සභාග, සන්ධාන අභාග්‍යයක් වෙලා

Coalitions and alliances have become a disaster

ප්‍රශ්න කතා කර සිටිනු වෙනුවට ප්‍රශ්න වලට උත්තර සොයන නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවනාගාරයේ ඊයේ (04) පැවැති උත්තර ලංකා සභාගය ජනගත කිරීමේ උත්සවය හා එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ උදය ගම්මන්පිල මෙසේද පැවසීය.

මිත්‍රවරුණි 1947 ඉදන්ම මේ ශ්‍රී ලංකාවේ සභාග බිහිවෙලා තියනවා. සන්ධානයන් ගොඩනැගිල තියනවා. එහෙම නම් ඒ සන්ධානයි මේ සන්ධානයේ අතර තියෙන වෙනස මොකක්ද ? හැමෝම සන්ධාන ගොඩනැඟූ බව ඇත්තයි. හැමෝම සභාගයන් හැදූ බව ඇත්තයි . හැබැයි ඒ කවුරුවත් ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර සපයන්න අසමත් වෙලා තියෙනවා .ඒක නිසා තමයි අපිට සභාගය අභාග්‍ය වෙලා තියෙන්නේ.

උදාහරණයක් වශයෙන් 2019 මෙතන ඉන්න හැමෝම එකතු වෙලා හැදුව මහා දැවැන්ත සභාගයක්. මෙතන ඉන්න නායකයෝ ඔක්කොම ඒකට අස්සන් තැබුවා. ජනතාව පැතුම් පොදි බැඳගෙන ලක්ෂ හැට නමයක මහ ජනවරමක් බාර දුන්නා . අපේ වචන විශ්වාස කරපු මහජනතාවගේ සිහින සැබෑ කරන ජනතාව දුකෙන් මුදවා ගන්න අපි හැමෝම දකින සිහින රාජ්‍යය බවට ලංකාව පත් කරන ආණ්ඩුවක් හැදුවා කියලා අපි හිතුවා . නමුත් මිත්‍රවරුනි ජනතා න්‍යාය පත්‍රය පැත්තකට දාලා පුද්ගලික න්‍යාය පත්‍ර පවුලේ න්‍යාය පත්‍ර ඉදිරියට අරන් ඇවිල්ලා ඔබෙත් අපෙත් සිහින පැතුම් බලාපොරොත්තු සියල්ල මේ නායකයන් පොඩිපට්ටම් කරල දැම්මා . ගමන අතරමඟ නතර වුණා කියලා පෙනුනත් නැග්ග බස් එක වැරදුනා විතරයි , අපි බස් එකෙන් බැස්සා. ඒත් අපේ ගමන අපි යනවා කියන එක අපි බය නැතුව ප්‍රකාශ කරනවා.

Udaya Gammanpila, the leader of Pivithuru Hela Urumya

දැන් ආණ්ඩුව මොකක්ද කරන්නේ. මහා උදාර උදාන පාටය වෙලා තියෙන්නෙ මොකක්ද ? අපිට ණය ලැබෙනවා. ඉන්දියාවෙන් අච්චර ලැබුණා. චීනයෙන් මෙච්චර ලැබෙනව. කෑලි කෑලි වලට උනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙනවා . ණය ලැබීම තමයි ආණ්ඩුවේ උදාන වාක්‍ය වෙලා තියෙන්නේ. අමතක කරන්න එපා මේ ලබා ගන්න සෑම ඩොලරයක් ම පොලී සමග ආපසු ගෙවිය යුතුයි .

අපි අද උජාරුවට කාලා බීලා ඉන්නේ අපේ ආදරණීය දරුවන් මත බර පටවන්න . අපේ දරුවන් උගසට තියලා අපි කාලා බීලා ඉන්නේ . අපි සැබැවින්ම දරුවන්ට ආදරේ දෙමව්පියන් නම් අපේ දරුවන් උගසට තියලා කාල බීල උජාරුවට ඉන්න අපිට පුලුවන්ද , අපේ ප්‍රශ්නය ණය බරින් මිරිකී ම නම් අපේ ප්‍රශ්නය ජාතික ආදායමෙන් 145 % දක්වා ණය බර වැඩිවීම නම් උත්තරය ණය ගැනීම වෙන්නෙ කොහොමද ?

අදටත් ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ.

අපි අලුත් යුගයකට පා තබනවා. සිංහලයනි වරෙල්ලා දමිළයනි වරෙල්ලා මුසල්මානුවනි වරෙල්ලා වාද භේද පසෙක තබා වරල්ලා. මේ ගිනි ගන්නේ ඔබටයි මටයි අපි හැමෝටම තියෙන එකම රට . මේ රට ඇර අපිට යන්න තැනක් නෑ. මේ රටේ ගිනි නිවන මං සෙවීමේ වගකීම අපි අද සෑම කෙනෙක්ගෙ උරය මත තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ගැන කතා කරන එක පැත්තක තියල ප්‍රශ්න වලට උත්තර හොයන්න ඒ උත්තර මහපොලොවේ පැලකරන මේ දේශපාලන ව්‍යාපාරයේ ජීවමාන සක්‍රීය සාමාජිකයෙක් වන ලෙස සමස්ත ජාතියටම ආයාචනා කරනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *