සමන්ත ප්‍රීති කුමාරගේ ඝාතකයින්ට වැඩ වරදි

දෙදරු පියෙක් වන අන්තෝනි ගමගේ සමන්ත ප්‍රීති කුමාර පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දි ඝාතනය කළ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් 07 දෙනෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහගේ මරණ පරීක්ෂන  නියෝගය මත අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අද (09) දින අත්අඩංගුවට ගෙන ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මහේස්ත්‍රාත්වරියගේ මෙම නියෝගය සමන්ත ප්‍රීති කුමාර මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී මිය ගිය බවට තින්දු කරමින් හා සාහාසික අපරාධයක් සිදුවී ඇති බව තීන්දු කරමින් නිකුත් කරනු ලැබිණි. එම නියෝගය නිකුත් කරන ලද්දේ ජුනි (06) වැනිදාය . 

උප පොලිස් පරික්ෂක තිලංක යන අයගේ මුලිකත්වයෙන් පොලිස් කොස්තාපල් 8824 බාලසුරිය , පොලිස් කොස්තාපල් 31906 හේරත් ,පොලිස් කොස්තාපල් 83808 විකුම් ,පොලිස් කොස්තාපල් 61332 සංජීව පොලිස් කොස්තාපල් 93628 පෙරේරා සහ පොලිස් කොස්තාපල් 94473 මදුෂාන් යන අය මෙසේ අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ . මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සමන්ත ප්‍රීති කුමාරව ජනවාරි 10 වෙනිදා සවස 3ට පමණ නාරාහේන්පිට මෑනින් වෙළද පොල අසල දි පැහැරගෙන ඇත. පසුව කොළඹ විජේවර්ධන මාවතේ නෙළුම් කුලුණ ඉදිරිපිට ඇති පොලිස් තනිකඩ නිවස්නය වෙත රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත්  කර තිබූ අතර ඒ වන විටත්  ඔහු මිය ගොස් සිටි තිබිණි. සමන්ත ප්‍රීති කුමාර නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරීයේ සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය කළ  අතර  ඔහු ජනවාරි 10 කෑම පාර්සලයක් ගැනීම සදහා වෘත්තීය පුහුනු අධිකාරීය ඉදිරිපිට ආපන ශාලාවට පැමිණි අවස්ථාවේ මෙසේ පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර ඇත. 

මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිළධාරීන් සමන්ත ප්‍රීති කුමාරට පහර දී ඝාතනය කර, ගාල්ල තෙල්වත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසීය සදහන් කරන පොඩි ලැසීගේ ගොලයෙකු යැයි ඔවුන් කියන-විට-ලියන කියන මාධ්‍ය හොරනෑ ලවා සමන්තව දෙවන වතාවටත් මරා දැමුහ. විශේෂයෙන්, පොඩිලැසීගේ මත්ද්‍රව්‍ය කොළඹට බෙදාහරින්නේ සමන්ත බව දෙරණ සහ හිරු නාලිකා විකාශනය කළෝය. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මොන තරම් විපලිසර වුයේ ද යැයි කිවොත් සමන්තගේ මරණය සුදු වූ ස්ථානය ලෙස මහේස්ත්‍රාත්වරියට පෙන්වන ලද ස්ථානය සහ කොළඹ අධිකරන වෛද්‍ය අජිත් තෙන්නකොන් හදුනාගන්නා ලද  සමන්තගේ මරණය සිදු ස්ථානය වන අතහැර දමන ලද දුම්රිය පෙට්ටිය යනු ස්ථාන දෙකකි. ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් පනවා ඇති නඩුවේ බී වාර්තාවේ සමන්තව රදවාගෙන ප්‍රශ්න කළේ අතහැර දමන ලද දුම්රිය පෙට්ටියක බව සදහන් කර ඇත. 

සමන්තගේ මරණය සිදු වු ස්ථානය ලෙස තමන්ට පෙන්නු ස්ථානය පිළිබද සැකයක් ඇතැයි  මහේස්ත්‍රාත්වරිය නඩු වාර්ථාවේ සටහන් තබා තිබුණාය. ඇය ඒ පිළිබදව විවෘත අධිකරණයෙදී ද ප්‍රකාශ කළාය. මහේස්ත්‍රාත්වරිය මූලිකව තීන්දුව සකසා ඇත්තේ ඉහත කී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ස්වාධීන පශ්චාත් මරණ පරක්ෂණ වාර්තාව මත පදනම්වය. මාස පහකට පසු, නඩු වාර ගණනාවකට පසු, සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේම සාක්ෂි ලබාගැනීමට කටයුතු කිරීමෙන් පසු, සීරුවෙන්  ඒවා සැලකිල්ලට ගෙන අදාළ නඩු තීන්දු පවා පරිහරනය කරමින් මරණ පරීක්ෂණ තීන්දුව ලිවීමට මහේසත්‍රාත්වරිය  නියමිත සැලකිල්ලකින් කටයුතු කර ඇති බව නියෝගයම සාක්ෂි දරයි. නියෝගය ලිවීමට පෙර නීතිඥවරුන්ගේ ලිඛ්ත දේශන සදහා ද අවස්ථාවක් ලබා දුන් අතර ඒ අනුව මරණකරුගේ ඥාතීන් වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කෙරිණි. 

මෙම මහේසත්‍රාත්  නියෝගයෙන් පසුවද, මරණකරුට යම් නිදන්ගත රෝගයක් ඇතැයි බොරුවක් ඔහුගේ බිරිදගෙන් කට උත්තරයක් ලෙස කියවා ගැනීම සදහා පොලීසිය කරන ලද අනීතික බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇය නීති උපදෙස් මත අම්බලංගොඩ පොලීසියේ පැමිණීල්ලක්ද   ගොනු කරනු ලැබුවේ ඊයේ (08) දිනය .     

මෙම නඩුවේ මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජිත ලක්මාල්, තරිදු ලක්මාල් හා නීතිඥ ප්‍රබෝධ රත්නායක ද,  මරණකරුගේ ඥාතීන් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර  ද පෙනි සිටියහ. එම නීතිඥවරුන්ගේ කැපවිමත් සමන්තගේ මව, බිරිද සහ ඔහුගේ සහෝදරියන්ගේ නිර්භිතකම ද  ඝාතකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම්ට ඉවහල් විය. 

පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන පොලිස් ඝාතන සම්බන්ධයෙන් කෙරෙන අත්අඩංඟුවට ගැනීම් හා ඔවුනට අච්චු කිරීම් ලංකාවේ ඉතා විරල වන අතර, මේ නඩුව එවන් එක් විරල යුක්තිය ඉටුකිරීමක් වෙතට ගමන් කරනු ඇතැයි සමන්ත ප්‍රීති කුමාරගේ නොසැලෙන මව, බිරිද හා පියා අහිමිව අසරනව සිටින පාසැල් යන දරුවන් දෙදෙනා අපේක්ෂාවෙන් සිටිති.

සිරකරුවන් සුරැකීමේ කමිටුව මෙහි මුලිකත්වය ගෙන කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *