර්ධනය කරන්නේමත් කෙසේ ද, මේ කාරනයේ දී මාක්ස්වාදයේ අයනු ආයනු උච්චාරනය කරන්නේත් කෙසේ ද යන්න ය.

රත්නායකගේ තවත් ප්‍රකාශයකට සම්බන්ධිතව මෙය වටහා ගැනීමට උත්සාහ කිරීම උචිත ය. 2022 අප්‍රේල් අරගලය ලෙස හඳුනා ගන්නා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මහජන නැගිටීම ගැන සඳහන් කරමින් එය තමන්ට අහම්බ කාරනාවක් නො වූ බව ඔහු කීය. ඒ 2020න් ඇරඹි දශකය සමාජවාදී  විප්ලවයේ දශකය ලෙස ජාත්‍යන්තර කමිටුව විසින් නම් කරනු ලැබීම නිසා ය. එය අතිශය ප්‍රගාඪ පෙර දැකීමක් බව ද ඔහු සඳහන් කලේ ය. 

නමුත් 2022 මාර්තු මාසයේ අවසාන සතියේ රට පුරා ජනයා පෙල ගැසෙමින් සිටිය දී වත් සසප නායකතවයට ආරම්භකත්වයක් සදහා පියවර ගැනීමට නො හැකි විය. වහාම ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරගෙන අරගලයට පිවිසිය යුතු ය යි මෙම ලේඛකයා කල ඉල්ලීම ද කුනු කූඩයට දැමිනි. මාර්තු 31 අරගලය හදිසියේ  පුපුරා ගිය අතර ඊලග 3 දා දිවයින පුරා, කලින් යොදාගත් පරිදි, මහජනයා අරගලයට පිවිසුනි. ජාත්‍යන්තර කමිටුව අප්‍රේල් 5 දා ලංකාවේ සිද්ධි අලලා ඉදිරි දර්ශනාත්මක ලිපියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කලේ ය. ලංකාවේ කම්කරු පන්තිය බලය ගැනීමට සූදානම් විය යුතු ය යි එය පෙන්වා දුන්නේ ය.

ශ්‍රි ලංකාවේ සසප මේ සම්බන්ධයෙන් යොමු කර ගැනීමට කෙතරම් අසීරු වූයේ ද යත් ලොසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේව් නෝර්ත්ගේ ද මැදිහත් විමෙන් විජේ ලියූ ඉදිරි දර්ශනයක් බොහෝ පමා වී පල කල හැකි වූයේ අප්‍රේල් 7දා ය. “මහජනයාගේ නැගිටීම් ආරම්භය ආසන්නයේ, එහෙම නැත්නම් ඒවා රට පුරා පැතිරීගෙන එන තත්වය ඇතුලේ” එය සිදු කල බව රත්නායක රැස්වීමේ දී කල කියා පෑම හා මේ සිදුවීම්, 2020 සිට දැන සිටි නිසා අහම්බයක් නො වීය යන ප්‍රකාශයට පටහැනි ය. දැන් රත්නායක කියන දෙයින් ගම්‍ය වන පනිවිඩය නම්, අයනු ආයනු යනු එසේ කල් මැරීමට කියන වෙනත් නමක් බව ය. 

2020 දී නොව, 1996 සංගම් පක්ෂ බවට පත් කිරීමේ දී අප සටහන් කර ගත්තේ නිෂ්පාදනයේ භූගෝලීයකරනය විසින් සියලු ජාතිකවාදී ක්‍රියාවන්ට සදහට මල බෙරය හැඩවී ඇති නිසා කම්කරු පන්තියේ අති මූලික ඉල්ලීම් සදහා අරගලය පවා අප අතට ගැනීමට වෛෂයිකව තීන්දු වී ඇති බව ය. අනෙක් අතට පන්ති අරගලයට මැදිහත් වීම හැටියට මිස ඉදිරි දර්ශනයක් වර්ධනය කල හැකි වෙනත් ආකාරයක් ද නැත. පන්ති අරගලයෙන් තොරව ම මාක්ස් නමැති මහා ප්‍රාඥයාගේ ඔලුවට මාක්ස්වාදය කඩා වැටුනේ නැති බව කවුරුත් දන්නා කරුනකි. කෙසේ වෙතත්, කම්කරු පන්තිය තුල වර්ධනය නොකරන වියුක්ත  ඉදිරි දර්ශනයකින් ඇති ඵලය කුමක් ද? ඒ නිසා සසප වහාම මෙම කුසීත මග හැරීමෙන් අත් මිදිය යුතුව ඇති අතර එය ඓතිහාසික අවශ්‍යතාවක් බව වටහා ගැනීමට සටන් කල යුතු ය.

විජේ ඩයස් 1987 ප්‍රධාන ලේකම් ධුරයට පත් වන්නේ 1953 පැන නැගී පැබ්ලෝවාදයට අවසන් ප්‍රහාරය එල්ල කර, ජාත්‍යන්තර කමිටුව අව්‍යාජ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදී හා ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ලෙස ඉස්මත්තට ඒමත් සමග ය. 1985-86 මෙම භේදය පෙර පැවති හීලිවාදයේ නිලධාරීවාදී බලපෑමෙන් එහි ශාඛා නිදහස් කර ගත්තේ ය. විජේ සිය නිලය මෙහෙය වූයේ එම පදනම්වල සිට ය. එම වසරේම පැන නැගුනු ජවිපෙ ඝාතනවලට හා ආන්ඩුවේ මෘග මර්දනයට මුහුන දී, වසර 5-6ක කෙටි කාලයක් ඇතුලත පක්ෂ සාමාජිකත්වය දෙගුනයකින් පමන ඉහල දමා ගනිමින් පෙරට ගමන් කිරීමට එම මෙහෙයුමට හැකි විය. තුවක්කු දෙකකට මැදි වී එහි දී දිනා ගත්තේ අතිශය දැනුවත්, කැප වූ හා සටන්කාමී කේඩරයකි. මෙම ජයග්‍රහනය විශේෂයෙන් ජවිපෙ මදාවිකාරයට හා ආන්ඩුවේ මර්ධනයට එරෙහි එක්සත් පෙරමුන සදහා සහ ගම්බද ඝාතනවලට එරෙහිව ගෙන ගිය සප්‍රතිපත්තික අරගලය හා බැදුනි. ඉතා අසීරු කොන්දේසි යටතේ පක්ෂ සාමාජිකත්වය සාකච්ඡා මගින් ඒත්තු ගන්වා ගැනීමට කටයුතු නොකෙරිනි නම් එම සාර්ථකත්වය සිහිනයක් වීමට නියමිත ව තිබින. උත්සන්න කල වර්ගවාදයට හා යුද්ධයට අභියෝග කල මෙම කේඩරය මෙහෙයවා ගෙන ගිය අරගලය උතුරු පලාත තුල ද පක්ෂය පුලුල් කලේ ය. මේ නිසා, නව සම සමාජ පක්ෂය (නසසප) වැනි පක්ෂවල අභාවය ඉක්මන් කල එක්සත් පෙරමුන සම්බන්ධ අත් දැකීම්වලින් තොරව විජේ සහෝදරයා පක්ෂය ගොඩ නැගීමට දුන් නායකත්වය හරිහැටි වටහා ගත හැකි නො වන බව අපේ අදහස ය. මෙම සාර්ථකත්වයන් වූ කලී, මේඝ දූතයන් ලෙස ඉදිරි දර්ශන පා කර යවා ලබා ගත් ඒවා නො වේ, ඒ වෙනුවට ඒවා, ජීවිත පරිත්‍යාගයෙන් යුද බිමේ දී ඉදිරි දර්ශන සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයෝ වෙති.   

සිය ජීවිතයේ අවසන් වසරේ, ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් විමෙන් ඔහු විසින් කෙටුම්පත් කෙරුනු ඉතා පැහැදිලි ඉදිරි දර්ශන දෙකක් අප්‍රේල් 7 සහ ජුලි 20 නිකුත් කෙරීම නිසැකවම ජයග්‍රහනයකි. එම ලේඛන ඉහත සඳහන් කල අත්දැකීම්වලින් පෝෂනය වී ඇත. නමුත්, ඒ්වා කම්කරු පන්තිය තුලට ගෙන යාමට හා ඒ මත සාකච්ඡාවක් අවුලවා ගෙන, කම්කරු පන්තිය ඒත්තු ගන්වා සූදානම් කිරීමට, ඔවුන්ගේ අරගලය තුල නායකත්වය ගැනීම සඳහා ගැනුනේ ඇල්මැරුනු ප්‍රවේශයකි. සසප වාමාංශය අප්‍රේල් ඉදිරිදර්ශනයේ මග පෙන්වීම යටතේ අරගලය තුලට මැදිහත් වී කන්ඩායමක් දිනා ගත් අතර පසුව කොලඹ ක්‍රියාකාරී කමිටුව ගොඩ නැගීම දක්වා එය ඉදිරියට ගියේ ය. ජුලි 20 ඉදිරි දර්ශනය කොලඹ ක්‍රියාකාරී කමිටුවේ පදනම විය. පක්ෂ තන්ත්‍රය එම ආරමිභකත්වය ගත් සාමාජිකයන් පක්ෂයෙන් නෙරපා හරිමින් ද, කොක්‍රික කෙරේ වෛරීසහගත ප්‍රකාශ නිකුත් කරමින් ද කලේ උක්ත ඉදිරී දර්ශන ලියවිල්ලේ අර්ථ විකෘති කිරීම ය.   

ක්‍රියාකාරී කමිටු පිලිබඳ නිලධාරීවාදී විකෘතිය

අනුස්මරන රැස්වීමේ කතා කල සසප දේශපාලන කමිටුවේ විලානි පීරිස් සහෝදරිය, වරාය ක්‍රියාකාරී කමිටුව ගොඩ නගන කොට කම්කරුවෙක් අපි සියලු සමාජවාදය ගැන කතා කරන කොටස් ඒකාබද්ධ කරගනිමු” යි යෝජනා කල බව කීවා ය. ඊට එරෙහිව තර්ක කරමින් ඇය, “ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය සදහා පදනම් දැමිය යුත්තේ, සිය පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීම පිනිස දිවයින පුරා වැඩපොල, කම්හල්, වතු, නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු තුලින් කම්කරුවන් හා ගම්බද පීඩිතයන් විසින්ම ය” යන පක්ෂයේ ඉහත කී ජුලි 20 ප්‍රකාශයේම ඉදිරිපත් කර ඇති වැඩපිලිවෙල කෙරේ දිගටම පවත්වාගෙන යන සතුරුභාවය ඉස්මතු කලා ය. 

“අපි ලෝක කම්කරු පන්තිය ස්වාධීනව සංවිධානය කරන එකම සංවිධානය වන නිසා, කොතනින් හෝ කන්ඩායම් එකතු කර සංවිධාන හදන්නේ නැහැ”, යි පවසමින් විලානි කීවේ කම්කරු ක්‍රියාකාරී කමිටු පක්ෂයේ අභිලාශයන්ට, අනුමැතියට, ඉදිරි දර්ශනයට හා විනයට යටත්ව විය යුතු බව ය. එසේ නම් පක්ෂය හදනවා මිස ක්‍රියාකාරී කමිටු හදනනේ කුමටදැයි විජේ මේ අදහසට විරුද්ධව තර්ක කල බව විලානි හිතාමතා ම අමතක කරන්නීය. 

Vilani
විලානි පීරිස්

කිසිදු පක්ෂයකට යටත් ව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම ක්‍රම විරෝධී ය. ප්‍රජාතන්ත්‍ර විරෝධී ය. පක්ෂවල කාර්ය ඒවා තුලට වන් සිය සාමාජිකයන් මගින් සිය වැඩ පිලිවෙලට කම්කරු ගොවි ජනයා සහ අවසානයේ කමිටුවම දිනා ගැනීමට සටන් කිරීම ය. විවිධ ධනේශ්වර විරෝධී ප්‍රවනතා කමිටුව නියෝජනය කරනු ඇත. විප්ලවවාදීහු මෙම ප්‍රවනතාවන්ට බිය නො වෙති. කම්කරු පන්තිය අධ්‍යාපනගත වන්නේ ද, මහජන ව්‍යාපාරයක් වර්ධනය වන්නේ ද, පක්ෂය මහජනයා අතර මුල් බසිමින් වර්ධනය වන්නේ ද එබදු අරගලයක් තුල ය. විශේෂයෙන් මධ්‍යම පන්තික ජනයා විවිධ අවස්ථාවාදී ව්‍යාපාරවල ග්‍රහනයෙන් හා ෆැසිස්ට්වාදයෙන් මුදාගත හැකි වන්නේ එබඳු අරගලයකට ය. මෙය කම්කරු පන්තියේ ජීවිතය හා මරනය අතර ප්‍රශ්න සමග බැඳී ඇති බව වටහා ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි.

ඥාන කෝෂ්ඨාගාරයක්

තතු එසේ තිබිය දී, පක්ෂයේ තරුන සංවිධානය නියෝජනය කල සකුන්ත හිරිමුතුගොඩ සහෝදරයා සිය කතාව තුල විජේගේ ජීවිතයේ න්‍යායික දේශපාලනික හා මූලධර්මාත්මක පදනම් සොයා ගැනීමට දැඩි ප්‍රයත්නයක් දරන බව පෙන්නුම් කලේ ය. විජේගේ දේශපාලනය, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා ජාත්‍යන්තරවාදය යන කුලුනු දෙක මත පිහිටා සිටි බව ඔහු අවධාරනය කලේ ය. විජේගේ ක්ෂමා විරහිත දේශපාලනය උපුටා දක්වමින් ඔහු කියා සිටියේ විකොස ගොඩ නැගීමට මූලිකත්වය ගත් විජේ සහෝදරයාගේ පරපුරේ තරුනයන්ට එය කල හැකි වූයේ අත්‍යවශ්‍ය දේශපාලනික, න්‍යායික පාඩම් උකහාගෙන ක්‍රියාත්මක වීම තුලින් මිස හුදු තරුන ජවය හා ධෛර්යය නිසා නො වන බව ය. කැලඹිලිකාර කාල පරිච්ඡේදයක දී තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කල යුතු ය යි ඔහු ලෙනින් උපුටා දක්වමින් කල සටහන අවධානයට ගැනීම අත්‍යවශ්‍යය ය. කම්කරු පන්තියේ පන්ති අරගලය වර්ධනය කිරීම සඳහා කරන න්‍යායික, දේශපාලනික හා සංවිධානාත්මක වැඩ කටයුතුවලින් තොරව තරුන ජනයාගේ අධිෂ්ඨානය සන්නද්ධ කිරීමේ ක්‍රමයක් ද නැත. විශේෂයෙන් විජේගේ යෞවනය ඊට අදාල විෂය මාලාවකි. පක්ෂයක වගකීම වන්නේ මේ තීරනාත්මක මොහොතේ යෞවනයන්ගේ මෙම න්‍යායික සා පිපාසාව සංසිඳුවීම ය.

sakuntha
සකුන්ත හිරිමුතුගොඩ

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, 1968 සිට විජේ සහෝදරයාගේ සහභාගීත්වයෙන් හා මූලිකත්වයෙන් සිදු කල පක්ෂයේ වැඩ කටයුතුවල වාර්තාවක් ඉදිරිපත් කලේ ය. ඔහුගේ වාර්තාව වත්මන් පන්ති අරගලය තුල පක්ෂයේ වගකිම් ක්‍රියාකාරී කමිටු පිලිබද යෝජනාවට එහා ගෙන නො ගියේ ය. 

සසප මෙම රැස්වීම යලි තක්සේරු කිරිම අවශ්‍යය යි අපි සිතමු. එය තීරනාත්මක වන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දශක 6ක අත් දැකීම් ඇති, ආසියාතික කලාපයේම සංවිධානය ගොඩනැගීමේ වගකීම දරා සිටින නිල ශාඛාව එය වන අතර ම, එහි පැවැත්ම සමාජවාදී විප්ලවයේ ඉරනම සම්බන්ධ ප්‍රමුඛ කරුන වන හෙයිනි. 

2010 වසරේ සිදු වූ පියසීලි සහෝදරියගේ මරනය විජේ සහෝදරයාගේ ජීවිතයට එල්ලවූ අකුනු පහරක් බඳු වුවත්, විජේ නිර්ධන පන්ති විප්ලවයට හා එහි පක්ෂයට දැඩි ලෙස බැඳුනු ඇගේ මෘත දේහය අභියස දී පවා පක්ෂය ගොඩ නැගීමට සපථ කලේ ය. හෘදයාබාධයත්, තවත් අසීරු රෝගී තත්වයනුත් ඔහුට සිතැඟි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ නො දුන්නේ වී වුව, මේ යෝධ මිනිස් චරිතය මෙරට දැවැන්තතම මහජන නැගිටීම මැද නැගී සිට “කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!” යන මාහැඟි ඉදිරි දර්ශනය සිය මරනයෙන් සතියකට පෙර කෙටුම්පත් කර තැබුවේ ඊට එරෙහිව මතු ව තිබූ බොහෝ බාධක මැඩ පවත්වමිනි.    

විජේ සහෝදරයාගේ දේශපාලන ජීවිතය සියලු විප්ලවවාදීන් හා තරුනයන් විසින් පිරිසිඳ දත යුතු ඥාන කෝෂ්ඨාගාරයක් වෙයි. එය මනාව හා විධිමත් ව අධ්‍යයනය කිරීම සියලු විප්ලවවාදීන් විසින් මඟ නොහැරිය යුතු වගකීමක් වන අතර, එවැනි අධ්‍යයනයක් සමස්ත දකුනු ආසියාතික කලාපයේ හා සමස්ත ග්‍රහලෝකයේ කම්කරු පන්තියේ ඉරනම පිලිබඳ මිල කල නොහැකි පාඩම් ගෙන එනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *