සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු බහුතරයක් දවල් මීගෙල්ලා රැ ඩැනියෙල්ලා – පී. හැරිසන්

රට වැටි ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දේසී විරහිතව තමන් සහය දෙන බවත් තව පෝය වල් දෙක තුනක් යන කොට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් වික්‍රමසිංහගේ ඔඩෝක්කුවට වැටෙන බව සමගි ජන බලවේගයේ උප සභාපති හා අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසයි .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දෙනා දවල්ට විපක්ෂ නායක සජිත් සමගත් රැට වික්‍රමසිංහ සමගත් සිටින බව මන්ත්‍රීවරයා හෙළි කළේය.

සමගි ජන බලවේගයේ නායකයන් රට වැටි ඇති මොහොතක කටයුතු කරන ආකාරය පිළිබද තමන්ට ගැටළු ඇතැයි පැවැසු පී හැරිසන් මන්ත්‍රීවරයා 2024 ජනාධිපතිවරණයෙදී වික්‍රමසිංහ දිනවීමට කටයුතු කරන බවත් පැවැසීය .

මන්ත්‍රීවරයා එසේ පැවැසුවේ අනුරාධපුරයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදීය .

කිසිම හේතුවක් නිසා සමගි ජන බලවේගය ආණ්ඩුව සමග එකතු නොවන බවත් ආණ්ඩුවට කොන්දේසී විරහිතව සහය දෙන බව සමගි ජන බලව්ගයේ කෘත්‍යාධිකාරී සභාවේ සමාජික හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය .

2024 ජනාධිපතිවරණයෙදී සමගි ජන බලවේග පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ද එම මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කළේය .

සමගි ජන බලවේගයේ බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවේල් සුරේෂ් අද මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසුවේ රාජය ඇමැති හරින් ප්‍රනාන්දු යන්නේ කොතැනට ද තමන් ද එතැනට යන බවත්ය .

ඉදිරියෙදී සමගි ජන බලවේගයෙන් සැලකිය යුතු පිරිසක් ජනාධිපති වික්‍රමසිංහ සමග එකතු වීමට නියමිත බවත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *