සේපාල්ගේ ලබ්බ උඩ දමා ආගමික ආතතිය ඇවිස්සීමට ආණ්ඩුව ගත් වෑයම ගත් තැනම හබක්

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, ජනවාරි 5දා, නැවතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු අත් අඩංගුවට ගත්තේ ය. සේපාල් අමරසිංහ වන ඔහු, මේ වන විටත්, රුදුරු අණපනත් යටතේ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. මේ වනාහී දිගින් දිගටම කෙරෙන රාජ්‍ය මර්නදයේ එක් පියවරකි . ආණ්ඩුවේ ආර්ථික,දේශපාලන ප්‍රහාර මාලාව පරාජය කිරීමට මාවත සොයමින් සිටින, මහජනයා බිය ගැන්වීම මෙන් ම ආගමික වාර්ගික කාකොටා ගැනීම්වලට ඔවුන් ඇද දමා, අරගලය එම ලේ වැකි විනාශය තුල දිය කර හැරීමේ මංමුලාසහගත පියවරකි.    

සේපාල් අත්අඩංගුවට ගැනුනේ, වැඩවසම් රජවරුන්ගේ සිට වර්තමාන සිංහල බෞද්ධ, අවජාතක ධනපති රාජ්‍ය දක්වාත්, රටේ පාලකයාගේ අධිකාරයේ සංකේතය ලෙස සලකා හුවා දක්වාගෙන සිටින “දන්ත ධාතුව” නො සලකා හැරියේ ය යන චෝදනාව මත ය.

වාර්තා වන පරිදි,“දන්ත ධාතුව” හාස්කම් පාන්නේ ය යන යෝජනාවකට පිළිතුරු දෙමින්, “ඔය ලබ්බට මම බය නැත” යි සේපාල පිලිතුරු දී ඇත. සේපාල්ගේ නිතිඥයා උසාවියට ඉදිරිපත් කළ නිදහසට කරුනුවලට අනුව සේපාල් මෙසේ වාද කිරීම මගින් නිර්මල බුද්ධාගම වෙනුවෙන් පෙනී සිට ඇත. ඔහුට ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙන් ම සම්මතයට එරෙහිව පෙනී සිටීමට අයිතියක් ඇත.

දළදාව හෙවත් දන්ත ධාතුව බෞද්ධයන්ගේ ශාස්තෘ වන බුදුන්ගේ දතක් බවට පිළිගැනීමක් ඇත. ඒ් අදහස පිළි නො ගන්නා බොහෝ දෙනා අතර බෞද්ධ භික්ෂූහු ද වෙති. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂුවක් වන සමන්ත්‍ර භද්‍ර මෙය ඌරු දතක් බව සදහන් කරයි. ධාතූන්වහන්සේ ය යි සිප්පි කටු ප්‍රදර්ශනය කරන බව ද ඔහු හෙලිදරව් කළේය .

අනෙක් අතින් සාමන්‍ය බෞද්ධ ජනයා සේපාලගේ ප්‍රකාශය ගණනකට ගත යුතු දෙයක් ලෙස නො සැලකී ය. බෞද්ධ සිත් පෑරී ඇතැයි කියන අය අදහස් කරන්නේ, පාලක පන්තියේ සහායක වරප්‍රසාදිත ප්‍රභූ පැලැන්තියක කොටසක් වන මල්වතු – අස්ගිරි මහා නායකයන් ප්‍රමුඛ පරපුටු ආගමික සංස්ථාපිතයත්, මහජනයා සාගතයට වසංගතයට හා යුද්ධවලට ගොදුරු කර ඇති පාලක පන්තියේ දේශපාලනඥයන් හා ඔවුන්ගේ හෙන්චයියනුත් ගැන ය. ඔවුන් ද මහජනයාට අයත් ය යි කෙනෙකු තර්ක කළ හැකි ය. නැත, ඔවුහු පොදු ජනයා යන සංකල්පයට ඇතුලත් නොවන, මහජනයාට එරෙහි, මහජනයාට ඉහලින් වැජබෙන ප්‍රභූ පැලැන්තියට අයත් සාමාජිකයෝ වෙති.  

බෞද්ධයින් සමනල කන්ද මුදුන බුදුන්ගේ ශ්‍රී පාදස්ථනය ලෙස සලකා වන්දනාමාන කරන අතර වෙනත් ආගමිකයෝ එය තමතමන්ගේ ආගම්වලට අයත් එකක් ය යි විශ්වාස කරති.

සමනල කන්ද (Adams Peak) යනු ශ්‍රී ලංකාවේ පිහිටා ඇති 2,243 m (7,359 f) උස කේතුකාකාර කන්දකි. ඒය බෞද්ධයන් විසින් බුදුන්වහන්සේගේ පාද සටහන ලෙස සැලකෙන ශ්‍රී පාදය, (පූජනීය පාද සටහන) නම් කදු මුදුන ආසන්නයේ පිහිටි 1.8 m (5 f 11 i ) පාෂාණ සැකැස්ම සදහා ප්‍රසිද්ධ ය. හින්දු සම්ප්‍රදායට අනුව “ශිවගේ ආලෝක කන්ද” ලෙස සැලකෙන එය, සමහර ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සම්ප්‍රදායන් තුල ආදම්ගේ හෝ ශාන්ත තෝමස්ගේ පාද සටහන ලෙස සැලකේ. මේ සියලු විශ්වාස ලිඛිත මූලාශ්‍ර මත පදනම් වන නමුත් කිසිදු විද්‍යාත්මක හෝ පුරා විද්‍යාත්මක තහවුරු කිරීමක් නැත.

දැන් තර්ජනය එල්ලවන්නේ වෙනත් ආගම් අදහන්නන් හා නිරාගමිකයන් බෞද්ධ සංථාපිතයේ අදහස පිළිගෙන කරබා ගත යුතු බවට ය. දළදාව බොරුවක් ය යි කීමට ද, එහි හාස්කම් නැති බව කීමට ද, එයට තමන් බිය නො වන බව ප්‍රකාශ කිරීමට ද, එය ඌරු දතක් හෝ වෙන යමක් ය යි තමන් විශ්වාශ කරන බව කීමට ද අයිතිය ඇත.  එම ප්‍රජාතන්ත්‍ර අයිතියට විරුද්ධ මල්වත්ත හා අස්ගිරිය පාර්ශව ඇතුලු භික්ෂූ ප්‍රභූව සේපාලට එරෙහිව පියවර ගන්නා ලෙස ආණ්ඩුවට ලියා දැන්වූහ.

“දලදාවට වාග් ප්‍රහාර එල්ල කරමින් ජනතාව විශාල වශයෙන් කුපිත කිරීමේ වැඩපිලිවෙලක්” ඇති බව සේපාල සිද්ධිය තුලින් සොයා ඇහිඳ ගෙන එය මහා ආගමික රිදවීමක් ලෙස පින්තාරු කිරීමට පාර්ලිමේන්තුවේ වර්ගවාදී මන්ත්‍රී නඩය ක්‍රියාත්මක වූහ.

සිංහල බෞද්ධ ප්‍රකෝකරනය සම්බන්ධයෙන් නමක් දිනාගෙන සිටින, හිටපු ඇමති විමල් වීරවංශ “දළදා හාමුදුරුවො රැක බලා ගැනීම තමයි රාජ්‍යත්වයේ ප්‍රධාන වග කීම” යි පාර්ලිමේන්තුවේ දී විලාප නැගුවේ ය. තවත් කුප්‍රකට වර්ගවාදියෙකු වන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ දණ්ඩ නීිති සංග්‍රහයේ 290 හා අයිසීසීපීආර් යටතේ නඩු පැවරීම යෝජනා කරමින්  “ආගමික විශ්වාසයකට, ආගමික ස්ථානයකට, දේපලකට හානිවන පරිදි, සිත් පෑරෙන පරිදි, කටයුත් කිරීම හා අවතක්සේරු වන පරිදි කටයුතු කිරීම සාපාරාධී වරදක් බව” පෙන්වා දෙමින් ප්‍රශ්නයට දැවැන්ත පරිමාවක් ආරූඩ කිරීමේ ප්‍රයත්නයක නිරත විය. ඔවුනතර බොහෝ දෙනෙක් මෙම සිද්ධිය, කැරලිකරුවන්ගේ ස්වභාවයක් ලෙස හුවා දක්වමින්, සිය ආණ්ඩුවේ ප්‍රහාරවලට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා අභිලාෂයට විරුද්ධව එල්ල කළහ.

ජවිපෙ අනුර කුමාර දිසානායක “මෙවැනි වර්ගයේ අන්තවාදී ප්‍රකාශ හා ගැටුම් හරහා සමාජය විශාල අනතුරකට ලක් වන නිසා” රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් “ හැම දෙනාගේම වග කීමක් තියෙනවා ප්‍රකෝපකාරිත්වයට ඉඩ නො දී පාලනය ගෙනියන්න” යි රජයට උපදෙස් දුන්නේ ය. එතනින් නො නැවතී, ජනවාරි 9දා ජවිපෙ මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් දිසානායක “සේපාල ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ ක්‍රියාකාරියෙකු හෝ සංවිධායක යාන්ත්‍රනයක සිටින පුද්ගලයෙකු නො වන බව ද පසු ගිය ජනාධිපතිවරනයේ දි ඔහු ගෝඨාභය රාජපක්ෂ කදවුරේ සිටි” බව ද කියමින් බෞද්ධ භික්ෂූ ප්‍රභූව හා සෙසු ප්‍රතිගාමීන් වෙත තම අනුකූලතාව ප්‍රකාශ කලේ ය. ආණ්ඩුව සේපාල අත්අඩංගුවට ගැනුනේ මෙවන් සූදානමක හා පෙල ගැසීමක අනුබලය සහිතව ය. 

සේපාල්, රාජපක්ෂට වැඩ කළා මෙන් ම ජවිපෙට ද ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වී ය. ජවිපෙ නායකයා හිමින් ලිස්සා යමින් තමන්ගේ කමිටුවක ඔහු නැති බව කියා සේපාලට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කුමන්ත්‍රණකාරී ක්‍රියාවට විරුද්ධ නොවී සිටීම යුක්ති යුක්ත කර ගනී.  

ධනපති උද්ඝෝෂණයේ ඉහලින් පිහිටුවාගෙන සිටින මල්වත්ත හා අස්ගිරිය යනු රටේ ඉඩම්වලින් විශාල කොටසකට හිමිකම් පාන, දේපල හිමි, වර්ගවාදී, කුලවාදී, ප්‍රතිගාමී වැඩවසම් දේශපාලන අන්ඩකි. එය පෙනී සිටින්නේ පුද්ගලික දේපල ආරක්ෂා කිරීම සදහා කැප වූ ස්වොත්තමවාදී ආඥාදායක පාලනයක් වෙනුවෙනි. මේ රට පාලනයට ආඥාදායකයෙකු අවශ්‍ය ය යි මේ භික්ෂූහු බොහෝ වාරයක් යෝජනා කර  ද ඉල්ලා සිට ද ඇත්තාහ.  

ශ්‍රී ලංකාව වැනි කල් පසු වී බිහි කළ ධනපති රාජ්‍යවලට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යන් ඉටු කල නො හැකි බව දැන් ඕනෑවටත් වඩා පැහැදිලි වී ඇත. මෙම දුර්වලතාව ගැන සංවේදී වූ බ්‍රිතාන්‍ය  අධිරාජ්‍යවාදීහු හා ලංකාවේ ධනපතීහු 1948 ඇට වූ ඊනියා නිදහස් ලංකා රාජ්‍යය, කුලවාදය, වර්ගවාදය හා ආගම්වාදය වැනි වැඩවසම් සංස්ථා මතට වාරු කළේය. පලමු පාර්ලිමේන්තුව වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කරමින් ද, තෙවන පාර්ලිමේන්තුව සිංහල පමනක් පනතක් ගෙන එමින් ද, 1972 ඊනියා ජනරජ ව්‍යවස්ථාව මගින් බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ පිහිටුවමින් ද පන්ති අරගලයට එරෙහිව බෙදුම්වාදී ප්‍රකෝපකාරීත්වයේ අග්නි ජාලාවලට අවශ්‍ය වෙඩි බෙහෙත් යලියලිත් සූදානම් කර ඇත.

මෙම භික්ෂූ පැලැන්තිය පැවත එන්නේ මල්වතු පාර්ශවයට අයත් මගුල් මඩුවේ දී රට බ්‍රිතන්‍ය අධිරාජ්‍යාවාදීන්ට පාවා දුන් 1815 උඩරට ගිවිසුමට සහාය දුන් පරපුරෙනි. වාර්තාවලට අනුව, උඩරට රදලයන් 12 දෙනෙකු අත්සන් කළ පාවා දීමේ ගිවිසුම, මගුල් මඩුවේ වැඩ විසූ මල්වතු පාර්ශවයේ මහා නායක ධූරන්දර කොබ්බෑකඩුව ඇතුලු මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා නායකයන්ට කියවා පැහැදිලි කර අනුමත කරගන්නා ලදී. අනතුරුව ඊනියා නිදහස් රාජ්‍යයේ ආගමික වාර්ගික ප්‍රකෝකාරිත්වයේ අයිතිය වෙනුවෙන් නිරන්තර උද්ඝෝෂණය කළේ මෙම ප්‍රතිගාමී පැලැන්තිය බව අමතක නොකල යුතු ය.   

මෙම වැඩ වසම් සංස්ථාව සිය වරප්‍රසාද වෙනුවෙන් ඕනෑම ලේ වැගිරීමක් පිළිගන්නා බව ඉතිහාසය බොහෝ වාරයක් පෙන්වා දී ඇත.

2009 වර්ගවාදී යුද්ධය අවසන් වීමත් සමග මුස්ලිම් සහ කතෝලික පල්ලිවලට පහර දෙමින් සමාජය කැබලිවලට බෙදා රාජපක්ෂ තන්ත්‍රයට  මහජනයාට දුන් සියලු පොරොන්දු කඩ කර පාලනය පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබා දීමට බෞද්ධ බල ඇනි ක්‍රියාත්මක විය. මුස්ලිම් ජනයාට විරුද්ධ ම්ලේච්ඡ ව්‍යාපාරයේ මුල් තැන්වල භික්ෂූන් සිටියේ තමන් කවදත් රට බේරා ගැනීමේ සටනේ පෙරමුනේ සිටියේ ය යන ධජය වනමිනි. මුස්ලිම් දේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රකෝපකාරී ක්‍රියාවේ මුල් තැන මේ නඩය සිටියහ. මේවා ආගමික වාර්ගික ජනයාගේ සිත් පෑරුවා පමනක් නො ව ඔවුන්ට  ජීවිත හා උන්හිටි තැන් ද අහිමි කලේ ය.

සුලුතර ජන කණ්ඩායම්වලට මෙසේ වෙනස්කම් කරමින්, ඔවුන්ගේ ආගම් හා සංස්කෘතික සිරිත්විරිත්වලට කවදත් එරෙහිව සිටි භික්ෂූන් හා ධනපති ගැති දේශපාලඥයන් හිත් රිදීම ගැන කරන කතා කුහක ය.

මෙලෙස පාලක පන්තියේ ම විශේෂ බලඇනියක් වන බෞද්ධ භික්ෂූ ප්‍රභූව හා පිරිහුනු ධනපති ක්‍රමයේ නියෝජිතයන්, සේපාලගේ ප්‍රකාශය දඩමීමා කර ගනිමින් දැන් කැස කවන්නේ සුලුතර ජන කන්ඩායම් මතට නැවත පිම්මක් ගැනීම සදහා ය. මහජාතියේ මංමුලාවට පත් මධ්‍යම පන්තියට ප්‍රෞඩත්වය ආරෝපනය කර ඒ් තුල ස්වෝත්තමවාදී හැගීම් ගින්න අවුලුවා සෙසු පීඩිතයන් ඊට යටත්ව පවත්වා ගැනීමේ මානසිකත්වයක් යටතේ ආතතියක් පවත්වා ගැනීම ඊට අවශ්‍ය ය. ධනපති පක්ෂයක් වන ජවිපෙ ට ද අන් වැඩපිලිවෙලක් නැත.   

කොවිඩ් වසංගතය සමග පාලක ධනේශවරයේ නොහැකියාව හෙළිදරව් වූවා මෙන් ම, විවිධ ආගමික හා වෙනත් මිත්‍යා මත අභියෝගයට ලක් විය. පසුව මහජනයාට එල්ල වූ ආර්ථික දේශපාලන ප්‍රහාරයට එරෙහි අරගලය තුල, වාර්ගික හා ආගමික බෙදීම් වලින් බෙදා වෙන් කර පාලනය කිරීමේ ධනේශ්වර මූලෝපායික පිළිවෙත තමන්ට කොතරම් හානිකර ද යන කරුන ගැන මහජනයා සංවේදී වූහ. පසු ගිය වසරේ අප්‍රේල්වල සිට ඇදී ගිය  හා තවමත් නිම නොවූ අරගලය තුල මහජනයා භේදබින්න කරන වර්ගවාදයට එරෙහි ව වාර්ගික එකමුතුව ඉල්ලා ගැඹුරු හඩක් මතු විය.

කවියෙකු හා ගුරුවරයෙකු වන අහ්නාෆ් ජසීම් මේ වන විට ත්‍රස්තවාදී ලැයිතුවට ඇතුලත් කර ඇත. ඔහු කර ඇති වරද ත්‍රස්තවාදයට විරුද්ධ කවි පොතක් ලිවීම බව කලාවේ හා භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව ගෙන ගිය උද්ඝෝෂණය තුලින් මොනවට තහවුරු කර ඇත. මෙතන දී වැදගත් වන කරුන නම් කොවිඩ් අර්බුදය මැද අර්බුදයේ බර තමන් මත පැටවීමට පෙරට දැමූ ආන්ඩුවේ පිළිවෙතට එරෙහිව පෙරට ඇදුනු මහජනයා වාර්ගික ආගමික විරුද්ධත්වයේ දිසාවට යොමු කිරීමට රජය දැරූ ප්‍රයත්නය අසාර්ථක වීම ය. අහ්නාෆ්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් හිතන මතන බුද්ධිමතුන්, කලාකරුවන්, කම්කරුවන් ඇතුළු මහජනයා නැගී සිටි අතර වර්ගවාදී නඩ පසුබැස්සවීමට ඔවුන්ට හැකි විය.

යලි බෙදුම්වාදී ව්‍යාපාරය පණ පොවා ගැනීම පහසු නැති අතර කම්කරු පන්තිය මහා වර්ජන, කම්හල් වාඩිලා ගැනීම්, පිකට් යනාදී පන්ති ක්‍රියා මගින් නැගී සිට ආන්ඩුවේ ආඥාදායක සැලසුම් පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පෙරට ආ යුතු ය. ගොවියන් තරුණයන් හා සෙසු පීඩිතයන් ඒ් වටා පෙල ගස්වාගෙන සංවිධනය වීම සදහා කම්කරු ක්‍රියාකාරී කමිටු වැඩපොලවල හා ගම්නියම්ගම්වල ගොඩ නැගීම කල් පමා කල නො හැකි ය. එබඳු මහජන ව්‍යාපාරයකින් තොරව පවතින තත්වයක් මහජනයා පරාජයට ඇද දැමීමට ප්‍රතිගාමීත්වයට අවස්ථාව සලසන අතර වාර්ගික ආගමික ෆැසිස්ට් ප්‍රතිවිප්ලවයක් සදහා එවැනි පරාජයක් ඉඩ සලසනු නැතැයි කිව නො හැකි ය.

සේපාල් අමරසිංහ නිදහස් කරනු !

නන්දන නන්නෙත්ති ,

18.1.2023

(කොලඹ ක්‍රියාකාරී කමිටුවේ විධායක සභාව වෙනුවෙන්)

ReplyForward

Leave a Reply

Your email address will not be published. Required fields are marked *