හිසට කවරයක් දමා කකුල් කැඩෙන්න ගහපු නාකෝටික් නිලධාරීන් සැකකරුවන් තිදෙනකුගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

(තරිඳු ජයවර්ධන)

හිසට කවරයක් දමා වසා යටිපතුල්වලට සහ පාදවලට යකඩ පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කර පසුව සිද්ධාලේප ආලේප කිරීමට දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් තිදෙනකු පුරවැසියකුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (28) තීන්දු කළේය.

එම පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ලයනල් ජයරත්න, පොලිස් කොස්තාපල් 60728 බී පී සංජීව සහ පොලිස් කොස්තාපල් 74811 ආර් ඒ අයි රතුගමගේ යන පොලිස් නිලධාරීන් තිදෙනාය.

නීතියේ සමාන ආරක්ෂාව සඳහා සෑම පුද්ගලයකුටම ඇති අයිතියට ගරු කළ යුතු බවත්, මානව ගරුත්වය සහ නීතියේ අධිපත්‍යයෙන් ද එය අදහස් වන බවත්, දරුණු අපරාධයක් හෝ හෙරෙයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පුද්ගලයකුට පවා එම අයිතිය ප්‍රමුඛව පවතින බවත්, ඊට ගරුකළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා මෙම තීන්දුව ලබා දෙමින් සඳහන් කළේය.

අර්ජුන ඔබේසේකර මහතා විසින් ලබා දෙන ලෙස තීන්දුවට එස් තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එකගත්වය පළ කර තිබේ.

‘සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවාන්විතව ජීවත් වීමට අයිතියක් ඇති අතර කිසිදු වධ හිංසාවලට හෝ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට හෝ දඬුවමකට යටත් නොවේ. අපේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා ලෙස, මෙම අයිතිවාසිකම් පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම මෙම අධිකරණයේ යුතුකමයි.‘ යැයි ද විනිසුරු ඔබේසේකර මහතා තම තීන්දුවේ සඳහන් කරයි. ‍

මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ විශේෂත්වයක් වන්නේ මුල් අවස්ථාවේදීම එනම් පෙත්සම්කරු සැකකරුවකු ලෙස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේම ඔහුට පොලිසියෙන් කළ පහරදීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත්වරයා අවධානයට ලක් කර තිබීමයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් අවධානයට ලක් කර පහර දීම කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝග කර ඇති බව ද මූලික අයිතිවාසිකම් නඩු විභාගයේදී හෙලිදරව් විය.

සිද්ධිය වන විට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරුගේ වයස අවුරුදු 47 කි. ඔහු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවයේ යෙදී සිට ඇත. මෙම නිශ්චිත සිද්ධියට පෙර පෙත්සම්කරු හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන තිබුණි. හෙරොයින් ග්‍රෑම් 66.9ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අංක 841/2002 දරන නඩුවේදී පෙත්සම්කරුට අධිචෝදනා පවරා ඇති අතර 2012 මාර්තු 9 වැනි දින ඔහු නිදොස් කොට නිදහස් කර ඇත. නැවත වරක් 2011 ජූනි 26 වැනි දින හෙරොයින් ග්‍රෑම් 12.08ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම ඔහු අත්අඩංගුවට පත්වී ඇති අතර ඊට අදාල නඩුවෙන් ඔහුට ඇප නියම කර තිබිණි.

ඇප කොන්දේසි අනුව සෑම මසකම අවසන් ඉරිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට ඔහු පැමිණ වාර්තා කළ යුතුය. ඒ අනුව 2016 අගෝස්තු 28 වැනි දින පෙරවරු 10 ට පමණ එම පොලිස් ස්ථානයට ඔහු වාර්තා කර තිබේ.

වෙනත් අයකු විසින් පදවන ලද ත්‍රිරෝද රථයකින් ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට පැමිණ පිටත්ව ගොස් මරදාන දෙසට ගමන් කර ඇති අතර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී තමා ගමන් ගත් ත්‍රීරෝද රිය පසුපස යතුරු පැදි දෙකක් එන බව පෙත්සම්කරුගේ අවධානයට ලක්වී තිබේ. පාරේ මාර්ග සංඥාවක් අසල ත්‍රීරෝද රථය නතර වූ විට සිවිල් ඇඳුමින් සැරසී සිටි මෙම නඩුවේ පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් යතුරුපැදිවලින් බැස පෙත්සම්කරු ගමන් කළ ත්‍රීරෝද රථය තුළට ගොඩවී ඇත.

ඉන් පසු වගඋත්තරකරුවන් දෙදෙනා පෙත්සම්කරුට කම්මුල් පහරක් එල්ල කර ඇති අතර එලෙස පහර දී පෙත්සම්කරු සතුව තිබෙන ආයුධයක් බාර දෙන ලෙසට බල කර තිබේ. තමන් සතුව ආයුධ නැතැයි ප්‍රකාශ කළ පසු තමන් පොලිසියේ බව කියමින් පෙත්සම්කරුට මාංචු දමා ත්‍රීරෝද රිය ඩී ආර් විජේවර්ධන මාවත දෙසට ගමන් කරන ලෙස එහි රියදුරුට වගඋත්තරකරුවන් දැනුම් දී ඇතැයි මූලික අයිතිවාසිකම් පෙත්සමේ සදහන් කර තිබේ.

ඉන් පසු අතුරු පාරකදී තුන් වැනි වගඋත්තරකාර පොලිස් නිලධාරියා ද සිවිල් ඇඳුමෙන් සැරසී අතරමගදී ඩබල් කැබ් රථයක සිට ඇති අතර වගඋත්තරකරුවන් මෙම පෙතස්මකරු ත්‍රීරෝද රථයෙන් එළියට ඇද දමා පසුව ඩබල් කැබ් රථයේ පටුපස කොටසේ ඔහු දිගා කර මත්ද්‍රව්‍ය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ. තමා සතුව මත්ද්‍රව්‍ය නැතැයි කී පසු ඔහුගේ යටිපතුල්වලට සහ විලුඹට මාරුවෙන්මාරුවට යකඩ පොල්ලකින් පහර දී ඇති බවත්, ඒ නිසා ඔහු දැඩි වේදනාවකින් පෙළි ඇතිබවත් නඩුවේදී කියැවිණි.

ඉන් අනතුරුව එම ඩබල් කැබ් රථයෙන් පෙත්සම්කරු ගණේමුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියකට රැගෙන ගොස් ඇති අතර එහිදී ප්ලාස්ටික් බෑගයකින් හිස වසා පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් පෙත්සම්කරුගේ පාදවලට යකඩ පොල්ලකින් දිගින් දිගටම පහර දුන් බවට ද පෙත්සමෙන් චෝදනා එල්ල කර තිබේ. ඉන් අනතුරුව පෙත්සම්කරු පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර එහිදී ද පළමු සහ තුන් වැනි වගඋත්තරකරුවන් තවදුරටත් පහරදී ඇත.

අවසානයේ පෙත්සම්කරු රාත්‍රී 9ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත රැගෙන විත් ඇති අතර පහරදීම නිසා දෙපා ඉදිමී ඇවිදීමේ අපහසුවෙන් සිටි පෙත්සම්කරුට පඩිපෙළ නැගීමට නොහැකි වූ නිසා වගඋත්තරකරුවන් විසින් ඔහු ඔසවාගෙන ඇතුළට ගෙන ගොස් පාදවල ආලේප කිරීම සඳහා සිද්ධාලේප ලබා දී තිබේ.

පසුදින සවස 3ට පමණ එනම් 2016 අගෝස්තු 29 වැනිදා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කළ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කරු ඔරුගොඩවත්තේ දී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගත් බවයි. ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේ සිටියදී ඉනෝකා නම් නීතිඥවරියක පෙත්සම්කරුගේ ඇවිදීමේ අපහසුව නිරීක්ෂණය කර පාද ඉදිමීමට හේතුව විමසා ඇති අතර ඔහු තමාට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් පහරදීම ගැන ප්‍රකාශ කර තිබේ. අනතුරුව එම නීතිඥවරිය පෙත්සම්කරු සමග මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට ගොස් පහරදීම ගැන මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කර තිබේ. අනතුරුව නිලධාරීන්ට නිලකාමරයෙන් පිටව යන ලෙස දැනුම් දී කකුල් තුවාලවීමට හේතුව පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කර ඇති අතර අගෝස්තු 28 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් පිටවූ අවස්ථාවේ සිට සිදුවූ සියල්ල ඔහු මහේස්ත්‍රාත්ට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඉල්ලා සිටි රැඳවුම් නියෝගය ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා පෙත්සම්කරු රිමාන්ඩ් භාරයට පත් කිරීමටත්, ඔහු බන්ධනාගාරය මගින් අධිකරණ වෛද්‍ය නිලධාරීට ඉදිරිපත් කිරීමටත් නියෝග කර ඇත.

ඒ අනුව 2016 අගෝස්තු 30 වැනිදා අධිකරණ වෛද්‍ය නිලධාරියකු පෙත්සම්කරු පරීක්ෂා කර වාර්තාවක් ලබාදී තිබේ.

එම පරීක්ෂා කිරීමට අදාල අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ තමාට තුවාල සිදුවීමට හේතුව ලෙස මෙම සිදුවීම ප්‍රකාශ කර ඇති අතර එය ද වෛද්‍ය වාර්තාවේ සටහන් කර තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරියා තම නිරීක්ෂණ සටහන් කරමින් සඳහන් කර ඇත්තේ මොට ආයුධයකින් පහරදීම නිසා පාද දෙකෙහි බරපතල ස්වභාවයේ තුවාල හටගෙන ඇති බවයි. එසේම දරුණු මෘදු පටක තුවාල ද ඇති බවත් තුවාලවල රටාව පරීක්ෂා කරද්දී එය පෙත්සම්කරු විසින් කරන ලද ප්‍රකාශයට අනුකූල බවත් අධිකරණ වෛද්‍යවරයා සඳහන් කර තිබේ.

පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙර සඳහන් කර ඇති පරිදි ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇති අතර එහිදී මෙලෙස අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ද සඳහන් විය.

මහේස්ත්‍රාත් අධිකරණයේ තෙවැනි දිනය වූ 2016 සැප්තැම්බර් 27 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සියල්ල නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරුට පහරදීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර අදාල පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ. එම නියෝගය අනුව සිද්ධිය ගැන වෙනම බී වාර්තාවක් අධිකරණයට ගොනු කර ඇති අතර අවස්ථා කිහිපයකදී විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දී තිබේ.

එහෙත් සැකකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කර නොතිබුණු අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය මාර්තු 07 වැනිදා විභාගයට ගැනීමෙන් පසු තීන්දුවට නියම කළ පසු නීතිපතිවරයා විසින් පසුගිය මාර්තු 28 වැනිදා කොළඹ මහාධිකරණයේ මෙම වගඋත්තරකරුවන් ඇතුළු හය දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බව මෝසමක් මගින් පසුගිය අප්‍රේල් පළමු වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මෙම චෝදනා පත්‍රය ගොනු කර ඇත්තේ 1994 අංක 22 දරන වධහිංසා පනත යටතේය.

ඒ අනුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් 11 වැනි ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා තීන්දු කළේය.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘සවස්ති‘ කොටසින් පෙන්වාදී ඇති පරිදි මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම තුලික් ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන මූලික ගුණධර්මය වන්නේ මානව අභිමානය බව ද විනිසුරු ඔබේසේකර මහතා තම තීන්දුවේ ප්‍රකාශ කර තිබේ.

මානව අභිමානය සහ නීතියේ අධිපත්‍ය යන සංකල්ප මගින් ඉල්ලා ඇත්තේ නීතියේ සමාන ආරක්ෂාව සඳහා සෑම පුද්ගලයකුටම ඇති අයිතියට ගරු කිරීම බවත්, දරුණු අපරාධකරුවකු හෝ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයකුට හෝ අදාලව වුවද එම අයිතිවාසිකම ප්‍රමුඛව තිබෙන බවත්, ඊට ගරු කළයුතු බවත් සඳහන් කරන ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සිද්ධියේදී වගඋත්තරකරුවන්ගේ හැසිරීම මගින් පෙත්සම්කරුට නීතියේ සමාන ආරක්ෂාව සඳහා ඇති අයිතිවාසිකම අහිමිව ගොස් ඇති බව තීන්දු කර තිබේ. ඒ අනුව 12.1 ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බව තීන්දු කර ඇත.

මෙම පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ නිශාදි වික්‍රමසිංහ සමග නීතිඥ සේනානි දයාරත්න මහතා පෙනී සිටි අතර පළමු දෙවැනි සහ තෙවැනි වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ වරුණ ද සේරම් මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවේන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය පෙනී සිටියාය.

whatnews වෙබ් අඩියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *