විදුෂ් ඝාතනයෙන් මතුවන ප්‍රජාතන්ත්‍රවාදි කතිකාවේ රික්තය

The vacuum of democratic discourse emerging from Vidush's murder

පොලිස් අත්ඩංගුවේ සිටියදීම සිදුවන වදහිංසා සහ මනූෂ්‍ය ඝාතන දැන් දැන් සාමාන්‍ය පුවත් මවන එදිනෙදා සිදුවීම් බවට පත්ව තිබේ.

වඩාත්ම කණගාටුදායක තත්ත්වය නම් ඒවා ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් කථිකාවෙන් ලිස්සා යන තරමට එක් සිදුවීමක් යටපත් කරමින් තවත් සිදුවීම් රාශියක් සමග වේගයෙන් දෝලනය වීමයි.

රහස් පොලිසියේ අත්අඩංගුවේ පසුවූ පාතාල සාමාජිකයින් ඉලක්ක කරගනිමින් පසුගිය කාලයේ සිදුවූ ඝාතන සියල්ලම පාහේ සගවා තබන ලද අවි ආයුධ හෝ මත්ද්‍රව්‍ය වැටලීමට ගොස් ආත්ම ආරක්ෂාවට වෙඩිතැබීමෙන් එම ඝාතන සුජාත කෙරුණි.

මෙවැනි අවස්ථාවලදී මාධ්‍ය ඉදිරියේ එකම පිටපත නැවත නැවත ප්‍රකාශ කිරීම විසින් බොරු කීමෙන් එහා ගිය සංඥාවක් ලබාදී තිබේ- අත්අඩංගුවේ සිටියදී සිදුවන ඝාතන සම්බන්ධයෙන් සිදු කරන මාධ්‍ය ප්‍රකාශ හරහා ලබා දෙන එම සංඥාව නම් ඉදිරියේදීත් සුපුරුදු පරිදි පුද්ගල ඝාතන සිදු වීමට නියමිත බවකි.

අනෙක් අතට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හෝ අපරාධකරුවන් පිළිබඳව තීරණ ගන්නේ අධිකරණය වුවද එය ක්‍රියාවට නගන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ මේ රටේ පොලිසිය බවයි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී හිංසාවට හා ඝාතනයට ලක්වූ බවට සැක කරන තවත් තරුණයෙක් පිළිබඳව පුවතක් මඩකලපුවෙන් වාර්තා විය.

පසුගිය ජුනි දෙවන දින රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම් ප්‍රදේශයේදී රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වූ 21 වයසැති චන්ද්‍රන් විධූෂන් නම් දමිළ තරුණයා පසුදා අලුයම මියගොස් තිබුණි.

විධූෂන්ගේ මරණයට හේතුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් ගිල දැමිම බව අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කර තිබුනද විධූෂන්ගේ පවුලේ සාමාජිකයින් එය ප්‍රතික්ෂේප කරයි- විධූෂන්ගේ පියා වන කේ. චන්ද්‍රන් මාධ්‍යට ප්‍රකාශ කළේ තම පුතුට පොලිස් ස්ථානය තුළදී බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ගිල්වා ඇති බවයි- එමෙන්ම විධූෂන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් ඔහුට පහරදෙන ආකාරය ගම්වාසීන් ද දැක තිබේ.

මළ සිරුරේ ඔලුව සහ බෙල්ල ප්‍රදේශයේ පහරකෑමෙන් ඇතිවූ තුවාල සළකුණුද දක්නට ලැබුණු බව ඔහුගේ ඥාතීන් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ කථිකාවේ සීමාව

විධූෂන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ පරීක්ෂණ ක්‍රියාත්මකයි- එහෙත් ඉන් කිසිවකින් විධූෂන්ට නැවත ජීවිතය ලැබෙන්නේ නැත- වඩාත්ම ඛේදවාචකය නම් විධූෂන්ගේ ඉරණම පිළිබඳව දකුණේ කතාබහක් ඇති නොවීමයි.

පියුමි හංසමාලී දෙස උනන්දුවෙන් බලන අයට විධූෂන්ගේ අවසාන ඉරණම මගහැරී ගොස් තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දකුණේ කථිකයින්ද විධූෂන්ගේ මරණය පිළිබඳව අඩුම තරමින් ප්‍රකාශයක්වත් නිකුත් නොකීරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ කථිකාවේ සීමාව සංකේතවත් කරයි.

නීතියේ ආධිපත්‍ය නම් ලිබරල් කථිකාවත පවා සිංහල කේන්ද්‍රීය ආස්ථානයේ කැරකෙමින් තිබේ.

මේ ජනප්‍රියවාදී සංවාද බොහෝමයක් දේශපාලනයේ මහා ආඛ්‍යානයන් දෙසට අවධානය කොටුකර ගන්නා විට අවාසනාවට මෙන් දමිළ හා මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩත්වය එකී සංවාද කවයන්ගෙන් බැහැර වෙමින් තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ ජනප්‍රිය කථිකාවට විධූෂන් ඇතුළත් නොවීම පිළිබඳව තව දුරටත් ප්‍රශ්න නොකරන කථිකාමය අවකාශයක ඵලක් තිබේද ?

අවුරුදු තිහකට ආසන්න කාලයක් පුරා පැවති ජාතිවාදී යුද ගැටුම්වලින් වැඩිපුරම හානියට පත්වූයේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවයි- යුද්ධය නිමාවී වසර 11ක් ගතව තිබුණද උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ඉඩම් ගැටලුව, බලහත්කාරී අතුරුදහන්කිරීමට ගොදුරුවූවන් හා අවතැන්වූවන් පිළිබඳව දකුණේ සමාජය තවමත් නිද්‍රාශීලීය- දමිළ ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රචණ්ඩත්වය ජාතිවාදය නිසා නොපෙනී යාම තරම් යුද්ධයක් තවත් නැත- ජාතිය මත පදනම්ව ප්‍රචණ්ඩත්වය සහ වදහිංසාවන් නිහඩියාවෙන් අනුමත කරන තාක්කල් මෙවැනි ඝාතන වලක්වා ගත නොහැකිය- සහෝදර දමිළ මුස්ලිම් ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් දකණේ හඩ අවධි නොවීම පිළිබඳව ප්‍රශ්න නොකරන තාක් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් අතීක්‍රමණය කළ නොහැකිය- එය අප සමාජයක් ලෙස මේ මොහොතේ මුහුණ පා සිටින බරපතල අන්තරාවකි-

මාජ මාධ්‍ය තුළ විරෝධයේ සංවිධාන පදනම

සමාජ මාධ්‍ය තුළ පවා මේ අන්තරාවේ සෙවනැල්ල නිරීක්ෂණය වේ- අයුක්තිය සහ අසාධාරණයට එරෙහිව මතුවන විරෝධය පවා සංවිධානය කරන සාධකය බවට පත්ව ඇත්තේ වින්දිතභාවයට ලක් වන තැනැත්තාගේ ජාතිය, ආගම කුමක්ද යන සාධකය මතයි- විධූෂන්ට ජීවිතය අහිමි වීමේ මෙම සිදුවීම පිළිබඳව තොරතුරු ගලා ඒමේ ප්‍රමාණයද තීරණය වී තිබෙන්නේ ඒ අනුවයි- සංචරණ සීමා තුළ පසුගිය මාසයේ වැලිගම සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ද පොලීසියට චෝදනා එල්ල විය- එහිදී සිද්ධියට අදාළ සී-සී-ටී-වී දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එමගින් යම් ප්‍රමාණයකට තොරතුරු සමාජය ඉදිරියේ නිරාවරණය විය- මෙම ඝාතනයට පොලීසිය සම්බන්ධ බවට පහසුවෙන් ආණවරණය කර ගැනීමට හැකිවූයේ ඒ නිසාය- එහෙත් අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලිස් නිලධාරීන් විසින් විධූෂන්ට පහරදුන් ආකාරය ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ අසල් වැසියන් කිහිප දෙනෙකු දුටුබව ඇරෙන්නට ඇසින් දුටු වෙනත් සාක්ෂි නැත- එවැනි තත්ත්වයක් තුළ විධූෂන්ට සිදුවූ හිංසනය පිළිබඳව දකුණේ සමාජයට අනාවරණය වීමේ සීමාකම් පවතී- කෙසේ නමුත් කැළනියේ නාගයාට ලැබුණු මාධ්‍ය අවධානය විධූෂන්ගේ මරණය සම්බන්ධයෙන් හිමි නොවීම ඉතා අවාසනාවන්තය. අවසානයේ විධූෂන්ගේ ඉරණම ප්‍රජාතන්ත්‍රවාදී කථිකාවේ හිස්තැනක් පමණක් ඉතිරි කොට තිබේ- ඒ ඇයි ? විධූෂන් දමිළ නිසාද ?

දකුනේ පාතාල සාමාජිකයෙක්,ලෙසත් කුඩු ජාවාරම් කරුවකු ලෙසත් හදුන්වනු ලැබු මදුෂ් ගේ ඉරණමද පොලිසිය විසදනු ලැබුයේ මේ අයුරිනි.ඉන් අනතුරුව මෑතකදි තවත් පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්විය.නීතියේ ආධිපත්‍ය ගිලිහෙද්දි බහුතර ජනතාව නිහඩව එය අනුමත කරන සෙයක් දක්නට ලැබේ. විධුෂ්ගේ මරණය දෙමළ තරුණයකු විම නිසා කිසියම් කතිකාවට නොගොස්ම යටපත් වුවාසේම දකුණේ වන මෙම ඝාතනද ප්‍රජාතන්ත්‍රවාදයේ බියකරු ඉරණම සමජයට පසක් කරමින් සිටින්නේ මේ පිළිබද කතිකාවක අවශ්‍යතාව නොවන්නේද ?    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *