හදිසි නීතිය පැනවීම පවත්නා අර්බුදයට විසඳුමක් නොවේ.-

පැෆරල් සංවිධානය

2022.05.06 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා  විසින් රට තුළ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රජය පවසනුයේ  හදිසි  නීතිය පැනවූයේ ජනජීවිත සුරක්ෂිත කිරීමෙි කෙටිකාලීන  පියවරක් ලෙස බවය.නමුත් මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන පැෆ්රල්  සංවිධානයේ  අදහස වනුයේ කුමන තත්ත්වයක් තුළ හෝ හදිසි නීතිය පැනවීම පවත්නා අර්බුදය විසඳීමට හේතුවක් නොවන බවත් ඉන් සිදුවනුයේ ගැටළුකාරී තත්ත්වය තව තවත් තීව්‍ර කිරීමට හේතු සාධක සපයන බවත්ය.

ජනජීවිත සුරක්ෂිත  කිරීමේ මූලික වගකීම ඇති රජය විසින් පසුගිය කාලසීමාව තුළ ගන්නා ලද අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රට තුළ ආර්ථික සහ දේශපාලනික  අර්බුදයක් නිර්මාණය වූ අතර තමන් විසින්ම නිර්මාණය කල අර්බුදය විසඳීම සඳහා
හදිසි නීතිය වැනි මර්ධන අණපනත් ගෙන ඒම හාස්‍යයට කරුණක් බව අපගේ විශ්වාසයයි.

රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදයට මාසයකට ආසන්න කාලසීමාවක් ගතව ඇතත්  ඒ සඳහා පිළිගතහැකි විසඳුමක් ලබා දෙන්නට දේශපාලන අධිකාරිය නම්‍යශීලි නොවී කල්මැරීම තුළ සිදුවනුයේ ජනතා විරෝධය සහ කෝපය දේශපාලකයින් වෙත එල්ලවීම හරහා ගැටළුකාරී තත්ත්වය තව තවත් උග්‍රවන බවයි. මෙකී අර්බුදය  නිර්මාණය වීමෙන්  අනතුරුව දින 09 ක් පාර්ලිමේන්තුව රැස්ව ඇතත්  අතිවිශාල ධනස්කන්දයක් වැය කරමින් හරසුන් සංවාද පැවැත්විම හා බැන අඬ ගසාගැනීම් හැර ගැටලුවට සාධනීය පිළිතුරක් සපයන්නට මහජන නියෝජිතයින් අසමත්වීම අතිශයින් කණගාටුදායක තත්ත්වයක් බව මෙහිලා සඳහන්කල යුතුය.

වර්තමානයේ ජනතාව විසින් ඉල්ලා සිටින සාධාරණ ඉල්ලීම්වලට කන්දෙනවා වෙනුවට  රජය විසින් අධිකරණය සහ පොලීසිය යොදාගනිමින්, ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  14(1) අ වගන්තිය මගින් තහවුරු කොට ඇති සාමකාමී රැස්වීමට ඇති අයිතිය  මර්ධනය කිරීමට  කටයුතු කරන්නේ නම් එය ශිෂ්ඨ සමාජයක් විසින් අනුමත නොකරන  ම්ලේච්ඡත්වය කරා යාමක් බවද සඳහන් කල යුතුය.

දැනටමත් හදිසි නීතිය පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී  ලංකා නිතීඥ සංගමයද සිය අප්‍රසාදය පලකර ඇති අතර යුරෝපා සංගමය සහ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයන්ද ජනතාව පීඩාවට පත්ව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවට හදිසි නීතිය පැනවීම කිසිසේත්ම පිළිගත හැකි විසඳුමක්  නොවන බව සඳහන් කර ඇත.

ජනතාවගෙන්ද අප ඉල්ලා සිටින්නේ කුමන ප්‍රකෝප කිරීම් කලද ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් කරා යොමුනොවන ලෙසත් සාමකාමී ලෙස සියඉල්ලීම් දිනාගැනීම සඳහා  කටයුතු  කරන ලෙසත්ය.

අවසන් වශයෙන් අප රජයෙන් මෙන්ම විපක්ෂයෙන්ද ඉල්ලා සිටිනුයේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට කන්දෙමින් සිදුකල යුතු දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා අවංක හැඟීමෙන් යුතුව මැදිහත්වන ලෙසත් කුමන තත්ත්වයක් තුළ හෝ ජනතා අභිලාෂයන් යටපත් කිරීම සඳහා හදිසි නීතිය වැනි මර්ධන අණ පනත් ක්‍රියාවට නංවීමට කටයුතු  නොකරන ලෙසත්ය.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *