අපේ ණයෙන් ගොඩයන ක්‍රිබ්

Crib that gets out of our debt For a purchase worth crores In an attempt to avoid public procurement

ක්‍රිබ් හෙවත් ණය තොරතුරු කාර්යාංශය යන්න අප කාටත් ඉතා හුරුපුරුදු වචනයකි. බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණයක් හෝ වෙනත් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට යෑමේදී එම ආයතනයන් අප සම්බන්ධයෙන් සලකා බලන ප්‍රධාන දෙයක් වන්නේ ක්‍රිබ් හෙවත් ණය තොරතුරු කාර්යාංශයේ අප සම්බන්ධයෙන් වාර්තා වී ඇති තොරතුරු කුමක්ද යන්නය. සාමාන්‍ය ව්‍යාහාරයේදී ණය හෝ මූල්‍ය පහසුකම නොලැබුණු බොහෝ අය කියන දෙයක් වන්නේ ක්‍රිබ් හි නම තිබෙන නිසා එම ණය හෝ මූල්‍ය පහසුකම නොලැබුනා යන්නය. එතරම්ම ක්‍රිබ් හෙවත් ණය තොරතුරු කාර්යාංශය යන්න අප බොහෝ දෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ ආයතනයකි.

එසේ වුවද ක්‍රිබ් ආයතනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ තේරුම් ගැනීම වන්නේ එය පෞද්ගලික අංශයේ ආයතනයක් යන්නය. එහෙත් එය නිවැරදි නොවේ. එය පිහිටුවා ඇත්තේ 1990 අංක 18 දරන පාර්ලිමේන්තු පනත මගින්ය. 1995දී හා 2008 වර්ෂයේදී එම පනතට සංශෝධන දෙකක් රජය ඉදිරිපත් කර ඇති අතර වර්තමානයේ එය පවතින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතනයක් වශයෙන්ය. ක්‍රිබ් හි කොටස් අයිතියෙන් සියයට 72.63ක් මේ වනවිට පවතින්නේ ශ්‍රී ලංකා මහා බැංකුව හා රාජ්‍ය බැංකු සතුවය. ශ්‍රී ලංකා මහා බැංකුවට සියයට 19.30ක්, ලංකා බැංකුවට සියයට 18.64ක්, මහජන බැංකුවට සියයට 18.96ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සියයට 12.18ක් හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට සියයට 3.55ක් එහි කොටස් බෙදී ගොස් ඇත. ඉතිරි කොටස් බලපත්‍රලාභී පෞද්ගලික වානිජ බැංකු සහ මූල්‍ය සමාගම්වලට හිමිවී ඇත.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු මුදල් මණ්ඩලය විසින් පත්කරනු ලබන අතර ඊට අමතරව තවත් අධ්‍යක්ෂවරයෙක්ද මහ බැංකුවෙන් පත්කරනු ලබයි. ලංකා බැංකුව හා මහජන බැංකුව නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, පෞද්ගලික වානිජ බැංකු නියෝජනය කරමින් අධ්‍යක්ෂවරු දෙදෙනෙකු, විශේෂ බැංකු නියෝජනය කිරීමට අධ්‍යක්ෂවරයෙකු, මූල්‍ය සමාගම් නියෝජනය කිරීමට අධ්‍යක්ෂවරයෙකු, ලීසිං සමාගම් නියෝජනය කිරීමට අධ්‍යක්ෂවරයෙකු ඒ සඳහා පත්වන අතර ඊට අමතරව එහි සාමාන්‍යාධිකාරිවරයා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරයි.

ක්‍රිබ් ආයතනයේ මේ වනවිට සිටින මුළු සේවකයින් සංඛ්‍යාව 25ක් වන අතර ඒ සාමාන්‍යාධිකාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් 07 දෙනෙකු, කළමනාකරුවන් 04 දෙනෙකු, විධායක ශ්‍රේණියේ 07 දෙනෙකු හා විධායක නොවන ශ්‍රේණියේ 07 දෙනෙකු වශයෙන්ය. එම ආයතනය මෙහෙයවන ප්‍රධාන විධායකය වන්නේද සාමාන්‍යාධිකාරිවරයාය. ඔහු එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාද වන්නේය.

ක්‍රිබ් ආයතනයට සල්ලි හෙවත් මුදල් ලැබෙන්නේ බැංකු හා මූල්‍ය ආයතන විසිනුත් ජනතාව තනි තනිවත් සිය ණය සහ වගකීම් පිළිබඳ තොරතුරු එම ආයතනයෙන් ඉල්ලුම් කිරීමේදී අය කරන ගාස්තුවෙන්ය. මේ ආකාරයට බැංකු, මූල්‍ය ආයතන හා තනි පුද්ගලයින් 40,000ක පමණ ප්‍රමාණයක් දිනකට ණය තොරතුරු විමසීම් සිදුකරන බව එම ආයතනයේ වාර්තා අනුව හඳුනාගත හැකි අතර බැංකු හා මූල්‍ය ආයතන තොරතුරු ඉල්ලීමකට රුපියල් 125ක මුදලක්ද, තනි තොරතුරු ඉල්ලීමකට රුපියල් 150ක්ද අය කරනු ලබයි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ක්‍රිබ් මේ වනවිට රුපියල් බිලියන 5කට වඩා හෙවත් රුපියල් කෝටි 500කට වැඩි ස්ථාවර තැන්පතු ඇති ආයතනයක් බවට පත්ව තිබීමය.

නමින් පමණක් ජනතාව දන්නා මේ ක්‍රිබ් ආයතනය ගැන මේ වනවිට තොරතුරු අනාවරණය වන්නට පටන්ගෙන ඇත. ඉන් එක් තොරතුරක් වන්නේ ක්‍රිබ් ආයතනය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම, කුලියට ගැනීම හෝ බද්දට ගැනීමේ ක්‍රියාවලියය. මේ සම්බන්ධයෙන් වූ අවසන් පුවත්පත් දැන්වීම ක්‍රිබ් ආයතනය ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ 2022 සැප්තැම්බර් 11 වන දින ආණ්ඩුවේ ඔබ්සවර් පුවත්පතේය. අවම වසර 10ක කාලයකට කොළඹ 01,02 හා 03 ප්‍රදේශවලින් කුලියට හෝ බද්දට වර්ග අඩි 20,000ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාගැනීම සඳහා යෝජනා කැඳවා ඇති අතර එකවර වාහන 15ක් ගාල් කිරීමේ පහසුකමද ඉල්ලා ඇත. එහි කිසිඳු තැනක එසේ ගොඩනැගිල්ලක් සොයන්නේ ණය තොරතුරු කාර්යාංශය හෙවත් ක්‍රිබ් ආයතනයට බව සඳහන් කර නැත. යෝජනා එවීම සඳහා ක්‍රිබ්හි නොවන ඊමේල් ලිපිනයක් සඳහන් කර ඇති අතර විස්තර විමසීම සඳහා අංක 0719865236 යන ජංගම දුරකතන අංකයක් සඳහන් කර තිබේ. මෙම දුරකතන අංකය එහි සාමාන්‍යාධිකාරිවරයා සමඟ කටයුතු කරන එහි නිලධාරියෙකුගේ දුරකතන අංකයක් යන්න එහි සේවකයින්ගේ මතයයි.
එදින ඔබ්සවර් පුවත්පතේ තවත් දැන්වීමක් පලකර ඇති අතර ඒ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙක් ක්‍රිබ් වෙත බඳවා ගැනීම සඳහාය. දැනට ක්‍රිබ්හි අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙක් නැත. මෙම දැන්වීමේ විශේෂත්වය වන්නේ එසේ බඳවා ගන්නා අතිරේක සාමාන්‍යාධිකාරිවරයාව සංක්‍රාන්ති කාලයකින් පසුව ආයතනයේ ප්‍රධාන විධායකය වන අධ්‍යක්ෂ ජනරාල්/සාමාන්‍යාධිකාරි තනතුරට පත්කරන බවය. එහි තේරුම වන්නේ වත්මන් සාමාන්‍යාධිකාරී නන්දි ඇන්තනි මහතාගේ ධුර කාලය නුදුරු දිනෙක අවසන් වන බවය. ඔහු ගොඩනැගිල්ලක් එම ආයතනයට ලබා ගැනීමට කටයුතු කරන්නේ එසේ ධුරයෙන් ඉවත්වීමට ආසන්නව තිබියදීය.

ඊට පෙර කාර්යාල ගොඩනැගිල්ලක් සඳහා දැන්වීමක් පලකර තිබෙන්නේ 2022 ජනවාරි 22 වන ඉරිදා ලංකාදීප පුවත්පතේය. එහි සඳහන් කර ඇත්තේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක් සඳහා සුදුසු කාර්යාල ගොඩනැගිල්ලක් ඉක්මනින් මිලදී ගැනීමට සොයන බවයි. එම දැන්වීමේ සඳහන් කර ඇති වර්ග අඩි ප්‍රමාණය 20,000ක් වන අතර එය මහල් තුනකින් සමන්විත විය යුතුය. එමෙන්ම වාහන 15ක් එකවර නවතා තැබීමේ පහසුකම් තිබිය යුතුය. එය සොයා තිබුනේද කොළඹ 01,02,03,07,08 හෝ 10 යන ප්‍රදේශවලින්ය. ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා වූ මෙම දැන්වීමේද ක්‍රිබ් ආයතනය ගැන කිසිඳු සඳහනක් කර නැති අතර ඊමේල් අංකයක් හා දුරකතන අංකයක් පමණක් සඳහන් කර ඇත.
ඊටත් පෙර 2019 මැයි 19 වැනි දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ හිට් ඇඩ් කොටසේ සෘජු මිලදී ගැනීමක් ලෙස වාහන 10ක් නවතා තැබිය හැකි වර්ග අඩි 15,000ක ගොඩනැගිල්ලක් කොළඹ 04,05,08 හා 09 ප්‍රදේශවලින් සොයා තිබූ අතර එහිද ක්‍රිබ් ආයතනය ගැන කිසිඳු සඳහනක් නැති අතර ඇත්තේ ඊමේල් ලිපිනයක් පමණය.

රාජ්‍ය ආයතනයක් වන ක්‍රිබ් ආයතනය සඳහා මෙසේ ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂිත වූ ඉල්ලීමක් 2019 වර්ෂයේදී මුදල් අමාත්‍යවරයාට යොමු වී ඇත. ඒ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පරිබාහිරව ක්‍රිබ් ආයතනයට විශේෂිත වූ ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියක් ඔස්සේ ඉඩමක් මිලදී ගැනීමට කළ ඉල්ලීමක් වශයෙන්ය. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කරන ලද විමසීමකදී සිය මතය ප්‍රකාශ කරමින් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී අල්ගම මහතා 2019.08.16 දින ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සුදුසු බවය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්ජී සුමනසිංහ මහතා 2019.08.26 දින සහිතව ජාතික ප්‍රසම්පාදන කොමිසමේ සභාපති වෙත ලිපියක් යවමින් දැනුම්දී ඇත්තේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇති ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව එම කාර්යාංශය සඳහා කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට එම කාර්යාංශයේ සභාපතිවරයා විසින් මුදල් ඇමතිවරයාගේ අනුමැතිය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ හා නිර්දේශ ලබාදෙන ලෙසට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවූ බවත්, ඒ අනුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන විසින් රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවට ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් දන්වා ඇති බව දැනුම් දී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ආයතන යටතට වැටෙන බව නීතිපතිවරයා විසින් දන්වා ඇති බැවින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය එම අරථ දැක්වීම යටතට වැටන්නේද යන්න ගැන හා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට පරිබාහිරව ණය තොරතුරු කාර්යාංශයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට කර ඇති ඉල්ලීම ගැන සුදුසු උපදෙස් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා ජාතික ප්‍රසම්පාදන කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මේ අනුව පෙනෙන්නේ ක්‍රිබ් ආයතනය රාජ්‍ය ආයතනයක් යන නාමකරණයෙන් වෙන්වී රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මඟහැර එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඕනෑ ආකාරයට ඉඩම් හෝ ගොඩනැගිලි මිලදී ගැනීමට උත්සාහයක් දරමින් සිටින බවයි. ඉහතින් සඳහන් කළ ආකාරයටම දැනටමත් ක්‍රිබ් ආයතනය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත. එය පිහිටුවා තිබෙන්නේම රජයේ පනතක් යටතේය. එම ආයතනය එසේ නොවී පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ හතු පිපෙන්නාක් මෙන් බිහිවුණු රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිත වී සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වුවද රජයට එහි ඇති අයිතිය අහෝසි වන්නේ නැත. ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂයන් ගැසට් කිරීමේදී සමාගම් ලෙස ලියාපදිංචි වී ඇති රාජ්‍ය ආයතනද ගැසට් කරන්නේ ඒ නිසාය.

ඒ නිසාම ක්‍රිබ් ආයතනය රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මඟහැර සිදු කිරීමට උත්සාහ ගන්නා ඉඩම් හෝ ගොඩනැගිලි මිලදී ගැනීමේ ක්‍රියාවලිය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවද, මුදල් අමාත්‍යාංශයද, පාර්ලිමේන්තුවද අනිවාර්යෙන් සොයා බැලිය යුතුය. ‘අයවැය ප්‍රතිපාදන මගින් අපි යැපෙන්නේ නැහැ හා අපි රැකෙන්නේ අපිම සොයා ගන්නා මුදල්වලින්’ යැයි ක්‍රිබ් ආයතනයේ බළධාරීන් කියනවා යැයි කියමන කිසිවෙකු කිසිවකු මෙහිදී ගණන් ගතයුතු නැත. මන්ද රාජ්‍ය අයවැයෙන් නොයැපී ලාභ ලබන රාජ්‍ය ආයතන තවත් ඇති බැවින් හා ඒවා ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව හමුවට කැඳවන අයුරු අප දැක ඇති නිසාය.

සාමාන්‍යාධිකාරිගෙන් පිළිතුරු නැත
ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් කරුණු ගැන විමසීම සඳහා ක්‍රිබ් හෙවත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්/සාමාන්‍යාධිකාරි නන්දි ඇන්තනි මහතාව අප ඔහුගේ ජංගම දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර එහිදී ඔහුගේ පිළිතුර වූයේ සාකච්ඡාවක සිටින බැවින් නැවත මා අමතන බවයි. ඉන් පැය එකාමාරකට පමණ පසු ක්‍රිබ් ආයතනයේ පොදු දුරකතන අංකයෙන් අපට ඇමතුමක් ලැබුණ අතර කතා කළ පුද්ගලයා අප කළ විමසීමේදී ඔහුව හඳුන්වා දුන්නේ එහි මෙහෙයුම් කළමනාකරු ඉන්දික දිසානායක ලෙසයි. සාමාන්‍යාධිකාරිවරයාට අප ඇමතුවේ ඇයිදැයි ඔහු විමසූ අතර අපගේ පිළිතුර වූයේ එම ආයතනයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමසීමට ඇමතුම ගත් බවත්ය. අප අසන ප්‍රශ්නවලට මෙහෙයුම් කළමනාකරුට පිළිතුරු ලබාදිය හැකිදැයි විමසීමේදී එවැනි හැකියාවක් ඔහුට නැති බව පිළිගත්තේය.
අපට අසන්නට ඇති ප්‍රශ්න වන්නේ මේවාය

ක්‍රිබ් සාමාන්‍යාධිකාරිවරයාගෙන් අපට ඇසීමට ඇති ප්‍රශ්න වන්නේ, එම ආයතනයට ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් මිලදී ගන්නට හෝ කුලියට/බද්දට ගන්නට යෑමේදී රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මඟහැර යෑමට උත්සහා කරන්නේ ඇයි? එම මිලදී ගැනීම්වලට අදාළ දැන්වීම්වල ඔබ ආයතනයේ නම සඳහන් කර නැත්තේ ඇයි හා ඒවාහී සඳහන් ඊමේල් ලිපින හා දුරකතන අංක කාගේද? ඔබ ආයතනය රාජ්‍ය ආයතනයක් නොවේද? එසේනම් මුදල් අමාත්‍යාංශය යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඇයි? එහි විශාල තැන්පතු ප්‍රමාණයක් තිබූ බැංකුවෙන් ඉවත්කර එන්ඩීබී බැංකුවේ තැන්පත් කරනු ලැබුවේ ඇයි? ඔබ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයෙකු එන්ඩීබී බැංකුව නියෝජනය කරන්නෙක් නේද? එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා, ඔබ සහ තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු එකම පාසලේ මිතුරන් නොවේද? පවුම් 10,000ක මුදලක් ගෙවා බිස්නස් අවුට්ලුක් මීඩියා ලිමිටඩ් නම් ආයතනයකින් ඔබ ආයතනයට සම්මානයක් මිලදී ගත්තේ ඇයි? ඔබේ අතිරේක භාවිතය සඳහා කුලී පදනම යටතේ ලබාගත් සුඛෝපභෝගී කාරය එහි ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු ක්ෂය පදනම මත ඔබ ආයතනයට ලබාදීමට ෆිනෑන්ස් ආයතනය කැමැත්ත ලබාදී තිබියදී එහි අයිතිය ඔබ සතු කර ගත්තාද? ආයතනයේ ඔබට පෙර සිටි සාමාන්‍යාධිකාරිවරුන්ගේ වැටුප්, දීමනා හා ප්‍රතිලාභවලට සාපේක්ෂව ඔබ ලබා ගන්නා වැටුප්, දීමනා හා ප්‍රතිලාභ පසුගිය කාලයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ කෙසේද ?

(ලසන්ත රුහුණගේ – අනිද්දා පුවත්පත)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *